අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු විල්පත්තුව වන උද්‍යානයට මායිම්ව පිහිටි තිස් වසරක් පැවති කුරිරු යුද්ධයෙන් බැට කෑ ගම්මානයකි. එකල දරුණු කොටි ත්‍රස්තවාදීන්ට බියෙන් සවස් කාලයේදී සිය නිවසින් පිටව යන ජනතාව කැලෑ තුළ සැඟවී රාත්‍රී කාලය ගත කළහ. එදා මෙම අත්දැකීමට මුහුණ දුන් ඇතැම් උදවිය මේ වන විට, වනඅලි තර්ජනයට ලක්ව දිවි ගෙවති. ඔවුන් වනඅලින්ට බියෙන් තම පණ රැකගනිමින් ජීවත් වන අයුරු එම ප්‍රදේශයට යන ඕනෑම අයකුට දැකගත හැකිය.
දුප්පත්කම හේතුවෙන් කටු මැටි ගැසූ කුඩා නිවාස තුළ ජීවත් වන පවුල් බොහොමයක් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජීවත් වේ. මෙම නිවාස වනඅලි විසින් කඩා දමන සිද්ධින් නිරන්තරයෙන් වාර්තාවේ.
මැටියෙන් තැනූ නිවාස වනඅලින් විසින් කඩා බිඳ දැමීම නිසා ස්ථිර නිවාසයක් සාදා ගැනීමට නොහැකිව, හරිහැටි ජීවනෝපායක්ද නොමැතිව ජීවත් වන දරු තිදෙනෙකුගෙන් යුත් පවුලක්, ගසක් උඩ තැනූ පැලක් උඩ ජීවත් වන පුවතක් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බණ්ඩාරගම 14 කණුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
ජීවත් වීමට මාර්ගයක් නොමැතිව රත්නපුර ප්‍රදේශයේ සිට මීට වසර එකහමාරකට පෙර මහවිලච්චියට පැමිණ ඇති මෙම දරු පවුල පිළිබඳව සටහන් කිරීමට ඇත්තේ ශෝචනීය කතාවකි.
අනුරාධපුර නගරයේ සිට ඇලයාපත්තුව ඔයාමඩුව පසු කරමින් මහවිලච්චිය දෙසට කිලෝ මීටර් 30ක් පමණ ගමන් කරන විට බණ්ඩාරගම, 14 කණුව හමුවේ. යාන්තමින් අඳුර වැටීමට ආසන්න අවස්ථාවක අපි එම දරු තිදෙනා ජීවත් වන ගස උඩ ඉදිකර ඇති පැල සොයා ගමන් කළ අවස්ථාවේදී, එම ස්ථානය සොයාගැනීමට මාර්ග කිහිපයක ගමන් කිරීමට අපට සිදු විය. ඒ, එම පවුලේ සාමාජිකයන් සම්බන්ධ කර ගැනීමට ජංගම දුරකතනයක් පවා ඔවුනට නොමැති වීම හේතුවෙනි.
ලැබුණු තොරතුරකට අනුව එවැනි පවුලක් මේ 14 කණුව ප්‍රදේශයේ ගසක ඉදිකළ පැලක් උඩ ජීවත් වනවාද යන්න ගම්මුන්ගෙන් විමසීමේදී, ඒ ආසන්නයේ කොණ්ඩා කපන ස්ථානයක් පවත්වා ගෙන යන ‘බබී’ නම් තරුණයකු එම පැලට ගමන් කරන මාර්ගය සොයාගැනීමට උදව් කළේය.
කැඩී බිඳී ගිය මාර්ගයක් ඔස්සේ ගමන් කරන අවස්ථාවේදී, පෙර දිනයේ වනඅලින් පැමිණි සටහන්ද අපට දැනගත හැකි විය. එය අප තුළ ද කිසියම් භීතියක් ජනිත කළේය.
එහි ගිය අපට ජී.ඒ. සුසන්ත කුමාර(40) හා එස්.ඒ. සෝමා චාන්දනී(38) සමඟ සම්මුඛ වීමට හැකි විය. ඔවුන් පවසන ආකාරයට මීට වසර දෙකකට ප්‍රථම රත්නපුර ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ සිය දරු තිදෙනා සමඟින් මෙහි පදිංචිව වෙසෙති.
