Home » කොවුල් හඬ මැද්දේ උපන් ‘අමුතු සංගීතකාරයා’

කොවුල් හඬ මැද්දේ උපන් ‘අමුතු සංගීතකාරයා’

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

සුනිල් සාන්ත සම්භාවනීය වූයේ අපට දේශානුගත සංගීත පද්ධතියත් නිර්මාණය කර දීමෙනි. ‘ලිහිල් සංගීතය’ හෙවත් සරල සංගීතය අඩුවෙන් සැලකූ, ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය පමණක් උසස් කොට සැලකූ ‘සංගීත බලධාරීහු’ එවක මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ‘ආධිපත්‍යය’ දැරූහ.

බ්‍රෝඩ්කාස්ට් ග්‍රැමෆෝන් තැටියකට ඩබ්ලිව්. ජොශප් ප්‍රේරා ගායකයා ගීතයකින් පවා කීවේ, ‘හින්දුස්ථානි සංගීතය’ අපට යෝග්‍ය බවයි.

‘ඉංග්‍රීසීන්ගෙ සංගීතේ
බොහෝ බහුල මුත් ලක්දිවේ
පෙරදෙසේහි යෝග්‍ය වන්නේ
හින්දු දේසේ සංගීතේ’

දීර්ඝ සංගීත ඉතිහාසයකට උරුමකම් නොකියන අපට මුලින්ම අසන්නට ලැබුණේ නූර්ති නාට්‍ය ගීතයි. ඉනික්බිති ග්‍රැමෆෝන් තැටියට නැඟුණේ ද නූර්ති ගීතත්, ‘සිංහල වචන පිරවූ’ හින්දුස්ථානි සංගීතය – තනු රැගත් ගීතත් පමණි.

සුනිල් සාන්ත බිහි කළ සංගීතයට සාධනීය මෙන්ම, නිෂේධනීය බලපෑම් කළ ප්‍රමුඛ චරිත ගණනාවක් හඳුනාගත හැකිය.

රබීන්ද්‍රනාත් තාගෝර්තුමා (1934) , විශ්වනාත් ලෞජි (1900), පණ්ඩිත් එස්.එන්. රතන් ජංකර් , ලයනල් එදිරිසිංහ (1940), ඇම්.ජේ. පෙරේරා, වෝසැසි පියතුමා, කුමාරතුංග මුනිදාස ඒ චරිත වේ. නූතන සංගීතයේ මතු නොවේ, නූතන සංස්කෘතික ප්‍රබෝධයේ ද අඩිතාලම වැටෙන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ 1934 ලංකාගමනයෙනි.

1922 සහ 1930දීත් එතුමා ලංකාවට ආවේය. එහෙත් උදයශංකර් ප්‍රමුඛ නර්තන කණ්ඩායමත් සමඟ පැමිණ මෙරට ‘ශාප්වෝචන්’ ප්‍රදර්ශනය කිරීමෙන් ද තාගෝර්තුමා කොළඹදී කළ වෙසෙස් දෙසුමෙන් ද ප්‍රබෝධවත් වූ අපේ කලාකරුවෝ අපේ නැටුමේ – සංගීතයේ – චිත්‍රයේ සුලමුල සොයා ශාන්ති නිකේතනයට ගියහ. සූර්යශංකර් මොල්ලිගොඩ, දේවාර් සූරියසේන, ආනන්ද සමරකෝන් , චිත්‍රසේන, පණීභාරත, වසන්ත කුමාර, නිමල් වෙල්ගම, ප්‍රේමකුමාර එපිටවල, උපසේන ගුණවර්ධන, ශේෂා පලිහක්කාර, අමරදේව, සුනිල් සාන්ත ඒ අතර වූහ.

ලක්නව්හි භාත්ඛණ්ඩේ
සංගීත පීඨයට පිවිසීම

1936 දී ශාන්ති නිකේතනයට යන ආනන්ද සමරකෝන් තුන් අවුරුදු පාඨමාලාව අතහැර තෙමසකින් 1937 මුල් භාගයේදී පෙරළා පැමිණෙයි. රබීන්ද්‍ර සංගීතයෙන් ආභාසය ලබා පැමිණි ඔහු ඒ අනුව යමින් උත්තර භාරතීය හින්දුස්ථානි ගීතය ආධිපත්‍යය ඉසිලූ ශ්‍රී ලංකාවාසීන්ට මුල්වරට ඉන් බිඳුණු නැවුම් ගීතාවලියක් ඉදිරිපත් කළේය. මුලින් ශාන්ති නිකේතනයට යන සුනිල් සාන්තගේ කුසලතා හඳුනාගත් එදිරිවීර සරච්චන්ද්‍ර ඇතුළු කිහිපදෙනකු යෝජනා කරන්නේ ඔහුට වඩාත් යහපත් ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත පීඨය බවයි. 1940 දී ඔහු භාත්ඛණ්ඩයට අවතීර්ණ වෙද්දි ලයනල් එදිරිසිංහ සංගීත විශාරද උපාධිය දිනා ඉන් නික්මෙයි.

