ආගන්තුක සත්කාරයෙන් ඉහළම ස්ථානයක සිටින රටක් ලෙස අනාදිමත් කාලයක සිට පැසසුම් ලබන ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණය දිනාගන්නා ලෝකයේ විවිධ රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක පසුවේ. ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන හා ස්මාරක මේ කුඩා දිවයිනේ සෑම තැනම විසිරී පැතිරී තිබේ.
සංචාරක කර්මාන්තය අපට වැදගත් වන්නේ ආර්ථික වශයෙන් අපට ලැබෙන ප්‍රතිලාභ නිසාම නොවේ. ජාතික ආර්ථිකයට සෘජු දායකත්වයක් සපයන සංචාරක කර්මාන්තය ප්‍රාදේශීය සංවර්ධනය තුළ පවතින්නා වූ ගැටලු අවම කිරීමට මෙන්ම රටේ සංස්කෘතික විවිධත්වය ලෝකය ඉදිරියේ ගෙනහැර දැක්වීමට ඉඩ සලසයි. මේ වසරේ පළමු මාස 9ට පමණක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 14,84,808කි. වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් lonely planet සඟරාවේ 2018 ඔක්තෝබර් කලාපයේ 2019 වර්ෂයේදී සංචාරය සඳහා ලොව වඩාත්ම ආකර්ෂණීය රට බවට පත් වූයේ ද ශ්‍රී ලංකාවය.
ලෝකයේ සුන්දරතම ගමනාන්තයන් අතරට ශ්‍රී ලංකාව පත්වන විට මහනුවර ලෝක උරුම නගරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව දස දෙසින් පැමිණෙන සංචාරකයන් මහනුවර නගරයේ සැරිසරනු දැකීම ඉතාම සුලබ දසුනකි. සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සංචාරක මඟ පෙන්වන්නන්ගේ කාර්යභාරය විශේෂ වන අතර ඔවුන්ට ඇති ගැටලුවලට විසඳුම් ලබා දීම සංචාරක කර්මාන්තයේ අනාගත අභිවෘද්ධියට ඉතා උපකාරී වේ.
සංචාරක මඟ පෙන්වන්නන්ගේ ප්‍රමුඛ ගැටලුවක් වන නිල නොලත් සංචාරක මඟ පෙන්වන්නන් විසින් සිදු කරන විවිධ නොමනා ක්‍රියාකලාපයන් හේතු වන අතර එම නිසා විදෙස් සංචාරකයෝ ද විවිධ දුෂ්කරතාවලට පත්වෙති. මුදල් වංචා කිරීම්, සොරකම් මේ අතර ප්‍රධාන වේ. සමාජ මාධ්‍ය භාවිතාවෙන් එම අසාධාරණයට පත් වූ සංචාරකයන් එම දුෂ්කරතා ලෝකය වෙත අනාවරණය කිරීම සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ ඇති හොඳ ආකල්ප බොඳ කරයි. මහනුවර සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික බණ්ඩාර වීබද්දගේ ඒ පිළිබඳ මෙසේ කීවේය.
“ඉස්සර මහනුවර සුන්දර ගමනාන්තයක් වුණාට අපේ රටට එන සංචාරකයන් දැන් මහනුවර කියන නගරයට එන්න බය වෙනවා. ලියාපදිංචි නොවුණු සංචාරක මඟ පෙන්වන්නන් නියාමනය කරන්න සංචාරක සංවර්ධන අධිකාරිය හරහා සංචාරක පොලිසියට පුළුවන්. ඒ වගේම ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි වෙනවා. මේ නිසා ඒ අයට ලංකාව ගැන අපැහැදිලි චිත්‍රයක් ඇති වුණාම එන්න ඉන්න සංචාරකයොත් එන එක වැළකෙනවා.
අංශ තුනක් හරහා සංචාරක මඟ පෙන්වන්නන්ට පාඨමාලා තියෙනවා. පළාත් සභාව හරහාත් කොළඹ සංචාරක සංවර්ධන අධිකාරිය හරහාත් මේ පාඨමාලාව කරන්න පුළුවන්. එතකොට මේ පාඨමාලා සාර්ථකව හදාරා අවසන් කළාම අපිට හැඳුනුම්පත ලැබෙනවා. ඒ හැඳුනුම්පතක් අවුරුදු දෙකකට වරක් අපි අලුත් කරන්න ඕනේ. ඒකට නිසි ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන්ම පොලිස් වාර්තාව, වෛද්‍ය වාර්තා පරීක්ෂා කරලයි මේ බලපත්‍රය අලුත් කරන්නෙ. එහෙම මේ බලපත්‍රය අලුත් කරගත්තත් මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවයි සංචාරක අමාත්‍යාංශයයි අතර තියෙන දෙපැත්තට ඇදීම නිසා අපට ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන්. පළාත් සභාවේ ඉන්න සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඕන වෙලා තියනවා කොළඹ සංචාරක සංවර්ධන අධිකාරිය දීපු බලපත්‍රය අවලංගු කරලා පළාත් සභාව යටතේ බලපත්‍රය දෙන්න. නමුත් පළාත් සභාව යටතේ බලපත්‍රය දුන්නම වෙන්නේ අපිට මධ්‍යම රජයේ බලපත්‍රය හරහා තිබුණු පහසුකම් නැති වෙන එකයි. සංචාරක ක්ෂේත්‍රයේ පිළිගැනීමක් තියෙන තැනකට ගියාම පළාත් සභා බලපත්‍රයට පිළිගැනීමක් නැති නිසා අපි අපහසුතාවට පත් වෙනවා.”
