පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීම පසුගිය 11 වැනි සිකුරාදා දහවල් 12.00ට අවසන් වූ අතර මේ සමඟම රටපුරා යළිත් ඡන්ද උණුසුම ආරම්භ වී තිබේ.
ලෝක නායකයන් ජනපතිට දුන් සහතිකය
පසුගිය ජනාධිපතිවරණ කාලයටත් වඩා මේ වන විට ජනාධිපතිවරයාගේ වැඩසටහන් යෙදී ඇති නිසා ඔහු දැඩි ලෙස කාර්යය බහුල වී ඇත.
පසුගිය දිනවල රටවල් රැසක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ජනාධිපතිවරයා හමුවී ඒ ඒ රටවල රාජ්‍ය නායකයින්ගේ සුබ පැතුම් ඉදිරිපත් කළ අතර, බොහෝ රටවල රාජ්‍ය නායකයින් සුබ පැතුම් පමණක් නොව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමද විශේෂත්වයකි.
විවිධ රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් රැසක්ම මේ දිනවල ජනාධිපතිවරයා හමුවෙමින් තිබෙන නිසා ගාලු මුවදොර අභියස පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අතිශයෙන් කාර්ය බහුල වී තිබේ.
පාන්දර 2.00 වනතුරු වැඩ
ඇතැම් දිනවල එක් දිනක් තුළ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් රටවල් 6ක් පමණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හමුවීම විශේෂත්වයකි. මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට මධ්‍යම රාත්‍රිය ඉක්මවා අලුයම 2.00 පමණ වනතුරු සිය රාජකාරී කටයුතු කිරීමට සිදුවී තිබේ.
යළිත් ඔවුන් පසුදින උදෑසන 8.00ට පමණ යළි රාජකාරී කටයුතුවලට පැමිණෙන අතර ඉන්පසු මධ්‍යම රාත්‍රීය පසුවනතුරු සිය රාජකාරී කටයුතු සිදුකරති.
ජනපතිත් සමඟ සෙල්ෆි ගැනීමට පොරයක්
අනුර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා අනුරාධපුරයට පැමිණියේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්, රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබාගැනීමටය.
ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳපුදාගෙන ජනපති රුවන්වැලිසෑය වෙත පැමිණෙන අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු රුවන්වැලිසෑයට පැමිණෙන මාර්ගය අසල සිට පාරේ ඉඩකඩ ලබාගැනීමට කටයුතු කළේ අති විශාල පිරිසක් ජනාධිපතිවරයා දැකගැනීමට ඒ වන විටත් පැමිණ සිටි නිසාය.
ජනපති අනුර සුපුරුදු පරිදි අත වනා ජනතාවට ආචාර කරමින් සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන රුවන්වැලි සෑයට පැමිණෙන විට විශාල පිරිසක් අනුර වටකරගත් අතර තවත් සමහරුන් ඔහු වෙත දිව ගියේ සෙල්ෆි ඡායාරූප ලබාගැනීමටය. අති විශාල පිරිසක් ජනපතිව වටකරගත් නිසා ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට කරකියා ගන්නට දෙයක් නොමැති විය. ජනතාව සමඟම එක්ව ජනපති රුවන්වැලි මහසෑය වන්දනා කිරීමද විශේෂත්වයකි.
මුද්දර හුටපටේ ඇත්ත නැත්ත
ඇැතැම් සමාජ මාධ්‍ය ජාල හරහා අවධානයකට ලක්වූ කරුණක් වූයේ ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිවරියගේ සහ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත සමරු තැපැල් මුද්දර නිකුත් කිරීමක් පිළිබඳවයි.
ලෝක තැපැල් දිනයට සමගාමීව පැවැත්වුණු උත්සවයකදී පැමිණෙන ආරාධිතයින් වෙනුවෙන් සමරු තිළිණයක් ලෙස ලබාදීමට ඔවුන්ගේ රුව යොදා ගනිමින් මෙම සමරු මුද්දර නිකුත් කර තිබුණි.
මේ ගැන අගමැති කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත්තේ සම්ප්රදායක් වශයෙන් මෙම සමරු තැපැල් මුද්දර ආරාධිතයින්ට ලබාදුන් බවත් මෙම තැපැල් මුද්දර භාවිත කිරීම සඳහා කිසිසේත්ම නිකුත් නොකරන බවයි.
මේ සඳහා යම් මුදලක් වැය වී තිබෙනවා නම් එම මුදල තමන්ගේ පෞද්ගලික මුදලින් අයකරගන්නා ලෙස අගමැතිවරිය සහ විජිත හේරත් අමාත්‍යවරයා තැපැල් දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයිද වාර්තා වේ.
මේ ආකාරයෙන් මුදල් වැයකරන කටයුතු මින්පසු සිදුනොකරන ලෙසත් මෙවැනි වැරදි පූර්වාදර්ශ ලබානොදෙන ලෙසත් තැපැල් දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව මේ ගැන යම් පැහැදිලි කිරීමක් සිදුකිරීමට තැපැල්පතිවරයාට සිදුවිය. මේ සිදුවීමත් සමග ඉන්දියවේ කිරාන් බේඩ්ගේ කතාවක්ද ඇතැමුන්ට සිහිපත්වී තිබුණි.
