දැන් කවුරුත් යාල යන්නේ කොටි බලන්න. යාල අලි – කොටි පාරාදීසයක් පමණක් නෙමෙයි, යාල වලස් පාරාදීසයක් වෙනවා. ලංකාව පුරාම දීපව්‍යාප්ත වෝටර් හොල් තියරියෙන් අලි සංගණනය සිදු කළේ අගෝස්තු 18 වැනිදාය. එය දවස් තුනක් පුරාවටම සිදු කෙරුණා. අලි සංගණනයේ අවසන් ප්‍රතිඵලය තවමත් නිකුත් නොවුණත් ඊට ඔබ්බෙන් කවුරුත් නොසිතූ නොදන්නා මහ භයංකර සිදුවීම් ගොන්නක් ඇතිවුණා.
වන සත්තු එක්ක සෙල්ලම ලේසිපහසු නැහැ. මේ නිලධාරීන් සමහරක් කැලේටම පදම් වුණු අය වුවත් බොහෝමයකට කැලේ ගැන අත්දැකීම් තිබුණේ නැහැ. ඒත් ජාතික කර්වත්‍යයක වගකීම කරට ගත් ඔවුන් ඊට මුහුණ දුන්නේ ජීවිතය පරදුවට තබමින්. යාල කැලෙත් අලි සංගණනය සිදුවුණත් අවසානයේ නිලධාරීන්ට සිදුවුණේ ඊළඟ වතාවේ වලස් සංගණනයක් ද සිදු කරන්නට. මන්ද යාල කැලේ කවුරුත් නොසිතන තරමට වලස්සු. මේ එය සපථ කරන්නට හොඳම උදාහරණයක්.
ඒ. ටී. ගයාන් සුරංග. ඔහු දැනට සේවය කරන්නේ යාල ජාතික වනෝද්‍යානයේ. 2008 සිට මේ දක්වා සේවය කරන අතර, වසර 26 ක අත්දැකීම් ඇති නිලධාරියෙක්. ඔහුටත් මේ අලි සංගණනයට එක්වන්නට පසුගියදා සිදු වුණා. අපිට ඔහුත් සමඟ කතා කරන්න ලැබෙන්නේ ඊට මාස දෙකකට පමණ පසුවයි. තුන්වරක් අලි – වලස් ගැටුමට මැදිව ජීවිතය අතහරින්නට පවා සිදු වූ ඔහු අලි සංගණනය අවසන් කරන්නේ මහ බියකරු අත්දැකීම් ගොන්නක් සමඟයි.
“මම වැඩ කරන්නේ යාල ජාතික වනෝද්‍යානයේ. 2008 දී මම ස්වේච්ඡා මාර්ගෝපදේශකයකු ලෙස වැඩ කරන්න පටන් ගත්තේ යාල වනෝද්‍යානයෙන්. 2014 වසරේ ක්ෂේත්‍ර සහයක වශයෙන් පත්වීමක් ලැබුණා, ඒ තංගල්ල රැකව බීට්ටු කාර්යාලයට. ඉන්පසුව 2019 දී මම මුලින්ම යාලට ආවේ බැබෝ බීට්ටු කාර්යාලයට. ඉන්පසුව 2024 මුල් කාලයේ යළිත් යාල ජාතික වනෝද්‍යාන මූලස්ථානයට ගියා. වසර 26ක කැලේ අත්දැකීම් එක්ක.“
“යාල ජාතික වනෝද්‍යාන ජීවිතයේ ගෙවුණු කාලය මගේ ජීවිතයේ හරිම අපූර්ව සිදුවීම් වුණු කාලයක් වුණා.
අපි නොසිතන බොහෝ භයානක, කටුක අත්දැකීම් මේ ජීවිතවල පිරී ඇත. අගෝස්තු 17 වැනිදා සිට දින තුනක් සිදු කෙරුණු ලංකාවේ අලි සංගණනයේදී භයානක අත්දැකීම් වින්දේ වනෝද්‍යාන තුළ රාජකාරි කළ නිලධාරීන්ය.
“අලි සංගණනයේ මුල් දිනය වූ 17 වැනි දින අපිට අලි සංගණනය කරන්න ලැබුණේ වතුර වළක් ළඟ. ඒ යාල කලාප අංක එකේ කූරණිය පාර කරව්ගස්වල පළමු වළ ළඟ. මෙතැනට එන්න ළඟම පිවිසුම පලටුපානයි. කලාප අංක එක නිසා සංචාරකයෝ නිතර මේ කලාපයේ ගැවසෙනවා. ඒ වගේම යාල ජාතික වනෝද්‍යානයේ වැඩිම සත්ත්ව ගහනයක් සිටින්නෙත් මේ කලාප අංක එකේ.
