Home » ආර්ථික පුනර්ජීවනයකට STEM අධ්‍යාපනය

ආර්ථික පුනර්ජීවනයකට STEM අධ්‍යාපනය

by sachintha
October 12, 2024 12:37 am 0 comment

ලංකාව නව්‍යකරණයේ සහ ආර්ථික වර්ධනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඉතා ශීඝ්‍ර ලෙස ඉදිරියට යාමට අවශ්‍යය. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය) අධ්‍යාපනය සඳහා යොමු වීම ඉතා වැදගත් වේ. දැනුමෙන් පරිපූර්ණ STEM වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් අනාගත පරම්පරාවක් ඇති කිරීම මගින්, ශ්‍රී ලංකාවට නවෝත්පාදන සංස්කෘතියක් ඇති කිරීමට, ආර්ථික සංවර්ධනය වැඩි දියුණු කිරීමට සහ ගෝලීයව වැදගත් රටක් බවට පත්වීමට හැකියාව ලැබේ.

• STEM අධ්‍යාපනයේ වැදගත්කම

STEM අධ්‍යාපනය යම් විෂය ක්ෂේත්‍රයකට ලඝු වූ දෙයක් නොවෙයි. එය ජාතියක දියුණුව හා ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍යම අංගයකි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස STEM අධ්‍යාපනය සඳහා යොමු වීම ඉතාම තීරණාත්මකය. STEM අධ්‍යාපනය 21 වන සියවස තුළ ශ්‍රී ලංකාවේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සාධක වන විවේචනාත්මක චින්තනය, ගැටලු විසඳීම සහ තාක්ෂණික කුසලතාවලින් සමන්විත් පුද්ගලයින් බිහි කිරීමට උපකාරී වනු ඇත. STEM අධ්‍යාපනය පන්ති කාමරයට පමණක් සීමා නොවේ. එය ආර්ථික වර්ධනයට, නවෝත්පාදනයන් පෝෂණය කිරීමට සහ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීමට අත්‍යවශ්‍ය වේ. ලොව පුරා කර්මාන්ත ක්ෂේත්‍ර දියුණු වෙමින් පවතින යුගයක, STEM වෘත්තිකයන්ට ඉහළ ඉල්ලුමක් පවතින අතර, STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම හරහා, ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පමණක් නොව දේශීය ව්‍යවසායකත්වය දිරිමත් කරන නිපුණතාවයකින් යුත් ශ්‍රම බළකායක් බිහි කිරීමටද හැකිය. ඒ හරහා ශක්තිමත් සහ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීමට හැකිවනු ඇත. එපමණක් නොව, STEM අධ්‍යාපනය හරහා පුද්ගලන් තුළ ඇති කරනු ලබන කුතුහලය, අත්හදා බැලීම් සහ නිර්මාණශීලිත්වය මඟින් පුද්ගලයන්ට විවේචනාත්මකව සිතීමට සහ නවෝත්පාදන අත්හදා බැලීම සදහා හැකියාව ලබා දෙයි. මෙම හැකියාව ගැටලු හඳුනා ගැනීමට සහ ඒවා විසඳීමට ඉතා වැදගත් වන අතර, එය රට නඟාසිටුවීමට හේතු වේ.

මීට අමතරව, රටවල් අතර පවතින තාක්ෂණික තරගකාරිත්වය තුළ , ශ්‍රී ලංකාවේ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා ශක්තිමත් STEM අධ්‍යාපන ක්‍රමයක් අත්‍යවශ්‍ය වේ. මෙමඟින් ඉහළ නිපුණතා සහිත ශ්‍රම බළකායක් බිහි කිරීමට හැකි අතර, විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් නවෝත්පාදන සඳහා කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. තවද දේශගුණික විපර්යාස, සෞඛ්‍ය සේවා සහ දරිද්‍රතාවය වැනි නූතන කාලයේ වඩා තීරණාත්මක සමාජ අභියෝගවලට විසඳුම් සෙවීමේදී STEM අධ්‍යාපනය තීරණාත්මකය.

