Home » කානු පද්ධතිය අවහිර වන ලෙස බැම්මක් ඉදිකරලා

කානු පද්ධතිය අවහිර වන ලෙස බැම්මක් ඉදිකරලා

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

නිවාස වෙත යාමට ඒමට තිබෙන අඩිපාර ගුරුපාර හෝ වෙනත් මංමාවත්වල වැසි වතුරෙන් යටවෙන ජලය බැසීමට විධිමත් කානු පද්ධතිය ඉදිකළ යුත්තේ තම තමන් පදිංචිව සිටින ගමේ නගරයේ කටයුතු පරිපාලනය කිරීම සඳහා ඇති කර තිබෙන මහනගර සභාව, නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව මඟිනි. මීට වසර ගණනාවකට පෙර මහර ප්‍රාදේශීය සභාව පිහිටුවිමේ එක් අරමුණක් වුණේ මෙම ගැටළුවලට විසඳුම් සෙවීමය.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මහර මැතිවරණ කොට්ඨාසයේ මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් උඩුපිල නැඟෙනහිර ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටුවා තිබෙන ලංසියාහේන හරහා නාරංවල පොදු සුසාන භූමිය අසල මාර්ගයේ පාගමනින් යනවිට පැමිණෙන විට වැසි දිනවලදී එකතුවන ජලය එකතුවන ස්ථාන කිහිපයක් පවතින අතර එක ස්ථානයක එලෙස ගලා නොබැස එකතුවන මෙම වැසි ජලය මීටර් 20ක පමණ දුර ප්‍රමාණයකට විහිදී පවතියි. මේ මාර්ගයේ ජලය එකතුවීම වළක්වා එම මාර්ගය පිළිසකර කර දෙන ලෙස එම ප්‍රදේශයේ පදිංචි සිටින දරු පවුල් 30කට ආසන්න සංඛ්‍යාවක් කඩවත ඉහළ කරගහමුණ මහර ප්‍රාදේශීය සභාවේ බලතළ ක්‍රියාත්මක කර නිලධාරිවරයාට 2024 මැයි මස 25 වැනි දින ලිපියක් මඟින් කරන ලද ඉල්ලීමකට මේ දක්වා කිසිඳු පිළිතුරක් ලිඛිතව හෝ වාචිකව නොලැබුණ බව ප්‍රියන්ති ගනේපොල මහත්මිය සිළුමිණට කීවාය.

තවද මෙම මාර්ගයේ එකතුවන ජලය බැස යාමට ඉදිකොට තිබෙන කානු පද්ධතිය අවහිර වන ලෙස බැම්මක් ඉදිකර තිබීම හේතුකොට ගෙන මෙම අවහිරතාව ඇතිවී තිබීම එම තත්ත්වයට මුහුණ පා තිබේ.

මේ දිනවල පවතින කඩින්කඩ වැසි නිසා එම මාර්ගය නිරන්තරයෙන්ම වැසි ජලයට යටවීම නිසාත් වැසි ජලය බැස යැවීමට තිබෙන තාප්පයේ බාධකය ඉවත් නොකිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබෙන බවත් පායන විට මෙම ජලය වියළි භූමියක් බවට පත්වීමට තෙමසක් පමණ ගතවන බව ජී.ඒ. හරමානිස් මහතා පවසයි.

දැනට වසර ගණනාවක් තිස්සේ මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් මුහුණ දෙන ගැටලුවක් බවක් මහර ප්‍රාදේශීය සභාව නියෝජනය කරනු ලැබු මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන් දැනුම්වත් කළත් කිසිඳු පිළියමක් එම පිරිසගෙන් සිදු නොවුණු බව හරමානිස් මහතා වැඩිදුරටත් කියා සිටියහ.

මේ අතර මෙම මාර්ගය නාරංවල මාර්ග අංක 228 බස් රථය පවා ධාවනය වන්නේ මෙම ජලය පිරෙන මාර්ගය අසලිනි. ඒ වගේම මෙම මාර්ගයේ පදිංචි වී සිටින පිරිස ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක් වෙත යාමට තිබෙන්නේ මෙම ජලය බැස නොයන මාර්ගයෙන් බැවින් මෙම හැකි ඉක්මනින් පිළිසකර කරදෙන ලෙස ප්‍රදේශයේ බදු ගෙවන ජනතාව ලෙස ප්‍රදේශීය සභාවේ බලයලත් නිලධාරිවරයන්ගෙන් ඉල්ලා අවශ්‍ය ලිපි මගින් ඉල්ලා යැවු බව ප්‍රියන්ති ගන්පොළ මහත්මිය කියා සිටියාය.

