Home » පරාජිතයෝ අලුත් පච නිර්මාණය කරමින් ඉන්නවා

පරාජිතයෝ අලුත් පච නිර්මාණය කරමින් ඉන්නවා

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

අමාත්‍යංශ අවශ්‍ය ප්‍රමාණය විද්‍යාත්මක පදනමක් මත බෙදලා තියෙන්නේ

අනුර කුමාර දිසානායකට ඡන්දෙ දුන්නට දිස්ත්‍රික්ක දිනාගන්න ජාජබ බැරි බව ඇතැමුන් කියනවා. මේ ගැන මොකද කියන්නේ?

සියයට තුනක් තිබුණ පක්ෂයකට දිනන්න බැහැ; කියලා කිව්වනේ. ඒකත් අපි කරලා පෙන්නුවා. IMF අපිව දාලා දුවනවා කියලත් කිව්වා; ඒ එකක්වත් වුණේ නැහැ. පරාජිතයෝ අලුත් පච නිෂ්පාදනය කරමින් ඉන්නවා. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයෙන් පසුව ජනතාව රොද බැඳගෙන ඉන්නවා. අපි එක්ක ජනතාව විශාල ලෙස එකතු වෙනවා. ජනාධිපතිවරණයට කරන ලද කැම්පේන් එක සහ ජනාධිපතිවරණයට පසුව අපේ ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගෙන යන මේ වැඩපිළිවෙළ නිසා අපිට මෙතෙක් සම්බන්ධ නැති අය සම්බන්ධ වෙනවා.

ඔබ කියන්නේ මහමැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලද?

අනිවාර්යයෙන්. අපි මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කරලා තියෙනවා. ඉතාම පහසුවෙන් විශාල ජයග්‍රහණයක් අපිට අත්පත් කරගන්න පුළුවන් කියලා ඉතාම පැහැදිලියි.

ඒත් මහමැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවත් කරගෙන යන්න ජාජබටම දෙනවා කියලා සජබෙ සමහර මන්ත්‍රීවරු කියනවා. ජාජබ ජයග්‍රහණය අවිනිශ්චිත නිසා ද මෙහෙම කියන්නේ?

ඒ අය වෙච්ච පරාජයෙන් ලජ්ජාවට පත්වෙලා ඉන්නේ. ඇතැම් අයගේ ආර්යාවන්ටත් දැන් හරියට ලජ්ජ ඇති. දැන් රඟපාන මේ අයගේ නාඩගම් අපිට බලාගන්න තිබුණා දිනුවා නම්. ඒවා කර ගන්න බැරිවුණා; දුකට කියන කතා මේවා. අපි ඔය දේවල්වලට හිනාවෙනවා මිසක වෙන මොකක්ද කරන්නේ.

ඡන්ද ප්‍රතිඵල අනුව අපිටත් හිතෙනවා; සමහර පළාත්වල සජබට ඡන්ද ප්‍රමාණය වැඩියි කියලා. ඒ ගැන ඔබේ අදහස?

ඇත්ත වශයෙන්ම එවැනි පළාත්වලට අපි නැවත ආමන්ත්‍රණය කළ යුතුයි. සමහර පැතිවල අපේ ඡන්ද යම් අඩුවක් අපි දැක්කා. අපි නැවත ඒ පළාත්වලට ආමන්ත්‍රණය කරනවා. අඩු තැන් පිළිබඳව විශේෂ අවධානයෙන් වැඩ කරනවා.

පසුගිය කාලය පුරාම මාලිමාවේ වේදිකාවේ හිටිය සෙනඟ ඡන්ද පෙට්ටියේ තිබුණේ නැහැ. එහෙත් මෙවර ඡන්ද ලක්ෂ 57ක් ලබා ගැනීම ඔබ දකින්නේ කොහොමද?

අපි සම්බන්ධයෙන් සහ අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇති කරගත් විශ්වාසය, අනෙක් සියලු දේශපාලන බලවේග අසාර්ථක වීම, ජනතාව අනෙක් දේශපාලනඥයන් පිළිබඳව වූ අප්‍රසාදය, අපේ ආර්ථිකය කඩාවැටීම බිඳවැටීම සහ දේශපාලන සංස්කෘතියෙ බරපතළ කුණුවීම යන කරුණු තුළයි මේ ප්‍රතිඵලය අපිට එන්නේ. ජනතාව ජාජබ සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා. එය මහමැතිවරණයේදි තහවුරු වෙයි නැවතත්.

මැතිවරණ ළං වෙද්දි පක්ෂ අතර ඩීල් ගැන හැමදාම කතා කරනවා. ජාජබය ඩීල් දාන්නේ නැද්ද?