1900 දී ශ්‍රී ලංකාවට ගෙනා නූර්තිවල හින්දුස්ථාන රාගතාලවල ලියැවුණු කඨෝර ගීතත්, නීතිඥ ජෝන් ද සිල්වාට සහායට පැමිණි විශ්වනාත් ලෞජි විසින් මෙරට ජනතාව අතර ප්‍රචලිත කරනු ලැබූ තනුවලින් හෙම්බත්ව සිටි රසිකයන්ට රබීන්ද්‍ර සංගීතයට නෑකම් කී ආනන්ද සමරකෝන්ගේ ගීත එක්තරා අස්වැසිල්ලක් විය. සුනිල් සාන්ත භාත්ඛණ්ඩයේ ශිල්ප හදාරා එනවිට සංගීත විශාරද උපාධිය දිනා පැමිණි ලයනල් එදිරිසිංහට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සංගීත පරීක්ෂක තනතුර පිරිනමා තිබිණි. 1952 දී පිහිටුවනු ලැබූ රජයේ කල­ායතනයේ සංගීත අංශයේ ප්‍රථම අධිපතිවරයා වන්නේ ද ලයනල් එදිරිසිංහය. මේ හේතුව නිසා සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රචලිත කරන්නේ ද ශිෂ්‍යයන්ට පුහුණු කරන්නේ ද උත්තර භාරතීය හින්දුස්ථානි රාගධාරි සංගීත පද්ධතිය පමණි.

එපමණකුදු නොවේ, 1925 දී නිල වශයෙන් ආරම්භ වූ ලංකා ගුවන් විදුලි සේවයේ ද ලයනල් එදිරිසිංහ සංගීත ආධිපත්‍යය පැතිර ගියේය.

සුනිල් සාන්ත ලංකාවට පැමිණෙන විට, එහි සිටි බොහෝ දෙනෙකු මෙන් සුනිලුන් ද “හින්දුස්ථානි මහන්තත්වයෙන්” පෙළෙමින් සිටි බව හෙතෙම, ‘දේශීය සංගීතය’ කෘතියේ සඳහන් කරයි. සුනිල් පැමිණ තමන්ව ගාන්ධර්ව සභාවේ විභාගයෙන් වයලීන වාදනයෙන් සමත් කළ S.L.B. කපුකොටුව හමුවී සංගීත ගුරු තනතුරක් ඉල්ලා සිටි විට, ඔහු කීවේ සංගීත ගුරු පුරප්පාඩු නැති බවයි. ඔහුට සිදුවූයේ වාද්‍ය විශාරද වී – ගායනයෙන් ප්‍රථම පන්ති ඩිප්ලෝමාවක් තබාගෙන සිංහල පුහුණු ගුරුකම කිරීමටයි. ඒත් ඔහු එය බාර නොගනී. මේ අසාධාරණයෙන් සුනිල් සාන්ත දැඩි කළකිරීමට පත්වෙයි.

සුනිල්ගේ සංගීත චාරිකාවේ හැරවුම් ලක්ෂ්‍යය

සුනිල් සාන්තගේ සංගීත චාරිකාවේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ එවක රක්වානේ මීසම භාරව සිටි වෝසැසි පියතුමන් හමුවීමයි. ඔහු සුනිලුන්ගේ මාමා කෙනෙකි. කුමාරතුංගවාදියෙකි. මෝසස් පෙරේරා, ‍වෝසැසි පියතුමා වූයේ හෙළ හවුලේ ආභාසයෙනි. ඔහු සුනිලුන්ට කුමාරතුංගගේ හෙළ මියැසිය විරිත් වැකිය ඇතුළු පොත්පත් රැසක් දෙයි. හෙළ රණ ගීය සුනිලුන්ගේ සිත පැහැර ගනී. දේශීය සංගීතය පිළිබඳ බීජය ඔහු තුළ රෝපණය වන්නේ හෙළ මිහිරෙනි. රැ. තෙන්නකෝන් – ජයන්ත වීරසේකර හෙළ හවුල්කරුවන් ඇසුර නිසා 1947 කුමාරතුඟු සමරුමේදී ගැයූ සමරු ගීයෙන් ‘අමුතු සංගීතකාරයකු’ බිහිවූ බව ප්‍රකට විය.

