(සෑම වසරකම ඔක්තෝම්බර් මස 15 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර සුදුසැරයටි දිනය නිමිත්තෙන් තබන මෙම සටහන ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ මැතිවරණ රාජකාරියක නියැළෙන එකම දෘශ්‍යාබාධිත නිලධාරියා සමඟ කළ සුහදසාකච්ඡාවක් ඇසුරින් සැකසී ඇත.) ජාත්‍යන්තර සුදු සැරයටි දිනය පිළිබඳ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නේ දෘශ්‍යාබාධිත ශ්‍රී ලාංකිකයකු වන රියෙන්සි අලගියවන්න මහතා විසිනි. අමෙරිකාවේ පැවති දෘශ්‍යාබාධිත සම්මේලනයකට එක් වූ රියෙන්සි අලගියවන්න මහතා විසින් ගෙනා යෝජනාවකට අනුව එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූ රිචර්ඩ් නික්සන් මහතා විසින් එම යෝජනාව ස්ථීර කරමින් ඔක්තෝම්බර් මස 15 වැනිදා ජාත්‍යන්තර සුදුසැරයටි දිනය ලෙස නම් කර ඇත.
මම පාසලේ දෙවැනි තුන්වැනි ශ්‍රේණිවල ඉගෙන ගන්න කාලේ පටන් මගේ ලෝකේ මම දක්ෂ නිවේදකයෙක්.ඒ කාලේ එෆ් එම් නාළිකා නැහැනේ. ඒත් දෘශ්‍යාබාධිත පුංචි දරුවෙක් වූ මගේ ලෝකේ එෆ් එම් ගුවන් විදුලි නාළිකා තිබුණා.
හැබැයි ඒවායේ හිටපු එකම නිවේදකයා මම. මේ නිවේදකයාගේ වැඩසටහන් අහපු එකම ශ්රාවකයා මගේ තාත්තා.
දෑස් නොපෙනෙන පවුලේ එකම පුතා බඩපිස්සා ගැන තාත්තාගේ හිතේ බරක් තිබුණේ නෑ කියලා මට අදටත් හිතෙනවා. මොකද තාත්තා මගේ දක්ෂතා අවබෝධ කර ගෙන හිටියා කියලයි මට හිතෙන්නේ.
මගේ නිවේදන අහන් ඉඳලා අපේ තාත්තා අනාවැකි කිව්වා පුතා අනාගතයේ දවසක හොඳ නිවේදකයෙක් වෙනවා කියලා.අද තාත්තා අපි අතර නැතත් මම තාත්තා ගේ අනාවැකිය සැබෑවක් කරලා කොහොම හරි නිවේදකයෙක් වුණා…”
උපන්දා සිට පියවි ඇසින් නොදුටු ලෝකය සහජ කුසලතාවයෙන් සහ බුද්ධියෙන් විජයග්‍රහණය කළ දෘශ්‍යාබාධිත ගුරුවරයකු වූ මහේෂ් රත්නසිරි මහතා තමන් මෙතෙක් පැමිණි දුෂ්කර ගමන් මඟ පිළිබඳ අතීතාවර්ජනයක නියැළෙමින් එසේ පැවසීය.
පසුගියදා පැවති ජනාධිපතිවරණයේ දී වේයන්ගොඩ පත්තල ගෙදර සියනෑ විද්‍යා අධ්‍යාපන පීඨයේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරියට අදාළ නිවේදන නිකුත් කිරීමේ පාලක මැදිරියේ සිට නිවේදන කටයුතු කළ මහේෂ් රත්නසිරි මහතා ය. ඔහු 19 වසරක් කළගෙඩිහේන ධර්මාශෝක මධ්‍ය මහ විදුහලේ මාධ්‍ය අංශයේ සේවයේ නිරතව සිටින උපාධිධාරියෙකි.
” මම ඉගෙන ගත්තේ සාමාන්‍ය ළමයි එක්ක. සාමාන්‍යකරණය කියන අධ්‍යාපන ක්‍රමය යටතේ.
පුංචිම කාලේ අම්මා එක්ක ඉස්කෝලෙ ගියේ. ඊට පස්සේ ගෑනු ළමයින්ගේ අතේ එල්ලිලා තමයි ඉස්කෝලේ ගියේ.
