Home » විප්ලවීය ඉතිහාසයේ සැබෑ සටන්කරු චේ ගුවේරා

විප්ලවීය ඉතිහාසයේ සැබෑ සටන්කරු චේ ගුවේරා

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

රණයෙන් පසුවත් ජීවමානව සිටිය හැකි මිනිසකු වේ නම් හේ තම වෘත්තිය හෝ සද්කාර්යය තුළ මානව වර්ගයා වෙනුවෙන් යම් සුවිශේෂී මෙහෙවරක් කළ අයෙක් විය යුතුය. එවැනි අසමාන මිනිසකු ගේ සැමරුම ඔක්තෝබර් 10දිනට යෙදේ.

සැමරුම් දිනයක් යෙදුණා වුව හේ, ලොව පුරා දහස් දස දහස් සුවහසක් ජනතාව ගේ මුව මුව නිබඳ රැව් දෙන නමක් සහිත මිනිසෙකි. මේ ලිපිය ලියන මොහොතේ වුව, මෙය කියවන මොහොතේ වුව ලොව කොතැන හෝ කවර මුවකින් හෝ ඔහුගේ නම පිටවෙනවා ඇති බවට සැකයක් ඇත්තේ නැත.

ළඳුන්ගේ සුන්දර අත්වල, පිරිමින්ගේ සවිමත් බාහුවල, ටැටූ හෙවත් පච්ච ලෙස ඔහුගේ රුව සටහන් වී තිබේ. ටී ෂර්ට්, හිස්වැසුම්, ස්ටිකර්, බැනර්වල, ගන කළු කෙස්වැටිය, අපිළිවෙළ රැවුල, තරුව සහිත බෙරට් හිස්වැස්ම සහිත ඔහුගේ මුහුණ පින්තාරු වී තිබේ. සියල්ලටමත් වඩා ඔහුගේ කඩවසම් තරුණ රූපකාය සහ ජීව ගුණයමානව වර්ගයාගේ යහපත වෙනුවෙන් නිබඳ වෙහෙසෙන විමුක්තිකාමීන්ගේ හදවත්වල සඳහන් වී තිබේ. මිනිසුන් චේ කියා ආදරයෙන් අමතන ඔහු අන් අයෙක් නොව අර්නස්ට්ටෝ චේ ගුවේරා ය. ඇල්බර්ටෝ කොර්ඩා විසින් ගනු ලැබූ ඔහුගේ GuerrilleroHeroico නමැති සේයාරුව ලොව සුප්‍රකටම ඡායාරූපය ලෙසින් සැලකේ.

චේ බොහෝ කොට හඳුනා ගනු ලබන්නේ ගරිල්ලා භටයකු වශයෙන් වුව ඔහුගේ මෙහෙවර ගරිල්ලා යුද්ධයට පමණක් සීමා නොවේ. ආජෙන්ටියානු මාක්ස්වාදියෙක්, විප්ලවවාදියෙක් වනවාට අමතර චේ ගත්කතුවරයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් යුද්ධය පිළිබඳ න්‍යායාචාර්යවරයෙක් ද වේ. 1967 වර්ෂයේ ඇන්ඩීස් කඳුකරයේ දී වොෂින්ටනයේ උපදෙස් මත ක්‍රියාත්මක වූ බොලීවියන් හමුදා විසින් ඝාතනය කිරීම හේතුවෙන් චේ, නූතන පුරාවෘත්තයක් බවට පත්ව ඇති සේම ඔහුගේ යෞවන ජීව ගුණය තවමත් නො නැසී පවතී.

ලතින් අමෙරිකාවේ වොෂින්ටනයේ පිළිවෙතට 1960 දසකයේ බලවත්ම තර්ජනය එල්ල කළ තනි පුද්ගලයෙක් සිටියේ නම් හේ අර්නස්ටෝ චේ ගුවේරා ඩි ලා සෙර්නා හෙවත් චේ ගුවේරාය. කියුබානු සමාජවාදී විප්ලවයට ඔහුගේ දායකත්වය, ඔහුගේ නිර්භය සහ ඍජු එක්සත් ජනපද විවේචනය, බටහිර අර්ධගෝලයේ සන්නද්ධ කොමියුනිස්ට් කැරලිකාරිත්වයට ඔහු දැක්වූ සහයෝගය හේතුවෙන් වොෂින්ටනයේ ඉහළ බුද්ධි අංශවලට සහ හමුදාවට ඔහු රුසියාවේ ජෝශප් ස්ටාලින් තරමටම හිසරදයක් බවට පත්ව සිටියේ ය. වොෂින්ටනයේ ඉහළ බුද්ධි අංශවල සහ හමුදාවේ ඉලක්කයක් ව සිටි චේ ඔවුනට මිනිසෙක් නොව කැරලිකාරිත්වයට සහ අස්ථාවරත්වයට අනුබල සපයන්නෙක් විය.