මේ ‘අමුතු සංගීතකාරයා’ පිළිබඳ රටට කතා කරන්නට වූයේ 1946 දී ලංකා ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය වූ ‘ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා’ ගීතය ප්‍රචාරය වීමත් සමඟය. එවක හින්දුස්ථානි රාගධාරි සංගීතයේ බළකොටුවක් බවට පත්ව තිබුණු ගුවන් විදුලිය සුනිල් සාන්තගේ ගීතයකින් තැටිගත කිරීම ආරම්භ කිරීම වූකලී ප්‍රාතිහාර්යයකින් සිදුවූවකැයි සිතිය හැකි අහම්බයකි.

වෙනත් නෑසූ විරූ තාලයේ ගීතයක් ඇසූ රසිකයෝ අමන්දානන්දයට පත්වූහ. ඒ හා ඇසුණු අනෙක් ගී වන්නේ කෝකිලයන්ගේ කෝකිල නාදේ – පලබර බක් මාසේ – රැල්ල නැඟෙන්නේ ආදියයි. ගුවන් විදුලිය සුනිලුන්ට සුවහසක් රසිකයන් හමුවට යන්නට යානයක් විය. එතැන් සිට මියැදෙන තුරුම ඔහු ග්‍රැමෆෝන් තැටියකට ගීයක් ගැයුවේ නැත. ගුවන් විදුලියට 25 වසරක් පිරෙද්දී

‘ලෝ පුරා රැව් නඟා – හේළි නාද පා
ලක් රෙදෙව්ව කිත් සදා – සදා දිනේ දිනේ’

1951 දී ගුණපාල සේනාධීරයන් ලියූ ගීතයෙන් ආසිරි ගැන්වූ ගුවන් විදුලිය, 1952 දී සුනිලුන් පලවා හැරියේය. ඔහුගේ ගීත ගුවන් විදුලිය හැඳින්වූයේ Light Songs හෙවත් සරල ගීත ලෙසය. ඉන් හැඟෙන්නේ එතෙක් ප්‍රචලිත වූ රාගධාරී ගීත ‘ගම්භීර’ ගීත බව නොවේද? සුනිල් පවසන්නේ භාත්ඛන්ඩය ගීතයේ ගතානුගතික විධික්‍රමවල තරයේ රැඳී සිටින බවත්, “නවීනවූත් ප්‍රතිභාශීලීවූත් සියල්ල අතහැරීමේ දිවුරුමකට’ සිසුන් බඳවා ගන්නා බවත්ය. එමෙන්ම ලිහිල් ගීත හෙවත් සරල ගීත ඇතුළත් ඉන්දියානු චිත්‍රපට නොබලන ලෙස අවවාද කළ බවත් ඔහු තවදුරටත් පවසයි.

