ජනාධිපතිවරණයට ඇඟිල්ලේ තැවරූ තීන්ත මැකී යන්නටත් පෙර මහමැතිවරණය සඳහා සූදානම් වන්නට ශ්‍රී ලාංකිකයන්ට සිදුව තිබේ. ඉතා සමීප කාල පරතරයක් සහිතව මැතිවරණ දෙකකට මුහුණ දීම සක්‍රිය දේශපාලනයේ නොයෙදෙන ඡන්දදායකයන්ට එතරම් ගැටලුවක් නොවෙතත් මැතිවරණ කොමිසමට සහ මැතිවරණ ක්‍රියාවලියට සක්‍රියව දායකවන පොලිස් නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයට එය ඉතා බැරෑරුම් අභියෝගයකි.
එපමණක් ද නොව එය මැතිවරණ සඳහා තරග කරනා අපේක්ෂකයන්ට පවා බරපතළ අපහසුතාවයන් ඇතිකරයි. කෙසේ වෙතත් මෙවැනි ප්‍රවණතා දේශපාලනයේදී අමුතු ඒවා නොවේ. එහෙත් ඉතා සීමිත කැබිනට් මණ්ඩලයක් සහිතව පවත්වාගෙන යන වත්මන් රජයට සමීප කාලයක් තුළ ජාතික තලයේ මැතිවරණ ක්‍රියාන්විත දෙකකට සහභාගි වීම දැඩි අභියෝගයක් බව පෙනෙන්නට තිබේ. එවැනි තත්ත්වයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පදවියට පත්වූවාට පසු ලද ඉතා වැදගත් රාජ්‍යතාන්ත්‍රික අවස්ථාවක් වූ බ්‍රික්ස් සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක එම සමුළුවට සහභාගි නොවනා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මේවන විටත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. කෙසේ වෙතත් එම සමුළුවට නියෝජිතයන් පිරිසක් සහභාගී කරවන්නටත්, බ්‍රික්ස් සමූහයේ සාමාජිකත්වය ඉල්ලා සිටිමට ශ්‍රී ලංකාව සූදානමින් පසුවෙන බවත් වාර්තා වෙයි.
බ්‍රික්ස් යනු ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් සහිත රටවල් කිහිපයක එකතුවකි. ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ජිම් ඕ’නීල් විසින් බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව සහ චීනය යන රටවල් හතර BRIC ලෙසින් නාමකරණය කළ පුද්ගලයාය. ඒ 2001 වසරේදීය. එම රටවල් හතර ලෝකයේ වේගවත්ම ආර්ථික වර්ධනයක් සහිත රාජ්‍ය වන අතර 2050 වසර වන විට ලෝක බලවතා වන්නේ මේ රටවල් හතරෙන් එකක් බව විශ්වාස කෙරේ. පසුව මෙම රටවල් හතරට දකුණු අප්‍රිකාව ද එක් විය. ඒ සමගම මෙම රාජ්‍ය එකමුතුවේ නම BRICS ලෙසින් වෙනස් විය. අදවන විට BRICS රාජ්‍යන් හි ජනගහනය බිලියන 3.2ක් ඉක්මවයි . එම රටවල ඒකාබද්ධ දළ ජාතික අාදායම ඩොලර් ට්‍රිලියන 26කි. එය සමස්ත ලෝක ආර්ථිකයෙන් 26% ඉක්මවයි. බ්‍රික්ස් රාජ්‍යයන් කෙතරම් ශක්තිමත් වෙමින් සිටින්නේ ද යත් මේ වනවිට ඔවුන් ඩොලර් බිලියන 250ක ප්‍රාග්ධනයක් සහිතව ජාතික සංවර්ධන බැංකුවක් පවා ආරම්භ කර ඇති අතර අනාගතයේ BRICS රටවල් අතර වෙනමම මුදල් ඒකකයක් භාවිත කිරීමේ හැකියාව සාකච්ඡා කරමින් සිටී. මේවන විටත් රටවල් 22 ක් BRICS සාමාජිකත්වය ඉල්ලා ඇති අතර, එහි සාමාජික නොවනා ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීරය එහි සංවර්ධන බැංකුවට සම්බන්ධව කටයුතු කරයි.
