ඔක්තෝබර් මාසය ඇරඹෙන්නේ ලංකාවේ දරුවන්ට වෙන්වූ දිනයෙනි. ඒ හැර ඔක්තෝබර් මාසය ලංකාවේ නිවුන් දරුවන්ගේ මාසය දැයි සිතේ. ඒ, මෙරට පළමු සය නිවුන් දරු උපත සිදු වූයේ 2021 වසරේ ඔක්තෝබර් 21 වැනිදා නිසාය. කොළඹ නයින්වෙල්ස් පෞද්ගලික රෝහලේදී එම සය නිවුන් දරුවන්ට උපත දුන් මව දිලිනි වාසනා ය. පියා ප්‍රභාත් උදයංග මරවනාගොඩ ය.
පුතුන් තිදෙනකුගෙන් සහ දියණියන් තිදෙනකුගෙන් යුතු ඒ නිවුන් දරුවෝ දැන් පූර්ව ළමා විය සංවර්ධනය ලබති. ඔවුන්ගෙන් ඇරඹි මෙරට සය නිවුන් දරු ඉතිහාසයේ තවත් අලුත් පිටුවක් පෙරළුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් 15 වැනිදා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදීය. ඒ, රජයේ රෝහලක් තුළ සිදුවූ පළමු සය නිවුන් දරු උපත සහ මෙරට සිදුවූ දෙවැනි සය නිවුන් දරු උපත සනිටුහන් කරමිනි.
ඒ පින්බර මව වේයන්ගොඩ, පත්තලගෙදර පදිංචි මධුකි ලක්ෂිකා (38)ය. පියා ඉසුරු පෙරේරා (41)ය. ඔවුන්ගේ නිවුන් දරුවන්ට ඔක්තෝබර් 15 වැනිදාට වසරක් සපිරේ. රුවින් එක සමාන පුතුන් පස්දෙනාගේ සුරතලය විඳිමින් මධුකිත් ඉසුරුත් පැවසුවේ ජීවිතයේ ලැබූ නිරාමිස සතුට එය බවය.
“අපි දෙන්නා විවාහ වුණේ අවුරුදු 10ක් ආදරේ කරලා. දැන් අපි විවාහ වෙලා අවුරුදු 13ක්. විවාහ වෙලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ අපි දරුවෙක් බලාපොරොත්තු වුණා. ඒ වෙනුවෙන් නොකරපු වෙදකමක් නෑ. නොගිය පන්සලක්, කෝවිලක් නෑ. මධූ මුල් කාලේ රැකියාවක් කළත් පස්සේ දරුවෙක් වෙනුවෙන් කරන දේවල්වලට බාධා වෙන නිසා රැකියාවෙනුත් ඉවත් වුණා. මම වැඩ කළේ පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙක් විදිහට. ඒ කාලේ මගෙ මාසික වැටුප රුපියල් පනස්දාහක් විතර. ගෙවල් කුලී ගෙවන්න, කන්න බොන්න අමතරව හම්බ කරන හැම සතේම අපි වියදම් කළේ දරුවෙක් හදාගන්න බෙහෙත්හේත්වලටයි. ඒ විදිහට දරුවෙක් වෙනුවෙන් අවුරුදු 11ක්ම දුක් විඳපු අපි දෙන්නට දෙවියො එකපාරටම වටිනා තෑග්ගක් දුන්නා. ඒක අපිට ලොකු සතුටක්…”
ඉසුරු ඒ සුන්දර දිනය සිහි කරමින් කීවේය.
