Home » ශ්‍රී ලංකාවේ තොරුතුරු තාක්ෂණ කර්මාන්තයේ සන්නාමය ශක්තිමත් කළ යුතුයි

ශ්‍රී ලංකාවේ තොරුතුරු තාක්ෂණ කර්මාන්තයේ සන්නාමය ශක්තිමත් කළ යුතුයි

ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික, තොරතුරු තාක්ෂණ පිළිබඳ ඉංජිනේරු සහ ව්‍යවසායක එරංග වීරරත්න

by Mahesh Lakehouse
October 12, 2024 12:31 am 0 comment

තොරතුරු තාක්ෂණය පිළිබඳව පැති කීපයකින් හඳුනාගත හැකියි. මුල්වරට Information and communication technology යනුවෙන් හඳුන්වා තිබුණත් අද වන විට digital technology යන අංශය දක්වා විහිදී ඇත. software අතික්‍රමණය කරමින් Hardware දක්වා ගමන් කර ඇත. එය Robotics IOT වැනි ක්‍රමවේදයන් රැසක් ඔස්සේ වඩා පුළුල් පරාසයක් දක්වා විහිදී ඇත. එසේ ම ඩිජිටල් ආර්ථිකයකින් digital economy දක්වාද ගමන් කර ඇත. තොරතුරු තාක්ෂණය හරහා කෙසේ ද රටක මුදල් සංසරණය සිදු වන්නේ යන්න සහ ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු කටයුතු digital payment ක්‍රිප්ටො කරන්සි වැනි ඩිජිටල් මාධ්‍ය හරහා වන හුවමාරුවක් දක්වා ද මෙය ගමන් කර ඇත. ඒ නිසා තොරතුරු තාක්ෂණය software වලින් එහා ගොස් විශාල පැති ගණනාවක් ආවරණය කරයි.

එය අද ලෝකය පුරා ඩිජිටල් කර්මාන්තයක් දක්වා විහිදී ඇති නිසා අපේ රටේ එය වාණිජ කර්මාන්තයක් ලෙස අපි දියුණු කළ යුතුයි. කෙසේ වුවත් ලංකාවටත් තොරතුරු තාක්ෂණ වෙළඳපොළක් ඇත. ලංකාවට තොරතුරු තාක්ෂණය හරහා බිලියන 1.2ක් විදේශ විනිමය හිමි වෙයි. එසේම තොරතුරු තාක්ෂණය හරහා රාජ්‍ය ඩිජිටල්කරණයට, කර්මාන්ත ඩිජිටල්කරණය භාවිත වෙයි. එසේම වෙනම domestic system එකක් මඟින් ඒවාට අවශ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසී ඇත. එසේම e.commerce වැනි ඩිජිටල් ගෙවුම් කරන අංශයක් නිර්මාණය වි ඇත. ඒ අනුව මෙරටේ ඩොලර් බිලියන 3.45ක ඩිජිටල් ආර්ථිකයක් පවතී.

තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට

ඉන්දියාව ගත් විට තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටින රටකි. එහිදී තොරතුරු තාක්ෂණය හරහා ඩොලර් බිලියන 245ක විදේශ විනිමය උපයන දැවැන්ත ආර්ථිකයක් පවතී. විදේශ ආදායම ඩොලර් බිලියන 195 වැනි විශාල ආර්ථිකයක් නිර්මාණය වී ඇත.

ලංකාවටත් තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට යෑමට විශාල විභවයක් පවතී. 2016 පමණ කාලවකවානුවක සිට ඩොලර් බිලියන 5ක පමණ ආර්ථිකයකට අප යා යුතුය. මේ සම්බන්ධව නොයෙක් කතිකාවන් ගොඩනැඟී ඇත. එහෙත් මෙතෙක් කල් නිසි වැඩපිළිවෙළක් සැකසී නැත. මෙරටට අවශ්‍ය ඉංජිනේරුවන් ප්‍රමාණය පුහුණු කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය, මූල්‍ය ප්‍රතිපාදන සහ වෙ‍ෙළඳපොළ සකස් කළ යුතුයි. වෙනත් රටවල ව්‍යාපෘති ලබා ගැනීමට වෙළෙඳපොළ සැකසිය යුතුයි. නව ව්‍යාපෘතියක් උත්පාදනයට අවශ්‍ය විනිමය රටට ගෙන ඒමට ලංකාවේ හොඳ සැලසුමක් අනුව ක්‍රියාත්මක නොවීම, මෙරට ආර්ථික කඩාවැටීම තුළ ලංකාවේ බිහිකරන ඉංජිනේරුවන් විදෙස් ගතවීම වැනි දේ සිදුවීම මේ කර්මාන්තයට ඍජුවම බලපාන ලදී. එසේම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විදෙස්ගත වීම පසුගිය කාලයේ සිදු විය. එසේම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් බවට පත්වීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළදී විදෙස්ගත වීම සිදු විය. එසේම මෑතකාලීනව සිදුවූ එක්තරා අයහපත් ප්‍රවණතාවයක් නම් රට කඩාවැටීම නිසා තොරතුරු තාක්ෂණයේ පළපුරුදු ඉංජිනේරුවරුන් රට හැර යාම සිදුවිමය. ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලොකු රික්තකයක් එයින් ඇති විය.

අපේ රටේ තොරතුරු තාක්ෂණික අංශය මෙතෙක් සැකසී ඇත්තේ ලංකාව අඩු වියදමකින් සේවා සපයන ශ්‍රම බළකායක් සිටින රටක් ලෙසයි. අඩු වැටුපකට ශ්‍රම බළකායක් වෙනත් රටවලින් ලබාගෙන වැඩ කරන ක්‍රමවේදය අපි වෙනස් කළ යුතුයි .

මෘදුකාංග නවෝත්පාදන

අපේ රටේ තාක්ෂණ විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිවන තොරතුරු තාක්ෂණ ඉංජිනේරු පිරිසද පිටවන ප්‍රමාණය ද අඩුවක් පවතින අතර, ඔවුන් ප්‍රමාණය වැඩි කළ යුතුයි. එසේම දැනට විශ්වවිද්‍යාල මඟින් පිටවන පිරිසෙන් 50% පමණ විදෙස්ගත වෙයි. මේ ක්ෂේත්‍රයේ උපරිම විභවයන්ට යෑමට ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. සේවා සපයන්නකු ලෙස කටයුතු කරන අපේ එක් ඉංජිනේරු තාක්ෂණිකයකුට උත්පාදනය කළ හැකි විදෙස් විනිමය වාර්ෂිකව ඩොලර් 14000ක් පමණ වෙයි. මේ ඉංජිනේරුවන් නිපදවන මෘදුකාංගයන්ගේ අයිතිය ලංකාවට නැත. මෘදුකාංගයක් යනු බුද්ධිමය දේපොළකි. මේ බුද්ධිමය දේපොළෙහි අයිතිය ලංකාවට නැතිවූ විට අපි සේවා සපයන්නන් ලෙස උපයන සුළු මුදල පමණක් මෙරටට හිමි වෙයි. නිෂ්පාදනය කරනු ලබන මෘදුකාංගයේ වැඩි මුදල් ප්‍රමාණයක් හිමි වන්නේ වෙනත් රටවල සමාගම්වලටය.

අපි අලුත් මෘදුකාංග වෙනත් රටවලට නිෂ්පාදනය කිරීම වෙනුවට නව නිෂ්පාදන කරන සේවා නිෂ්පාදන ආයතනවල හිමිකරුවන් විය යුතුයි. එනම්, ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණයේ මෘදුකාංග නවෝත්පාදන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙසට පත් කිරීමත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සන්නාමය ශක්තිමත් කිරීමත් වැදගත් වෙයි.

එය යම් අසීරු කාර්යයක් වන්නේ වඩා වැඩි පිරිවැයක් ඒ සඳහා වැය වන නිසාය. අපේ සේවාවන් වෙනත් රටවලට ලබාගැනීමට හැකි වන මෘදුකාංග පද්ධති නිෂ්පාදන හිමිකාරිත්වය අප සතුව තබාගත යුතුයි. එනම් මෘදුකාංග රට තුළ නවෝත්පාදන සිදු කිරීමයි. නව මෘදුකාංග සැකසීම නිෂ්පාදිතයකු බවට අප පත් වීම අපගේ ඉලක්කය බවට පත් කර ගැනීම වඩා වැදගත් වෙයි.

ඉන්දියාවේ ආරම්භය එසේ වුවත් පසුකාලීනව එය වෙනස් විය. සේවා සපයා ඒ අය දැන් පද්ධති නිෂ්පාදනය කරන තත්ත්වයට පත්වී ඇත. ඒ සඳහා මූලික ප්‍රාග්ධනය සපයන්නකු ලෙස එරට රජය ද විශාල දායකත්වයක් ලබාදී ඇත. යුරෝපයේ කුඩා රටක් වන එස්ටෝනියාවද ආර්ථික අර්බුදයට ලක් වී රජය ආධාර සපයා ඩිජිටල්කරණය කිරීම සඳහා මූලික පිරිවැයක් යොදන ලද අතර, මෘදුකාංගය ලෝකයට ගෙන යාමට හැකි විය. ඊ ගවර්මන්ට් තාක්ෂණය ඔස්සේ එරට විශාල තාක්ෂණික විපර්යාසයක් කළ රටකි. අපද මෙවැනි රටවලින් ආදර්ශය සපයාගත යුතුයි.

අපේ රටේ වසරකට මේ වන විට ඉංජිනේරුවන් 13,000ක් වැනි ප්‍රමාණයක් බිහිවෙන අතර එය ප්‍රමාණවත් නොවෙයි. ඇත්ත වශයෙන් ම 30,000ක පමණ විභවයක් පවති.

බුද්ධිගලනය අනිවාර්යෙන් නතර කළ යුතුයි.

මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ වියදම ලෝකයේ අනෙකුත් රටවලට වඩා අඩු මිලක් යටතේ පවතී. ඒ නිසා අපි තරගකාරී මට්ටමක ලෝක වෙළෙඳපොළ තුළත් සිටියි.

අපිට වෙළෙඳපොළ දිනා ගැනීමට කිසිදු බාධාවක් නැත. ඒ සඳහා පසුබිම කඩිනමින් සැකසිය යුතුයි. ලංකාවේ බුද්ධිගලනය අනිවාර්යෙන් නතර කිරීමට ඒ අයට සුදුසු වැටුප් ලැබෙන වෘත්තිමයභාවය ආරක්ෂා වන ආකාරයට පරිසරයක් රට තුළ ඇති කිරීම වැදගත් වෙයි. අවශ්‍ය ප්‍රමාණයට ඉංජිනේරුවන් බිහිකිරීමේ පරිසරය අනිවාර්යෙන් නිර්මාණය කළ යුතුයි. එම විශ්වවිද්‍යාල පාඨමාලාවල නවීකරණය අනිවාර්යයෙන් අත්‍යවශ්‍යය.

එසේම මේ ක්ෂේත්‍රයේ රැකියාවන් කිරීමට පෙර අධ්‍යාපන ක්‍රමවේදයේ විෂය මාලාවේ අඩුපාඩු සකස් කිරීම වැදගත්ය. බුද්ධියත් සමඟ කටයුතු කරන ක්ෂේත්‍රයක් නිසා ඒ අයගේ දැනුම, විෂය මාලාව, දේශකයන් නිරන්තරයෙන් නවීකරණය විය යුතුයි. පිටරටට සේවා සපයන්නේ ද නව උද්පාදනයක් කරන්නේ ද යන්න එම විශ්වවිද්‍යාලය තුළින් පිටවන විටම ඒ පිළිබඳ ව අපි අවධානය යොමු කළ යුතුයි. නව උද්පාදකයන් බවට පත් කිරීමට එනම් මෘදුකාංගයන්ගේ මෙහෙයුම්කරුවන් එනම් නිපදවන්නන් වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය කරන ආර්ථික පසුබිම සකස් කළ යුතුයි. මේ රටේ නවෝත්පාදනයට මුදල් යෙදවීමට නම් රජයේ මැදිහත් බවක් ඇති කිරීම වඩා ප්‍රතිඵලදායක වෙයි. මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමට යම් ක්‍රමවේදයක් රජය විසින් සැපැයිය යුතුයි. රජය මූලික වී එය සිදු කළ යුතුයි. එසේ ම මේ අංශ කළමනාකරණය සිදුකළහොත් අපට වෙළෙඳපොළ සොයාගැනීමට හැකියාවක් ඇත.

මේ වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් 2030 වන විට තොරතුරු තාක්ෂණ ශ්‍රම බළකාය 200,000 වැඩිකර ගැනීමට හැකිය. ජාජබ ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙන් එය සිදු කිරීමට අපිට අවකාශ සලසාගත හැකිය. මේ වනවිට සිටින තොරතුරු තාක්ෂණ ඉජිනේරුවන් 85,000ක ප්‍රමාණය වැඩිකර ගැනීමට ඉලක්කගත වෙයි. විශ්වවිද්‍යාලවල දැනට ඉඩකඩ සීමාසහිත වෙයි. ඒවා පුළුල් කිරීමට සහ දුරස්ථ අධ්‍යාපනික ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීම, තොරතුරු තාක්ෂණ පාඨමාලා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් හරහා හැදෑරීමට ක්‍රමවේදයන් සකස් විය යුතුයි. ළමුන් මේ සඳහා යොමුවුවත් එය ප්‍රායෝගිකව 100% සාර්ථක නොවන නිසා අපි මධ්‍යස්ථාන හතරක් රට තුළ ඇති කර ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාදීම සිදු කිරීමට අපේක්ෂා කරමු. දුරස්ථව අධ්‍යාපනය හැදෑරුවත් මෙරට දරුවන්ට මේ දුරස්ථ අධ්‍යාපනය ඒතරම් හුරුපුරුදු නොවෙයි. ඒ අනුව මේ දුෂ්කර පළාත්වල දරුවන්ට ඇති ගැටලු විසඳා ගැනීමට පළාත් කිහිපයකට මධ්‍යස්ථාන පිහිටුවීම සිදුකළ යුතු වෙයි. මොවුන්ගේ ගැටලු විසඳාගෙන මඟපෙන්වීමක් ඇති කිරීමට අත්‍යවශ්‍ය වෙයි. නැණසල වැනි ආයතන මඟින් මේ පරිගණක පාඨමාලා හදාරන පිරිසට සහයෝගය දිය යුතුයි. බස්නාහිර, උතුර, දකුණ, නැඟෙනහිර පළාත් හතරක මේ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට කටයුතු කළ යුතුයි.

පළාත් හතරක ඩිජිටල් තොරතුරු මධ්‍යස්ථාන

බස්නාහිර උතුර දකුණ සහ නැඟෙනහිර තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන හතරක් පිහිටුවීම සිදුකිරීමට අපි බලාපොරොත්තු වන අතර, ඩිජිටල් තොරතුරු මධ්‍යස්ථාන බොහෝ වෙලාවට පවතින්නේ කොළඹ කේන්ද්‍රගත කරගෙනයි. ඒ ආයතනවලට අමතරව සියලු ප්‍රදේශවලට රැකියා ව්‍යාප්ත වන ලෙස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීම අපේ අපේක්ෂාවයි. විශේෂයෙන් අදාළ පළාත්වල විශ්වවිද්‍යාල යාබද ව මේ මධ්‍යස්ථාන පිහිටුවීම සිදුවුවත්, විශ්වවිද්‍යාලයට අධාපනිකව බද්ධ වුවත් එය බාහිර මධ්‍යස්ථානයක් ලෙස පිහිටුවීම සිදුවෙයි. උතුරු නැගෙනහිර දකුණ පළාත්වල නගරාශ්‍රිත මේ ආයතන පිහිටුවීම සිදු වෙයි.

කෙසේ වුවත් ජාජබ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ඩිජිටල් උපදේශක සභාවක් පත් කෙරේ. මෙම කවුන්සිලය රජයේ නියෝජිතයන්, කර්මාන්ත විශේෂඥයන් සහ කර්මාන්ත ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත වේ. ඔවුන්ගේ පළමු කාර්ය මෙම ප්‍රතිපත්ති ලේඛනය හොඳින් සමාලෝචනය කිරීමයි.

එසේම ඩිජිටල් කර්මාන්තයේ සංවර්ධන ඇති කිරීමට අපේක්ෂා කරන අතර එහිදී ඩිජිටල් නිෂ්පාදන, සේවා සහ තාක්ෂණයන් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම සහ බෙදාහැරීම කෙරෙහි අවධානය යොමු කිරීමටද අපේක්ෂා කරයි. මෘදුකාංග සංවර්ධනය, ඩිජිටල් වේදිකා, Cloud computing දත්ත විශ්ලේෂණ, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් අලෙවිකරණය සහ ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදනය වැනි ක්ෂේත්‍රයන් කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි. ආර්ථික වර්ධනය දිරිමත් කිරීම, රැකියා උත්පාදනය කිරීම සහ ඩිජිටල් තාක්ෂණය සවිබල ගැන්වූ සමාජයක් බිහිකිරිම අරමුණු අතර වෙයි. කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් විදේශ විනිමය ඉපැයීමට දායකත්වය ලබාදීමට ඩිජිටල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කෙරෙයි.