ආරියරත්න ගනේගොඩ


රත්නපුර රෝහලේ පරිපාලන දුබලතා සොයා බලන්න 
– සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉල්ලීමක්!

පරිපාලනය හෝ කළමනාකරණය පිළිබඳ කිසිදු සැලකිල්ලක් දැක්වීමකින් තොරව කටයුතු කරන වෛද්‍යවරුන් සහ සුළුසේවක පිරිසක් රත්නපුර රජයේ රෝහලේ කටයුතු කරති. ඒ බාහිර රෝගී අංශයට සම්බන්ධිත විශේෂඥ වෛද්‍ය සේවය මඟින් ක්‍රියාත්මක කරන ” 50 කාමරය ” හෙවත් ” VP- OPD – 50 ” කාමරයේ සායන කටයුතු සිදුකරන සේවක පිරිසයි .

මොවුන්ගේ සේවා කටයුතු නිසා, නියමිත දිනයේ පෙරවරු 6.00ට සායනයට පැමිණෙන රෝගීන් විවිධ පෝලිම්වල සිටීමෙන් අනතුරු ව බෙහෙත් රැගෙන රෝහලින් පිටත් ව යා යුතු වන්නේ බොහෝ ප්‍රමාද වීය. පෙරවරු 6.00 ට රෝහලට පැමිණෙන රෝගීන් මෙම කළමනාකරණ ක්‍රියාවලිය නිසා වෛද්‍යවරයා හමුවට පමුණුවනු ලබන්නේ, බොහෝ විට පෙරවරු 11.00 හෝ ඊටත් පසුව ය . රෝගීන්ගේ සායන පොත් ” 50 කාමරය “තුළට ලබාදෙන පිළිවෙලට, නැවත රෝගීයා අතට පත්වන්නේ නැත. අදාළ සායන කාඩ්පත සොයා, වෛද්‍ය වාර්තා ඇත්නම් ඒවාත් සායන පොත තුළට ඇතුළත් කර, පෙරළා රෝගීයා අතට පත් කැරෙන්නේ, පැය තුන හතරකට පසුවය. දිනපතා මෙම සායනයේ සේවාව ලබාගන්නා රෝගීහු දහස් ගණනක් මේ නිසා බලවත් අපහසුතාවට පත් වී සිටිති.

මේ පිළිබඳ ව එහි වෛද්‍යවරුන් සහ ප්‍රධාන වෛද්‍යවරයා දැනුම්වත් කරමින් සායන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී කර දෙන මෙන් රෝගීන් විසින් කොතෙකුත් ඉල්ලීම් කෙරුණත් යහපත් ප්‍රතිචාරයක් නොමැත. වෛද්‍යවරුන් පවසන්නේ සංඛ්‍යාත්මක ව විශාල ගණනක් වූ රෝගීන් පිරිස සීමිත වෛද්‍යවරුන් අතර සමාන සංඛ්‍යා බැඟින් යොමු කර ගත යුතු බැවින් රෝගීන් වෛද්‍යවරයා වෙත පැමිණවීම සඳහා වර්ණ කාඩ්පත් ක්‍රමයක් අනුගමනය කැරෙන බවයි.

එහෙත් එහි සෙසූ සේවකයින් විමසන කල්හි ඔවුන් පවසන්නේ, මෙම කාඩ් ක්‍රමය නිසා අනවශ්‍ය ප්‍රමාදයකට මෙන් ම දෛනික රෝගී අනුක්‍රමික අංකයන් වෙනස් වීමට ද එය හේතුවක් වන බවයි. කෙසේ වෙතත් මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ රෝගීන්ට කිසිදු තේරුමක් නැති ව දවස තිස්සේ රස්තියාදුවීමට සිදු වීමයි.

මෙම සායනයට පැමිණෙන රෝගීන් අතුරින් සාතිශය බහුතරය දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධි – රුධිරපීඩනයට ප්‍රතිකාර ගන්නවුන් ය.