පුරාවෘත්තගත රොමැන්තික වීරයා

කියුබාවේ සමාජවාදී විප්ලවයේ නායක ෆිදෙල් ක්‍රැස්ත්‍රෝ 1955 වර්ෂයේ මෙක්සිකෝවේ දී මුල්වරට හමුවීමේ සිට 1967 වර්ෂයේ බොලිවියාවේ දී ඝාතනය වීම දක්වා චේ ගේ විප්ලවවාදී භූමිකාව දිවෙන්නේ දසක දෙකකට මඳක් වැඩි කාල පරාසයකවුව ඔහුපරම්පරා ගණනාවක් තිස්සේ වර්තමානය දක්වා ම පුරාවෘත්තගත රොමැන්තික වීරයකු ලෙස ජනතා ගෞරවයට පාත්‍රව සිටී.

චේ හැදී වැඩුණේ ආජන්ටිනාවේ පළාත් බද වංශාධිපති පාලනත්ත්‍රයක් තුළය. ඔහුගේ පෞරුෂත්ව වර්ධනයට බලපෑ ප්‍රධාන සාධකය බාල කාලයේ පටන් හෙතෙම දරුණු ඇදුම රෝගයට එරෙහිව ගැසූ ස්වයං කැරැල්ල බව කියයි. දරුණු ඇදුම රෝගය අබිබවන්නට ඔහු සතු අවිය වූයේ, අධිෂ්ඨානය සහ ආත්ම ශක්තියයි. ජීවිතය යනු අභිමත අනුසාරී ක්‍රියාදාමයක් බව හේ විශ්වාස කළේය .කෙතරම් බියකරු ඉලක්කයක් වුව විප්ලවකාරී උද්‍යෝගයකින් බලහත්කාර ලෙස පරාජය කළ හැකි බව ඔහු තරයේ විශ්වාස කළේය. අධිරාජ්‍යවාදයට එරෙහිව ජනතා විමුක්තිය සහ සමාජවාදී ජයග්‍රහණ උදෙසා සටන් කරන්නට ඔහුගේ කැපවීමේ රහස, අතිශය දුෂ්කර අවස්ථාවේ පවා අරමුණ අත්නොහැරීමේ ජීව ගුණයයි.

විසිවැනි සියවසේ වඩාත් ම බලපෑම්සහගත පුද්ගලයන් අතරින් කෙනෙක් වශයෙන් ටයිම් සඟරාව විසින් චේ නම් කර තිබුණි. විසිවැනි සියවසට චේ ආකාර රැසකින් බලපෑම් කළේය. ඔහුගේ ඒ බලපෑමට හේතුව උරහිසේ රැඳුණු රයිෆලය පමණක් නොවේ. ඔහු අති සූර ලියන්නෙකි. කථිකයෙකි. ඔහුගේ කෘති සහ දෙසුම් රැසක් මුද්‍රණද්වාරයෙන් එළි දැක තිබේ. උත්තරීතර අරමුණු ඇත්තෙකු සේම ඔහු සංචාරක ඡායාරූප ශිල්පියෙකි. අඩු මුදලට සේවය කළ වෛද්‍ය පර්යේෂකයෙකි.

ඔහු ලෝකය දෙස බැලූ ආකාරයට ලෝකය දුටු අය බහුල නැත. චේ යනු වෙහෙස නො දන්නා සංචාරකයෙකි. සිය මිතුරා ඇල්බර්ටෝ ග්‍රැනාඩෝ සමඟ 1952 වසරේ ආජන්ටිනා, චිලී, පේරු, ඉක්වදෝර්, පැනමා, වෙනිසියුලා, කොලොම්බියා රටවල කළ සංචාරයේදී චේ ගේ ඇස ගැටුණේ භූමි දර්ශන නොව ජනතාවගේ පීඩිත ජීවන තත්ත්වයයි. එම සංචාරයේ ඇස ගැටුණු ජනතා දුක ඔහු සංචාරකයකුගෙන් විප්ලවවාදියකු බවටත් ජනතා විරෝධී පාලකයන් පලවා හරින්නට සටන් වදින ගරිල්ලා සෙබළකු බවටත් පත් කළේය.