STEM අධ්‍යාපනය තුළින් ලබා දෙන කුසලතා සහ දැනුම සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරයි. එපමණක් නොව තිරසර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවාහන පද්ධති, බලශක්ති ජාල සහ සන්නිවේදන ජාලවැනි නවීන යටිතල පහසුකම් ගොඩනැඟීමට හැකියාව ලැබේ.

STEM අධ්‍යාපනය සමාජ හා ආර්ථික සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමේදී ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එය විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට ඉහළ වැටුප් සහිත රැකියා ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දෙයි. STEM අධ්‍යාපනය මඟින් වෙනස් ආකාරයට සිතීමට අවශ්‍ය කුසලතාවයෙන් සන්නද්ධ කිරීම තුළින් දරිද්‍රතාවය, සහ අසමානතාවය වැනි රටෙහි පවතින දැවෙන සමාජ ගැටලු විසඳීමට ධෛර්යය ලබා දේ.

STEM අධ්‍යාපනය තුළින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකක් වන්නේ නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයයි. ගැටලු හඳුනා ගැනීමට සහ විසඳුම් සෙවීම සදහා සිසුන්ට කුසලතා ලබා දීමෙන්, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇතිකළ හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන නව ව්‍යාපාර, රැකියා සහ නිෂ්පාදන බිහි කිරීමට හේතු වනු ඇත.

• ලංකාවේ ඇති අභියෝග

මෙම STEM අධ්‍යාපන ක්‍රමයෙහි වැදගත්කම අවබෝධ වුවත්, එහි ප්‍රගතියට බාධා කරන සැලකිය යුතු අභියෝග රාශියකට ශ්‍රී ලංකාව මුහුණ දෙයි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල STEM අධ්‍යාපනය සඳහා පවතින සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් දැවෙන ප්‍රශ්නයකි. බොහෝ පාසල්වලට ප්‍රමාණවත් අරමුදල්, යටිතල පහසුකම් සහ රසායනාගාර උපකරණ සහ තාක්ෂණික මෙවලම් වැනි අත්‍යවශ්‍ය ඉගැන්වීම් ද්‍රව්‍ය පවා නොමැත. නිදසුනක් වශයෙන්, සමහර පාසල් විද්‍යාගාර නොමැතිව සිය විද්‍යා අධ්‍යාපන කටයුතු කරගෙන යන බැවින්, සිසුන්ට න්‍යායාත්මක දැනුමක් ඇති නමුත් ප්‍රායෝගික අත්දැකීම් අඩුය. මෙම සම්පත් හිඟය ගුණාත්මක STEM අධ්‍යාපනයට අවකාශ සීමා කර ඇති අතර, නාගරික සහ ග්‍රාමීය සිසුන් අතර විෂමතාවයක් ඇති කර ඇත .

තවත් තීරණාත්මක අභියෝගයක් වන්නේ STEM ක්ෂේත්‍ර තුළ ස්ත්‍රී පුරුෂ අසමානතාවයයි. STEM අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ කාන්තා සහභාගිත්වය දිරිගැන්වීමේ ක්‍රමෝපායන් තිබියදීත්, සැලකිය යුතු ස්ත්‍රී පුරුෂ පරතරයක් පවතී. විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රවල අධ්‍යාපනය සඳහා යොමු වන ගැහැනු ළමයින් සහ කාන්තාවන්ගේ අගය අඩු මට්ටමක පවතී. සංස්කෘතික හේතුන් සහ සමාජ අපේක්ෂාවන් බොහෝ විට තරුණ කාන්තාවන් මෙම ක්ෂේත්‍රවලට පිවිසීම අධෛර්යමත් කරයි. උදාහරණයක් වශයෙන්, රට පුරා ඉංජිනේරු පීඨවල පිරිමි සිසුන්ට සාපේක්ෂව කාන්තා නියෝජනය අඩු මට්ටමක පවතී.

