සෝවියට් පාලනය යටතේ මොස්කව් හි ප්‍රගති ප්‍රකාශක මන්දිරය නම් ප්‍රකාශක ආයතනයත් තිබිණි. සෝවියට් දේශයේ එකල පළ වන සහ අතීත රුසියාවේ පළවූ විශිෂ්ට සාහිත්‍ය කෘති ද සමඟ කොමියුනිස්ට් වාදයේ න්‍යාය සම්බන්ධ කෘති ලොව විවිධ භාෂාවලට පරිවර්තනය කොට මුද්‍රණය කිරීම මේ ආයතනයේ කර්තව්‍යය විය. එකල සිංහල පමණක් දන්නා පාඨකයන්ට රුසියානු සම්භාව්‍ය සාහිත්‍යය බහුල ලෙස පරිශීලනය කරන්නට අවස්ථාව ලැබුණේ එය විසින් එළිදක්වන ලද සිංහල පරිවර්තනවලිනි.
ප්‍රගති ප්‍රකාශක මන්දිරය මේ සඳහා සෝවියට් දේශයට ගොස් සිටි ලාංකිකයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගත්තේ ය. ඔවුන් අතරින් සිංහල පාඨකයන්ගේ හදවත් තුළ නොමියෙන මතකයක් ශේෂ කළ පරිවර්තකයා දැදිගම වී. රුද්‍රිගු මහතා ය.
රුද්‍රිගු මහතා විසින් සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවලට අමතරව පරිවර්තනය කළ විශේෂ කෘති අතර ‘කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රකාශනය’ ද වෙයි. ‘මාක්ස් හා එංගල්ස් ගැන ස්මෘති සටහන්’ නමැති මේ කෘතියේ අන්තර්ගත වන්නේ කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් නමැති අවියෝජනීය මිත්‍ර දාර්ශනිකයන් දෙදෙනා ගැන සමරු සටහන් කිහිපයකි. මේවා වී. අයි. ලෙනින් ද ඇතුළු වියතුන් විසින් වරින්වර විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරන ලද ඒවා ය. පොත ඇරඹෙන්නේ කාල් මාක්ස්ගේ අභාවය නිමිත්තෙන් ෆ්‍රෙඩ්රික් එංගල්ස් පැවැත් වූ කතාවෙනි.
කාල් මාක්ස් යනු සමාජවාදී ගුරුකුලයේ පාඨ ග්‍රන්ථය වන ශ්‍රමයේ උපයෝගිතාව ගැන විග්‍රහයක් වන ‘දාස් කැපිටාල්’ (ප්‍රාග්ධනය) නමැති ග්‍රන්ථයේ කතුවරයා ය. ෆ්‍රෙඩ්රික් එංගල්ස් යනු ඔහුගේ සහාය පර්යේෂකයා සහ සංස්කාරකවරයා ය.
18වැනි සියවසේ මැදභාගයේ සිට 19වැනි සියවසේ තුන්වන කාර්තුව පමණ දක්වා වූ කාල පරාසය තුළ බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය නම් සංසිද්ධියක් ඇතිවිය. නොයෙකුත් යන්ත්‍ර, මෙවලම් සහ බලශක්තිය සොයා ගැනීම මේ විප්ලවයට පාදක විය. ඒවා අත්පත් කර ගත හැකි වූයේ ධනය හිමි සිමිත කණ්ඩායමකට පමණි. ප්‍රාග්ධනය (Capital) නමැති සංකල්පය ඒ අනුව බිහිවිය. මේ අනුව සියලුම කර්මාන්තවල හිමිකාරීත්වය ප්‍රාග්ධන ආයෝජකයින් (Capitalist)ට උරුම විය. ඔවුන් යටතේ වැඩ කළ පුද්ගලයෝ ශ්‍රමිකයෝ වූහ. නව ක්‍රමය යටතේ නිෂ්පාදන කොටස්වලට බෙදා නිපදවන ලද අතර ඒ ඒ කොටස් නිපදවන ලද්දේ වෙනස් ශ්‍රමික කණ්ඩායම් විසිනි. මෙය ශ්‍රම විභජනය නම්, කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස සමාජය පන්තිවලට බෙදුණේ ය. ප්‍රාග්ධනයේ හිමිකාර පන්තිය, ප්‍රාග්ධනයට සිය ශ්‍රමය විකුණන පන්තිය සහ මේ දෙකටම අයත් නැති පන්තිය වශයෙනි. මාක්ස් සහ එංගල්ස් මේ සම්බන්ධයෙන් පෘථුල ලෙස අධ්‍යයනය කළ අතර ‘දාස් කැපිටල්’ නමැති පර්යේෂණාත්මක නිබන්ධය එළි දක්වන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
පූර්වගාමී ආර්ථිකඥයින් වූ ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාර්ඩෝ සහ තෝමස් මැල්තුස් මතු නොව සමකාලීනයකු වූ ජෝන් ස්ටුවර්ට් මිල් යනාදීන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ ආර්ථික න්‍යාය පසෙකලා මාක්ස් යෝජනා කළේ දේපළ අයිතිය සැමට සමානව බෙදි යා යුතු බවයි. එසේම ඔහු අතිරික්ත වටිනාකම් පිළිබඳව නව සිද්ධාන්තයක් ද ඉදිරිපත් කළේ ය. මේ නිසා ඔහුට සතුරෝ බොහෝ වූහ. මාක්ස්ගේ අවමංගල්‍යයේ දී කතාවක් පවත්වන එංගල්ස්ගේ මේ සඳහන ඒ ගැන විවරණයක් ඉදිරිපත් කරයි. ඒ මෙසේ ය.:
