Home » මේ විෂම චක්‍රය පරාජය කර ජනතාවාදී ගමනට ඉඩදිය යුතුයි

මේ විෂම චක්‍රය පරාජය කර ජනතාවාදී ගමනට ඉඩදිය යුතුයි

නීතිඥ එස්. ජී. පුංචිහේවා

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

රට වාමාශික ව්‍යාපාරයේ කීර්තිමත්

ක්‍රියාධරයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු, සාහිත්‍යවේදියකු හා පුරවැසි දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සක්‍රිය ක්‍රියාධරයකු වන නීතිඥ එස්. ජී. පුංචිහේවා සමඟ සිළුමිණ කළ සංවාදයකි මේ.

ඔබ පාසල් අවධියේ සිටම වාමාශික දේශපාලන අදහස්වලට නැඹුරු අයකු ලෙසයි සැලකෙන්නේ. මේ ආකාරයට වාමාංශික අදහස් දැරීමට බලපෑ පසුබිම කුමක්ද?

මා හෝඩියේ සිට ජ්‍යෙෂ්ඨ විභාගය දක්වා පාසල් ගියේ ක්‍රයිස් චර්ච් පාසලට. ඒ කාලයේ අත්දකින්න ලැබුණු බලවේග දෙකක් මාතර ක්‍රියාත්මක වුණා. ඒ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා ඇතුළු වාමා‍ශික ව්‍යාපාරය. ගමේ හිටිය හින්නි අප්පු කියල මනුස්සයෙක්ව ඒ කාලේ පොලිසිය විසින් පහරදී ඝාතනය කළා. මේකට එරෙහිව කොමියුනිස්ට් පක්ෂය පෙළපාළි ගිහින් පොලිසිය ඉදිරිපිට දැඩි විරෝධයක් පළ කළා. එය අපට ආස්වාදජනක සිද්ධියක් වුණා. ඒ වගේම ඒ අයගේ රැස්වීම්වල කථිකයන් කියන දේවල් අතිශය ප්‍රියජනකයි. මේ නිසා අප නොදැනුම්වත්වම අපේ භාෂා හැකියාවත් දියුණු වුණා. දෙවන කාරණය වුණේ මාතර ප්‍රදේශයේ කුමාරතුංග මහතා ප්‍රමුඛකොට නැඟී ආ හෙළ හවුල භාෂා ව්‍යාපාරය. මේ නිසා භාෂාව සම්බන්ධයෙන් උනන්දු වූ ගුරුවරුන් මධ්‍යම පාන්තික ජනතාව විශාල වශයෙන් එයට ආසක්තවී ක්‍රියා කළා. අපත් ඊට නැඹුරු වුණා. මාතර විවිධ ස්ථානවල පැවති රැස්වීම්වලට ගියා. අපට ලොකුවට නොතේරුණත් අප ඒ වෙත ආකර්ෂණය වුණා. ඒ වගේම මං ඉපදුණු ගම නිල්වලා ගඟ මුහුදට වැටෙන තොටමුණ නාගරික පරිසරයක පිහිටා තිබුණා වුණත් ඉතාම දිළිඳු ජනයා වෙසෙන ග්‍රාමයක් වුණා. ඒ දිළිඳුකමේ සියලුම දුක් වේදනා අදෝනා මා විඳ තිබෙනවා. ඒ දිළිඳුකමත් එක්ක දේශපාලනයයි භාෂා ව්‍යාපාරයයි කලවම්වෙලා මගේ දේශපාලන අනාගත දැක්ම සකස් කළා. ඒ නිසා මේ දිළිඳුකමට එරෙහිව සටන් කරන්න ඕන කියන අදහස ළමා කාලෙම මා තුළ ඇති වුණා. මේ දක්වා මා පැමිණියේ ඒ අදහස් නිසයි.

ඔබ ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාග දෙකක් සමත් වෙලා බැංකුවට හෝ ලිපිකාර සේවයට යන්න හැකියාව තිබියදී ඔබ ඈත ගමක ගුරුවරයකු ලෙස සේවයට බැඳෙන්නේ මේ අදහස් නිසා ද?