බොහෝ සිසුන් සහ දෙමාපියන් STEM අධ්‍යාපනයේ වෘත්තීය අවස්ථා සහ දිගුකාලීන ප්‍රතිලාභ පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත්භාවය නොමැතිකම තවත් බාධාවකි. වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව වැනි සාම්ප්‍රදායික වෘත්තීය මාර්ග සම්බන්ධව අවබෝධයක් ඇති නමුත්, බොහෝ විට දත්ත විද්‍යාව, පුනර්ජනනීය බලශක්තිය සහ ජෛව තාක්‍ෂණය වැනි අනෙකුත් STEM ආශ්‍රිත ක්ෂේත්‍ර සම්බන්ධව ඇති අවබෝධය අල්පය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නැගී එන STEM අංශවල ඇති විශාල අවස්ථා පිළිබඳ අවබෝධයක් නොමැත. මෙම අනවබෝධයට හේතු වී ඇත්තේ නව්‍ය STEM ක්ෂේත්‍ර සම්බන්ධව දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් නොමැතිකමයි.

• යල්පැන ගිය විෂය මාලා

එපමණක් නොව, බොහෝ ශ්‍රී ලංකාවේ පාසල්වල සහ විශ්වවිද්‍යාලවල පවතින යල් පැන ගිය විෂය මාලාවද විධිමත් STEM අධ්‍යාපනයක් ඇතිකිරීම සඳහා අභියෝගයක් වී ඇත. ලෝකය විද්‍යාව හා තාක්‍ෂණයෙන් ශීඝ්‍රයෙන් ඉදිරියට යද්දී, දිනපතා සිදුවන නව සොයාගැනීම් සහ නවෝත්පාදනයන් පිළිබඳ දැනුමෙන් ස්වායත්තව, බොහෝ අධ්‍යාපන ආයතනවල විෂය මාලාව එක තැන පල්වෙමින් පවතී. කෘතීම බුද්ධිය, රොබෝ තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍රවල නවතම ප්‍රවණතාවයන් සඳහා සිසුන් බොහෝ විට නිරාවරණය නොවේ. උදාහරණයක් ලෙස, ගෝලීය කර්මාන්ත ස්වයංක්‍රීයකරණය සහ Al වැනි තාක්ෂණයන් වෙත ප්‍රවේශ වනවිට , දේශීය සිසුන් තවමත් යල් පැන ගිය ක්‍රමලේඛන පරිගණක භාෂා හෝ පැරණි ක්‍රමවේද ඉගෙන ගනිමින් සිටියි. මෙම අභියෝග තාක්‍ෂණය මත පදනම් වූ ලෝකයක අවශ්‍ය කුසලතාවලින් සමන්විත ශ්‍රම බලකායක් බිහි කිරීමට ශ්‍රී ලංකාවට බාධා ඇති කරයි.

• අභියෝගවලට මුහුණ දීම

මෙම ක්ෂේත්‍රයේ වර්ධනය සහ ප්‍රගතිය සඳහා උපාය මාර්ග මාලාවක් ක්‍රියාත්මක කළ හැකිය. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ ආයෝජන වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ආයෝජනය මගින් විද්‍යා රසායනාගාර වැඩිදියුණු කිරීම, නවීන තාක්‍ෂණයෙන් යුත් පන්ති කාමර ඇති කිරීම සහ අවශ්‍ය අධ්‍යාපනික ද්‍රව්‍ය සැපයීම වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. උදාහරණයක් ලෙස, “Smart Classrooms” වැනි රජයේ වැඩසටහන් තුළට තවත් ග්‍රාමීය පාසල් ඇතුළත් කිරීමට කළ හැකි අතර, සිසුන්ට ඩිජිටල් මෙවලම් සහ ඉගෙනීමේ අවස්ථා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබාදීම කළ හැකිය. මීට අමතරව, STEM විෂයයන් ඵලදායී ලෙස ඉගැන්වීම සඳහා ගුරුවරුන් නවීන දැනුමෙන් සහ අධ්‍යාපනික ක්‍රමවලින් සන්නද්ධ කිරීම සඳහා ගුරු පුහුණුව වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතා වැදගත් වේ.