දුර බැහැර ප්‍රදේශයක සිට මෙම ගමට පැමිණි දා සිට හරි හැටි ජීවනෝපායක් සහ වාසය කිරීමට තැනක් නොමැතිව වතුවල කුලී වැඩ කරමින් ජීවත් වෙමින් සිටින අතර වාරයේ මේ ප්‍රදේශයේ පදිංචි අයකු විසින් කුඩා නිවහනක් ඔවුන්ට ලබාදී තිබේ. ඒ ඔවුන්ට නිදා ගැනීමට හා දරුවන්ගේ පොත්පත් උප්පැන්න සහතික ඇඳුම් පැලඳුම් ආරක්ෂිතව තබා ගැනීම සඳහාය.
මෙහිදී අප සමඟ කතා කළ එස්.එච්. සෝමා චාන්දනී (38) මෙලෙස පැවසුවාය. “දුව ඉගෙන ගන්න ඉස්කෝලේ ගුරුවරියක් මැදිහත් වෙලා ගෙයක් හදලා දෙන්න අත්තිවාරමක් බාගෙට දාලා තියෙනවා. ඉතුරු ටික හදාගන්න තමයි උත්සාහ කරන්නේ; දරු තුන්දෙනත් එක්ක මේ ගහ උඩ පැලේ තමයි අපි ඉන්නේ. ඊයේ හවසත් අලි කීප දෙනෙක් පැල යටට ආවා. අද දරුවා ස්කෝලේ ගියෙත් නැහැ. ඊයේ වැහැපු වැස්සට පැලට වතුර ඇවිල්ලා සුදු ගවුම තෙමුණ නිසා. කාමර කෑලි දෙකක් අපිට හදලා දෙන්න උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ; වෙන මොනවත් අපට ඕන නැහැ.
ලොකු පුතාට දැන් අවුරුදු 18යි. පෙරේදා ඉස්කෝලේ මිස් කෙනෙක් එයාව කාර්මික අධ්‍යාපන ආයතනයකට දාලා දෙන්න නොච්චියාගමට එක්කගෙන ගියා. පොඩි පුතාට වයස අවුරුදු 4යි. ලබන අවුරුද්දේ මොන්ටිසෝරි යනවා. ඉස්කෝලෙ යන දුවට අවුරුදු එකොළහයි. අපි මේ ගහ යට මැටියෙන් කුස්සියක් හදලා ඒකෙ කෑම උයාගන්නවා. අලි එන්න කලින් කෑමත් අරන් ගහ උඩට නඟිනවා.”
අප සමඟ අදහස් දැක්වූ දරුවන්ගේ පියා වන ජී.ඒ. සුසන්ත කුමාර(40) මෙසේ පැවසීය.
“අපි දරුවෝ තුන්දෙනත් එක්ක ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. අධ්‍යාපන කාර්යාලයේ මැඩම් කෙනෙක් අපිට කළුගල්වලින් සිමෙන්තිවලින් අත්තිවාරමක් දාලා දුන්නා. ඒකෙ කොටසක තව වැඩ ඉවර කරන්න තියෙනවා. අපිට මැටියෙන් බිම පැලක් හදන්න බැහැ. හැදුවොත් වනඅලි ඒක පෙරළලා දානවා.
රෑට ගහ උඩ පැලේ ඉඳලා උදේට කුලී වැඩ හොයාගෙන යනවා. වැස්සට පැලේ ඉන්න බැහැ; තෙමෙනවා. දවසක් ගහ දිගේ සර්පයෙක් ඇවිත් පැලට ගොඩ වුණා. වාසනාවට අපිට හානියක් කළේ නැහැ. දරුවෝ තුන්දෙනත් එක්ක දවසට එක වේලක් හරි කාලා සතුටින් ඉන්න කාමර කෑලි දෙකක් තිබ්බ නම් ඇති. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියටත් දැනුම් දුන්නා. දරුවා ඉගෙන ගන්න පාසලේ විදුහල්පතිතුමා ඇවිත් බලලා ගියා. හැමදාම කුලී වැඩත් නැහැ. එහෙම කරලා හොයාගන්න සොච්චමෙන් දරු තුන්දෙනාට කන්න දෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ගෙයක් හදනවා කියන එක අපිට හීනයක් ම විතරයි.”