කියුබාවේ ජනතාවගේ සාක්ෂරතාව වැඩි කළ චේ

චේ මෙක්සිකෝවට පැමිණියේ 26 හැවිරිදි යෞවනයෙ ලෙසිනි. හේ බොලිවියාවේ සති පහක් සහ ගෝතමාලාවේ මාස නමයක් ගත කළේය. ඔහුගේ ගෝතමාලා ගමනේ අරමුණ වූයේ එරට සමාජවාදී ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපති ජාකොබෝ අර්බෙන්ස් ගුස්මාන් ට සහාය වීමයි. අර්බෙස් ගෝතමාලාවේ පාලනය අත්පත් කර ගන්නා විට එරට ඉඩම් ප්‍රමාණයෙන් 72% ජනතාවගෙන් 2% විසින් භුක්ති විඳිමින් සිටියහ. එම ඉඩම් ප්‍රමාණයෙන් වාර්ෂිකව ප්‍රයෝජනයට ගැනුණේ 12% පමණි. එවක ගෝතමාලාවේ විශාලතම ඉඩම් හිමියා වූයේ අමෙරිකානු පසුබිමක් සහිත යුනයිටඩ් ෆෲට් කම්පැනි හෙවත් යූ. එෆ්. සී සමාගමයි. සමාජවාදී සබඳතා සහිත අර්බෙස් ආණ්ඩුවේ ජනතාවාදී ඉඩම් ප්‍රතිසංස්කරණ ඉදිරියේ කිපුණු යූ.එෆ්. සී කළ උපකාර ඉල්ලීම සහ ” රතු භීතිය” හේතුවෙන් වොෂින්ටනය සී. අයි. ඒ. අනුග්‍රහය මත නිකරගුවාව තුළ පුහුණු කළ සන්නද්ධ කණ්ඩායමක් මගින් අර්බෙස්ගේ ආණ්ඩුව පෙරළා දැමුවේය. චේ ගේ කොමියුනිස්ට් නැඹුරුවේ, රුසියානු සමූහාණ්ඩුව අගයන්නකු බවට පත්වීමේ සහ ඇමෙරිකානු විරෝධයේ ආරම්භය වන්නේ අර්බෙස්පාලනය පෙරළා දැමූ සී. අයි. ඒ. කුමන්ත්‍රණයයි. ලොව කොතැනක වුව කොමියුනිස්ට් පක්ෂයක සහායට යාම ඔහු සූදානමින් සිටියේ ය.

දිනපතා සිය කෙස් සකසා ගන්නා නමුත් මිනිසුන් තම අදහස් වෙනස් කර නො ගන්නේ මන්දැයි චේ විමසා සිටියේය. සටනකින් තොරව මානව දයාව ශක්තිමත් කළ හැකි නොවන බව හේ විශ්වාස කළේය. අධ්‍යාපන ක්‍රමයේ තාප්ප පහළ හෙළිය යුතු බවත් අධ්‍යාපනය යනු ධනවතුන්ගේ දරුවන් ගේ වරප්‍රසාදයක් නොවන බවත් කී සේම, ඔහු කියුබාවේ ජනතාවගේ සාක්ෂරතාව 60% සිට 96% දක්වා වර්ධනය කිරීමේ විස්මිත කටයුත්තේ නියමුවා වූයේ ය.

‘චේ ගේ අසහාය සටන් සගයා ෆිදෙල් ක්‍රැස්ත්‍රෝගේ වචනයෙන් කියන්නේ නම් “වර්තමාන පරිකල්පනයට අනුව චේ යනු සම්මුති විරහිත, කැපවීමෙන් යුතු, නිර්දූෂිත, තමා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් පුරාවෘත්තික රොමැන්තික වීරයෙකි.”

