සෙනසුරාදා මම පින්තූර ප්‍රදර්ශනයක් බලන්න ගියා. ඒක තිබ්බේ මෙට්‍රෝ ස්ටේෂන් එකක උඩම තට්ටුවේ පිහිටි කලාගාරයේ. උඩම තට්ටුව කිව්වට ඒ සාමාන්‍ය පොළව මට්ටම. සබ්වේ දුම්රිය මග තියෙන්නේ මීටර් විස්සක් විතර පොළව ඇතුළේ. මේ ස්ටේෂන් තරමින් විශාලයි. සංකීර්ණයි. හැම එකක්ම කලාත්මක ලෙස නිර්මාණය කරලා තියෙනවා.
ඉතින් කලාගාරයේ මේ සතියේ තිබ්බේ හන්‌ෙග්රියානු කැමරා ශිල්පීන් තිදෙනකුගේ පින්තුර. ප්‍රදර්ශනයේ තේමාව ජලය.
මේ පින්තූර අතර හංගේරියාවේ ටිස්සා ගංගාව සම්බන්ධ පින්තූර කිහිපයක්ම තිබ්බා. ටිස්සා ගංගාව යුරෝපයේ රටවල් දහයක් මැදින් එන ඩනියුබ් ගඟේ අත්තක් මේ ඩනියුබ් ගඟ තමයි කළු මුහුදට වැඩිම වතුර කන්දරාවක් ගේන්නේ.
ප්‍රදර්ශනය බලල ඉවර වෙලා අපි පේන මානයේ තිබ්බ කබාටාස් තොටුපළට ඇවිදගෙන ආවා. තොටුපළට ඔබ්බෙන් පේන විසල් මුහුදු තීරයේ මගී යාත්‍රා මෙන්ම වෙළඳ නැව් සෑහෙන ගණනක් එහා මෙහා යනවා. මෙන්න මේ ස්වභාවික මුහුදු ඇළ තමයි බොස්පරස් කියන්නේ. ආසියාව හා යුරෝපය වෙන් කරන අන්තර් මහද්වීපික දේශ සීමාව එයයි. ඒත් පුදුමය කියන්නේ මේ දේශ සීමාවෙන් එතෙර මෙතෙර තියෙන්නේ එකම නගරයක කොටස් වීම. මම ඉන්නේ යුරෝපියන් කොටසේ. අනෙක් පස ආසියාව. මගේ තුර්කි ජාතික යාළු මිත්‍රයෝ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ආසියානු කොටසේ නොහොත් ඇනටෝලියන් කොටසේ. ඔවුන් කන්තෝරු ඇරිච්ච හැටියේම ලහි ලහියේ සුදානම් වී බොස්පරස් මුහුදු ජල තීරය යටින් දුවන මාමරේයි දුම්රියේ නැගල අනෙක් කලාපයට යනවා. සියුම්ව බලපු කෙනෙකුට මේ දෙපැත්තේ තියෙන වෙනස්කම් තේරෙනවා. යුරෝපීයන් කොටසේ තරමක් තදබදයක් සහිත වාණිජමය ස්වභාවයක් තියෙනවා කියල සමහරු කිව්වට මට නම් හිතෙන්නේ මේ තදබදය මැදින් සුවපහසුව ජීවත් වෙන්න අවශ්‍ය සියලු දේ ඒ කලාපයේ තියෙනවා කියලා. බොස්පරස් සමුදුරු ඇළට ලම්බකව උතුරු දිශාවේ පිහිටි බල්ගේරියානු දේශසීමාව පැත්තට යනකොට කෙමෙන් මේ ජනාකීර්ණ බව අඩු වෙනවා. ඒ වුණත් ආසියානු කලාපය තරමක් සරල හා සශ්‍රීක, ජීවත් වෙන්න වඩා සුදුසු කලාපයක් කියල හිතන මගේ මිත්‍රයන් එක්ක එකඟ වෙන්නත් වෙනවා.