‘මාක්ස් අන් හැමටම පෙර විප්ලවවාදියෙක් විය. ධනපති සමාජය හා එය විසින් ගොඩනගන ලද රාජ්‍ය සංස්ථා පෙරළා දැමීම ද, පළමුවරට නිර්ධනීන්ගේ තත්ත්වය හා අවශ්‍යතා ගැන ඔවුනට නියම හැඟීමක් ලබා දී, ඔවුන්ගේ විමුක්තිය පිළිබඳ තාත්වික හැඟීමක් ඉදිරිපත් කොට, ඔවුන්ගේ විමුක්ති සටනට සහභාගි වීම ද තම ජීවිතයේ නියම පරමාර්ථය බව මාක්ස් පෙන්වා දුන්නේ ය. අරගලය ඔහුගේ සහජ ගුණය විය. ඔහු බොහෝ දෙනකු වෙනුවෙන් සටන් කළේ ය. ඔහු කොතරම් වේගවත් ලෙසත්, දැඩි ලෙසත්, සාර්ථක ලෙසත් සටන් කළේ ද යත්, එවැන්නක් කළ හැකි වූයේ ටික දෙනකුට පමණි. 1842 දී ‘රයින්’ පුවත්පත මඟින් ද, 1844 පැරිස්හි ‘ඉදිරිමඟ’ මඟින් ද, 1847 ‘ජර්මන් බ‍්‍රසල්ස්’ පුවත්පත මඟින් ද, 1848-49 අවුරුදුවල ‘නව රයින්’ පුවත්පත මඟින් ද, 1852 සිට 1861 දක්වා ‘නිව්යෝර්ක් ට්‍රිබියුන්’ මඟින් ද සටන් කළ හෙතෙම පැරීසිය, බ‍්‍රසල්ස් හා ලන්ඩන් සංවිධානවල සටන් ගැන සටන්කාමී පත්‍රිකා හා පොත් පිංචි රාශියක් ද ලිවී ය. මේවායේ ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී කම්කරුවන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය නමැති උසස් සංවිධානය බිහිවිය. අන් කිසිවක් නිර්මාණය නොකළ ද මෙය පමණක් නිර්මාණය කිරීම නිසා ඕනෑම කෙනෙකුට සැබැවින්ම ආඩම්බර විය හැකි ය.
ඔහු අන් හැමටම වඩා වෛරයට පාත්‍ර වූයේත්, ඔහුට එදිරිව ද්වේෂසහගත ප්‍රචාර පතුරුවන ලද්දේත් මේ හේතු නිසා ය. රාජාණ්ඩු හා සමූහාණ්ඩු විසින් ඔහු නෙරැපිණි. කොනසර්වැටිව්වාදීන් සහ සීමාන්තික ප්‍රජාතන්ත්‍රවාදීන් වැනි ධනපති දේශපාලනඥයෝ තොරතෝංචියක් නැතිව ඔහුට එරෙහිව බොරු සහ ද්වේෂසහගත ප්‍රචාර දියත් කළහ. අත්‍යවශ්‍යම විටෙක දී ඒවාට පිළිතුරු දීම හැර ඒවා ගණනකටවත් නොගෙන මකුළුවකු මෙන් වැඩ කරන්නට ඔහු සමත් විය. සයිබීරියාවේ සිට කැලිපෝනියාව දක්වා රටවල ද, යුරෝපයේ සහ අමෙරිකාවේ ද දස ලක්‍ෂ සංඛ්‍යාත විප්ලවවාදීන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ මාක්ස් මියගියේ ඔවුන් සැම දුක් සයුරේ ගිල්වමින් බව මට ඉඳුරාම කිව හැකිිය…’
ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ අභාවයෙන් පසු වී.අයි.ලෙනින් විසින් ලියන ලද සටහනකින් කොටසකි මේ.
‘ෆ්‍රෙඩ්රික් එංගල්ස් 1895 අගෝස්තු 05වැනිදා ලන්ඩනයේ දි මියගියේ ය. එංගල්ස් වූ කලී ඔහුගේ මිතුරා වූ කාල් මාක්ස්ගෙන් මෙපිට පහල වූ සමස්ත ශිෂ්ට ලෝකයේම, නූතන නිර්ධන පන්තියේ අනගිතම වියතා සහ ගුරුවරයා ය. දෛවය විසින් මාක්ස් හා එංගල්ස් මුණගස්වනු ලැබීමෙන් පසු මේ මිතුරන් දෙදෙනාගෙන් එකෙකුගේ ප්‍රයත්නය දෙදෙනාගේ ම පොදු ප්‍රයත්නය විය…’
මේ වියතුන් දෙදෙනා ගැන විශේෂයෙන්ම කාල් මාක්ස් ගැන ප්‍රබන්ධ කරන ලද අපවාද බොහෝ ය. ඒ නිසා ඔවුන් ගැන අවබෝධයක් ලබා දීම සමාජයීය අවශ්‍යතාවක් ලෙස සලකා ප්‍රගති ප්‍රකාශක මන්දිරය විසින් තෝරා ගනු ලැබ දැදිගම වී. රුද්‍රිගු ලවා සිංහලට පරිවර්තනය කරවන ලද මේ රචනා එකතුව 1976 වසරේ සෝවියට් දේශයේ දී පළමුවරට මුද්‍රණයෙන් නිකුත් කරන ලදී. 2004 වසරේ දී ශ්‍රී ලංකාවේ කුරුලු පොත් විසින් පුනර් මුද්‍රණයක් එළිදක්වනු ලැබ තිබේ. ඉහත උධෘත ගන්නා ලද්දේ එයිනි.