ජාජබයට කෙසේ වෙතත් මට නම් ඩීල් තියෙනවා. ඒ මේ රටේ ජනතාවත් සමඟ. මම විවිධ අයත් සමඟ කතා කරනවා. වෙනත් දේශපාලන පක්ෂ සමඟ තොරතුරු හුවමාරු කරගන්නවා. ඒ අයගේ තොරතුරු දැන ගන්නවා; ඒ අයට මොනවාද වෙලා තියෙන්නේ කියලා විමසා බලනවා; ඒ තුළින් අපේ වැඩ සැලසුම් විය යුතු ඉලක්ක හිතට ගන්නවා. මේ විදිහට විවිධ පාර්ශ්ව සමඟ සබඳතා පවත්වනවා; ජනතාවට වාසි වන විදිහට ඒ සබඳතාවලින් අත්පත් කරගන්න අදහස් යොදා ගන්නවා.

හොරු අල්ලනවා කියලා කියනවා; හැමදාම ඒත් කියනවා විතරයි. ජනාධිපතිවරයා බලයට පත්වෙලත් තාම අල්ලපු හොරෙක් නැහැනේ…

ඒකට අවශ්‍ය කරන සියලු සැලසුම් ක්‍රියාත්මකයි; හොරු ඇල්ලීම සිදුකරන්නේ සීඅයිඩි එක සහ අල්ලස් දූෂණ කොමිසම. ඒ කටයුතු සක්‍රියව ආරම්භ කරලා තියෙනවා.

නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුවන්වලා දෙන්නේ කවදද?

මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් කතාබහ කරනවා. ජාජබයේ ආණ්ඩුවක් යටතේ ඒ දේ ඉක්මනින් වෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා; ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. බොහෝ අය බලයට පත්වෙන්න කලින් එහෙම කියනවා. බලයට පත්වුණාට පස්සේ ඒ දේ කළේ නැහැ. එයම මෙවරත් වෙයිද?

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතයක් අරගෙන; ඉන්පසුව ජනමත විචාරණයකුත් ඒ සම්බන්ධයෙන් පවත්වලා ජනතා බහුතර කැමැත්ත අරගෙනයි, ඒ වගේ දෙයක් කිරීමට ව්‍යාවස්ථානුකූලව හැකියාව තියෙන්නේ. එය ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වෙනවා.

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් ජාජ බලවේගයේ ජනාධිපතිවරයා බලයට පත් වුණත් කිසිවක් සිදු වෙලා නැහැ කියලා කියනවා. පසුගිය කාලයේ එළියට දාපු නැති ෆයිල් දෙක තවමත් තියාගෙන ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා?

ඒ සම්බන්ධයෙන් කරන චෝදනා අපිට වැඩක් නැහැ. අපි ඒ සම්බන්ධයෙන් ක්‍රමානුකූලව වැඩපිළිවෙළක් සිදු කරන බවට ජනතාවට විශ්වාසයක් තියෙනවා. කාගේවත් චෝදනාවලින් අපට වැඩක් නැහැ. ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අපි ඉටු කරන බවට අපිට විශ්වාසයක් තියෙනවා. කාදිනල්තුමා ඇතුළු ඒ ජනතාවටත් විශේෂ විශ්වාසයක් ඒ ගැන තියෙනවා. අනෙක් අයටත් ටිකක් බලාගෙන ඉන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.

පිටරටවල බැංකුවල මේ රටේ මුදල් තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා? ඒවා කවදද මේ රටට ගේන්නේ?

ඒවා කියන්න ගියාම හොරුන්ට තොරතුරු සැපැයීමක් වෙනවා; ඒ ගැන කතා කරාම වෙන්නේ ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්න යන ක්‍රියාමාර්ගවලට බාධාවක් වීමයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ 18% තියෙන බද්ද 0% දක්වා අඩු කරනවා කිව්වත් තවම එය සිදුවෙලා නැහැ නේද?

ඔව්, අපි ඒක කරනවා. ආණ්ඩු බලය ජනතාව ලබා දුන්නට පස්සේ නොවැම්බර් 14වැනිදායින් පස්සේ අපි ඒ දේවල් සිද්ධ කරනවා. දැන් ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඉතුරු ටික පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමෙන් පසුව කරනවා.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වුණාට පස්සේ කොටස් වෙළෙඳපොළ ස්ථාවර වුණා, විදේශ සංචිත වැඩි වුණා කියනවා; ඇත්තද මේ කතාව?