කිලෝමීටර් තිහක් දිග මේ සමුද්‍ර තීරය හෙවත් බොස්පරස් කියන්නේ ඉස්තාන්බුල් නගරයේ හදවත. මීගමු ජනයාට මීගමු කලපුව වැදගත් වන්නේ යම්සේද ඊජිප්තු වැසියන්ට නයිල් නදිය වැදගත් වන්නේ යම්සේද ඊටත් වඩා බරපතළ විදිහට ඉස්තාන්බුල් නගරයටත්, මුළු තුර්කියටමත්, කළු මුහුද ඉවුරේ පිහිටි රටවල් සියල්ලටමත්, ඩනියුබ් හා ඩොන් ගංගා හා සම්බන්ධ වෙන අනෙකුත් රටවලටත් බොස්පරස් මුහුදු මාර්ගය වටිනවා.
ඉස්තාන්බුල් නගරය දෙකඩ කරන මේ මුහුදු අැළ මාර්ගය ලෝක ඉතිහාසයේ වැදගත් කොටසක්, නවීන මුහුදු ගමනාගමනයේත් ලෝක ආර්ථිකයේත්, ජාත්‍යන්තර සහයෝගීතාවෙත් වැදගත් පරිච්ඡේදයක්. අර මා මුලින් කී පින්තූර ප්‍රදර්ශනයේ දුටු හංගේරියානු ටිස්සා ගංගාව හා සම්බන්ධ ජර්මනිය ඕස්ට්‍රියාව ඇතුළු යුරෝපයේ රටවල් දහයක් දිගේ එන ඩනියුබ් ගංගාව වගේම රුසියානු කලාපය හරහා ගලන අනෙක් ගංගා දිගේත් ඉතිහාසය පුරා යාත්‍රිකයන් මේ බොස්පරස් වෙත ඇවිත් එතනින් මධ්‍යධරණී මුහුදෙන් මහා සාගරයට ප්‍රවේශ වෙලා තියෙනවා.
මම ඉස්තාන්බුල් නුවරට ආපු මුල් දවස්වල මේ මහා විසල් නගරය තේරුම් ගන්න පාවිච්චි කරපු බේස්ලයින් එක තමයි බොස්පරස් කියන්නේ. ඒක හරියට සිතියම් දන්නා කෙනකුට කොළඹ නගරය තේරුම් ගන්න බේස්ලයින් පාරේ පිහිටීම හදාරන එක වගේ වැඩක්.
මට ලැබුණු නවාතැන පිහිටියේ බොස්පරස් තීරයට කිලෝමීටර් හය හතක දුරින්. එතැන ඉඳන් මඟී බසයක නැඟල කබාටාස් කියන නැව්තොටට එන එක මම කැමතිම සති අන්ත ගමනක්. මේ නැව්තොට තරමක් විශාල හා රමණිය යාත්‍රා තොටුපළක් හෙවත් ජෙටියක්. එතැනින් මගී යාත්‍රාවක නැඟල ආසන්නයේම පිහිටි අනෙක් මහද්වීපයේ පිහිටි නගර උප නගර හා කුඩා දූපත්වලට යන්න පුළුවන්. පැයක් හෝ පැය බාගයක් ඇතුළත යුරෝපය හරහා ආසියාවට කුඩා යාත්‍රාවක යන ගමන ආශ්වාදනීයයි.
ඉස්තාන්බුල් ආගමනයෙන් ටික දවසකට පස්සේ මමත් තව මිතුරු මිතුරියන් පිරිසකුත් පුරාණ කොන්ස්තන්තිනොපල් නගරයේ ප්‍රසිද්ධ නිල් පල්ලිය එහෙම බලල උද්‍යානයක ගිමන් හරිමින් හිටියා.