ළමුන් සහ දෙමාපියන් අතර ජනප්‍රිය නැති STEM විෂයයන් සම්බන්දව සහ එම විෂයයන් සඳහා ඇති වෘත්තීය අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම කළ යුතුයි. ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනය (SLSEF) වැනි වෘත්තීය ප්‍රදර්ශන, වැඩමුළු සහ තරග මඟින් සිසුන්ට විවිධ STEM විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබාදීම සහ ඔවුන් ඉගෙනගන්න දේ සැබෑ ලෝක යෙදුම් සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි පෙන්වීමට යොදා ගත හැකියි. ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වල සිටින දරුවන්ට පවා STEM වෘත්තීන් සහ අවස්ථා පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙන අයුරින් අඩු අාදායම්ලාභී ජනතාව නියෝජනය වන ප්‍රජාවන් කෙරෙහි වැඩි අවධානය යොමු කර ඔවුනට STEM පිළිබඳ දැනුම ලබා දිය යුතුයි. ශ්‍රී ලාංකික සිසුන් යාවත්කාලීන වූ දේ ඉගෙනීම සහතික කිරීම සඳහා විෂයමාලා ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුය. යල්පැන ගිය විෂයානුබද්ධ කරුණු ඉගැන්වීම, යහපත් STEM අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීමට බාධාවකි. STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම ඉතා සාර්ථක උපාය මාර්ගයක් ලෙස එය මුල් ළමාවිය සම්බන්ධ විෂය මාලාවට හඳුන්වා දීම කළ යුතුයි. තරුණ වියේදීම සිසුන්ට STEM සංකල්ප හඳුන්වා දීමෙන්, ඔවුන්ගේ උනන්දුව සහ කුතුහලය ඇති කළ හැකිය. මෙය ප්‍රායෝගික ක්‍රියාකාරකම්, අත්හදා බැලීම් සහ ක්‍රීඩා මත පදනම් වූ ක්‍රමවේද හරහා සිදු කළ හැකිය.

2013 දී ශ්‍රී ලංකා රජය තාක්ෂණවේදය උසස් පෙළ විෂය ධාරාව හඳුන්වා දෙමින් ප්‍රගතිශීලි පියවරක් ගත් නමුත් අභියෝග රැසක් තවමත් පවතී. ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සහ පුහුණුව සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයි. STEM ගුරුවරුන්ට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට සහ ඔවුන්ගේ ක්ෂේත්‍රවල නව ප්‍රවණතා සම්බන්ධව අවබෝධයක් ලබාගැනීමට අවස්ථාවන් ලබා දීම ඉතා වැදගත්. දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාල මෙන්ම දේශීය තාක්ෂණික සමාගම් සම්බන්ධ කර ගනිමින් කළ හැකියි. උදාහරණයක් ලෙස ඒවැනි තාක්ෂණික සමාගම් සමඟ සහයෝගයෙන් සිසුන් සඳහා සීමාවාසික පුහුණුව, ශිෂ්‍යත්ව හෝ පර්යේෂණ අවස්ථා ලබා දිය හැකියි. UNESCO වැනි ජාත්‍යන්තර සංවිධාන හෝ විදේශීය විශ්වවිද්‍යාල හවුල්කාරිත්වය ඇතිව ශ්‍රී ලංකාවේ STEM අධ්‍යාපන රාමුව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා මානව සහ භෞතික සම්පත් ලබාගැනීමට කටයුතු කළ යුතුයි. විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් මෙහෙයවන ගෝලීය ආර්ථිකයක් තුළ දියුණු වීමට ශ්‍රී ලාංකික සිසුන් හොඳින් සූදානම් බව සහතික කිරීමට මෙම සහයෝගී ප්‍රයත්නයන් උපකාරී වනු ඇත.

STEM අධ්‍යාපනය යනු ශාස්ත්‍රීය ජයග්‍රහණ පමණක්ම නොවන බවත්, එය විවේචනාත්මක චින්තනය, ගැටලු විසඳීම සහ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරන්නක් බවත් හඳුනා ගැනීම වැදගත්. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමෙන්, රටෙහි නවෝත්පාදනයන් දිරි ගැන්වීම සහ ගෝලීය තරඟ කාරිත්වය වැඩිදියුණු කිරීම කළ හැකිය. එබැවින් අභියෝගවලට සාර්ථකව විසඳුම් සෙවීම හරහා රටෙහි ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන STEM අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කළ යුතුය.

lමහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස පීඨාධිපති තාක්ෂණ පීඨය  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division