ඔව්. ඒකට හේතුව මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙලා තියෙනවා. මැතිවරණයෙන් අනතුරුවත් ජනතාව සාමකාමීව කටයුතු කළා. ලංකා ඉතිහාසයේ එහෙම දෙයක් මෙච්චර කල් අපි දැකලා නැහැ. ඒ වටපිටාවත් සමඟ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා. අපි ගෙවිය යුතු රුපියල් ගණන ස්ථාවර වීමට මූලික පදනම මෙන්ම දේශපාලන ස්ථාවරත්වය සහ හොරකම් වංචාවලින් තොර ගමනක් යෑම කියන එක සියලුදෙනාම දැකලා තියෙනවා. අද වන විට ඒ දේ සිදුවෙලා තියෙන්නේ ඒ නිසයි.

අයිඑම්එෆ් කොන්දේසි වෙනස් කරන්න බැහැ; එසේ කළහොත් රට කඩාවැටෙනවා; කියලා හිටපු ජනාධිපතිවරයා කිව්වා. අයිඑම්එෆ් කොන්දේසි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවද?

අයිඑම්එෆ් එක සූදානම් අපේ අලුත් යෝජනා භාර ගන්න. ඔවුන් එකඟ වෙලා තියෙනවා. අලුතින් අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ භාර ගැනීම සහ අපේ ක්‍රමවේදය ගැන ඒ අයට ගැටලුවක් නැහැ. ඒ අයත් කල්පනා කරන මූල්‍ය ස්ථාවරය හදාගන්න අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුළ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව ඒ අයට අපිට විරුද්ධ වෙන්න කිසිදු ගැටලුවක් නැහැ. රනිල් වික්‍රමසිංහ ඩොලර් සියයක් හොයන ක්‍රමවේදයයි; අපි ඩොලර් සියයක් හොයන ක්‍රමවේදයයි දෙකක්; අයිඑම්එෆ් එකට ගැටලුවක් නැහැ; ඒ ඩොලර් 100 උපයන ක්‍රමය පේනවා නම්. අපි උපයන ක්‍රමය විනිවිදයි.

මාසික පුද්ගල බදු නිදහස් සීමාව රුපියල් 2,000,000 දක්වා ඉහළට දැමීමෙන් බදු ආදායම අඩු වෙනවා නේද.?

බරපතළ බදු හොරු ඉන්නවා. බදු නොගෙවා ඉන්න හොරු ටික එකතු කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එයින්ම මේ කටයුත්ත කරන්න පුළුවන් විශාල ආදායමක් උපායා ගැනීමට හැකියාවක් අපට තියෙනවා. බදු හොරුන්ගේ නොගෙවා තියෙන බදු එකතු කර ගැනීම මඟින් මේ දේවල් ආවරණ කර ගන්න පුළුවන්.

අඩු ආදායම්ලාභි පවුලක් සඳහා මාසිකව රුපියල් 10,000 දීමනාවක් දක්වා ඉහළට වැඩි කිරීමට අපෙක්ෂා කරනවා කියලා ඔබතුමාලා කියනවා. මේ පොරොන්දු දෙන්නේ ඡන්දය අරමුණු කරගෙනද?

මේ රටේ දිළිඳු පවුල්වල මිනිසුන්ට කන්න විදිහක් නැහැ. ඒකට ක්‍රමයක් අවශ්‍යයි. ඒ අය බඩට මොනවා හරි දාගන්න ඕන. ඒ අයත් රට ගොඩනඟන්න දායක කරගන්නා තෙක් එය අපි කළ යුතුයි. මිනිසුන් බඩගින්නේ තියලා රට ගොඩනඟන්න බැහැ. මේ අය ආර්ථික වැඩපිළිවෙළකට සම්බන්ධ කර ගන්නා තුරු එය කළ යුතුයි.

ජාජබ‍ෙය් ආණ්ඩුවක් යටතේ අමාත්‍ය ධූර 25කට සීමා කිරීම සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 25කට සීමා කිරීම ප්‍රයෝගිකව කරන්න පුළුවන්ද?

අපි අමාත්‍යාංශ අවශ්‍ය ප්‍රමාණය විද්‍යාත්මක පදනමක් මත බෙදලා තියෙන්නේ. ඒ පදනම මත බෙදීමේදි ආව ඉලක්කම 25යි. ඒ නිසා 25කින් රටක් සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන්. මේ වන විටත් අපි තුන්දෙනෙක් ප්‍රමුඛව රට ගෙනියනවා. ඇමැතිවරු තුන් දෙනත් එක්ක මේ වැඩේ කරගෙන යන්න, මේ මහ කර්තව්‍යයට හැම පැත්තෙන්ම මාලිමාවේ පිරිස තමයි සහයෝගය දෙන්නේ.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division