මරණයෙන් අඩ සියවසකට පසුවත් චේ ජීවමාන වන රහස ඇත්තේ ඔහුගේ මානව දයාව සහ සටන්කාමී ජීව ගුණය තුළ බවට රහසක් නොවේ. චේ සටන් කළ ලෝක තත්ත්ව වර්තමානයේ යම් මට්ටමකින් වෙනස් වී ඇති බව සැබෑ නමුත් ඒ චේ බලාපොරොත්තු වූ තරමට නොවේ. චේ අපේක්ෂා කළ සමාජවාදයේ මුහුණුවර සම්බන්ධයෙන් චේ අද සිටියේ නම් කුමක් කියනු ඇතිද යන්න කල්පනා කළ යුතු අවදියකට අප පැමිණ ඇතැයි සිතෙන්නේ ෆිදෙල්ගෙන් පසුව රාහුල් කියුබාවේ මාර්ග සිතියම යළි සිතා බලමින් සිටින බව පෙනෙන්නට ඇති නිසාය. චේ ගේ පරමාදර්ශී සෝවියට් සමූහාණ්ඩුව අද වෙනස් වී තිබේ. චේ වෙනුවෙන් මේ යුගයේ කළ හැකි හොඳම උපහාරය වන්නේ ඔහු වර්තමානය තුළ තබා තුලනාත්මක අධ්‍යයනයකට ලක් කිරීමයි. ශ්‍රී ලංකාවේ වත්මන් පෙරළිය පිටුපස ඇති රහස ද චේ වැන්නන් කළ පරිත්‍යාගවල සාධනීය අංග සහ නිෂේධනීය අංග තුලනාත්මකව අධ්‍යයනය කරමින් දේශපාලනිකව යාවත්කාලීන වීම බව මගේ හැඟීමයි.


අර්නස්ට්ටෝ චේ ගුවේරා දිවි පෙළ­ගැස්ම

1928
අර්නස්ටෝ ගුවේරා ජුනි 14 දින ආර්ජ­න්ටි­නාවේ රොසා­රියෝ හිදී උපත ලැබීය. අර්නස්ට්ටෝ ගුවේරා ලින්ෂ්ගේ සහ සිලියා ඩි ලා සෙර්නා නම් වූ මධ්‍යම පාන්තික මවු­පි­යන්ගේ පළමු දරුවා ඔහුය.

1932
චේ ගේ ඇදුම රෝගී තත්ත්වය හේතු­වෙන් ගුවේරා පවුල බුව­නො­ර්ස් අ­යර්ස් වෙතින් කොඩෝබා අසල උණු­දිය උල්පත් නග­ර­යක් වන ඇල්ටා ක්‍රෙසියා වෙත පදිං­චිය මාරු කළහ. ඇදුම රෝගය හේතු­වෙන් චේ ට වයස අවු­රුදු නමය වන තුරු ක්‍රමා­නු­කූල පාසල් අධ්‍යා­ප­න­යට යොමු විය නොහැකි විය.

1948
ඉංජි­නේරු විෂය හැදෑ­රීමේ මුල් අද­හස වෙනස් කර­මින් චේ,බුව­නෝර්ස් අයර්ස් විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨ­යට ඇතු­ළත් වූ අතර අසා­ත්මි­කතා ප්‍රති­කාර සාය­න­යක සේවය ඇතුළු අර්ධ කාලීන රැකියා රැසක නිරත විය.

1950
ආජ­න්ටි­නාවේ උතු­රෙහි කිලෝ මීටර් 4,500ක මෝටර් සයි­කල් චාරි­කා­වක නිරත විය.

1951-52
අර්නස්ට්ටෝ සහ ඔහුගේ මිතුරා ඇල්බටෝ ග්‍රැනාඩෝ 1951වර්ෂයේ ඇල්බටෝගේ යතුරුපැදි­යෙන් උතුරු ඇමෙ­රි­කාවේ සංචා­රය කර­න්නට සැල­සුම් කළහ. දෙසැ­ම්බ­ර­යේ­ කො­ඩෝබා නග­ර­යෙන් පිටත්ව ඔවුහු පළ­මුව අර්නස්ටෝ පවු­ලෙන් සමු ගනු පිණිස බුව­නෝර්ස් අයර්ස් කරා ගියහ. එම වික්‍ර­මා­න්විත සංචා­රයේ අද්දැ­කී­ම් අ­ලළා පසු කලෙක චේ, සංචා­රක සට­හන් හෝ මෝටර් සයි­කල් ඩයරි යන නමින් යුතු කෘතිය රචනා කළේය.