ඔව්, මං රළපනාව ගොවි ජනපද පාසලේ ගුරුවරයකු ලෙස සේවයට බැඳුණා. ඉතාම දුෂ්කර පළාතක්; අන්තිම දිළිඳු මිනිස්සුන්ගේ දරුවන් තමයි ඒ පාසලට ආවේ. මේ ගුරු ජීවිතයෙන් තවත් පාඩම් ගොඩක් ඉගෙන ගන්න මට අවස්ථාව හිමි වුණා. මාතර ගම තියෙද්දි මං අනුරාධපුරේ පාසලක් තෝරගන්න තවත් එක හේතුවක් වුණේ අනුරාධපුරයේ තිබුණු ඉතාම දියුණු පුස්තකාලයයි. එය ඉතාම සිත්ගන්නා ආකාරයට පිළිවෙළකට තිබුණු පුස්තකාලයක්. මා කවදාවත් අහල නැති ඉතාම දියුණු අදහස් කැටිවුණු පොත්පත් ඒ පුස්තකාලයේ තිබුණා. මා මුලින්ම කියැවූයේ කලීල් ජිබ්රාන්ගේ පොත්. පසුකාලයේ මා ඇත්ත පුවත්පතට ලිවීම ආරම්භ කළෙත් මේ කලීල් ජිබ්රාන්ගේ කාව්‍ය පරිවර්තනය කිරීමෙන්. ඒ වගේම ක්‍රිෂ්ණ මූර්තිගේ පොත් කියවන්න ආරම්භ කළෙත් මේ පුස්තකාලයෙන්. මගේ අධ්‍යාපන කාර්යයටත් මේ පොත්පත් හුඟක් වැදගත් වුණා. ඒ වගේම ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහතා ලියූ විද්‍යා පොත්පත්වලින් අපට විද්‍යා දැනුම ලැබුණා. පස්සේ කාලේ මං ඕෂෝ කියවන්න පටන් ගත්තා.

ක්‍රිෂ්ණමූර්ති සහ ඕෂෝගේ අදහස් මාක්ස්වාදී දර්ශනයන් සමඟ සමපාත වන්නේ නැහැ. මේ ආධ්‍යාත්ම්ක අදහස් සහ භෞතිකවාදී අදහස් ඔබ ගළපා ගත්තේ කොහොමද?

ආධ්‍යාත්මික පැවැත්ම ගැන ලියන මේ දෙපලගේ අදහස් බොහෝම රසවත්. නමුත් මා සෝවියට් චීන මාක්ස්වාදී පතපොත කියවන්න පටන් ගත්තයින් පස්සේ විශේෂයෙන්ම ද්විඝටනාත්මක භෞතිකවාදය අධ්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ මගේ අදහස් වෙනස් වුණා. ක්‍රිෂ්ණමූර්ති සහ රාජනීෂ් නැත්නම් ඕෂෝගේ පොත් 135ක් පමණ මා සතුව තිබුණා. (පසුගිය දිනක ඒ පොත් සියල්ලම ජාතික ජන බලවේගයේ පුස්තකාලයට හේ පරිත්‍යාග කළේය.) ක්‍රිෂ්ණමූර්තිට වැඩිය රාජනීෂ් ප්‍රායෝගිකව ඉදිරියට ගොස් තිබුණා. විශේෂයෙන්ම ඕෂෝගේ ධම්ම පද විග්‍රහය කැටිවුණ පොත් දොළහ තුළ ඉතාම ගැඹුරින් ඒ ගැන විග්‍රහ කර තිබුණා. නමුත් මේ දෙන්නම තනි පුද්ගලයකුගේ විමුක්ති දැක්මක් ගැන තමයි දේශනා කරලා තිබුණේ. නමුත් මාක්ස්වාදය තුළ තනි පුද්ගල විමුක්තියක් ගැන නෙමෙයි කියලා තිබුණේ. සමස්ත මානව සංහතියටම විමුක්තිය ළඟා කරන දර්ශනයක් දැක්මක් තමයි යෝජනා කර තිබුණේ. මේ නිසා මං ඒ සියලු පොත් පැත්තකින් තියලා ද්විඝටනාත්මක භෞතිකවාදය ගැඹුරට අධ්‍යයනය කරන්න යොමු වුණා. ඒ අතර ඒංගල්ස් විසින් සම්පාදනය කළ ‘සොබාදහමේ දයලෙක්තිකය’ සහ ‘ඩුරිං විරෝධය’ මා තුළ විශාල බලපෑමක් කළා. කාල් මාක්ස් මේ අදහස් ඉතා හොඳින් තම ප්‍රාග්ධනය කෘතිය මඟින් පෙන්වාදී තිබුණා. ඔහු ‘ශ්‍රමය’ කියලා අදහස් කළේ ශරීර ශක්තිය පමණක් නෙමෙයි. එයට එකතු වන අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය හා මානසික ශ්‍රමයක් ඇති බව ඔහු පෙන්වා දුන්නා. යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කළාම හුදු කායික ශ්‍රමය පමණක් නෙමෙයි එතනදී වැය වන්නේ.

ස්නායු ශක්තිය හා මානසික ශක්තියත් ඊට අන්තර්ගත වෙනවා. නමුත් මේ දෙකට ගෙවීමක් කරන්නේ නැහැ. මේ දෙකත් භාණ්ඩයක් නිපදවීම සඳහා අත්‍යවශ්‍ය වුවත් ඔවුන් එය නොසලකා හුදු කායික ශ්‍රමයට පමණයි ගෙවීමක් කරන්නේ. ඒ අනුව මේ නොගෙවූ ශ්‍රමය තුළින් අතිරික්තය නිර්මාණය වන ආකාරය ඔහු පෙන්වා දුන්නා. එලෙස නොගෙවා ලබාගන්නා ශ්‍රමය; මාක්ස් ශ්‍රමය සූරාකෑමක් බව පෙන්වා දුන්නා. ධනපති ක්‍රමය විසින් සිදු කරන මේ ශ්‍රමය සූරාකෑම ගැන ක්‍රිෂ්ණ මූර්ති හෝ ඕෂෝ හෝ කිසිවක් කියන්නේ නැහැ. ඒ නිසා තනියම විමුක්තිය ළඟා කරගන්න නෙමෙයි වුවමනා මේ සියලු මිනිස් වග විමුක්තිය කරා රැගෙන යාමයි අවශ්‍ය වන්නේ. කොතරම් නව දාර්ශනික අදහස් මතු වුණත් ශ්‍රමය පිළිබඳ එතරම් පරිපූර්ණ නිර්වචනයක් මට මෙතෙක් හමු වී නැහැ. මේ දැක්ම තිබූ අපේ රටේ සිටි හොඳම සාහිත්‍යකරුවා මහගමසේකරයි. “මට ඕන තනියම බුදුවෙන්න නෙමෙයි දෙනොදාහක් සමඟ බුදුවෙන්න” කියලා ඔහු සිය ප්‍රබුද්ධ කාව්‍යයෙහි සඳහන් කරනවා. අපට මේ රට වඩා හොඳ සුඛිත මුදිත තැනක් කරන්න නම් අපි දෙනෝදහක් සමඟ වැඩකර දෙනෝදාහක් එක්ක මිදෙන්න ඕන. එහෙම නැතිව ආත්මාර්ථකාමී විදියට තනියම මිදෙන්න බැහැ කියන තැනට තමයි මා අවසානයේ ආවේ.

ඔබේ අත්දැකීම් එක්ක බැලුවම මේ සමාජය කවරාකාරයෙන් වෙනස් විය යුතුයි කියල ද ඔබ කල්පනා කරන්නේ?