මට යාළුවො ගොඩාක් හිටියා. ඒ හැමෝම මට උදව් කළා. ඉස්කෝලෙ යන කාලේ පාසල් බස් එකේ මට සීට් එකක් වෙන් වෙලාම තිබුණා.
මූලික අධ්‍යාපනය ලැබුවේ කළගෙඩිහේන ප්‍රාථමික විදුහලින්. ඊට පස්සේ ද්විතීයික අධ්‍යාපනය යක්කල අනුර මහ විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයෙන්. මම කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ උපාධිධාරියෙක්. මගේ පවුලේ අක්කලා දෙන්නයි මමයි. අපේ තාත්තා මම විශ්වවිද්‍යාලයේ ඉගන ගන්න කාලේ නැති වුණා. මම උපතින්ම දෘශ්‍යාබාධිත වුණේ මගේ මවුපියන් ලේ ඥාතීන් වීම හේතුවෙන් කියලයි වෛද්‍යවරු කියන්නේ.
කොහොම හරි මම ගුරු වෘත්තියට එක්වෙලා වසර 19ක් එකම පාසලේ සේවය කරනවා.මෑතකදී මට සම්මානයක් ලැබුණා. ඒ තමයි අඩුවෙන්ම නිවාඩු ගත් ගුරුවරයාට හිමි සම්මානය. මම 20වසරක් තුළ දවස් 50ක් වත් නිවාඩු අරන් නෑ.
මගේ පාසල මට ගෙදර වගේ සමීපයි. විදුහල්පති තුමා මගේ පහසුව ගැන හිතලා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී තියෙනවා.
මට මැතිවරණ නිවේදන අංශයට එක් වෙන්න ලැබුණේ අහඹුවක් විදියට. 2020 මහ මැතිවරණයේදී ගුරුවරුන්ට ගණන් කිරිමේ නිලධාරීන් ලෙස වාර්තා කිරීමට ලැබෙන අයදුම් පත මටත් ලැබුණා. එතකොට ගම්පහ මහ දිසාපති වශයෙන් හිටියේ සුනිල් ජයලත් මහත්තයා. මං එතුමා මුණගැහෙන්න ගියා. ජයලත් සර් කිව්වා අනේ සමාවෙන්න! මේක වැරදීමකින් වූ දෙයක් කියලා. මං කිව්වා මම ගණන් පාස් මට මේක කරන්න පුළුවන් කියලා.පස්සේ එතුමා මගේ සහතික පත් පරීක්ෂා කර ඔබ දක්ෂ නිවේදකයෙක් නේ. කැමතිද අපේ මැතිවරණ නිවේදන අංශයට එකතුවෙන්න කියලා මගෙන් ඇහුවා. මගේ හීනෙත් ඒකනේ මම එක්වරම හා කිව්වා.
ඒක තමයි මගේ ජීවිතයේ මෙතෙක් ආ ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. තවත් බලාපොරොත්තු නෑ මට ඉෂ්ඨ වෙන්න.
ඔබ මගෙන් ආදරය ප්‍රේමය පිළිබඳ මගේ අදහස ඇහුවනේ. මට පාසල් ප්‍රේමයක් තිබුණා. ඊට පස්සෙ විශ්වවිද්‍යාලයේදී. කොහොම වුණත් ඒවා ඒ තරම් දුරදිග ගියේ නැහැ. තනිකඩ ජීවිතය හොඳයි කියලා මම තීරණය කරපු එක ගැන අද මම සතුටු වෙනවා. මම මගේ ලෝකේ වීරයා වෙලා ඉවරයි. මට දිනා ගන්න දෙයක් ඉතිරි වෙලා නෑ. නමුත් මට මගේ ප්‍රජාව වෙනුවෙන් බරපතළ වගකීමක් තියෙනවා.
මම නියෝජනය කරන්නේ දෘශ්‍යාබාධිත ප්‍රජාව. අපේ රටේ ජීවත්වෙන හැම දෘශ්යාබාධිතයකුම කුමක් හෝ ස්වයං කර්මාන්තයකම පුහුණුවක් ලැබූ දක්ෂයෙක්. විශේෂයෙන් රෙදි වියන එක. පුටු වියන එක පහන්තිර ඇඹරීම, හඳුන්කූරු නිෂ්පාදනය… මේ වගේ ගෘහාශ්‍රිත කර්මාන්තවලට අතිදක්ෂ පිරිසක් අපිට ඉන්නවා.
ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍ය ඔබේ අනුකම්පාව නෙවෙයි. සහයෝගය.
ඔවුන්ගේ දක්ෂතා මත කාටවත් අත නොපා ස්වශක්තියෙන් නැඟී සිටීමට හැකි මඟ පෙන්වාදීම දෑස් පෙනෙන මේ රටේ බලධාරීන්ගේ වගකීමක්. මොකද ඔවුනුත් මේ රටේ පුරවැසියන්.
දෑස් නොපෙනෙන පුද්ගලයකු සුදු සැරයටියකින් මඟ අසමින් ඔබ ඉදිරියට ආවොත් ඔබ ඔහු කෙරෙහි උපන් අනුකම්පාවෙන් සිල්ලර කාසි ටිකක් එයාගෙ ටින් එකට දානවා. ඔබ දකින්නේ ඔහු දෘශ්‍යාබාධිත පුද්ගලයෙක්. අනේ පව්! කියන හැඟීමයි.
එතැනින් ඒ කතාව ඉවර වෙනවද. නෑනේ. හෙටත් ඔහු ඔබ ඉදිරියට එනවා. මේක නවතින්න කළ යුතු ඉතාම සුළු දෙයයි. දෘශ්‍යාබාධිත ප්‍රජාව යම් කර්මාන්තයක් උගත් අය නිසා ඔවුන්ට කාටවත් අතනොපා ජීවත් වීමට හැකි මාර්ගය සකස් කර දීමයි.
ඔවුන්ගේ සහජ හැකියාවෙන් කාටවත් අත නොපා ජීවත්විමට හැකි ජීවනෝපාය මාර්ගයක් ඔවුන්ට සලසා දෙන්න කියන ඉල්ලීම මම මෑතදී පත් වූ ජනාධිපතිවරයාගෙන් සහ නව රජයෙන් කාරුණිකව ඉල්ලනවා…” යැයි ඉල්ලීමක්ද කළේය.
“ඒ වගේම මා වෙනුවෙන් නොව මගේ පාසලේ සන්නිවේදන අංශයේ අධ්‍යාපනය ලබන දරුවන් ගේ ප්‍රයෝජනය සඳහා ලැප්ටොප් පරිඝණකයක් පරිත්‍යාග කළ හැකි නම් එය විශාල උපකාරයක්…” යැයි තම ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්ද ඉල්ලා සිටියේය. දෑස් පෙනෙන මිනිසා තම දෑස් වසා ගන්නේ නින්දේදි පමණි. දෑස් නොපෙනෙන මිනිසා මිය යන තෙක්ම දෑස් වසා ගෙන අදුර සමග ජීවත්වන අතර ඔවුන් ලෝකයේ ආලෝකය නුදුටුව ද මනසින් බුද්ධියෙන් ලෝකය දකිමින් අධ්‍යාපනය සහ දෑතේ විවිධ කර්මාන්ත උගනිමින් ජීවිතය ජය ගනිති.
සුදු සැරයටියක ආධාරයෙන් ධාවනය වෙමින් පවතින දුම්රිය මැදිරි තුළ ප්‍රවේශමෙන් ගමන් කරමින් හඳුන්කූරු පහන් තිර අලෙවි කිරීමේ නිරත වන දෘශ්‍යාබාධිතයන් අපට මුණ ගැසී තිබේ. බොහෝ විට ඔවුහූ කිසිවකුට බරක් නොවී තම ජීවනෝපාය සරිකර ගන්නේ එලෙසිනි. නමුත් වර්තමානයේ පවතින ජීවන මිළ ඉහළ යාම අනුව දෘශ්‍යාබාධිත ප්‍රජාවට ජීවත්වීම සදහා විශාල සටනක් කිරීමට සිදුව ඇති බව මෙහිලා සටහන් කරමි.
දෑස් පෙනෙන පාලකයන් විසින් කළ යුතු වන්නේ වසරකට වරක් සුදු සැරයටි දිනය සැමරීම නොව, දෘශ්‍යාබාධිත ප්‍රජාවට ස්ව ශක්තියෙන් නැඟී සිටීමට හැකි මඟ පෙන්වා දීමය.
(ලංකාවේ දෘශ්‍යාබාධිත ජන සංඛ්‍යාව 548,000ක් පමණ වන බව දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා පෙන්වා දී ඇත.)
කැලණිය කේ. එස්. හැන්නදි