1953
වෛද්‍ය උපා­ධිය සමත් වූ සැණින් චේ, ලතින් අමෙ­රි­කාව වටා සංචා­ර­යක නිරත විය. බොලී­වි­යාව, පේරු, ඉක්ව­දෝර්, පැනමා, කොස්ටාරිකා සහ ගෝත­මාලා හරහා ගිය ඒ ගමනේ දී ඔහුට කියු­බාවේ තරුණ විප්ල­ව­වා­දි­යකු වූ ඇන්ටෝ­නියෝ (නිකෝ) ලොපෙස් මුණ­ගැ­සිණ. බොලී­වි­යාවේ දී ඔහුට බොලී­වි­යානු විප්ල­වය අද්දැ­කී­මට හැකි විය. මෙකී චාරි­කාවේ සට­හන් “යළිත් වරක් හෝ යළිත් මහ මඟට”යනු­වෙන් පළ කෙරිණ.

1954
ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව බල­යට පත් ගෝත­මා­ලාවේ ජාකො­බෝ­අ­ර්බෙස් පාල­නය එක්සත් ජන­ප­දයේ අනු­ග්‍ර­හ­යෙන් පෙරළා දැමීම හේතු­වෙන් චේ ගේ දේශ­පා­ලන දර්ශ­නය බෙහෙ­වින් රැඩි­කල් තත්ත්ව­ය­කට පත් විය. ඔහු මෙක්සි­කෝ­වට පලා ගියේය. එහිදී ඔහුට කියු­බා­වෙන් පිට­මංව සිටි විප්ල­ව­වා­දීන් කණ්ඩා­ය­මක් හඳුනා ගන්නට ලැබුණි. මෙක්සි­කෝවේ දී ඔහු හිල්ඩා ගේඩියා නමැති පේරු යුව­තිය සමඟ විවාහ විය. හිල්ඩටා යනු ඔවුන් ගේ දිය­ණි­යයි.

1955
ෆිදෙල් ක්‍රැස්ත්‍රෝ හමු­වී­මෙන් පසුව චේ, බැසිස්ටා ගේ පාල­න­යට එරෙ­හිව සංවි­ධා­නය කර­මින් තිබූ ගරිල්ලා සට­නට එකතු වන්නට එකඟ වූයේ ය. ග්‍රැන්මා යාත්‍රාවේ හමුදා වෛද්‍ය­ව­රයා ලෙස හේ 1956 දෙසැ­ම්බර් මස­ යාත්‍රා ගම­නට එක් විය.

1956-58
යුද කට­යු­තු­වල දක්ෂ­තාව හේතු­වෙන් ඔහු 1957ජුලි මස අණ දෙන නිල­ධාරි තන­තු­රට උසස් කරනු ලැබීය. මධ්‍යම කියු­බාවේ සැන්ට ක්ලාරා හි බැසිස්ටාගේ හමු­දාව පරා­ජය කිරීමේ කැරලි හමුදා නාය­ක­ත්වය දැරුවේ චේ ය.

1959
නිද­හස් අර­ග­ල­යට දුන් දාය­ක­ත්ව­යට ගරු කරනු වස් 1959 පෙබ­ර­වාරි මාසයේ ඔහුට කියු­බාවේ පුර­වැ­සි­භා­වය ප්‍රදා­නය කළේය. ඇලඩා මාර්ච් සමඟ විවාහ විය. දරු­වන් සිව් දෙනෙක් ලැබූහ.ඔක්තෝ­බ­රයේ ඔහු­ ක­ර්මාන්ත දෙපා­ර්ත­මේ­න්තුවේ කෘෂි ප්‍රති­සං­ස්ක­රණ ආය­ත­නයේ ප්‍රධා­නියා ලෙස පත් කරනු ලැබීය. නොවැ­ම්බ­රයේ ඔහු කියු­බානු ජාතික බැංකුවේ සභා­පති ලෙස පත් කළ අතර එයට අක­මැත්ත ප්‍රකාශ කිරීම පිණිස අලුත් බැංකු නෝට්ටු­වල චේ යනු­වෙන් ක‍ෙටි­අ­ත්සන යෙදීය.

1960
විප්ල­වීය ආණ්ඩුව නියෝ­ජ­නය කර­මින් චේ, සෝවි­යට් සමූ­හා­ණ්ඩුව, ජර්මන් ප්‍රජා­තා­න්ත්‍රික ජන­ර­ජය, චෙකෝ­ස්ලෝ­වැ­කි­යාව, චීනය සහ කොරි­යා­වට පෘථුල සංචා­ර­යක යෙදෙ­මින් වැද­ගත් වෙළෙඳ ගිවි­සුම් කිහි­ප­යක් අත්සන් කළේය.