අපේ තරුණ කාලය වනවිට වියට්නාම් විප්ලවය, කියුබන් විප්ලවය, චීන විප්ලවය ආදිය ඇති වෙමින් තිබුණා. එම අදහස්වල බලපෑම සමස්ත ආසියාව තුළම පැතිර ගියා. ඒ අදහස් අනුව අප හිතුවා අපේ රටේ පවතින ක්‍රමය සුදුසු නැහැ. මේ ක්‍රමය මහජනයාට හිතසුව පිණිස නෙමෙයි පවතින්නේ. ඒ නිසා සියලු දෙනාට හොඳ ජීවිතයක් ලැබෙන සමාජවාදී ක්‍රමයක් ඇතිවිය යුතුයි; ඒ සඳහා සමාජ විප්ලවයක් සිදුවිය යුතුයි කියලා අපි ඒ කාලයේ හිතුවා. නමුත් සන්නද්ධ විප්ලවයක් කරා යොමුවීම වැරදියි කියලා පස්සේ අප තේරුම් ගත්තා. අද වන විට සන්නද්ධ විප්ලවය යල්පැනගිය මතයක් කියන අදහස මුළු ලෝකය පුරාම පැතිරී තිබෙනවා. සන්නද්ධ විප්ලවය නොමැතිව වුවත් සමාජය යහපත් පැත්තට වෙනස් කරන්න පුළුවන් කියන අදහස සනාථ වී තිබෙනවා. ඒ නිසා අද අප කෙරෙහි බොහෝදෙනා තුළ විශ්වාසයක් තිබෙනවා.

නමුත් අප මේ අවධිය දක්වා පැමිණියේ යටත්විජිත යුගයක සුන්බුන් එක්ක. විශේෂයෙන්ම මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපේ සංස්කෘතිය, සිතුම් පැතුම් සිරිත්විරිත් මේ හැමදෙයක්ම වෙනසකට භාජනය වුණා. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළොත්?

යටත් විජිත ඒජන්තයන් මෙහෙන් යන්නේ ඔවුන්ට ගතු කියන පැළැන්තියකට මේ රටේ බලය ලබාදීමෙන් අනතුරුවයි. මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කියන කෘතිය හරහා අපට පේනවා මොනවගේ පන්තියක්ද මේ රට බාර ගත්තේ කියලා. මේ නිසා සමාජය තුළ ලොකු අසහනකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබුණා. විශේෂයෙන්ම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සමඟ ද්විභාෂා අධ්‍යාපන ක්‍රමය අවසන් වී සිංහල පමණක් උගත් බුද්ධිමත් ගැමි තරුණ ප්‍රජාව නිර්මාණය වීමේ පසුබිම තුළ ඉංග්‍රීසි උගත් පිරිසකට සමාජ තීරුවේ ඉහළට නැඟීමේ අවස්ථාව හිමි වුණා. මේ නිසා සිංහල උගත් තරුණ ප්‍රජාව පසෙකට තල්ලු වීමත් එක්ක විශාල සමාජ අර්බුදයක් මේ කාලය තුළ පැනනැඟුණා. එක්තරා විදියකින් සන්නද්ධ අරගලයක අවශ්‍යතාව ඒ තුළින් නිර්මාණය වී පැවතියා. විශේෂයෙන්ම විජේවීර සහෝදරයා වටා එකතු වෙන්නේ මේ පිරිස.

ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් ඉදිරියට ආ මේ නව දේශපාලන බලවේගයට ඉදිරියේදී එල්ල විය හැකි අභියෝග මොනවද?

2022 පැනනැඟුණු අරගලය නිසාම මේ රටේ දේශපාලන දැක්ම වෙනසකට භාජනය වුණා. දැන් ඉන්නේ පැවති විෂම චක්‍රය පවත්වාගෙන යාමට හුරු වූ පිරිසක්. රාජ්‍ය පරිපාලන යන්ත්‍රය වුණත් එහෙමයි. අපට එය වෙනස් කර ගැනීමේ අභියෝගය තිබෙනවා. දැන් දැන් සිදුවෙමින් තිබෙන යම් යම් කාරණා දිහා බැලුවම ඒක අවබෝධ වෙනවා. ඒ නිසා ඉතා පරිස්සමින් යා යුතු ගමනක් මේක. ඉදිරි මැතිවරණයේදී ජනතාවගේ යුතුකම වෙන්නේ මේ විෂම චක්‍රය පරාජය කර ජනතාවාදීව යන මේ ගමන වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි ශක්තිය ඔවුන් වෙත ලබාදීමයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division