සෙමට ගුණ දෙන තිප්පිලි ආයුර්වේදයෙහි තිකුළු ලෙස දැක්වෙන ද්‍රව්‍ය අතරින් එකකි. වෙළෙඳ පොළෙහි වර්ග කිහිපයක් ඇත. ඒවා නම් තිප්පිලි (වගපුල්) කුඩා කරල් සහිත ගජ තිප්පිලි (අක්වගපුල්), විශාල කරල් සහිත (මුරුක්කු තිප්පිලි) ඇඹරුණු කරල් සහිත යනුවෙන් හැඳින්වේ. බිම දිගේ වැතිර යන වර්ගය මෙන් ම කුඩා පඳුරක් ලෙස අඩි 2 ක් පමණ උසට වැඩෙන වර්ගයක්ද දක්නට ලැබේ.
උද්‍යානවල වවනු ලබන ශාකයක් වන තිප්පිලි, ශ්‍රී ලංකාවේ පහතරට වියළි ප්‍රදේශවල වැවේ. හොඳින් ජලය බැස යන ලෝම පසක්, මනාව හිරුඑළිය වැටෙන සෞම්‍ය දේශගුණයක් මෙම වගාවට ඉතා සුදුසුයි. මඳ සෙවණ ඇති ස්ථානවලට අවශ්‍ය ජලය සැපැයීමෙන් වියළි කලාපයේ වුවද මේවා වවා ගත හැකියි.
මෙහි ඖෂධ සඳහා මුල්, වියළි කරල් ප්‍රයෝජනයට ගනී. වා පිත් සෙම් සමනය කරයි. කුසගින්න නිවයි. ආහාර දිරවීම පහසු කරයි. පණුවන් නසයි.
අප පැරණි වෙළෙඳපොළවල තිප්පිලි ඖෂධය විවිධාකාරයෙන් රෝගවලදී අත් බෙහෙත් ලෙස භාවිත කර ඇත.
තනකිරි වැඩි වීමට තිප්පිලි මුල් හා ගම්මිරිස් මුල් චූර්ණය එළකිරෙන් බීමට දෙන්න. තිප්පිලි කරල් චූර්ණය තල තෙලින් බැද කොල්ලු කෂාය සහ සූකිරි සමඟ බීම සෙම් සහිත කැස්සට සුදුසු වේ. තිප්පිලි කුඩු කොටස් එකක් උක් හකුරු හෝ සූකිරි කොටස් දෙකක් මිශ්‍ර කර වරින් වර කෑම, ඇදුමට සහ පරණ කැස්සට සුදුසුයි.
තිප්පිලි හෝ තිප්පිලි මුල් අඹරා නැවුම් ඇතිළියක ඇතුළු පැත්තේ හා එම භාජනයේ මී කිරි මුදවා එම කිරිවලින් තැනූ මෝරු දිනපතා පානය කිරීමෙන් අර්ශස් රෝගීන්ට සුවදායක වේ.
තිප්පිලි තරමක් උෂ්ණාධික ය. කටුක රසයෙන් යුක්තය. විරේචනය, ස්වාසය, කැස්ස, උදරය, උණ, කුෂ්ඨ රෝග, ප්‍රමේහ, අර්ශස්, පිලාවෙහි දෝෂ, ආමවාත නැසීම කරයි. අමු තිප්පිලි සෙම වඩයි. ශීතලයි. වියළි තිප්පිලි පිත කෝප කරයි. තිප්පිලි කරපිංචා, අරළු එක සමානව ගෙන සිහින්ව කොටා රෙද්දකින් හලා හදාගත් චූර්ණය උණු දිය සමඟ මිශ්‍ර කර පෙවීමෙන් කුඩා දරුවන්ගේ අජීර්ණ හා බඩ පිපුම නැති කරයි.
ආහාර රුචිය ඇති කිරීමට තිප්පිලි හා ඉඟුරු කුඩු කර කෝපි මෙන් සාදා බොන්න.
නෙල්ලි කුඩු, තිප්පිලි කුඩු, ඉඟුරු කුඩු, අරළු කුඩු, සීනි හා ෂලඳ කුඩු යන මේවා සම සමව මිශ්‍ර කර මී පැණි හා තල තෙලින් අනා වරින් වර ලේප කරන්න.
එය කැස්සට තවත් අත් බෙහෙතකි. එසේම කටුවැල්බටු තිප්පිලි සම සමව ගෙන කුඩු කර මී පැණියෙන් අනා වරින් වර ටික ටික කෑමෙන් කැස්ස දුරු වේ. වියළි ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි මේවා කලං දෙක බැගින් ගෙන වතුර පත 8 , 4 ට සිඳ බැදි හාල් කලං 6 ක් දමා 1 ට සිඳ පෙරා තිප්පිලි කුඩු දමා වරකට පත 1 / 2 බැගින් උදය සවස පානයට සුදුසු වන්නේ සෙම්ප්‍රතිශ්‍යාවටයි.