අපිට අලි සංගණනය කරන්න ලැබුණු පළමු වළ ආසන්නයේ ගස් ගොඩාක් අඩුයි. හැම තැනම තියෙන්නේ කටු පඳුරු සහිත පරිසර පද්ධතියක්. මේ නිසා හදිස්සි වෙච්ච වෙලාවට ගසකට නැඟ ජීවිතය බේරා ගැනීමට තියෙන අවස්ථාව ඉතාම අඩුයි. මේ දින තුනේ මාත් සමඟ සහයට සිටියේ සුරංග මහතා. ඔහු යාල අත්දැකීම් අඩු ප්‍රධාන වනජීවි කාර්යාලයේ නිලධාරි මහතෙක්. ඒ වගේම ඔහු මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මාස තුනක්. මේ නිසා ඔහුත් ආරක්ෂා කරගනිමින් මාත් ආරක්ෂා වීමේ සංගණනය හරියට කිරීමේ වගකීමට මට පැවැරුණා.“
කළු පාට ගුළි දෙකක්
අපිට සංගණනය කරන්න තියෙන වතුර වළ ළඟට අපි හැමෝම ගියේ එක වාහනයකින්. අපිට තිබුණේ කූරණිය පාර කරව්ගස්වල පළමු වළ. අපි දෙන්නා එතැනට බහිද්දීම අලි හය දෙනෙක්ම පැටව් දෙන්නෙකුත් එක්ක වතුර වළේ වතුර බොනවා. අපිට හරිම සතුටුයි. ආවේ අලි සංගණනයට. මුල්ම අලි සංගහණ පොතේ සටහන් කරන්න ගත්තා. අලි ගැන හොඳ අත්දැකීම් ඇති මම අලින්ට අපේ සුළඟ වැඳෙන්න නොදී පිටුපා සිටියා. එහෙම හිටියොත් තමයි උන් අපි දෙසට එන්න තියෙන අවකාශය අඩු වෙන්නේ. අපිට ඉටි කොළයක් ලැබුණත් වැස්සෙන් ආරක්ෂා වීමට මම මගේ පෞද්ගලික ටෙන්ට් එක අරගෙන ගියා. ඒක මම කැලේ යද්දි නිතරම අරගෙන යන එකක්. අලි සංගණනයට ගිය අපිට කෑම වේල් තුනම වාහනයෙන් ගෙනත් දෙනවා. හදිසියකදී ළඟම වාහනයකටත් කෝල් කරන්න අවස්ථාව තියෙනවා.
පළමු දවසේ අපි දෙන්නා වළට වතුර බොන්න එන අලි හොඳට විමර්ශනය කරන්න පුළුවන් තැනක් සොයාගෙන ටෙන්ට් එක ගහගත්තා. අලි එනතෙක් බලාගෙන රාත්‍රිය දක්වා කාලය ගත කළා. කිසිම වෙනසක් සිදු වුණේ නැහැ. ටිකෙන් ටික කළුවර වැටෙන්න ගත්තා. වනෝද්‍යානය පාළුයි. සත්තුන්ගේ හඬ හැරෙන්න කිසිම මිනිස් හඬක් නැහැ. මෙහෙම අපි දෙන්නා කතා කර කර ඉන්නකොට එකපාරටම මීටර් ගාණක් දුරින් කළුපාට ගුළියක් වගේ; දෙයක් එහාට මෙහාට යනවා අපිට පේනවා. ඒ ඝණ අන්ධකාරය මැදින්. කිසිම දෙයක් හරියට පැහැදිලි නැතත් කළුපාට ගුළි දෙක අඳුර මැදින් හොඳින් දිස්වෙනවා. මට තේරුණා වෙන්න යන දේ. හිතුවේ නැහැ වලහෙක් මේ වෙලාවේ එයි කියලා.
“සුරංග මහත්තයා ඒ වැලහින්නියක්. එයාගේ පැටියා තමයි අම්මාගේ පිට උඩ තියාගෙන යන්නේ.“යාල වනයේ අත්දැකීම් ඇති මම ඒ අවදානම හඳුනා ගත්තා.
“සුරංග මහත්තයෝ දැන්නම් එන පොට හොඳ නැහැ. මෙයා අනිවාර්යයෙන් පාර පැනලා අපි ඉන්න තැනට එන්න පුළුවන්..“ අවදානමට පෙර ආරක්ෂාව පතා අපි දෙන්නා එතැනින් ඉවත් වුණා.
දැන් අපි දෙගොල්ලෝ අතර පරතරය මීටර් 200 ක් පමණ. මහ වනාන්තරේ යන්න තැනක් නැහැ. ඒ වෙනකොටත් සෆාරි ආපු වාහන පිටවෙලා ගිහින්. මුළු කැලේම පාළුයි. භයංකරයි. අපි දෙන්නම ටෙන්ට් එකෙන් වෙනත් පැත්තකට මාරු වුණා. මීටර 50ක් දුරින් බන්ට් එකකට වෙලා වෙන දේ බලා සිටියා. වලස් මවත් පැටවාත් පාර මාරුවෙලා අපේ ටෙන්ට් එකට ඇවිත් ටෙන්ට් එක පහුරු ගාන්න පටන් ගත්තා.
කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. සද්දයක් දාන එක පමණයි, කරන්න තිබුණු එකම දේ. සද්දයෙන් පස්සේ වැලහින්නයි පැටියයි; ටෙන්ට් එක පුරාම ඉව කරලා වැඩක් නැති බව තේරුම් ගිහින් කැලයට මාරු වුණා.
එදා රෑ අපි දෙන්නම නිදා ගත්තේ නැහැ. ආරක්ෂාවට අපි ළඟ ලොකු ටෝච් එකක් තිබුණා. මේ ටෝච් එකෙන් කැලයට ආලෝකය එල්ල කළේ අපේ ආරක්ෂාවට. ඒත් සතුන් වතුරට බහින වතුර වළට දෙසට ආලෝකය එල්ල කළේ නැහැ. රාත්‍රිය වෙද්දි වතුර වළට පිරිමි අලි දෙන්නෙකුත් එක්ක අලි හතර දෙනෙක්ගේ රංචුවක් ආවා. උන් වතුර බීලා ගියා. පැයෙන් පැයට අපි දෙන්නාගෙන් එක්කෙනෙක් අවදියෙන් හිටියා. කොහොම හරි රෑ ගත කළා. පසුවදා උදේ අපේ වාහන ආවා.
මද කිපුණු අලි රේස්
වලහාගේ සිදුවීමෙන් පස්සේ අපි ටෙන්ට් එක වෙනත් තැනක සවිකර ගත්තා. දෙවැනි බිහිසුණු සිදුවීම වන්නේ 18 වැනිදා. එදා සවස දෙකහා මාර තුනට පමණ වේලාව ඇති.
අපි ළඟින්ම කුළුහරක් රංචුවක් ඇවිත් වතුර බීලා යනවා. අනිත් පැත්තනේ අලි එනවා. මේ අවදානම් දෙකට මැදිවෙලයි; අපි දෙවැනි දවසේ සංගණනය කරන්නේ. අපිට බය තිබුණේ කුළුහරකුයි, අලියි, වලසුන්ගෙනුයි. කොටියා ලැජ්ජාශීලි නිසා පහරදෙන්න එනවා අඩුයි. සුරංග මහත්තයට අත්දැකීම් අඩු නිසා මම හිටියේ හරිම අවධානයෙන්. මේ අතර මට අත්තක් බිඳෙනවා වගේ හඬක් ඇහෙනවා. “මට නම් සද්දයක් ඇහෙනවා“ සුරංග මහත්තයට කියලා කට ගන්න ලැබුණේ නැහැ, එකපාරටම දකුණු පැත්තේ කලපුවෙන් අඩි අටක් පමණ උස සද්දන්ත අලියෙක් මතුවුණා. ඌට මඳ කිපිලා. මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම දකුණු පැත්තට හැරිලා පාර දිගේ දිව්වා. සුරංග මහත්තයට දැඩි අවදානමක් නොතිබුණු නිසා එයාට අනිත් පැත්තට පනින්න කියලා මම කෑ ගැහුවා. අලියා දැන් මගේ පස්සෙන් පන්නනවා. මම වේගයෙන් දුවනවා. මට පාර දිගේ දුවනවා හැරෙන්න කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අලියා මගේ පස්සෙන් එළවනවා. අලියාගේ අඩි සද්ද අහමින් මම දුවනවා. මගේ වෙලාවට විදේශීය සංචාරකයන් හත් දෙනෙක් අරගෙන සෆාරි ජීප් එකක් එනවා. මේ සංචාරකයෝ මා දෙස බලාගෙන කෑගහන සද්දෙත් මට ඇහෙනවා. ඔවුන් ඇවිත් මා ඉදිරියෙන් බ්‍රේක් කළා. සද්දෙට අලියා පස්සෙන් දිවිල්ල නතර වුණා. අලියා කන් දෙක උස්සගෙන ටික වේලාවක් බලාගෙන හිටියා.
“නඟින්න නඟින්න “කියලා ඩ්‍රැයිවර් කෑගහනවා. සංචාරකයෝ මාව ඇදලා ගන්න උත්සාහ කරනවා.
මම නැග්ගේ නැහැ. ඩ්‍රැයිවර් මහත්තයට කිව්වා වළ ගාව තව කෙනෙක් ඉන්නවා. මම මෙතැන ඉන්නම්. වාහනයෙන් ගිහින් එයාව ගේන්න කියලා.
වාහනය ස්ටාර්ට් කළා. අලිය කැලයට මාරු වුණා. මම දුවපු තැනම හිටියා. කැලේ මට හුරුයි. සුරංග මහත්තයා ටෙන්ට් එකට එහා සිට කර ගන්න දෙයක් නැතිව බලා ඉඳලා. ඉන්පස්සේ අපේ වාහනයක් අපි ඉන්න තැනට ආවා. ඒ වාහනයෙන්ම ගිහින් මේ ආසන්නයේ අලි සංගණනය කරන නිලධාරි මහත්වරුන් දැනුම්වත් කළා. මේ වගේ මද කිපුණු අලියෙක් ඉන්නවා. පරිස්සම් වෙන්න කියලා. ඒක අපේ යුතුකමක් මෙන්ම කැලයේ ඉන්න අපිට තියෙන වගකීමක් ද වෙනවා. අපි ආයිත් හිටපු තැනටම ආවා. අපි අපේ රාජකාරිය කෙසේ හෝ ඉටු කළ යුතුයි.
අපි සිටින තැනට මීටර් 400ක් පමණ දුරින් කලපුවක් තියෙනවා. එතැනත් තවත් නිලධාරීන් දෙන්නෙක් අලි සංගණන රාජකාරිය කරනවා. අපේ හිතේ පොඩි චකිතයක් නොතිබුණා නෙමෙයි. අපි දෙන්නා අපේ ටෙන්ට් එක ගලවගෙන ගිහින් අර දෙන්නාගේ ටෙන්ට් එක ආසන්නයේ සවි කළා. දැන් අපේ ටීම් එක හතරයි. ඒ නිසා බයක් නැහැ. ඒත් මේ කාලේ අත්දැකීම් තියෙන්නේ මට විතරයි. ඒ වගේම මෙතැනට අලුත් වතුර වළත් හොඳට පේනවා වගේම අපි සිටි වළත් හොඳට පේනවා. අලි ගණනය කරගන්න පහසුයි.
හතර වටේ වලස්සු
එදා දවස අලි රේස් දුවලා මට හරිම තෙහෙට්ටුයි. අනික් තුන්දෙනාට ටිකක් බලාගන්න කියලා මම ඇහැ පියවන්න උත්සාහ කළා. රෑ 10 ට විතර ඇති. වාහනයක් එන සද්දටෙ මම ඇහැරුණා. එදාම රෑ යාල උද්‍යානය භාරකාර මනෝජ් මහත්තයා අපේ රෑ කෑමත් අරගෙන අපි බලන්න ආවා. මනෝජ් සර් තවත් හතර දෙනෙක් එක්ක ආවත් එන්නේ කෑගහගෙන. අපිට මේ කිසිම දෙයක් තේරුණේ නැහැ. දෙයියනේ …අපි වටේ වලස්සු තුන් දෙනෙක්. මහ විශාල වලස්සු. මනෝජ් සර්ගේ වාහන එළියටයි වලස්සු ඉන්නවා දැක්කේ.
“ඔන්න එනවා. ඔන්න එනවා. දුවන්න දුවන්න. “ කියලා මනෝජ් සර් කෑ ගහනවා. එදා සර් වාහනයෙන් ආපු නිසා අපි බේරුණා. නැතිනම් මේ රෑ වලස්සු ආවට අපිට පේන්නේ නැහැ. හීන් දහඩිය දැම්මා. අපි කට්ටියම කෑගැහුවහම වලස්සු නොපෙනී ගියා.
“මේ පාර සංගණනය කරන්න තිබුණේ අලි නෙමෙයි වලස්සු…“ මනෝජ් සර්ට එහෙමම කියවුණා. ඒ තරම්ම යාල කැලේ වලස්සු. ලොකු පොඩි වලස්සු වගේම පැටවුනුත් පිරිලා. එහෙම කියන්නේ වලස් කරදරවලට මේ සංගණනය කළ අනිකුත් නිලධාරීන්ටත් මුහුණදෙන්න සිදු වුණ නිසා. ඒත් වාසනාවකට වගේ කිසිම සීරීමක් හෝ නැතිව සංගණනයක් හරියට සිදු කරලා අපේ ජීවිතත් අපි බේරගත්තා.
සුභාෂිණි ජයරත්න