අප කාගෙත් නිවෙස්වල ආදරයට ඇති කරන සතුන් සිටිනවා විය හැක. සුනඛයෙක්, පුසෙක්, එහෙමත් නැත්නම් විවිධ පක්ෂීන්ට ඒ තැන වෙන්වී ඇත. ඇතැම් විට සුරතල් මසුන්, හාවන් වැනි විවිධාකාර සතුන් සිටිය හැක. මේ සැම අතරේ ගම්බඳ නිවෙස්වල කුකුළන්, එළුවන් මෙන්ම ගවයන් ද ඇති කරනු ලබයි. මේ සත්ත්වයන්ගෙන් ආර්ථික ලාභ ලැබීම නිසාම එය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නන් ද වෙයි. ඒ හැරුණ විට කැලෑබදව අලි ඇත්තු, වළසුන්, සිංහයන් ආදි විවිධ සත්ත්වයින් මෙන්ම උරගයන් ද සිටී. විවිධ කුලකයන්ට අයත් මේ හැම සත්ත්වයෙක්ටම ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. නමුදු විවිධ අවස්ථාවල ඒ අයිතිය ඇතැම් සත්ත්වයන්ට අහිමීව යෑම අතීශය ඛේදජනකය.
නිවසක ආදරයට ඇති කරනු ලබන සතුන්ට ආදරය, කරුණාව හිමි වුවද ඇතැම් විට පාරේ සිටින සුනඛයන් ඕනෑ තරම් කුසගින්නේ සිටින අවස්ථා අප දැක ඇත. සතුන්ට ද ජීවත් වීමේ අයිතිය ඇතැත් ඇතැමුන් ක්‍රියා කරන්නේ එය නොදන්නා ආකාරයෙනි.
ලෝක සත්ත්ව දින සැමැරුම යෙදී තිබුණේ ඉකුත් හතරවැනිදාටය. ක්‍රිස්තු පුර්ව තුන්වැනි සියවසේදී මිහිදු මාහිමියන්ගේ ලංකාගමනයත් සමඟින් බුදුදහම අපි රට තුළ ද ව්‍යාප්ත වී සත්ත්ව අවිහිංසාව පිළිබඳ හඳුන්වා දෙන ලදී.
බුදුන් දවස කුඩා දරුවන් පිරිසක් විසින් නිදැල්ලේ ගිය ගැරඬියකුට පොලු මුගුරුවලින් හිරිහැර කරනු දැක බුදුන් වහන්සේ එම දරුවන්ට සත්ත්වයන්ට හිංසා නොකරන ලෙස කාරුණික අවවාද කළහ. එමෙන්ම අතීතයේ සිරිලක සිටි බුද්ධදාස රජු නාගයකුට ප්‍රතිකාර කළේ ඌ විෂඝෝර සතෙකු වුවද ඌට පිහිට වීමේ අරමුණනෙන්ය.
අද වන විට ලෝකය පුරාම ජනතාව සත්ත්ව සුබසාධනය පිළිබඳ කතා කරන්නට පටන් ගෙන ඇත. නමුදු අපේ රටේ තවමත් ඉඳහිට තැනක සත්ත්වයන්ට කරන හිංසාවන් පිළිබඳ අසන්නට දකින්නට ලැබේ.
අපේ පරිසරය තුළ වෙසෙන සතුන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දිය යුතුය. මිනිසුන්ට පමණක් නොව මේ මහ පොළොවේ උපන් පණ ඇති සියළු සතුන්ට මහ පොළොව මත ජීවත් වීමේ අයිතිය ඇත.
අපේ රටේ ප්‍රථම සත්ත්ව හිංසා ස්මාරකය ගල්ගමුවේ ඉදිකර ඇත. ගෘහස්ථ සහ වන සතුනට සිදුවන සාහසික අපරාධ සොයා බලා ඔවුන්ගේ හිමිකම් හා සුබ සාධන කටයුතු කෙරෙහි අවධානය යොමුකර මේ මහපොළොව මත කොයිකාටත් ජීවත් වීමේ අයිතිය ලබාදීම අප සැමගේ වගකීමක් ලෙස සිතිය යුතුය. මිනිසුන්ට පමණක් නොව මේ මහපොළව මත ජීවත් වන සියළු සත්ත්වයන්ට ආදරය හිමිවිය යුතුය.
– ඉසවි