ඔවුනට මෙම ස්ථානයේ ජීවත් වීමට ඉඩ ලබාදුන් ඇද්දත් කල්ල බණ්ඩාරගම 14 කණුව පදිංචි ගම්වාසියකු වූ සරත් මේ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.
“මේ අය මේ ගමට අලුතෙන් ආවේ; කවුරුත් වැඩිය අඳුනන්නේ නෑ. දරු තුන්දෙනා ගැන දුක හිතිලා; ඉන්න හිටින්න තැනක් දුන්නා. ඒක අපිටත් හැමදාම කරන්න බැහැ. ඊට පස්සේ අපේ ගමේ වැව ආසන්නයේ මම මිලදී ගත්ත පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒක තමයි මේ අයට මම පරිත්‍යාග කළේ. මේ ලිපිය දකින කවුරුන් හෝ ඉන්නව නම් මේ අයට මේ අත්තිවාරමේ ඉතුරු ටික වැඩ ඉවර කරලා කාමර කෑල්ලක් හදලා දෙන්න පුළුවන් නම් ඒක මහඟු පුණ්‍යකර්මයක්.
ඒ වගේම මම තව ඉල්ලීමක් කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මේ ගමේ බොහෝ දෙනෙක් ගොවිතැන් කරලා තමයි ජීවිතය ගැටගහගන්නේ. අමාරුවෙන් කන කර උගස් තියලා ලොකු වෙහෙසක් දරලා ගොවිතැන් කළාම; වී අස්වැන්න නෙලන්න ආසන්න වෙනකොට; ගොඩ භෝග වගාවන්වල ඵලදාව නෙළන්න හදනකොට ඒවා වනඅලි ඇවිත් එක රැයෙන් විනාශ කරලා දානවා. මේ අවට ප්‍රදේශවල භෝග වගාවන් ආරක්ෂාවට තියෙන්නෙ පෞද්ගලිකව මිනිස්සු ණයවෙලා ඉදි කර ගත්ත අලි වැටවල්. රජයෙන් ඉල්ලීමක් කරනවා; මේ ගම්මානයෙන් වනඅලි පලවා හැරලා ස්ථිර විදුලි වැටක් ඉදිකර දෙන්න කියලා. මේ වන විට රජයෙන් විදුලි වැටක් ඉදි කරන්න යෝජිත යි. ජනතා අදහස් විමසලා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව එය ඉදි කරදෙන්න. දැනට යෝජිත ආකාරයට එය ඉදිකළොත් ගම්වාසීන් දෙපැත්තකට බෙදෙනවා; වනඅලි එක පැත්තකට කොටු වෙන්නේ නැහැ. ඒ ගැන අවදානය යොමු කරන්න කියල බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා. පැවති රජයන් යටතේ හිසට සෙවණක්, සැමට නිවසක්, උදා ගම්මාන වැනි විවිධ තේමා යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවසක් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවත්, ජීවත් වීමට තමන්ටම කියා නිවාසයක් නොමැති පවුල් ලක්ෂ ගණනක් මෙරට තුළ තවම ජීවත් වෙති. නව රජය යටතේ නිවාස නොමැති පුද්ගලයන්ට නිවාසයක් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අසරණව සිටින ගම්වාසීන් රජයෙන් ඉල්ලා සිටිති.
නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මකවන සෙවණ නිවාස ණය අරමුදල යටතේ වසර දහයකට ආසන්න කාලයක් තුළ මෙම මහවිලච්චිය ප්‍රදේශයේ පවුලකට ඉදිකර දී ඇත්තේ එක් නිවසක් පමණක් බව අප කළ විමසීමේදී අනාවරණය විය.
නිවසක් ඉදිකර දීමේදී ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට අමතරව ශ්‍රමය සඳහා විශාල මුදලක් වැය වේ. ඊට අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබා දීම සඳහා ඉදිරිපත් වන ස්වේච්ඡා සංවිධාන ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ අය හඳුනාගෙන ඔවුන්ගේ සහය ඇතිව වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි