Home » හෝටලයක් කිරීමට ගිය නුවරඑළිය තැපැල්හල යළි තැපෑලටම

හෝටලයක් කිරීමට ගිය නුවරඑළිය තැපැල්හල යළි තැපෑලටම

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

නුවරඑළිය තැපැල්හල් ගොඩනැඟිල්ල ගැන පසුගිය වසරවල දැඩි කතාබහක් ඇතිවූයේ එය සංචාරක හෝටලයක් බවට පත්කිරීමට පිඹුරුපත් සකස් වීම නිසාය. ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් පැවසුවේ පසුගිය බදාදාය. ඇමැතිවරයා මේ ගැන සඳහන් කළේ ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැඟිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බව ඇම­ැතිවරයා මෙහිදී තහවුරු කර සිටින ලදි.

සංචාරක ආකර්ෂණය

නුවරඑළිය තැපැල්හල දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් ගොඩනැඟිල්ලකි. අලංකාරවත් පෞරාණික ගොඩනැඟිලි සංචාරක හෝටල් සඳහා ලබාදීමට දැඩි උත්සාහයක් ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරළිය තැපැල්හල ගැන සිටියේ දැඩි තීන්දුවකය.‍

ආසියාවේ නරඹන්නට තිබෙන්නේ එක රාජකීය තැපැල්හලක් පමණයි. නුවරඑළිය නගරයේ දර්ශනීය වර්ණ තැපැල්පතක් මිලදී ගෙන යුරෝපයේ තම ඥාතීන්ට නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් තැපැල් කිරීම විදේශිකයන් නුවරඑළියට පැමිණීමේ එක් අරමුණකි.

ඇත්තෙන්ම මේ නුවරඑළිය තැපැල්හල වටා ඇති සංචාරක ඇස දිනාගත් තැන් බොහෝය. ග්‍රෙගරි වැව, ග්‍රෙගරි පාක්, ග්‍රෑන්ඩ් හෝටලය, වින්සර් හෝටලය, කිකිලියාමාන කඳුවැටිය, බ්ලැක්පුල් ඒ විතරද රේස් පිටිය, ගොල්ෆ් පිට්ටනිය. මේ සියල්ල මැද්දේ මේ අලංකාර තැපැල් කන්තෝරුව තිබෙන්නේ රාජකීය ස්වරූපයෙනි. නුවරඑළියට කියන්නේ පුංචි එංගලන්තය කියාය. එහි අභිමානවත් බ්‍රිතාන්‍ය කිරීටයේ සංකේතය වූයේ එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වන ත්‍රිකෝණාකාර හැඩතලවලින් විසිතුරුව රතු සහ සුදු වර්ණයෙන් අලංකාර වූ නුවරඑළිය තැපැල්හලය.

කදුරු ලීයෙන් තැනූ තැපැල් පෙට්ටි

නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිකොට ඇත්තේ 1894 දීය. එහි සැබෑ නිර්මාතෘවරයා වන්නේ නුවරඑළිය නගරය එවකට පාලනය කළ සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයාය.

මෙම ගොඩනැඟිල්ල සඳහා අවශ්‍ය උළු ආනයනය කොට තිබුණේ විශේෂයෙන් ඇණවුම්කොට බැංගලෝරයෙනි. ඒ අතර වීදුරු උළුකැට ද ඇත. මෙහි ඇති සුවිශේෂත්වය මේ විශේෂ උළු වර්ගය අනාගතයේදී උවමනා වනු ඇතැයි උපකල්පනය මත වහලයට යොදාගත් ප්‍රමාණයෙන්ම තොගයක් තැපැල් කාර්යාලය පිටුපස ගොඩගසා තිබීමය. බ්‍රිතාන්‍යයන් මේ තැපැල්හල ලොව පුරා ව්‍යාප්ත කිරීමට නම් කරන ලද්දේ Pink Post Office යන නාමයයි. පසුගිය රජය එය හෝටලයක් ලෙස පරිවර්තනයට ඉන්දීය සමාගමකට ලබාදීමට සැලසුම් කළත් අද ද අන්තර්ජාලයේ සැරිසරන විට ශ්‍රී ලාංකිකයන් සතු අනන්‍ය තැපැල් සංකේතය වන්නේ නුවරඑළිය තැපැල්හලය.

මෙම තැපැල් කාර්යාලයේ විශේෂත්වය වන්නේ අඩි 45ක් පමණ උස ඔරලෝසු කණුවක ඇති ඔරලෝසුව තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතීමය. මෙම ගොඩනැඟිල්ලට පාදක කොටගෙන ඇත්තේ ටියුඩර් එඩ්වර්ඩියන් ගෘහ නිර්මාණ සම්ප්‍රදායයි. අප අද දකින්නේ කොන්ක්‍රීට්වලින් හෝ චීනච්චට්ටිවලින් වත්කොට නිපදවූ තැපැල් පෙට්ටිය. එහෙත් මෙම නුවරඑළියේ තැපැල් කාර්යාලයේ ඇති තැපැල් පෙට්ටි නිමවා ඇත්තේ කදුරු ලීයෙන් වීම විශේෂත්වයකි. එමෙන්ම එදා සිට පැවත එන තවත් පෞරාණික වටිනාකමින් යුතු මෙවලමක් වන්නේ තවමත් නොදිරා තිබෙන පදම් කළ වේවැලෙන් වියා ඇති තැපැල් පෙට්ටියයි.

මෙම නුවරඑළිය තැපැල්හල අමුතුවෙන් සංචාරක නිකේතනයක් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. සංචාරකයන්ගේ දැඩි ඉල්ලුම නිසාම තැපැල් ස්ථානාධිපතිවරයාගේ නවාතැන වූ ඉහළ මාලය සංචාරකයන්ගේ නවාතැනක් ලෙස යොදා ගෙන ඇත්තේ 2012 සිටය. පුරාවිද්‍යා වටිනාකමකින් යුතු මෙම ගොඩනැඟිල්ල සංචාරක අවශ්‍යතා සඳහා සංවර්ධනයට 2012 දී වැය කළ මුදල රුපියල් මිලියන 5.5කි. එහෙත් එසේ අලුත්වැඩියා කිරීමේදී ඉදිකළ නව සිවිලිමට පරණ පුරුදු තේක්ක ලීයෙන් නිමකොට තිබූ බාල්ක හා ආධාරක හා තේක්ක ලෑලි සිවිලිම මුළුමනින්ම වැසී යන ලදි. එයින් සිදුවූයේ සිවිලිමේ වූ බාල්ක හා ආධාරකවල කොටා තිබූ කැටයම් සියල්ල වැසී යාමය.

නුවරඑළියට ලැබුණ තෑග්ග

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් සංවත්සරය වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ඡායාරූපයක් සහිත රුපියල් 15/= ක මුද්දරයක් නිකුත් කරන ලද්දේ 1990 ය. මුද්දර කාර්යාංශයේ අංකයක් එහි ස්ථාපිත කෙරෙන්නේ 2016 දීය. එම අවස්ථාවේ රුපියල් 150/= ක මුල් දින කවරයක් නිකුත් කෙරෙන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලයේ රුව සහිතවය. මේ අතර පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් ලෙස නුවරඑළිය තැපැල් කාර්යාලය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කෙරෙන්නේ 2007 වසරේදීය.

ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් බවට පත්කිරීමට එරෙහිව එදා ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරු ද තම විරෝධය ප්‍රකාශයට පත් කරන ලදි.

“නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරක්ෂක පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවේ අංක 1486 යටතේ ලේඛනගත කර තියෙන්නේ නුවරඑළිය මහ තැපැල්හල. ලෝක උරුම ගොඩනැඟිලි සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමට පෙර මහා සංඝරත්නයෙන් කරුණු විමසීම සිදු කළ යුතුයි. රටේ සංස්කෘතික සභ්‍යත්වය හා බැඳුණ ඓතිහාසික ගොඩනැඟිලි පිළිබඳ උරුමය අනාගතයට පැවරිය යුතු බව” එවක නිකුත් කළ නිවේදනයක සටහන් වූයේ ඒ නිසා විය යුතුය.

ලංකාවේ ප්‍රථම දුම්රිය ගමනත් ලංකාවේ පළමු කළු සුදු ඡායාරූපය ගැනීමත් සිදු කෙරෙන්නේ එකම අවස්ථාවකය. ලංකාවේ පළමු තැපැල් කෝච්චි ගමන අලුයම 4ට කොළඹින් නරඹා මහනුවර තැපැල් කාර්යාලය තෙක් යාමට ගතවී ඇති කාලය පැය 14කි. නුවරඑළිය තැපැල්හල හෝටලයක් බවට පත්කරන්නට සලසුම් කළ පසුගිය ආණ්ඩුවේ තවත් උකුසු ඇස යොමුවූ තැපෑලට අයත් ගොඩනැඟිලි දෙකක් වූයේ මහනුවර හා ගාල්ල තැපැල් ස්ථාන දෙකය.

මුලින්ම කොළඹ සිට නුවරට තැපෑල ගෙන ගොස් ඇත්තේ අශ්ව රියෙනි. ඒත් ඉන්පසු එය වාෂ්ප දුම්රියෙන් නුවරඑළිය තෙක් ගෙන ගොස් ඇති අතර, ඉපැරණි ඡායාරූපවල ඇත්තේ දුම්රියපළේ සිට නුවරඑළිය මහ තැපැල්හල තෙක් මුළුමනින්ම ලීයෙන් තැනූ ආරුක්කු හැඩයේ ගුවන් පාලමකි. නුවරඑළිය තැපැල් කාර්යාලය අපට ඉංග්‍රීසි පාලන සමයෙන් ලැබුණ දායාදයක් මෙන්ම ඓතිහාසික උරුමයක් වී දැන් හමාරය. නව රජය නැවතත් එය තැපෑලටම පවරාදීම තුළින් මේ කදිම නිධානයෙන් නිසි ඵල නෙළා ගැනීම රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම සංචාරක ක්ෂේත්‍රවල නිලධාරින්ගේ නිසි ජාතික වගකීමක් වනු නියතය.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division