” දරුවෙක් ගැන බලාපොරොත්තු අතෑරලා හිටිය කාලෙකයි අපට නළ දරු ගැබ් ගැන්වීම (IVF) ක්‍රමය ගැන දැනගන්න ලැබුණේ. කුලී ගෙදරක ඉන්න නිසා අපිටම කියලා ගේ පොඩ්ඩක් හදාගන්න මම ලක්ෂ පහමාරක් විතර ඉතුරු කරගෙන තිබුණා. ඒත් දරුවෙක් ගැන අපි දෙන්නා අවුරුදු දහයක් තිස්සේ හීන දැකපු නිසා ඒ ක්‍රමයටවත් දරුවෙක් හදාගන්න තීරණය කළා. වාසනාවකට වගේ පළමුවැනි සැරේ තැන්පත් කරපු කලල දෙකම සාර්ථක වෙලා තිබුණා. අපි දෙන්නා ඒ ගැන ගොඩක් සතුටු වුණා. ඒත් මධූගේ පළමු ස්කෑන් එක කළාට පස්සේ ඩොක්ටර් කිව්වා බබාලා පස්දෙනෙක් ඉන්නවා, සමහර වෙලාවට තව දරුවෙකුත් ඉන්න පුළුවන් කියලා. වෝටර් බෑග් 4න් එකක සර්ව සම නිවුන්නු දෙන්නෙක් හිටියා. අනිත් තුන්දෙනා ඉතුරු වෝටර් බෑග් තුනේ හිටියෙ. ඒ ආරංචිය දැනගත්තාම මම බය වුණා. දරුවො පස්දෙනෙක් හදාගන්න පුළුවන්ද කියන දේට වඩා මට මතක් වුණේ ඒකෙන් මධූගේ ජීවිතේට අනතුරක් වෙයිද කියලයි. මම ඩොක්ටර්ගෙන් ඇහුවා මේකෙන් එයාගේ ජීවිතේට අනතුරක් වෙයිද? මේකට විසඳුමක් තියෙනවද කියලයි.”
එහෙත් මෙරට පවතින නීතිය අනුව කලලයක් මවු කුසෙන් ඉවත් කිරීම සිදු නොවන නිසා ඉසුරුටත් මධුකිටත් එකවර දරුවන් පස්දෙනකුගේ මවුපියන් වීමේ වාසනාව මෙන්ම ඒ සමඟ ආ දහසක් අභියෝග ද භාර ගන්නට සිදු විය. ඒ අතරෙන් ගැබිනියක ලෙස මධුකි විඳි අපහසුතා බොහෝය.
” ඩොක්ටර් මුල් කාලෙම කිව්වා, ඔයාට එන්නෙ එක දරුවෙකුට එන අපහසුතා නෙවෙයි පස් දෙනෙකුට එන අපහසුතා කියලා. කුසට මාස පහක් විතර වෙද්දි මාස 9ක වගේ ලොකු කුසක් තිබුණා. ඇවිදගන්නවත් බැරි තරමට කකුල් ඉදිමුණා. නිදාගන්න බැරිව ගියා. කන හැමදේම වමනෙ ගියා. ඒ සේරම අපහසුතා විඳගෙන මම දරුවො වෙනුවෙන් භාරහාර වුණා. හැමදාම බුදු පහන තියලා බුදුන් වැන්දා. පිරිත් පොත කුස උඩ තියාගෙනයි නිදාගත්තෙ. දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් නීරෝගි දරු උපතක් සිදු වුණා. ඉසුරුගේ ආදරේ, රැකවරණය මට උපරිමයෙන් ලැබුණා වගේම මගේ අම්මත් ඉසුරුගෙ අම්මත් මාව ගොඩක් ආදරෙන් පරිස්සමෙන් බලා ගත්තා.”
මධුකි නියමිත ගැබ් කාලය සපුරන්නට පෙර හරියටම සති 26ක් වෙද්දී සිසේරියන් සැත්කමකින් ප්‍රසූතිය සිදු වූ අතර, දරුවන් පස් දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ඔවුන්ට දරුවන් හය දෙනකුගේම මවුපියන් වීමට වාසනාව උදා විය. එහෙත් දෙදිනකට පසු එක් බිලිඳකු ජීවිතය හැර යද්දී, බර ග්‍රෑම් 475ත් ග්‍රෑම් 800ත් අතර පසුවූ සෙසු බිලිඳුන් පස් දෙනාගේ ජීවිත රැකදීමේ අභියෝගය කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙත පැවරිණි. රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ඉන්කියුබිලේටර් තුළ රඳවා නිරන්තර අවධානයෙන් රැකගත් බිලිඳුන් රෝහලෙන් බැහැරව නිවෙසට ගියේ මාස තුන හමාරකට පසුවය.
“අපේ බබාලා සුවෙන් මේ ලෝකෙට බිහිවුණේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥ රත්නසිරි මහතා ඇතුළු සිසේරියන් සැත්කමට සහභාගි වුණු රෝහලේ කාර්ය මණ්ඩලය නිසයි. ඒ වගේම දරුවන් ඉපදුණු මොහොතේ සිට ළමා රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහතා අපේ දරුවන්ව ජීවත් කරවන්න වෙච්ච මහන්සිය අපිට කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම කාසල් රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය අපේ දරුවො රැකගත්තේ ඔවුන්ගෙ දරුවො වගේ අසීමිත කැපවීමකින්. ඔවුන් අපිට සැලකුවේ ඔවුන්ගේ සහෝදරයන්ට වගේ. කාසල් රෝහල කියන්නේ මම හෙදකම උපරිමයෙන්ම දැකපු රෝහලක්. ඒ වෙනුවෙන් අපි හැමදාම ඔවුන් හැමදෙනාටම පින් දෙනවා. “ඉසුරු කීවේ කෘතවේදීවය. එසේ වුවද එකවර දරුවන් පස්දෙනකුගේ මවුපියන් වීමේ වාසනාව සමඟ ආ අභියෝග රැසක් අදටත් ඔහුටත් මධුකිටත් උරුමය.
