ජනාධිපතිවරණයට පෙර සිටම මැතිවරණ වේදිකාවන්හි කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ ‘සුරාබදු බලපත්‘ අවභාවිත කිරීමයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් මිලියන 20ක් පමණ ඉල්ලා ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ අවස්ථා කිහිපයකදී පැවසුවේය.
අල්ලස් දීම ප්‍රතික්ෂේප කළ ඉල්ලුම්කරුවන්ට එම නිලධාරීන් බලපත්‍ර නිකුත් කිරීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු පැවසුවේය. එසේම එම දූෂිත ගනුදෙනු නිසා රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු අනාවරණය කළේය.
ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව ද කරළියේ ඇති වූ මේ කතාබහ තවත් වර්ධනය විය. අල්ලසට හා දූෂණයට එරෙහි සංවිධාන මෙන් සුරාබදු බලපත්‍රලාභී සංගමය පවා දිගට හරහට චෝදනා එල්ල කරන්නට විය. මෑත කාලයේ බලපත්‍ර ලබාදීම්හි ඇති දූෂිත තත්ත්වයත් එම බලපත්‍ර දේශපාලන හිතවත්කම් මත ලබා දී ඇති බවට වූ කථිකාවත් තවම අවසන් නැත.
එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ද පවසා සිටියේ දේශීය මත්පැන් බෝතල්හි ආරක්ෂිත ස්ටිකර් වෙනුවට ව්‍යාජ ස්ටිකර ජාවාරමට සම්බන්ධ වූ ඇතැම් සුරාබදු නිලධාරීන් රට හැර යෑමට උත්සාහ කරනු ලබන බවයි. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන බව ද ඔහු පවසා තිබුණි.
මත්පැන් බලපත්‍ර ලබා දීමේ මේ අවනඩුව ගැන අපි ද අවධානය යොමු කළෙමු. අතීතයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සුරාබදු බලපත්‍ර ලබා දී තිබුණේ රජයට නිසි පරිදි බදු ගෙවූ අයට ලබා දෙන වරප්‍රසාදයක් ලෙසිනි. එහෙත් 70 දශකයෙන් පසුව එය දේශපාලනීකරණය වී ඇති බව අපට පැහැදිලි විය. එමෙන්ම 1977 වසරේදී සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමෙන් පසු මුදල් ඇමැතිවරයාට සුරාබදු කොමසාරිස්වරයා සුරාබදු බලපත්‍ර හරහා ලබාදීමට හැකියාව ලැබුණි. අවභාවිතය මෙන්ම දේශපාලන හිතවත්කම් මත සුරාබදු බලපත්‍ර ලබාදීම ඇරැඹුණේ එතැන් සිටය.
මතට තිත
ඒ කෙසේ වුවත් 2006 වසරේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ‘මතට තිත‘ සංකල්පය ගෙන ඒමෙන් පසුව සුපිරි පන්තියේ තරු හෝටල්වලට හැර අලුතින් කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙස දැනුවත් කර තිබුණි. එම නියෝගය ඔහුගෙන් පසුව බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ වෙනස් කළේ නැත.
එවන් තත්ත්වයක් තිබියදී පසුගිය සමයේ සුරාබදු බලපත්‍ර අලුතින් 93ක් ලබා දී ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇත. ඊට අමතරව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බලපත්‍ර 80ක් ලබා දී ඇති බවට ද මේ වන විට චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය රජයටය.
මේ පිළිබඳ අදහස් දක්වමින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය‘ සභාපති ජාමුනි කමන්ත තුෂාර පවසන්නේ සුරාබදු බලපත්‍ර ලබා දීම තනිකරම දූෂිත තත්ත්වයෙන් සිදුවන්නක් බවයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලබා දීමට යෝජිතව තිබුණු සුරාබදු බලපත්‍ර රැසක් සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමෙන් අත්හිටුවන ලද බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඔහු පවසන්නේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් රැසක් මේ ලෙසින් සුරා බදු බලපත්‍ර ලබාගෙන ඇති බවයි. ඒ අතුරින් ඇතැම් මන්ත්‍රීවරුන් සුරාබදු බලපත්‍ර 3ක් බැගින් ලබා ගෙන ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රීවරයෙක් එක් බලපත්‍රයක් ලක්ෂ 30ක් බැගින් ලක්ෂ 90කට අලෙවි කර ඇති බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇමැතිවරයකුගේ වයස අවුරුදු 19ක යොවුන් දරුවකුට පවා සුරාබදු බලපත්‍ර ලබා දී ඇති බවත් ඔහු පවසයි. එම තරුණයා 2005 වසරේ උපන් අයකු බවට ද වාර්තා වී ඇති බව පෙන්වා දුන් කමන්ත මහතා වයස අවුරුදු 21කට අඩු අයකුට සුරා බදු ආඥා පනතට අනුව මත්පැන් අලෙවිය තහනම් වන්නා සේම මත්පැන් හලකට පිවිසීම පවා තහනම් බව පෙන්වා දුන්නේය.