කිරාන් බේඩ් ඉන්දියාවේ නිල උත්සවයකට ගිය අවස්ථාවේදී මල්මාලා දමා පිළිගත් අතර සමරු ත්‍යාගයක්ද කිරාන් බේඩ්ට පිරිනමා තිබුණි. කිරාන් බේඩ් විමසුවේ මෙම මල් මාලය සහ ත්‍යාගයට මුදල් කොහෙන්ද කියාය. ඊට රජයේ වියදම් දරා තිබීම හේතුවෙන් වහාම එම මුදල තමාගේ පෞද්ගලික මුදලින් අයකර ගන්නා ලෙස කිරාන් බේඩ් අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ජනපති අනුරගේ වාසනාව
පසුගිය දවසක එක්තරා ජංගම දුරකතන සමාගමක ප්‍රවර්ධන වැඩසටනකට සහභාගි වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු කතාබස් කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි.
“අනුර දිසානායක ජනාධිපතිතුමා මාර වාසනාවන්තයි”. යනුවෙන් එක් මාධ්‍යවේදියෙකු පැවසීය.
“ඒ මොකද?” තවත් මාධ්‍යවේදීයෙකු විමසුවේ යම් කුතුහලයකිනි.
“අපේ රටේ දේශපාලනය කරන හුඟ දෙනෙක් මේ පාර මහ ඡන්දෙට ඉල්ලන්නෙත් නැහැ. විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක ඒ අතර ඉන්නවා. ඒකෙන්ම පේනවානේ අනුර කොච්චර වාසනාවන්තද කියලා”යනුවෙන් එම මාධ්‍යවේදීයා ප්‍රකාශ කළේය.
ප්‍රසිද්ධියට අකමැති ඇමැති
මහජන ආරක්ෂාව, විදේශ කටයුතු ජනමාධ්‍ය ඇතුළු අමාත්‍යාංශය කිහිපයක් හොබවන විජිත හේරත් අමාත්‍යවරයා අතිශ්‍ය කාර්යය බහුල වී තිබේ. මේ නිසා ජනමාධ්‍ය අමාත්‍යවරයා වුවද ජනමාධ්‍යවේදීන්ට ද ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමටද අසීරු වී තිබේ.
මේ දක්වා එකදු රාජ්‍ය මාධ්‍ය ආයතනයකවත් ප්‍රධානියෙකුට දුරකතන ඇමතුමක්වත් විජිත හේරත් අමාත්‍යවරයා ලබාදී නොමැති බව වාර්තා වේ.
මේ ගැන යම් යම් කතාබස් රාජ්‍ය මාධ්‍ය ආයතනවල සිදුවන බවද දැනගන්නට ඇත.
“විජිත හේරත් අමාත්‍යවරයා ජනමාධ්‍ය ඇමැති වුණත් ප්‍රසිද්ධියක් නැතුව තමන්ගේ රාජකරී කරන්න කැමතියි වගේ” යනුවෙන් එක් මාධ්‍ය ආයතන නිලධාරියෙකු පවසා ඇත.
ආචාර්ය ෆයිල් එක කාගේද?
ඊට පිළිතුරු දී ඇත්තේ එම මාධ්‍ය ආයතනයේ වසර ගණනාවක් තිස්සේ වැඩකරපු සේවකයෙකි.
“අන්න ඒකට හිටපු ජනමාධ්‍ය ඇමැතිතුමා. එතුමාගේ නමට ආචාර්ය කියලා දානවද කියලා හැම තිස්සේම හොයල බලල තියෙනවා. මේ නිසා බේරෙන්නෙම බැරිම තැන ගුවන්විදුලි සංස්ථාවෙන් නිවුස් ෆයිල් එකක්ම හදලා යැව්වලු. ඒකට කියන්නේ ආචාර්ය ෆයිල් එක කියලලු” යනුවෙන් එම සේවකයා පවසා තිබේ.
අකිල ගැන රනිල් කිව්වේ මොනවාද?
නාම යෝජනා අත්සන් කිරීමේ වැඩ කටයුතු නිසා කොළඹ මල් පාරේ පොදු සන්ධාන කාර්යාලයේ මේ සතිය පුරාම පැවැතියේ දැඩි කාර්යබහුල වාතාවරණයකි.
එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණේ කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන්ගෙන් දේශපාලන කාර්යාලය කාර්ය බහුල විය. හිටපු ජනපති රනිල් දවසේ වැඩි කාලයක්ගත කළේ මල් පාර දේශපාලන කාර්යාලයේය.
“සර්,අකිල අපෙන් හැලෙන්න යනවද?“ අලුත්ගමගේ පළමු බෝම්බය පත්තු කළේය.
“ ඔව් ,ඉතින් එතුමාට එතුමා කැමති තීරණයක් ගන්න නිදහස තියෙනවනේ “ රනිල් කීවේ ඇඟට පතට නොදැනෙන ගාණටය.