එසේම බහුතරයක් වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ය. එහෙයින් මෙම සායනයේ කළමනාකරණ ශෛලීය වෙනස් කර, ” විද්‍යාත්මක කළමනාකරණයක් “හෝ “මානුෂීය කළමනාකරණ ” ශෛලීයක් ආදේශ කරදෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

තුසිත් සාගර


පොදු සේවය ඉබි ගමනේ

ආසියාවේ මුතු ඇටය වූ සිරි ලංකාවේ අසිරිය තුරන් වී වර්තමානයේ කඳුළු බිංදුව බවට පත් වන්නට හේතු ගණනාවක් මූලික වුවද ඒ අතර පොදු ප්‍රවාහනය හා සම්භන්ධ පවතින දුර්වලතා ප්‍රධාන වීම දුකට කරුණකි.

රටක් දියුණුව කරා යන ගමනේදී පොදු ප්‍රවාහනයේ සංවර්ධනය ඒ සඳහා ඍජුව බලපායි. සාමාන්‍ය ප්‍රජාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වන්නේ පොදු ප්‍රවාහනයයි. නමුත් එය පරම්පරා 2 – 3 කට පමණ පෙර පැවති තත්වයට වඩා වෙනස්ව ඇත්තේ සුළු වශයෙනි.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ දශක ගණනාවක් පුරා ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වීමයි. ලංකාව තුළ ප්‍රධාන ලෙසම බස් රථ හා දුම්රිය පොදු සේවය ලෙස පවතී. ඒ සම්බන්ධව පවතින ගැටලූ රැසකි. ඒවා නිසි කාලසටහනකට ධාවනය නොකිරීම හේතුවෙන් ප්‍රමාණවත් පොදු සේවාවක් මගීන්ට නොමැති වේ. එමෙන්ම වර්තමානයේ උද්ධමනයත් සමඟ මිනිසුන් පොදු ප්‍රවාහනය වැඩි වශයෙන් භාවිත කරනුයේ යම් තරමකින් හෝ තම සාක්කුවට සහනයක් සැලසීමටය. නමුත් එමඟින් වාහන ධාරිතාව ඉක්මවා ගොස් මගීන්ට අනාරක්ෂිත සහ අපහසු සංචාරයක් ලබා දෙයි. මහා මාර්ග කාපට්, තාර දමා ගොඩනැඟුවද ඒවායෙහි ප්‍රමිතිය බලවත් අයගේ මඩිය තර කර ගැනීමෙහිලා යටපත් වී ඇත. නිසි සංවර්ධනයෙහිලා සැලකෙන්නේ දියුණු කරමින් ඒව බලාත්මක කිරීමත් ඇතුළුවය. ලෝකය වෙනත් රටවල් හඳෙහි ජනාවාස ඉදි කිරීමට තාක්ෂණය නොසිතූ අයුරින් ඉදිරියට ගෙන යන විට ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ක්‍රමවත් කර යාවත්කාලීන කරමින් දියුණු කිරීම ගව්ගණනක දුරය.

දුකට කරුණ නම් ප්‍රවාහන ක්ෂේ‍ත්‍රයේ සංවර්ධනය යැයි කියමින් ආශ්චර්ය යැයි කියන ගමන එකිනෙකාගේ වාසිය තකා නූපන් පරම්පරාවද ණය කරමින් සිදු කරන බව ප්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසකට අවබෝධයක් නැත. නමුදු අඩවන් දෙනෙත් නිසි යොමුව කරා නංවාලීමට කාලය එළඹ ඇත.

සජිනි ටිරෝෂ්


නව අධ්‍යාපන ඇමතිතුමියට මල් මිටක්

රජයේ පාසල්වල පවත්වන උත්සව සඳහා ආරාධිත අමුත්තන් ලෙස දේශපාලකයින් සහභාගි කර නොගැනීමට ඔබතුමිය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් විය.

මෙය ඉතා වැදගත් තීරණයක් බව පිළිගන්නා අතර එවැනි තීරණයක් අධ්‍යාපන ඇමති තනතුරට පත්වු විගස ක්‍රියාත්මක කිරීමට එඩිතර වීම පිළිබඳව කලක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැළී සිටි අයකු සහ අදත් ඒ සම්බන්ධව විමසිල්ලෙන් සිටින අයකු ලෙස ඔබ තුමිය වෙත මල් මිටක් පුද කිරීමට සතුටු වෙමි. ඔබ තුමියගේ දැන ගැනීම සඳහා ඔබ ගත් ඉහතින් සඳහන් කළ ප්‍රතිපත්තිමය තීරණය හා බැඳී පවතින තොරතුරු බිඳක් මෙම ලිපියට ඇතුළත් කිරීමට කැමැත්තෙමි.

කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ එකල ජාතියේ පිනට පහළ වු සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිඳුන් විසින් දුප්පත් දක්ෂ දරුවන්ගේ නැණස පෑදීම සඳහා දැයට දායාද කළ 54වන මධ්‍ය විද්‍යාලය, සත්කෝරලයේ පහන්තරුව නමින් ප්‍රදේශවාසීන්ගේ ජනප්‍රසාදයට පත්ව 150කට අධික ඇඳුරු මඬුල්ලක් සහ 80ක පමණ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක සේවය ලබමින් 3600කට ආසන්න ශෂ්‍ය පිරිසක් අකුරු කරමින් සිටිති. 1 A ශ්‍රේණිය දිවයිනේ ජනප්‍රිය විදුහලක් වන මෙම විදුහල අයත්වන විදුහල් ගණයට පසුගිය දිනක විදුහල්පති තනතුර සඳහා අධ්‍යාපන සේවා කොමිසම මගින් සුදුසුකම් ඇති විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලුම්පත්‍ර කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඉහළ සුදුසුකම් ඇති විදුහල්පතිවරුන් අනෙක් විදුහල්වලට පත්කළ නමුත් මෙම විදුහලට සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත් විදුහල්පතිවරයාට විදුහල්පති තනතුර අහිමි කර සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී නොසිටි විදුහල්පති පත් කර එවන ලදී.

නව විදුහල්පති පැමිණ ටික කලකින් විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීම සඳහා ආසන්න මැතිවරණයෙන් පරාජයට පත්වු දේශපාලකයකු කැඳවන ලදී.

දෙගුරුන් හා විශේෂයෙන් ආදී ශිෂ්‍යයන් ක්‍රීඩා උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස පරාජිත දේශපාලකයා කැඳවීම පිළිබඳව විරුද්ධ වු අතර දැන් වසරකට ආසන්න කාලයක් විදුහල්පතිවරයා ආදිශිෂ්‍ය සංගමයේ කාරක සභාව වර්ජනය කරමින් ගැටුමක් ඇතිකරගෙන ඇත. එම හේතුවෙන් විදුහලේ දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ආදිශිෂ්‍ය සංගමය විසින් සැලසුම් කරන ලද රුපියල් ලක්ෂ 50ක පමණ ව්‍යාපෘති සියල්ල අඩාළ වී ඇත.

ජේ.ඒ. කරුණාසේන
විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සහ ආදි ශිෂ්‍ය සංගමයේ ගරු අනුශාසක


දිග්ගල පාර ප්‍රතිසංස්කරණය කර දෙන්න 
– ගම්වාසීන්

පානදුර පරණ පාර කෙසෙල්වත්ත හන්දියේ සිට දිග්ගල බොල්ගොඩ ගඟ මායිම දක්වා මාර්ගය දැඩි අබළන් තත්ත්වයේ පවතී. කුඩා වැස්සකට පවා සරික්කාමුල්ල ප්‍රදේශයත්, දිග්ගල මාර්ගයත් වැහි වතුරෙන් යටවන අතර, විශාල වළවල් සෑදී මාර්ගය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමේ පැවතියද පානදුර නගර සභාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති. කානු පද්ධතිය උතුරා යෑමෙන් හා කානුවල කසළ සිරවීමත්, ඒවා දීර්ඝකාලයක් පිරිසිදු නොකිරීමත් නිසා වැහි වතුර ගලා යනුයේ ප්‍රධාන මාර්ගය ඔස්සේය. එපමණක් නොව, විශාල කර්මාන්ත ශාලා ගොඩනැඟිලි සෑදීම නිසා ගඟ මායිම ගොඩකිරීමෙන් වතුර බැස යෑමේ අවස්ථා අහිමි වී තිබේ. එමෙන්ම ඒ කර්මාන්ත ශාලාවල නිපදවන බඩු ප්‍රවාහනය සඳහා භාවිත කරන විශාල කන්ටේනර් යන්ත්‍ර නිරන්තරයෙන් මේ මාර්ගයේ ධාවනය වන අතර, එයද මාර්ගය අබලන් වීමට හේතුවක් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division