1961
අලු­තින් පිහි­ටු­වනු ලැබූ කර්මාන්ත අමා­ත්‍යං­ශයේ ප්‍රධා­නියා ලෙස චේ පත් කරනු ලැබීය. අගෝස්තු මාස­යේදී උරු­ගුවේ පුන්ටා ඩෙල් එස්ට්හි පැවැති අමෙ­රි­කානු රාජ්‍ය සංවි­ධා­නයේ කියු­බානු නියෝ­ජිත පිරි­සෙහි ප්‍රධා­නියා වශ­යෙන් සහ­භාගි වෙමින් එක්සත් ජන­පද ජනා­ධි­පති කෙනඩි ගේ” ප්‍රග­තිය සඳහා වන සන්ධා­නය” හෙළා දකි­මින් අද­හස් දැක්වීය.

1962
කියු­බාවේ විප්ල­ව­වාදී සංවි­ධාන එක­මු­තුවේ අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට චේ තේරී පත්විය. දෙවැනි වර­ටත් චේ, සෝවි­යට් සමූ­හා­ණ්ඩුවේ සංචා­ර­යක නියැ­ළු­ණේය.

1963
අහ­මඩ් බෙල් බෙලා යටතේ ප්‍රංශ­යෙන් නිද­හස ලත් ඇල්ජී­රි­යාවේ සංචා­ර­යක යෙදු­ණේය.

1964
අප්‍රි­කාවේ රට­වල සංචා­ර­ය­කට ප්‍රථම චේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩ­ලය ඇම­තීය.

1965
පැට්‍රික් ලුමුම්බා විසින් ගොඩ­න­ඟන ලද විමුක්ති ව්‍යාපා­ර­ය­ට ­ස­හ­යෝ­ගය පිණිස ජාත්‍ය­න්තර දූත මෙහෙ­ව­රක නාය­ක­ත්වය ගත්තේය. චේ නොමැති වීම ගැන සැක සංකා පහ කර­මි­න් ෆි­දෙල්, අලු­තින් ආරම්භ කළ කියු­බානු කොමි­යු­නිස්ට් මධ්‍යම කමි­ටු­වට චේ ගේ සමු­ගැ­නීමේ ලිපිය ඉදි­රි­පත් කළේය. දෙසැ­ම්බර් මාසයේ චේ යළි කියු­බා­වට පැමි­ණියේ බොලී­වි­යා­වට දූත මෙහෙ­ව­රක් සඳහා රහ­සි­ග­තව සූදා­නම් වීම­ටය.

1966
නොවැ­ම්බර් මාසයේ චේ රහ­සි­ග­තව බොලී­වි­යා­වට ඇතුළු විය.

1967
විය­ට්නාම් දෙකක් තුනක් කිහි­ප­යක් නිර්මා­ණය කිරීමේ අව­ශ්‍ය­තාව පැහැ­දිලි කරන චේ ගේ “ත්‍රෛම­හ­ද්වී­පික පණි­වු­ඩය”ප්‍රකා­ශ­යට පත් කළේය. එම මාස­යේම ඔහුගේ ගරිල්ලා පිරි­සක් ප්‍රධාන භට කණ්ඩා­ය­මෙන් වෙන් විය. ඔක්තෝ­බර් 8 දින ඉතිරි ගරිල්ලා භට­යන් 17දෙනා සැඟවී පහ­ර­දී­ම­කට ලක්වූ අතර චේ තුවාල ලබා සතු­රන්ගේ ග්‍රහ­ණ­යට ලක්විය. වොෂි­න්ට­නයේ උප­දෙස් යටතේ ක්‍රියා­ත්මක වූ බොලී­වි­යානු හමු­දාව විසින් පසු දින චේ ඝාත­නය කරනු ලැබීය. ඔහුගේ මෘත­දේ­හය සටනේ දී මිය­ගිය තවත් ගරිල්ලා භට­යන් කිහි­ප­දෙ­න­කුගේ සිරුරු සමඟ හඳුනා ගත නොහැකි වන ස්ථාන­යක වළ දමනු ලැබීය. කියු­බාවේ වීරෝ­දාර ගරි­ල්ලා­ව­රුන්ගේ දිනය ලෙස ඔක්තෝ­බර් 8 නම් කරනු ලැබීය.

1997
බොලී­වි­යා­වෙන් සොයා ගත් චේ ගේ ශරීර කොටස් කියු­බා­වට රැගෙන විත් සැන්ට ක්ලාරා හි ස්මාර්ක­යක තැන්පත් කරනු ලැබීය.

සම්පත් අමරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division