එයිට්කන් ස්පෙන්ස් පුද්ගලික සමාගමේ මාර්ගෝපදේශක මොහොමඩ් රිෆාස් ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“අපි බලන්නේ නුවරට පැමිණෙන සංචාරකයන් දවසකට දෙකකට වඩා නුවර රඳවගන්නයි. ඒ වුණාට රාත්‍රී හතෙන් පස්සේ වගේ මහනුවර නගරයේ කඩවල් ඔක්කොම වැහෙනවා. වතුර බෝතලයක් ගන්න, තේ එකක් බොන්න තැනක්වත් හොයාගන්න අපහසුයි. රාත්‍රී කාලයේ වින්දනාත්මක දේවල් ගොඩක් අඩුයි. සංචාරකයෝ කැමති ඒ වගේ දේවල්වලටයි. මේ පැමිණෙන සංචාරකයන්ට රසවින්දනාත්මක වැඩසටහන් විදිහට සංස්කෘතිකාංග, අපේ දේශීය නර්තනාංග ප්‍රවර්ධන වැඩසටහන් වගේ දේවල් පෙන්වන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම වැව රවුමේ සමහර තැන්වල විදුලි පහන් දැල්වෙන්නේ නැහැ. වැව රවුම අඳුරුයි. ඒ නිසා විදේශිකයන්ට අනාරක්ෂිත බවක් දැනෙන අවස්ථා තියෙනවා.”
මහනුවර සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ සාමාජික ප්‍රියන්ත කුමාරසිරි දැක්වූයේ මෙවැනි අදහසකි.
“වාහන නවත්වන්න තැනක් නැතිකම ලොකු ගැටලුවක්. දළදා මාලිගාව ළඟ වාහන නවත්වන්න පහසුකම් ලබා දී තියෙනවා. එතන බෝඩ් එක තියෙනවා සංචාරකයන් රැගෙන එන වාහන සඳහා පමණයි කියලා. නමුත් අද ඒ කොටස පෞද්ගලික අංශයට දීලා තියෙනවා. සංචාරකයන් අරගෙන ආවම සමහර වෙලාවට එතන වාහන නවත්වන්න පහසුකම් අපිට පහසුකම් නැහැ. අපේ තැන නගරයේ ව්‍යාපාරිකයන්ගේ වාහනවලින් පිරිලා. පේරාදෙණිය මල්වත්ත ළඟට ගියාම අපි වාහනේ නවත්වන්න පාකින් ටිකට් එකක් ගන්නවා. සමහර වෙලාවට පැය ගාණක් ඉන්නවා. නමුත් අපිට වැසිකිළි කැසිකිළි පහසුකම්වත් නැහැ. නගරයේ පොදු වැසිකිළි විදේශිකයන්ට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක නැහැ. ඒවා ගොඩක් අපිරිසුදුයි. සමහර හෝටල්වල සංචාරක මඟ පෙන්වන්නන්ට තියෙන කාමර පහසුකම්, සනීපාරක්ෂාව පැත්තෙන් ඉතා අවම මට්ටමක තියෙන්නේ.
ජාතික තලයේ සංචාරක මඟ පෙන්වන්නන් විදිහට කටයුතු කරන අයට National Guide සහ Chauffeur Guide යනුවෙන් මාස 5ක පුහුණු පාඨමාලාවක් තියෙනවා. එයට රුපියල් 1,50000ක් වැය වෙනවා. මහනුවර පදිංචි කෙනෙක් කොළඹ මාස 5ක් නැවතිලා හිටියොත් ලොකු මුදලක් වියදම් වෙනවා. ඒකට විසඳුමක් විදිහට මහනුවර හොටෙල් පාසලක් තියෙනවා. නමුත් එහෙම එකක් තියෙනවා කියල කවුරුත් දන්නෙත් නැහැ. අපි ඉල්ලන්නේ National Guide සහ Chauffeur Guide කියන පූර්ණකාලීන පාඨමාලා දෙක මහනුවරටත් ලබා දෙන ලෙසයි. මීට වසරකට පෙර අනුරාධපුරයේ මේ පාඨමාලා ආරම්භ වෙලා තියෙනවා.”
වෛද්‍ය පහසුකම්, රක්ෂණාවරණයක් හෝ විශ්‍රාම වැටුපක් නොලබා අපේ රටේ ආර්ථිකය ඉහළ නැංවීමට දායක වන මේ සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සේවය නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම හෙට දිනයේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගන්නා ඵලදායී ක්‍රියාමාර්ගය ය.
සටහන හා ඡායාරූප – රුවන් මීගම්මන