” මමයි, මධුයි දරුවො එක්ක ජීවත් වෙන්නෙ මධුගේ මහගෙදර. දරුවො ලොකු වෙද්දි මේ ගෙදර ඉඩ මදි. ඒත් අපේම කියලා ගෙයක් හදාගන්න එක දැන් අපිට හීනයක්. මීට මාස කිහිපයකට කලින් මම රැකියාවෙන් ඉවත් වුණා. දරුවො බලාගන්න මධූට තනිවම බැහැ. මම ගෙදර ඉඳන් පොඩි පොඩි වැඩ ටිකක් කරනවා. දරුවො තව ටිකක් ලොකු වුණාම රැකියාවකට යන්නයි හිතාගෙන ඉන්නෙ.”
මාස හයක් පිරෙන තුරු මවුකිරි සහ පිටිකිරිවලින් පෝෂණය වූ ළදරුවෝ දැන් අමතර ආහාර ගනිති. ඔවුන්ගේ පෝෂණය සඳහා පිටි කිරි වේල් 2ක්, බත් වේල් 3ක්, අමතර ආහාර වේල් 2ක් සමඟ ආහාර වේල් 7ක් පමණ දිනකට දිය යුතුව ඇත. ඒ අතරට දිනකට පලතුරු කිලෝ 1ක් පමණ අවැසිය. මසකට පිටිකිරි ටින් 20ක් පමණ අවශ්‍ය වන අතර, කඩුවෙල මහමෙව්නා භාවනා අසපුව ඒ අවශ්‍යතාව ඔවුන්ට සපයා දෙයි. දිනකට ළදරුවන් පස් දෙනාට පැම්පර්ස් 40ක් පමණ අවශ්‍ය වන අතර, හේමාස් පුද්ගලික සමාගම විසින් පැම්පර්ස්, සබන්, පවුඩර් ආදිය ලබා දෙයි. මාස දෙකකට වරක් තවමත් දරුවන් කොළඹ කාසල් කාන්තා රෝහලේ සායන සඳහා ගෙන යන අතර, රිජ්වේ ආර්යා ළමා රෝහල ද දරුවන් පිළිබඳ පසුවිපරම අත්හැර නැත. වසරක් සපිරුණ ද බැලූ බැල්මට තවමත් මේ ළදරුවන්ගේ ක්‍රියාකාරකම් ඒ වයසේ සෙසු දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට වඩා අඩු මට්ටමක පවතී. ඊට හේතුව මෙම දරුවන් බිහි වූයේ සති 26න් නිසාය. ඒ නිසාම ඔවුන් නීරෝගිව හදාවඩා ගැනීම තරමක අභියෝගයකි. එහෙත් මධුකිත් ඉසුරුත් ඒ අභියෝගය තුටු සිතින් දරමින් සිටිති. නෙතට නිදි නැතිව බිලිඳුන් රැකබලා ගනිමින් පසුකර ආ දුෂ්කර දවස් ගැන මධුකි සිහි කළේ මවුවත් හදවතේ සතුට ද අතුරාගෙනය.
“කාලය ගත වුණා දැනුණෙවත් නෑ. ඉපදුණ දවසෙ ඉඳන් මේ වෙනකම් අපි දෙන්නම රෑට එක දිගට පැය දෙකක්වත් නිදාගත්ත දවසක් නැහැ. බබාලා එක්ක ඉන්නකොට දවස ගතවෙනවා දැනෙන්නෙත් නැහැ. දැන් එයාලා හරිම හුරතල්, දණගානවා, බඩ ගානවා. ඒ එක්ක පොඩි පොඩි රණ්ඩුත් තියෙනවා. දෙවැනියා අනිත් අයගේ සූප්පුත් අරගෙන එයාගෙ කටේ දාගන්නවා. එයා තමයි දඟම බබා. මෙයාලට කවාගන්න එක තමයි අමාරුම වැඩේ. පස් දෙනාට එක වේලක් කවාගන්න පැය එකහමාරක්වත් යනවා. ඒකටත් අපි දෙතුන්දෙනෙක් ඉන්න ඕනේ.”
මධුකි කීවේ සිනාසෙමිනි. ඔවේන් ලිත්මිණ, විවේන් චිත්මිණ, තිවේන් යුත්මිණ, ඩිවේන් විශ්මිණ සහ කිවේන් යුත්මිණ යන මේ ළදරුවන් පස්දෙනාම බැලූ බැල්මට රුවින් සමානය. එහෙත් මධුකිටත් ඉසුරුටත් ඔවුන් පස්දෙනා පස් දෙනෙකි.
“හැමෝම කියන්නේ බබාලා වෙන් කරලා අඳුන ගන්න අමාරුයි කියලා. ඒත් අපිට එයාලා පස්දෙනා වෙන වෙනම අඳුන ගන්න පුළුවන්. පස් වැනියයි හය වැනියයි එක වගේ. පළමුවැනියයි තුන්වැනියයි පෙනුමින් ගොඩක් සමානයි. හතර වැනි බබා තමයි නැති වුණේ. තුන්වැනි බබයි හතර වැනි බබයි සර්ව සම නිවුන්නු නිසාද කොහෙද අනිත් කෙනා නැති නිසා තුන්වැනියගේ ක්‍රියාකාරීත්වය ටිකක් අඩුයි. ඒත් අපි කොහොමහරි පස් දෙනාම නීරෝගිව හදාගන්න තමයි හැම උත්සාහයක්ම ගන්නෙ”ඉසුරු කීවේ සුබවාදී අපේක්ෂා ඇතිවය.
සය නිවුන් දරුවන්ගේ උපතින් පසු විවිධ පුද්ගලයන් සහ ආයතන ඔවුන්ට උදව් කිරීමට ඉදිරිපත් වුවද ඒ බොහෝ උපකාර හුදෙක් වචනවලට පමණක් සීමා වූ ඒවා බව ද ඉසුරු පැවැසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් එක් දරුවකුට රුපියල් පන් දහස බැගින් දරුවන් පස් දෙනා වෙනුවෙන් මාසිකව රුපියල් විසිපන් දහසක මුදලක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ගෙවීම ආරම්භ කර ඇත්තේ මීට මාස පහකට පමණ පෙරදීය. එම මාසික දීමනාව වසරක් සපිරෙන තුරු එනම්, තවත් මාස හතක් පමණක් ගෙවීමට නියමිතය. ඒ හැර මේ නිවුන් දරුවන් වෙනුවෙන් රජයෙන් ලැබුණු උපකාරයක් නැත.
“ආර්ථික ගැටලුත් එක්ක දරුවන්ගේ වියදම් දැරීම අපිට ලොකු අභියෝගයක් තමයි. ඒත් මේ අපේ දරුවොනෙ, කවුරු උදව් කළත් නැතත් අපි කොහොමහරි දරුවො හදාගන්න ඕනේ. අපිට උදව් කරන්න කියලා කාටවත් කරදර කරන්නත් බැහැ. ඉස්සර ඉඳල මගෙ ආශාවක් තිබුණා ක්‍රිකට් ටීම් එකකට, මියුසික් බෑන්ඩ් එකකට ඇති වෙන්න දරුවො හදන්න. ඒ නිසා අපිට මේ දරු සම්පත ගොඩක් වටිනවා. එයාලට හොඳට උගන්වලා වැදගත් පුරවැසියො විදිහට මේ රටට, සමාජයට දායාද කරන එක තමයි මගේ බලාපොරොත්තුව”
හැම මවක පියකු ම සිහින දකින්නේ දරුවන්ට සුවදායී හෙට දවසක් තනා දෙන්නටය. ඒ අවිහිංසක පැතුම ඉසුරුගේත් මධුකිගේත් හිත්වල ද නොඅඩුව ඇත. එක් දරුවකු වෙනුවට දරුවන් පස් දෙනකුගේ වගකීම හිතින් සහ හිසින් දරාගත් ඔවුන්ට ඒ කිරිකැටියන්ගේ ලෝකය ගොඩනඟා ගැනීමට කිසියම් උපකාරයක් කළ හැකි නම් එය බොහෝ අගනේය.
ඡායාරූප- නිකොලා ඩ්‍රීම්ස්
සුරේකා නිල්මිණි ඉලංකෝන්