අනාගත ලෝකයේ ප්‍රබලතම බලකඳවුර වනුයේ බ්‍රික්ස් රටවල් බව පැහැදිලිය. විශේෂයෙන්ම ආසියානු කලාපයේ බලවතුන් වන ඉන්දියාව සහ චීනය එක රාමුවක සිට කටයුතු කරනා බ්‍රික්ස් කඳවුර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙයි. එවැනි සංවිධානයක සමුළුවකට සහභාගි වීමට ලද අවස්ථාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැහැර හැරීම ඇත්තෙන්ම සිදු නොවිය යුතු දෙයකි. පවතින මැතිවරණ උණුසුම නිසා ජනාධිපතිවරයාට සිය කාලසටහන කළමනාකරණය කර ගැනීමේ අපහසුතාව නිසා මෙම තීරණය ගන්නට ඇත. ජාත්‍යන්තර සම්බන්ධතාවලට වඩා දේශපාලනයට ඔහු වැඩි බරක් තබා තිබේ.එහෙත් මින් ඉදිරියට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය දේශපාලන කාල සටහන සැකසිය යුත්තේ ලංකාවේ ජනාධිපති ලෙසය. එහි පළමුතැන පමණක් නොව දෙවන තැන ද දිය යුත්තේ රට වෙනුවෙන් කරනා රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලටය. සැකැවින් කියන්නේනම් මින් ඉදිරියට ඔහුට මාලිමාවේ කටයුතු ද්විතීය රාජකාරි වී රාජ්‍යතාන්ත්‍රික කටයුතු පළමු තැනට පත්විය යුතුය.
කොයි ආකාරයෙන් සලකා බැලුවත් බ්‍රික්ස් යනු ශ්‍රී ලංකාවට වටිනා වේදිකාවකි. ශ්‍රී ලංකාවට පමණක් නොව බ්‍රික්ස් සමුළුව සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු අරඹන්නට ජනාධිපතිවරයාට ද හොඳම වේදිකාවකි. ඊට සහභාගි වනුයේ අනාගත ලෝක බලවතුන් ය. ඊට අමතරව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ආසියානු භූ දේශපාලනයේ ඉන්දු චීන හැසිරීම් පිළිබඳව වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට ඔහුට මෙමගින් හොඳ අවස්ථාවක් උදාකර ගත හැකිව තිබුණි. බ්‍රික්ස් රාජ්‍යයන් අතර වාණිජ ගනුදෙනු ද සිදුවෙන්නේ විශේෂ තත්ත්වයන් යටතේය.
යුක්රේන ආක්‍රමණය නිසා රුසියානු තෙල් සඳහා පැනවූ සම්බාධක හමුවේ ඔවුන් සහනදායී මිලකට ඉන්දියාවට සහ චීනයට බොරතෙල් අලෙවි කරයි. බ්‍රික්ස් රටවල් අතර කටයුතු කරමින් බටහිර රාජ්‍යයන්ගේ සම්බාධකවලට රුසියාව මුහුණදෙයි. ඉන්දියාව සමග බරපතළ දේශ සීමා අර්බුද පවතින චීනය, බ්‍රික්ස් වේදිකාවේ ඉතා සහයෝගයෙන් ඉන්දියාව සමග කටයුතු කරයි. මේ අනුව ඉන්දීය සාගර කලාපයේ මතුවෙමින් පවතින උණුසුම් තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේදී බ්‍රික්ස් වේදිකාවට ගොඩවී සිටීම ලංකාවට පහසුවකි.
ඒ හැරත් ජාත්‍යන්තරය ජයගන්නට මෙවැනි වේදිකා නියෝජනය කළ යුතුමය. 1951 දී සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී ජේ.ආර් ජයවර්ධන මුළු ලෝකයම තම හඬට නම්මා ගත්තේය. එය හුදු ජේ. ආර් ගේ ජයක් නොවේ. එහි ප්‍රතිලාභ ශ්‍රී ලාංකිකයන් අදටත් භුක්ති විදී.