ලංකා ගුවන් විදුලිය කොතරම් දුරට භාත්ඛණ්ඩේ ශික්ෂා පද පිළිපැද්දේ ද යත්, 1952 දී ගුවන් විදුලිය ස්ථාපනය කළ නිත්‍ය වාදක මණ්ඩලයට ගිටාර් වාදකයකු බඳවා ගත්තේ නැත. සුනිල් සාන්ත අදීන පුද්ගලයකු ලෙස මේ ‘කොටුවීම්’ පිළිගත්තේ නැත. භාත්ඛණ්ඩේ අධිපති පණ්ඩිත් රතන්ජංකර් මුල්වරට ආවේ 1949 දී ලැම්ප්සන් අවදියේදීය. 1952 දී දෙවැනිවර ආවේ ප්‍රථම ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. පෙරේරා අවදියේදීය. ඔහු පවසන්නේ ගුවන් විදුලියේ ගීතය පිළිබඳ අවුල්සහගතභාවය හා ප්‍රමිතිය පිළිබඳ ගැටලු සමනය කර ගැනීම පිණිස ශිල්පීන් වර්ගීකරණයට රතන්ජංකර් ගෙන්වූ බවයි. 1949 ආ ගමනේදී මෙරට භාවිත වූ ගීත හෑල්ලුවට ලක් කරමින් ‘ලිහිල් සංගීතය වනාහී (සරල ගීත) වර්තමාන බෙංගාලි වෘත සහ බටහිර සංගීතයේ වර්ණය ඇතිව සාදාගත් එහෙන් මෙහෙන් අහුලා ගත් ඒවා’ යැයි පරිභව කළ ඔහු යළි ගෙන්වීමට සුනිල් සාන්ත විරුද්ධත්වය පළ කළේය. ඔහු රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව හමුවේ කළ දේශනය ද “තාගෝර් සංගීත චින්තනය” පුනරුච්චාරණයක් මිස අලුත් අදහසක් නොවන බවට සුනිල් චෝදනා කළේය. එබඳු විවේචනයක් සුනිලුන් කළේ හින්දුස්ථානි රාගධාරි සංගීතය පිරිසිඳ හැදෑරීමෙන් පසුවය. මුල් අවදියේ ගුවන් විදුලි ළමා උයනින් ඉදිරිපත් කළ සංගීත පාඩම්වලදී ඔහු රාග ගායනා ඉදිරිපත් කළේය.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යයනයට අනුව සුනිලුන් ගැයූ ගීත දෙසියයක් අතරින් රාගධාරි සංගීතය ආශ්‍රිතව නිර්මාණය කර ඇත්තේ ගීත 13ක් පමණි.

මේ හෝපලු වනයේ – සිහි තුරු ඔබ රුව – බාල
බොළඳ බෝසුනි – ඉමිහිරි සුවඳක් – අඩපණ වී

කුස ගින්නේ – ඉදිරියට මැ යමු – හෝ ගා රැල්ල බිඳෙන්නේ – දියගොඩ සැම තැන ආදී වශයෙනි.

“දේශීය සංගීතයක තිබිය යුතු විශේෂ ලක්ෂණය නම්, එය රටේ උගත් – නූගත් – බාල තරුණ මහලු හැම කොටසකම සිත් ඇදගන්නා සුළු ගතියෙන් යුක්ත වීමයි. මෙබඳු ගුණයකින් යුත් දේශීය සංගීතයක් ගොඩනැඟීමට වැඩපිළිවෙළක් ඇරැඹීමි.”

දේශීය සංගීතයක් ගොඩනැඟීම

සුනිලුන් ‘දේශීය සංගීතය’ කෘතියේ එසේ දක්වේ. “ලෝකයේ ඇත්තේ එකම සංගීත හෝඩියක් වුවත් බසෙහි හෝඩිය රටින් රටට හාත්පසින්ම නෙස් වන බැවින්, රටක සංගීතය හඳුනා ගැනීමේ පහසුම මඟ ඊට ආරෝපිත බස බව අවධාරණය කරන සුනිල් සාන්ත, රබීන්ද්‍ර සංගීතයේ වංග බස ද – කර්ණාටක සංගීතයේ දෙමළ බස ද – හින්දුස්ථානි සංගීතයේ හින්දි බස ද අනන්‍යතාව පළකරන්නාක් මෙන්, හෙළ බස අපේ සංගීතයෙහි අනන්‍යතාව විය යුතු බවයි සුනිලුන් තරයේ කියා සිටියේ.

හෙළ බසින් නැඟෙන ශබ්ද ධ්වනිය දේශානුගත සංගීතයේ ධ්වනිය බවට පත්කිරීමට වෑයම් කළ ඔහු රැ. තොන්නකෝන් – ගුණපාල සේනාධීර – ජයන්ත වීරසේකර – හියුබත් දිසානායක – අරීසෙන් අහුබුදු ආදී රචකයන් හෙළ බසින් ලියූ ගීතම තෝරා ගත්තේය.

ඈත ගම්මැද්දේ ගැමියාත් – උගතාත් නූගතාත්, කොළඹ හතේ සුපිරි තලයේ පියානෝ සංගීතය විඳින්නාත් සුනිල් ගීය රස වින්ඳාහ. වෙනෙතක් තබා ආණ්ඩුකාර සෝල්බරි සාමිගේ දියණි රැම්සේ බොතම් ද ඕලු පිපීලා ගීතය ගායනා කළාය. ලංකා කාර්මික විද්‍යාලයීය දෙපාර්තමේන්තුවේ කලායතනයේ 1951 – 1952 ප්‍රවේශ විභාගයේදී සුනිල් සාන්තගේ ‘මිහිකත නළවාලා’ ගීතයේ පද පෙළ කියවා කැමැති කොටසක් සිතුවමට නඟන්නැයි සඳහන් විය.