එමෙන්ම කතරගම වැඩසිටිකන්ද ආසන්නයේ ද දේශපාලඥයකුගේ සොහොයුරකුට නව සුරාසලක් ඉදි කිරීමට බලපත්‍ර ලබා දී ඇති බවත් ඔහු අනාවරණය කළේය.
බලපත්‍ර දුන් හැටි
ඊට අමතරව රක්වානට අලුතින් සුරාබදු බලපත්‍ර 2ක්, පාණදුරට 3ක්, රාජගිරියට 3ක්, මඩකළපුවට 2ක්, කොළඹ 8 ප්‍රදේශයට 2ක්, රත්නපුරයට 2ක්, කටුගොඩට 3ක්, ගල්පාතට 3ක්, කොළඹ 6 හා කිළිනොච්චියට 1ක් බැගින් ලබාදීමට සැලසුම් තිබූ බවත් ඇතැම් ඒවා මේ වන විට ලබා දී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් නඩුවක් දැමීමෙන් පසුව මේ ඇතැම් බලපත්‍ර ලබා නොදුන් බවත් ඔහු කීවේය.
සංගමය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අලුතින් ලබා දුන් සුරාබදු බලපත්‍ර ලේඛනය ඉල්ලා සිටියද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම තොරතුරු ලබා දී නොමැත.
සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා පවසන්නේ සුරාබදු බලපත්‍ර ලබාගෙන රා නිෂ්පාදකයන් විසින් එය අවභාවිත කරනු ලබන බවයි.
රා මැදීම සඳහා බලපත්‍රය ලබා දෙන්නේ ගස්වලින් ලබා ගන්නා යුෂ සඳහා පමණකි. එහෙත් කෘත්‍රිමව රා වළවල්වල රා නිපදවා රජයට විශාල මුදලක් අහිමි කිරීමට බලපත්‍රලාභීහු කටයුතු කරති. දිනකට රා ලීටර් ලක්ෂ 5ක් විතර අලෙවි වන අතර ඒ වෙනුවෙන් ගස් 250,000ක් පමණ මැදිය යුතු වේ. එහෙත් මෙරට දිනකට ගස් 30,000ක්වත් මැදීමක් සිදු නොවේ. ඒ අනුව කෘත්‍රිම වළවල්හි ස්ප්‍රීතු රා නිපදවා ඒ හරහා අරක්කු ඇතුළු විවිධ මත්පැන් නිපදවන අතර එක් බෝතලයකින් රජයට රුපියල් 2,800ත් 2,900ත් අතර බදු මුදලක් ගෙවිය යුතු වුවත් ඒ කිසිදු බදු මුදලක් එසේ වළවල්හි කෘත්‍රිමව නිපදවන රා මඟින් ලබාගත නොහැකිය.
මේ සියලු වංචාවන් අදාළ පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ගැන විමර්ශනයෙන් සොයා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. දැනට ලබා දෙන සුරාබදු බලපත්‍ර වෙනුවට බලපත්‍ර ලබා දෙන්නේ නම් එය වඩා විධිමත්ව ටෙන්ඩර් කැඳවා ලබා දෙන්නේ නම් දැනට ලැබෙන සුරාබදු ආදායමට වඩා හත් අට ගුණයකින් ආදායම ලබා ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
රජයට හිමිවිය යුතු ආදායම දිනකට මිලියන 500ක් අහිමි වන බව ද ඔහු පැවසුවේය.