තිප්පිලි පැළයේ අතු බෙදෙන කඳ සිලින්ඩරාකාරය. පත්‍ර පාදය හෘදාකාර වන හා රවුම්ව පිහිටි පාදයකින් යුක්තය. තද කොළ පැහැති දිලිසෙන සුළු මතුපිටින් ද පහළ පෘෂ්ඨයේ කැපී පෙනෙන නාරටි ද සහිත පත්‍ර වේ. කඳේ ගැටවලින් පැන නගින ආගන්තුක මුල්වලින් පසට සවි වේ. වෙන වෙන ශාකවල පිහිටන ස්ත්‍රී මල් සහ පුරුෂ මල් හටගන්නේ නටුවක ගිලී ඇති අයුරෙනි. රවුම් ඵල ඉතා කුඩාය. මාංසල නටුවේ සම්පූර්ණයෙන් ම ගිලී ඇත. මුළු වසර පුරාම මල් හටගනී.
තිප්පිලි වැල් ලංකාවේ සමහර පළාත්වල මෙන්ම උතුරු හා දකුණු ඉන්දියාවේද නේපාල ඇසැම් ආදී පළාත්වලද සාමාන්‍යයෙන් වැවේ. මෙම වර්ගයේ උප්පත්තිය මගධ දේශයේ බැවින් “මග්ධෝභව” යන සංස්කෘත යන නාමය තිප්පිලිවලට ව්‍යවහාර කරති. සංස්කෘත බසින් පිප්පලි යන්නෙන් භින්න වූ තිප්පිලි යන නම මීට සමාන ලෙස ව්‍යවහාර කෙරේ.
ආයුර්වේද චිකිත්සාවෙහි ප්‍රබල සෙම දුරලන ද්‍රව්‍යයක් ලෙස ගැනෙන තිප්පිලි වගපුල් යනුවෙන් සිංහලයෙන් දැක්වේ.ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක වැවෙන මුත් සුලභව දැකිය හැක්කේ තෙත් ප්‍රදේශවලය.විශේෂයෙන් මධ්‍යම උස් ප්‍රදේශවල ඉතා සක්‍රියව වැවේ.
තිප්පිලි සෘෂි යුගයේ සිට භාවිත වන බව මූලික ග්‍රන්ථවල සඳහන්ය. දේශීය වෛද්‍යවරු සාමාන්‍ය තිප්පිලි “වගපුල්” ලෙස හඳුන්වන අතර, සිවිය වලේ කරල ගජ තිප්පිලි ලෙස හදුන්වනු ලැබේ. සමහර ග්‍රන්ථවල වර්ග 4ක් ඇත. ලොකු හා කුඩා වශයෙන්ද තිප්පිලි හා ගජ තිප්පිලි වශයෙන්ද බෙදේ.එමෙන්ම තිප්පිලි ගජ තිප්පිලි ශහලි සහ වන තිප්පිලි යනුවෙන්ද බෙදීම් කරනු ලැබේ.
තිප්පිලි මුළු ලොව පුරාම භාවිත වන වග මෙම ශාකයට ඇති පර්යාය නාමයෙන් පැහැදිලි වෙයි. තිප්පිලි වලගසහල් කබලේ බැද කුඩු කර උදෑසනම හිස්බඩ මී පැණි සමඟ මෑණියන් අපට දුන්නේ පණු රෝග හා සමේ රෝග නැති වන්නටය.
තිප්පිලි දුම් අල්ලන්නටද යොදා ගැනේ. ගැමියාගේ බුලත් මල්ලෙහි ඇත. ඒ තිප්පිලි බුලත් විට සමඟ එක් වූ විට වෙනස් රසයක් ලැබෙන බැවිනි.තිප්පිලි මුල් හා ගම්මිරිස් මුල් කුඩු කරගෙන එළකිරි සමඟ බීමට දීම තනකිරි වැඩෙන්ට උපකාරී වන බවට ගැමි ලඳුන් හා වෙද මහතුන් අතර ප්‍රකට කරුණකි.
උද්භිත නාමය – piper longum Linn
ශාක කුලය – piperaceae
රසායනික උද්පාදන
ගිනි වඩයි, වීර්ය වඩයි, පසිමෙහි යහපති, මදක් උෂ්ණයි, කටුක රසයි, වාතය හා සෙම නසයි, අමු තිප්පිලි සෙම වඩයි,තිප්පිලි මුල් බඩගිනි වඩයි,ක්ෂය රෝගය නැති කරයි.
lපී. ඩී. එල්. තිලකරත්න
නැගෙනහිර විශ්වවිද්‍යාලය,
ත්‍රිකුණාමල මණ්ඩපය