සුනිල් ගීය කොතරම් ජනප්‍රසාදය දිනා ගත්තේ ද යත් ලංකා පාබල හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම 1951 දී හාපුරා කියා සිංහල ගීත කිහිපයක අනුවාදන ඉදිරිපත් කළේය. ‘ඕලු පිපීලා – හඳපානේ සහ සුවඳ රෝස මල් නෙළා’ එවුන් තෝරාගෙන තිබිණි.

සුනිල් සාන්ත හුදෙක් පද මාලාවකට, තනුවක් යොදා ගායනා කරන්නෙකු පමණක් නොවේ. ඔහු තාගෝර් ගීයත් රාගධාරී සංගීතයත් – බටහිර සංගීත ප්‍රකාරත් දැන මෙරට භාෂා සාහිත්‍යය හදාරා නිවැරැදි – නිරාකූල සංගීත දැක්මක් තිබූ සංගීත ප්‍රාඥයෙක් විය.

පෝදා දහම් සිලිලේ – අදයි වෙසක් පෝදා – බුදුන් වඳිම් ආදී ගීතවලටත්, ජේසුතුමන් අප සුරැකි පියේ – ජේසු උපන්දා ගීතවලටත්, රේඛාව හා සන්දේශය වැනි සිනමාවට උචිත ගිත නිර්මාණයේදීත් පෙන්වූ උචිතානුචිත විටෙක බුද්ධිය වටහා ගැනීම මැනවි.

සුනිල් සාන්තගේ සිංහල චිත්‍රපට ගීත තනු

සුනිල් සාන්ත සිංහල චිත්‍රපට දෙකකට ගීත තනු නිර්මාණය කළේය. සිංහල සිනමාවේ පරිහානි ලක්ෂණ නිසාත් – චිත්‍රපට සංගීතයේ අධවභාවය නිසාත්, ඔහු මහත් සේ කලකිරී සිටියේය. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සහ මර්සලීන් ජයකොඩි පියතුමාගේ ඇවිටිල්ල නිසාත් රේඛාව – නව ආරක සිනමාත්මක කෘතියක් බව ඒත්තු ගැන්වීම නිසාත් ඔහු කැමැත්ත පළ කළේය.

(1) රේඛාව – 1956

(2) සන්දේශය – 1960

මර්සීලීනු ජයකොඩි පියතුමන් ‘රේඛාව’ට ලියූ ගීතයකට ඔහු අපූරු තනු නිර්මාණය කළේය. එනදු ගීයක්වත් ගායනා කළේ නැත. සංගීත සංයෝජනයට බී.එස්. පෙරේරා ගත යුතු යැයි කොන්දේසියක් දැමුවේය.

‘සන්දේශයට’ අරීසෙන් අහුබුදු ලියූ ගීත හතකට අපූරු කර්ණ රසායන තනු නිර්මාණය කළේය. සුනිල් ගී ගැයුවේ නැත. ස්වකීය තනුවලට ආර්. මුත්තුසාමි සැපයූ සංගීතය ගැන ඔහු පැහැදුනේ නැත.

තවත් චිත්‍රපට දෙකක් සඳහා ගීත දෙකක් ඔහු ගායනා කළේය. 1964 දී තිරගත වූ (දෙබස් කැවූ) අම්බපාලි චිත්‍රපටයේ තේමා ගීතය ඔහු ගායනා කළේ සංගීත විශාරද බී. වික්ටර් වික්ටර් පෙරේරා යෙදූ තනුවකටය. පදමාලාව හෙළ හවුලේ කිවි රැ. තෙන්නකෝනුන්ය. ‘ත්‍රෛලෝක්‍යනාථ නේත්‍ර මෝහ අන්ධකාර’ ඒ ගීතයයි.

ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ ‘රෝමියෝ ජුලියට් කතාව’ (1969) චිත්‍රපයට ඇතුළත් වූ My Dreams are Roses නම් ගීතය රචනා කළේ මර්සලින් ජයකොඩි පියතුමන්ය. එය සිංහල චිත්‍රපටයක ඇතුළත්වූ එකම ඉංග්‍රීසි ගීතයයි. සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතය නිර්මාණය කළේය. ඒ සුරම්‍ය ගීතය සුනිල් සාන්තගේ මධුර ස්වරයෙන් රසිකයන් පිනවීය.