හාත්පස තේ සුවඳයි. සිමිට් සුවඳයි. සිමිට් කියන්නේ රවුම් බනිස් ගෙඩියක් වගේ මැද හිස් ඩෝනට් හැඩයේ ජනප්‍රිය කෑමක්. තිරිඟුපිටි බනිසේ තල ඇට ඉහපු මේ සිමිට් එක පළා චීස් හෝ චොක්ලට් පේස්ට් තවරලා විකුණන්න තියෙනවා. ඔන්න ඔය සප්පායම ගනිමින් තිබියදී අපි ළඟට ආ මැදිවියේ පුද්ගලයෙක් මෙහෙම කිව්වා.
“බොස්පරස් දිගේ පැය එක හමාරක යාත්‍රා සවාරියක් යන්න කැමතිද? එක්කෙනෙකුට යුරෝ විස්සයි. යුරෝපය පැත්තේ ඉවුර දිගේ කළු මුහුද කිට්ටුවටම ගිහින් ආසියාව පැත්තෙන් ආපහු එන්නේ. ඉවුරු දෙකේම තියෙන වැදගත් ස්ථාන, මාලිගා එහෙම විස්තර කරලා පෙන්වනවා.
අමුත්තාගේ කතාවෙන් වශී වුණ අපි හවස උස්කුදාර් කියන ආසියානු කලාපයේ කුඩා නගරය බලල රෑට කෑම කාලා එන සැලැස්ම අවලංගු කරලා මේ ගමන යන්න තීරණය කළා.
කටකපල සෙනඟ හිටි යාත්‍රාවේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඒ ඒ විශේෂිත වූ ස්ථානය අසලින් යනකොට ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් ප්‍රචාරය වුණා. යුරෝපීය ඉවුරෙයි ආසියානු ඉවුරෙයි තියෙන මනරම් ගොඩනැඟිලි හා වැදගත් ස්ථාන බලාගෙන විස්තරෙත් අහගෙන මුළු ගමන ගිහින් එන්න පැය දෙකක් විතර ගත වුණා. මේ ගමනේදී මුළු බොස්පරස් තීරයම ආවරණය වුණේ නැතත් සති කිහිපයක් ලියන්න තරම් තොරතුරු ලැබුණා.
වාණිජ නිෂ්පාදන, ඛනිජ තෙල් හා ධාන්‍ය රුසියාව, යුක්රේනය වගේ රටවල ඉඳන් පිටත ලෝකයට අරන් යන්නේ මේ මුහුදු තීරය දිගේ. නාවුක අංශයේ වැඩ කරන මගේ යහළු මිත්‍රයෝ නිතරම කියනවා බොස්පරස් ඇවිත් බංකරින් කරපු කතා.
බංකරින් කියන්නේ මුහුදු යාත්‍රාවලට තෙල් සැපයුම් කිරීම. ඉස්තාන්බුල්වල තියෙන බංකරින් තොටුපළ ඉතා ප්‍රසිද්ධයි. මේ ඇළ අයින දිගේ කාර්ය බහුල වරායවල් කිහිපයකුත් තියෙනවා.
බොස්පරස් කියන්නේ කළු මුහුදට තියෙන එකම පිටවීමේ මාර්ගය. බොස්පරස් දිගේ යන යාත්‍රා තුර්කි භූමිය තුළම පිහිටි මාමරා මුහුද හරහාත් යන්න ඕනි, එතනින් පසු ඒජියන් මුහුදටත් ඉනුත් ඉක්බිති මධ්‍යධරණී මුහුදෙන් මහා සාගරයටත් ප්‍රවේශ වෙනවා.
මෙන්න මේ නාවික ගමනාගමන කේන්ද්‍රය නිසා හා තවත් නොයෙකුත් හේතු නිසා තමයි ඉතිහාසයේ වරින්වර ලෝකයේම අග නගරයක් හැටියට ඉස්තාන්බුල් නගරය ඉස්මතු වෙලා තියෙන්නේ