තොරතුරු තාක්ෂණය ප්‍රධාන විෂයයන් අතරට

කෙසේ වුවත් රටක තොරතුරු තාක්ෂණ ආයතනයක් එක රැයකින් ඩොලර් මිලියනයක් එනම් යුනිකෝන් එකක් දක්වා වැඩි විය හැකියි. ඩොලර් බිලියන එකකට වඩා වැඩි වන අවස්ථාද වෙයි. ලංකාවේ රජය සහයෙන් එය සිදු කළ හැකියි. ඊශ්‍රායල වැනි රටවල් මෘදුකාංග නිපදවා වෙනත් රටවලට විකුණා විශාල මුදල් ප්‍රමාණයක් රටට ගෙන ඒම සිදුකරනවා.

එසේම 2030 රටේ මුදල් නෝට්ටු පරිහරණය අඩු කරගත හැකි ක්‍රමවේදයන් ඉදිරියේදීත් ඇති කිරීමයි. QR කේතයක් මඟින් සහ ජංගම දුරකතන මඟින් ගෙවීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වඩා අවධානයක් යොමු කිරීමට අපේ අපේක්ෂාවයි.

තවද උපාධිධාරීන් ගුරුවරුන් 12,000ක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු කිරීමට බලාපොරොත්තු වන අතර තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ගුරුවරුන් අඩුපාඩුවක් පවතී. තොරතුරු තාක්ෂණය ප්‍රධාන විෂය ධාරාවක් බවට පත් කිරීමටද සිදුවෙයි.

තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය යටතේ ඩොලර් බිලියන පහක ආර්ථික ඉලක්කයක් කරා යන ගමනේදී එයට අදාළ රජයේ ආයතන ව්‍යුහය පිළිබඳව ද අවධානය යොමු කරයි. තොරතුරු අමාත්‍යාංශය යටතේ ආයතන ව්‍යුහයක් වන අතර ජාජබ ආණ්ඩුවක් යටතේ ඵලදායි ලෙස එම ආයතන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම මූලික වෙයි. ICT DTE බවට පත්කිරීමටද අදහස් කරයි.

AI අභියෝගයක් නොවෙයි

කෙසේ වුවත් AI තාක්ෂණය සම්බන්ධයෙන් විශාල කථිකාවක් ගොඩනැඟී ඇත. ඒ සම්බන්ධයෙන් අනිසි බියක් පවතී. රැකියා පිළිබඳව ගැටලුවක් මතු විය හැකි බව ඇතැමුන්ගේ අදහසයි. රැකියා සම්බන්ධයෙන් බියක් ඇති වීම සිදුවන්නේ එම තාක්ෂණය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන වටපිටාවක් තුළය. තාක්ෂණය යන දේ අවධියෙන් අවධියට වෙනස් වන සුලු වුවත් මේ සියලු තාක්ෂණය මෙහෙය වීමට සේවක අවශ්‍යතාවය පවතී. AI වැනි තාක්ෂණ මාධ්‍යය තුළින් සමහර දේ සිදුකෙරුණත් එය තොරතුරු තාක්ෂණයට අභියෝගයක් නොවෙයි. සියලුම තාක්ෂණික මෙවලම් උපයෝගි කර ගැනීමටද මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙයි. AI තිබුණත් එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට මිනිසුන්ගේ නිර්මාණශීලිත්වය තිබියයුතුයි. තොරතුරු තාක්ෂණයට AI තාක්ෂණය අභියෝගයක් නොවෙයි. තාක්ෂණය තුළින් කාර්යක්ෂමතාවය වැඩි වීම සිදු වෙයි. එහෙත් තාක්ෂණයේ දියුණුවත් සමඟ දිනෙන් දින මිනිසුන්ගේ අවශ්‍යතාද සංකීර්ණ වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division