1947 සිටම සුනිල් සාන්ත සිය ගීත පෙරදිග ප්‍රස්තාර සහ පදමාලා සංග්‍රහ බිහි කළේය. සම්පූර්ණ කාති ගණන 11කි. Song Folio (1947) සහ Song Lanka (1950) ඉංගිරිසි පමණක් දන්නවුන් උදෙසා අපරදිග ස්වර ප්‍රස්තාර අඩංගු කෘති දෙකකි.

සිංහල ගීතය බැහැරින් සටහන් සපයා පෝෂණය කිරීමෙහිලා ඉතා දියුණු තලයක පවතින බටහිර සංගීතයේ vocal Har mony ප්‍රසංවාදී ගායන Chords සංයාත ඔහු නොබියව භාවිත කළේය. ළිං මැඬි ආකල්පයෙන් මිදී ගිටාර් – පියානෝ – සෙලෝ ආදී අපරදිග භාණ්ඩ භාවිත කළේය. පැට්‍රික් දෙනිපිටිය වැනි සංගීතඥයන් ද ගී තැටිගත කිරීම්වලට හවුල් කර ගත්තේය.

මේ සියල්ල රතනජංකර් – ලයනල් එදිරිසිංහ දැක්මට එරෙහි තීන්දුය.

සුනිලුන් උපන්නේ 1916 අප්‍රේල් 14 වැනිදා කොවුල් හඬ මැද්දේය. උපන්නේ හිතුවක්කාර නැකතටදැයි සඳහනක් නැත. මිය ගියේ 1981 අප්‍රේල් 11 වැනිදා කොවුල් හඬ මැද්දේය. සුනිලුන්ට අනුව නම් උපන්දා කොවුලාගේ නාදයේ තිබුණේ ප්‍රබෝදයයි. මියගිය දා කොවුලාගේ නාදයේ තිබුණේ වැලපුම් ගීයක වේදනාවයි.

දේශානුගත සංගීතයක් – ජාතික සංගීතයත් නිර්මාණය කිරීමෙහිලා දැරූ පරිශ්‍රමය නිසා ඔහුගේ ජීවන ගීතයම වැලපුම් ගීයක් විය. ඒ සියල්ල මැද තම දරු සිවුදෙන පසන් – ලංකා – ජගත් හා දියණි කලා දුක සේ ඇතිදැඩි කර යහපත් පුරවැසියන් කළේය.

සුනිල් සාන්ත සංගීතඥානයෙන් අගතැන් පත්ය. පදෝච්චාරණයෙන් අගතැන් පත්ය. ස්වරෝච්චාරණයෙන් අගතැන් පත්ය. රූපශ්‍රීයෙන් අගතැන් පත්ය. ඍජු ප්‍රතිපත්ති ගරුක භාවයෙන් අගතැන් පත්ය. අභීත භාවයෙන් අගතැන් පත්ය.

ඔහු පොප් සංගීතයේ ආරම්භකයාය. අපරදිග සංගීතයෙන් අපේ සංගීතය පෝෂණය කළ ආරම්භකයා ය. චිරාගත රාගධාරී සංගීතය කොටුවෙන් නික්මීමේ ආරම්භකයාය. සිංහල සංගීතය නූතනත්වය දිසාවට හැරවූ ආරම්භකයාය.

ආචාර්ය තිස්ස අබේසේකරට අනුව, ‘සුනිල් සාන්තයන්ගේ සංගීතයෙහි ඇති දේශීය ස්වරූපය සිංහල භාෂාවේ නෛසර්ගික හෙවත් ආවේණික ගුණය නිසා ඇතිවූවකි.

අපට අනන්‍ය වූ දේශීය සංගීතයක් වෙත දේශානුගත සංගීතයක් නිර්මාණය කිරීමෙහිලා පර්යේෂණ අවදියේ දේවාර් සූර්යසේන – ආනන්ද සමරකෝන් – අමරදේව සහ සුනිල් සාන්ත කළ පර්යේෂණ මහත්සේ අර්ථ සම්පන්න විය. සංගීත විචාරක නදීක ගුරුගේ පවසන්නේ ඒ සංගීතඥයන් අතුරින් වඩාත් විද්‍යාත්මක පදනමකින් පර්යේෂණ කළේ සුනිල් සාන්ත බවයි.

සුනිල් සාන්ත පවුලේ අය සමඟ

සුනිල් සාන්ත පවුලේ අය සමඟ

තිලකරත්න කුරුවිට බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division