ආරක්ෂිත ස්ටිකරයක්
මේ තත්ත්වය වැළැක්වීම උදෙසා රජය දේශීය මත්පැන් බෝතල් වෙනුවෙන් ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දෙන ලදි. එහෙත් එම ස්ටිකරයද ව්‍යාජ ලෙසින් නිෂ්පාදනය කර දේශීය මත්පැන් බෝතල්වල මුද්‍රා තබා වෙළෙඳපොළට මත්පැන් බෝතල් නිකුත් කරනු ලැබේ. එලෙසින් 2023 වසරේදී එසේ ව්‍යාජ ලෙස ස්ටිකර් අලවා වෙළෙඳපොළට නිකුත් කරන ලද මත්පැන් බෝතල් 6,000ක් අත්අඩංගුවට ගත් බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව හෙළි කරගෙන තිබුණි. එම කාරක සභාවේ එවක සභාපති පාඨලී චම්පික රණවක විසින් එම කාරක සභාව රැස්වූ 2023. 08.22 දින හෙළි කළේ ඊට වඩා විශාල ප්‍රමාණයක් දිවයින පුරා ඇති බවයි.
අජිත් උඩුගම පවසන්නේ මේ ව්‍යාජ ස්ටිකර් ජාවාරම සුරාබදු නිලධාරීන්ගේ සහායෙන්ම සිදුවන්නක් බවයි.
එමෙන්ම මත්පැන් බෝතලයක් නිපදවා එය අලෙවියට එවීමට පෙර ඊට අදාළ සියලු බදු ගෙවා නිම කළ යුතු වුවත් සුරාබදු නිලධාරීන්ගේ ද සහායෙන් විවිධ ගැසට් පත්‍ර නිකුත් කර පසුව එම මත්පැන් බෝතල් වෙළෙඳපොළට නිකුත් කළ පසුව බදු ගෙවීමේ සහනයක් ලබා දී ඇති බවයි. එම නිසා මේ වන විට විශාල සමාගම් විසින් බදු රැසක් ගෙවීම් පැහැර හැර ඇති බව ද මාධ්‍යයෙන් ඒ බව හෙළි කරන විට පමණක් සුරාබදු නිලධාරීන් ක්‍රියාත්මක වන බවයි.
මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීම සිදු කරනු ලැබුවේ 2022 අප්‍රේල් මස 1 වැනිදා සිට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන මත්පැන් බෝතල් වෙනුවෙන් වන අතර ඒ වන විටත් වෙළෙඳපොළේ තිබුණු දේශීය මත්පැන් වෙනුවෙන් පෙර නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කළ බව දැක්වෙන ස්ටිකරයක් (OLD STOCK) අලවන ලදි. ඒ 2022 මාර්තු මස 31 වෙනිදා දක්වා නිකුත් කරන ලද දේශීය මත්පැන් වෙනුවෙනි.
එහෙත් එක්තරා සමාගමක් විසින් නිපදවන ලද බීර බෝතල්වල නිෂ්පාදිත දිනය වන්නේ 2022 අගෝස්තු මාසය වන අතර ඒවායේ ද පැරැණි බව දැක්වෙන ස්ටිකර් මුද්‍රණය කර ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුබලයකින් තොරව එය සිදු වූයේ කෙසේද යන්න නම් අපට ද ප්රශ්නයකි.
තනතුරින් ඉවත් කළ සුරාබදු කොමසාරිස්වරයා එම තනතුරට පත්ව සිට පසුව ජනාධිපති කාර්යාලයට ගියේය. එහි සේවය කරද්දී ද ඔහු සුරා බදු බලපත්‍ර ලබාදීමට අදාළ කාර්යයන්හි නිරත විය. සුරාබදු කොමසාරිස්වරයාට බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සොයාබැලීම් සිදුකරන ලෙසට දන්වා සිටි අවස්ථා රැසක් ඇත.
ජනාධිපති කාර්යාලයේ සිට ඔහු යළිත් සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට පත් විය. ඔහුගේ කාලයේ සුරාබදු ආදායම වැඩි වූ බව ඔහු පෙන්වා දෙයි. එය සත්‍යයකි.
සුරාබදු දෙපාර්තමේන්තුව 2023 වසරේ රුපියල් බිලියන 179ක ආදායමක් උපයා ඇති බව හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසා තිබුණි. දෙපාර්තමේන්තුවට 2024 වසරට ලබා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 232ක් ඉපැයීමයි. දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු මාසය අවසන් වන විට රුපියල් බිලියන 132.7ක ආදායමක් උපයා තිබුණි.
සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් ඉපැයීමේදී මත්පැන් බෝතල්වලින් ලැබෙන බදුවලට අමතරව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමෙන්ද විශාල ආදායම් හිමි වේ. නව බලපත්‍රයක් ලබා දීමේදී මහ නගර සභා සීමාවක් තුළ නම් රුපියල් මිලියන 15ක්ද නගර සභා සීමාවක් තුළ නම් රුපියල් මිලියන 12.5ක් හා ප්‍රාදේශීය සභා සීමාවක් තුළ රුපියල් මිලියන 10ක් අය කෙරේ. නිෂ්පාදනාගාරයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් මිලියන 25ක මුදලක් අය කෙරේ.
2023 වසරේ හිඟ බදු මුදල් රුපියල් මිලියන 1040ක් වූ අකර එයින් රුපියල් මිලියන 609 ක් මේ වසරේ පෙබරවාරි මාසය වන විට අය කර ගැනීමට කටයුතු කර තිබුණි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 111ක ඉතිහාසයේ එක් දිනක් තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 1,395ක් මුදලක් අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා අලුතින් බලපත්‍ර 12ක් දී රජයට මිලියන 150ක අතිරේක ආදායමක් ලබාදී ඇති බව හිටපු කොමසාරිස් ජනරාල්වරයා පවසා තිබුණි.
ගැටලුව ඇත්තේ උපයන ලද ආදායම ගැන නොව සුරාබදු බලපත්‍ර අවභාවිතය හා නිසි පරිදි සිදු නොවන කටයුතු ගැනය.
සුරාබදු නිෂ්පාදකයන්ට සිල්ලර වෙළෙදාමේ යෙදීමට නොහැකිය. එය නීතියකි. එමෙන්ම සිල්ලර වෙළෙන්දන්ට නිෂ්පාදකයන් විය නොහැකිය. ඒ නීති රීති ඇත්තේ පොත්වලය. ඇතැම් සමාගම්වල අධ්යක්ෂවරුන් සුරාබදු බලපත්‍ර ලබාගෙන යහමින් තම කාර්යය කරගෙන යති. ඒවා බලන්නට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටියද ඒ සියල්ල හොරාගේ අම්මාගෙන් පේන අසනවාට නොදෙවෙනිය.
මහා පරිමාණ දූෂණයක්
මේ බලපත්‍ර මගඩිය තව කොතෙක් කල් මේ ලෙසින් සිදු කරන්නේ ද යන්න සොයා බැලිය යුතුය. මෙහි ඇත්තේ මහා පරිමාණ දූෂණයක් බව නම් පැහැදිලිය. පසුගිය සතියේ සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරය දැරූ එම්.ජේ. ගුණසිරි එම ධුරයෙන් ඉවත් කර ඇත. ඒ මේ කතා බහ දිගින් දිගටම ඇදී යද්දීය.
සුරාබදු බලපත්‍ර සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩු 4ක් විභාග වෙමින් පවතී. ඒ SC FR-116/2023, SC FR-131/2023, SC FR-138/2023 හා SC FR-114/2024 අංක යටතේය.
සුරාබදු දෙපාර්තමේන්තුව ඇතැම් තොරතුරු අධිකරණයට පවා ලබා නොදී ඇති බවට අපට වාර්තා වේ. එම නිලධාරීන් තේරුම් ගත යුතු ඇස් පනාපිට පෙනෙන තිත්ත ඇත්තක් ඇත. ඒ ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට අත් වූ ඉරණම ගැනය. ඔහු අද රක්ෂිත බන්ධනාගාරගතව ඇත්තේ අධිකරණය ලබා දුන් තීරණ ක්‍රියාවට නැංවීමෙන් වැළකී සිටි නිසාය. ඒ වැළකීම ඔහුගේ අවශ්‍යතාවක් නොව දේශපාලන අවශ්‍යතාවක් වන්නට ඇත. එහෙත් අද සිරබත් කන්නේ ඔහුය. ඒ ආදර්ශය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ගන්නේ නම් ඔවුන්ගේ ඇඟට ගුණ බව නම් කිව යුතුය.
තාරක වික්‍රමසේකර