Home » මාධ්‍ය සංදර්ශන තවත් එපා 

මාධ්‍ය සංදර්ශන තවත් එපා 

සජබ හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ජේ.සී. අලවතුවල

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment
සුභාෂිණි ජයරත්න

අපි උත්සාහ කරනවා ජනාධිපති වරණයේදි විපක්ෂයට ලැබුණු 58%ක ප්‍රතිශතය රඳවා ගන්නට

මෙවර ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රබල සටනක් සජබයට ලබා දිය හැකි යැයි විශ්වාස කරනවාද?

ජනාධිපතිවරණය දිනූ පසු මහ මැතිවරණයත් ඒ පැත්තට යනවා කියලා ගොඩාක් දෙනෙක් කියනවා. සෑම ජනාධිපතිවරණයකදීම වලංගු ඡන්දවලින් 50% කට වඩා දිනූ අපේක්ෂකයා ගත්තා. නමුත් මෙවර පැහැදිලි වෙනසක් තිබුණා. ප්‍රබල අපේක්ෂකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වීම තුළ ජනාධිපතිවරයා පත්කර ගත්තේ 42% ක ප්‍රතිශතයකින්. දෙවැනි මනාපය ගණන් කළ පසුත් 50% ක් ආවේ නැහැ. මේ නිසා එතුමාට විරුද්ධව ඡන්ද 58% ක් ලබාදී තියෙනවා. එතුමා ගත් ඡන්ද සමඟ අපි පාර්ලිමේන්තු මැතිවරණය සංසන්දනය කළහොත් එතුමාට ලැබෙන්නේ මන්ත්‍රී ආසන 105 යි. විපක්ෂයට මන්ත්‍රී ආසන 120 ක් ලැබෙනවා. මේ මන්ත්‍රී ආසන 120 කට ලබාගත් ඡන්ද ප්‍රමාණය වෙන වෙනම ඉල්ලූ ඒවා වුණාට ඒ බහුතරය විපක්ෂයට ලබා ගැනීමේ කාර්යභාරයක අපි නියැළෙනවා.

ඔබ පක්ෂය උත්සාහ කරන්නේ ප්‍රධාන විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නද? නැතිනම් ආණ්ඩුවේ කාර්යභාරය ඉටු කරන්නද?

අපි පත්වූ ජනාධිපතිවරයාට මෙය ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලබා දෙනවා. ඊට බාධා කරන්නේ නැහැ. ජනාධිපති දුන් පොරොන්දු ගණනාවක් තියෙනවා. ඊට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. නමුත් පසුගිය ඉතිහාසය හා සංසන්දනයේදි වැඩි බහුතරයක් ලබාදුන් සෑම අවස්ථාවකදීම ජනතාවට අහිතකර ආකාරයට තමයි පත්වූ ජනාධිපතිවරු වැඩ කර තියෙන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් අවසානයේ රට බංකොලොත් කළා. වැඩි බලයක් ලැබුණු විට එහි අවාසිය ජනතාවට බලපා තියෙනවා. මේ නිසා අපි උත්සාහ කරනවා ජනාධිපතිවරණයේදි විපක්ෂයට ලැබුණු 58% ක ප්‍රතිශතය රඳවා ගන්නට.

ජාතික ජන බලවේගයත් සජබයත් අතර මතවාදීමය ගැටලු පවතිනවා. කොහොමද ජනාධිපතිවරයා යටතේ ඔබ ආණ්ඩුවක් බලයට පත් වුණොත් ඉදිරියට පවත්වා ගෙන යන්නේ?

මේ රටේ ජනාධිපතිවරයාට වැඩ කරගෙන යාමට අපි අවස්ථාව ලබා දෙනවා. ඒ ස්ථාවරයේ අපි ඉන්නවා.

ජනතාවගේ අපේක්ෂාව වෙනසක්. මෙවර නාමයෝජනා ලබාදීමේදී ඒ වෙනසට මුහුණ දෙන්නේ කොහොමද?

අපි නාමයෝජනා ලබා දීමේදි අලුත් පිරිසට අවස්ථාවක් ලබා දෙනවා. විපක්ෂයේ සිටියදි මන්ත්‍රී සංඛ්‍යාව සිටියේ අඩු සංඛ්‍යාවක්. ඒ නිසා අවස්ථාව පවතිනවා, පාර්ලිමේන්තුවේ නොසිටින කණ්ඩායමක් ඊට ඉදිරිපත් කිරීමට.

ඔබ පක්ෂය තරුණ හා ජනප්‍රිය පුද්ගලයන්ට නාමයෝජනා ලබා දීමේ සූදානමක් පවතින බව පෙනෙනවා?

නාමයෝජනා මණ්ඩලය තීන්දු කර තියෙනවා තරුණ හා කාන්තා පිරිසට වැඩි අවස්ථාවක් ලබාදීමට.

ඔබ සන්ධානය තවත් පුළුල් කිරීම ගැන පසුගිය කාලයේ සාකච්ඡා කළා. එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමක් ගැන කතා කළා. නමුත් පක්ෂයේ දැඩි ප්‍රතිපත්ති වෙනස් කරන්නට සූදානම් නැහැ නේද?

අපිට එක්සත් ජාතික පක්ෂයට එක්තු වීමේ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් නායකත්වය අපේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතුයි. එතුමාට නායකත්වය ලබා දෙනවා නම් සාකච්ඡා ඉදිරියට ගෙනියමුයි කියන ස්ථාවරයේයි බොහෝ මන්ත්‍රීවරු සිටියේ. මේ අවස්ථාවේ නාමයෝජනා අත්සන් ලබා ගනිමින් තියෙනවා. ඒ නිසා මේ සාකච්ඡා දිගින් දිගට යන එකක් නැහැ.

ජාජබෙ කිව්වෙ හොරු අල්ලනවා, බදු බර අවම කරනවා කියලා. නමුත් පැවැසූ කිසිවක් සිදුවුණේ නැහැ කියලත් චෝදනා පවතිනවා?

මැතිවරණ වේදිකාවේ නොයෙකුත් දේ කතා කරනවා. ජාජබය කිව්වා IMF එක්ක ගමනක් නැහැ කියලා. දැන් ඉදිරියට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කරගෙන ආ ආකාරයටයි. වෙනසක් නැහැ. බලමු තව ටිකක්. ජනතාව ඡන්දය දුන්නා වගේම ජනතාවත් බලාගෙන ඉන්නේ මොකද්ද වෙන්නේ කියලයි. ජාජබයට දැන් තියෙන්නේ දුන් පොරොන්දු ඉටු කරන්නයි. තවත් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කරමින් සිටීම ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව එවෙලෙට තාවකාලික සතුටක් ලැබුවට මේවා රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ද යන්න ප්‍රශ්නයක්. ඔවුන් කියූ දේ කෙටි කාලයක් තුළ ඉෂ්ට කරන්න බැරි බව ඇත්ත. නමුත් ඒ කාරණා එකින් එක ඉෂ්ට කරනවද කියලා ජනතාව බලාගෙන ඉන්නවා.

මහමැතිවරණයේදි ජනතාව සතු වගකීම ගැන කතා කළොත්?

ජනතාවට විශාල වගකීමක් පවතිනවා. මේ පාර්ලිමේන්තුව ඉතාම සමබර විය යුතුයි. අත්දැකීම් හා පළපුරුද්ද අවශ්‍යයි. ජනතාව පාලන බලය ලබා දෙන්නේ වසර 5 කට. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයේදි රට ගැන හිතන, රට ගැන කතා කරන අය වෙනුවෙන් පාර්ලිමේන්තු ඡන්දය භාවිත කළ යුතුයි. තරහට, ක්‍රෝධයට දුන් ඡන්දයට යම් වෙනසක් සිදුකරමින් පොදුවේ හොඳ යහපත් අය පාර්ලිමේන්තුවට පත්විය යුතුයි. මහජනයාත් සමඟ වැඩ කරන කණ්ඩායමක් විය යුතුයි. නොදන්නා පිරිසක් පාර්ලිමේන්තු යැවීම ඉතා භයානකයි. රටේ ජනතාව දන්න පුද්ගලයෙක් යැවිය යුතුයි. එය රටේ ජනතාවට තිබෙන අයිතියක්. ඒ අයිතිය භාවිත කිරීමට රටේ ජනතාව දැනගත යුතුයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division