අලුත් සමාජයක් අලුත් රටක් වැනි වචන මේ දිනවල මාධ්‍ය ඔස්සේ මෙන්ම එදිනෙදා කතාබහේදී ද සංසරණය වෙයි. රටක් සමාජයක් අලුත් වන්නේ අලුත් නීති රීති හෝ අලුත් උසාවි මඟින් හෝ නොවන බව තේරුම් ගත යුතුය. 225ම එපා’ යැයි කියන විරෝධතා පාඨය නිර්මාණය වීම සහ එය කුඩාම දරුවන් අතර පවා ජනප්‍රිය වීම විසින් ගම්‍ය වන යථාර්ථය මඟ හැර අලුත් රටක් අලුත් සමාජයක් අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බව මගේ අදහසයි.
අප තරුණ අවදියේ දී “කොළඹට කිරි අපට කැකිරි” කියන සටන් පාඨයක් සමාජගත විය. එය එකල දේශපාලන අරුතක් සහ සමාජීය අරුතක් ද ඇති ජනප්‍රිය සටන් පාඨයකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා හැරුණු කොට 225න් ඉතිරි 196 දෙනාම මහජන ඡන්දයෙන් තේරී පත්වූවන්ය. ආසන්නතම මහ මැතිවරණය සැලකූ විට 16,263,885ක් ඡන්ද දායකයන් ප්‍රමාණයක් ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබිණි. එම මැතිවරණයේදී මුළු ඡන්ද ප්‍රමාණයෙන් 31.93 තරුණ ඡන්දය.
ඉන් 1.67 පළමුවරට ඡන්ද හිමි තරුණ තරුණියන් වූහ. ඔවුන් 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ඡන්දය දුන් අතර මහමැතිවරණයේදී ඡන්දය නොදුන් බවට සමීක්ෂණවලදී හෙළි විය. එසේම වයස අවුරුදු 18 – 26 අතර ඡන්ද දායකයන්ගෙන් 47%ක් පමණ මහ ඡන්දයේදී ඡන්ද පොළට නොගිය බවට හෝ ඡන්දය අවලංගු කළ බවට අනාවරණය විය. ජනාධිපතිවරණයේදී උනන්දු සහගත ඡන්ද දායකයා මහමැතිවරණයේදී අලස වීම පසුපස ඇති කතන්දරය තේරුම් ගත යුතුය.
ජනාධිපතිවරණයේදී 83.72ක් වූ ඡන්ද ප්‍රතිශතය 2020 මහමැතිවරණයේදී 78%ක් වීමට හේතුන් ද අනාවරණය කරගත යුතුය.
සුනාමිය ආවේ 2004දිය. එවක ජනාධිපති චන්ද්‍රිකාය. 2005 ජනාධිපතිවරණයට මහින්ද සහ රනිල් තරගකරුවන් ලෙස කැපී පෙනිණි. මහින්දට සුනාමි ආධාර වංචා චෝදනාවක් තිබුණ ද මහින්ද 51% අබිබවා ජන්ද ගෙන ජනාධිපති වෙයි. අලි කොටි ගිවිසුමක ප්‍රතිපක්ෂ චෝදනාවට ලක්වූ රනිල් දෛවෝපගත ලෙස පරාජය වන්නේ උතුරේ ඡන්දය වර්ජනයක බලපෑමෙනි.
දෙවතාවක්ම මෙරට රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ වූ අතර, 2019 දි ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වන්නේ ගෝඨාභය මලයාය. මිග් ගනුදෙනුව, ලසන්ත ඝාතනය, සුදු වෑන් පැහැර ගැනීම් ඇතුළු බරපතළ චෝදනා මෙන්ම අමෙරිකන් පුරවැසියෙක්ය යන චෝදනාව ද තිබියදි, එමෙන්ම ඒවා මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වද්දිත් ගෝඨා ලබන්නේ වාර්තාගත ජයකි.
එසේ වන්නේ කෙසේද? ජනතා අභිලාෂයන් චලනය වීම ද ඒවායේ පොදු ලක්ෂණ ද තේරුම් ගැනීමට ගැඹුරු උත්සාහයක් දැරිය යුතුය.
අප ජීවත්වන සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ වැඩුණු නොදියුණු ලක්ෂණ ද, පසුගාමි ලක්ෂණ මෙන්ම ඉතා සුළුතරයගේ අධික කෑදරකම ද රට මේසා අගාධයකට, අඳුරකට වැටීමට හේතුව බව මගේ පිළිගැනීමයි.
දරුවන්ගේ විභාග ප්‍රශ්න පත්තර පිට කරන ගුරුවරයා පිටුපස දේශපාලනයක් තිබේද? කෑදරකම මුසුවූ තක්කඩිකම විසින් ගේම්කරුවන්ව සිටින වෛද්‍යවරයා ද, ලෝයර්ලා ද, අල්ලස් ගන්නා රාජ්‍ය නිලධාරියා ද, අලස රාජ්‍ය නිලධාරියා ද, මුදල්, ලිංගික අල්ලස් ගන්නා විදුහල්පතිවරයා ද, වගකීම නොතකන ගුරුවරයා ද, උසස් සේවයක් වෙනුවට ගේම් ගහන ගමේ බාසුන්නැහේ ද, අර්බුද පරිසරයකදී භාණ්ඩ හිතූ හිතූ ගණන්වලට තමන්ගේම අනෙකාට විකුණන ගමේ සිල්ලර කඩකාරයා ද, ජාතිවාදය, ආගම්වාදය පෝෂණය කරන කලාකරුවා ද, මාධ්‍යවේදියා ද ආදි වශයෙන් සමාජය තුළ එදිනෙදා හමුවන්නන්ගේ එකතුවකින් සෑදුණ සමාජයක් ඡන්ද ප්‍රතිඵලයකින් එකවර වෙනස් කළ හැකිද යන උභතෝකෝටිකය නොවිසඳී පවතින්නකි. විසඳුම දුරට ඇදෙන විකාරයකි. ජාතික ජන බලවේග ජනාධිපතිවරයා පත්වූ පසුවදාම දැන් ඉතින් පාරට ටොෆි කොළයක්වත් නොදාමුය කියන ෆේස්බුක් තරුණයා තේරුම්ගත යුත්තේ කෙසේද?
අපට අවශ්‍යව ඇත්තේ දියුණු දේශපාලන සංස්කෘතියක් සඳහා ප්‍රවේශයක් ගොඩනඟා ගැනීමයි. මේ ජනාධිපතිවරණය අවසානයේ අප අත්විඳි පශ්චාත් මැතිවරණ සමය සහ ඉන් පෙර කාලය ද සැලකිල්ලට ගෙන මැතිවරණ කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කර තිබුණේ මෙය යුරෝපා මැතිවරණ පන්නයේ ප්‍රශස්ත මට්ටමක තිබූ බවය. ඒ එම තනතුර ම, දැරූ නිලධාරියෙක් තමා ආතතියට හා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව මැතිවරණයක් අවසන් පැවසූ රටකමය. දැන් පෙරට යමු.
කුමාරදාස ගිරිබාව
කුමාරදාස ගිරිබාව