” අකිල සජබෙන් තරඟ කරන්න ඉල්ලීමක් කරලා. අශෝක් අබේසිංහ තමයි කපුකම කතා කරලා තියෙන්නේ. කොහොම හරි අකිල කුලියාපිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටිකක් තමන්ගේ පැත්තට එකතු කරගෙන තියෙනවා. අන්තිමේ සජබෙ කුරුණෑගල සෙට් එක අකිල දානවට කැමති නැතිලු. අකිලට වුණේ අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වුණ එක” මහින්දානන්ද තමන්ට ආරංචි වූ කතාව කීවේය.
“නවීනුත් ඡන්දෙට තරඟ කරන්නේ නෑ කියලා දන්වලා තියෙනවා. එයා රට යනවලු.“ රනිල් පැවසීය.
ආරක්ෂාව ගැන රනිල් කතා කරයි
“සර්ගේ ආරක්ෂාව අඩු කළා කියන කතාව ලොකු ආන්දෝලනයක් වුණා නේද? ඇත්තටම මධ්‍යස්ථ මතධාරීන් බොහොමයක් ඒකට විරුද්ධව කතා කරලා තිබුණා “ කංචන පැවසූයේ හිටපු ජනපතිගෙන් පිළිතුරක් අපේක්ෂාවෙනි.
” ආරක්ෂාව අඩු කරන ලියුම ගහලා ආපහු ආරක්ෂාව ලබාදීලා තියෙනවා” රනිල් කෙටි උත්තරයක් දුන්නේය.
” රනිල් කියන්නේ මේ කලාපයේම ඉන්න ප්‍රමුඛතම නායකයෙක්. පිරිසක් ඇවිත් එක වරම ගෙදරට ගිනි තැබුවා, අපිට අමතක නැහැනේ. නායකතුමාට තර්ජනයක් නැහැ කියන්න බැහැ.ඔහු රට වෙනුවෙන් අමාරු තීරණ අරගෙන ආර්ථිකය ගොඩ ගත්ත නායකයා. රාජ්‍යයක් විදියට අපි ඔහු රැකගන්න වැඩ පිළිවෙළක් හදන්න ඕන” වජිර කතාව සම්පූර්ණ කළේය.
රන්ජන්ගේ අලුත් පක්ෂය
රන්ජන් රාමනායකගේ මූලිකත්වයෙන් පිහිටවුණු දේශපාලන පක්ෂයද මේ දිනවල දේශපාලන ලෝකයේ කතාබහට ලක්වන මාතෘකාවකි. “ අලුත් පක්ෂය ගැන ඔයාලා මොකද කියන්නේ කියන්නේ?“ රනිල් සියලු දෙනාගේ මුහුණු බලමින් විමසීය.
“අලුත් පක්ෂය විදේශ බලවේගයක වුවමනා එපාකම් ඉටුකර ගන්න ලංකාවේ පිහිටවපු පක්ෂයක් කියලා තමයි ආරංචිය.ඒකේ ඉන්න නිලධාරී මණ්ඩලය කවුද කියලවත් මිනිස්සු දන්නේ නැහැනේ. කිසිම විනිවිදභාවයක් පේන්න නෑ” එහි සිටි දේශපාලකයන්ගේ පොදු මතය එය විය.
” අපේ නාමයෝජනා ලැයිස්තුවලට මෙවර අලුත් නම් කිහිපයක් ඇතුළත් කරල තිබෙනවා.පොදු ජන පෙරමුණ ,යූඑන්පී වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තවත් පක්ෂ කීපයකුත් එකට තරඟ කරන නිසා අපේ ඡන්ද පදනම වැඩි කරගන්න පුළුවන්” රනිල් පැවසීය.
වරුණට අජිත්ගේ විරෝධය
” සර් දන්නවද? අපේ ළඟ ඉඳලා ගිය වරුණ රාජපක්ෂට සමගි ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන ආසන සංවිධායක ධුරය දීලා. ඒකට අජිත් මාන්නප්පෙරුම හොඳටම අවුල් වෙලා. එයාට තිබුණ සංවිධායකකමනේ වෙන කෙනෙක්ට දීලා තියෙන්නේ.ඔය වගේ දහසකුත් එකක් ප්‍රශ්න නිසා සජබෙ ඇතුළෙත් ලොකු දෙදරීමක් තියෙනවා කියලා ආරංචියි” ප්‍රසන්න කීවේ හිතන්නට තවත් කතාවක් ඉතිරි කරමිනි.
” මාලිමාවත් වසන්ත කාලයක් කියලා පෙන්නන්න උත්සාහ කළත් ඇතුළෙ සීතල යුද්ධ යනවා කියලා ආරංචියි” මනූෂ කීය.
” නාම යෝජනා ලැයිස්තුවලට ජේවීපී සාමාජිකයන්ගේ නම් වැඩිපුර දැම්මා කියලා එන්පීපී අයගේ හිත හොඳ නෑ. අලුත් කසාදෙ නිසා නොහොඳ නෝක්කාඩු ඇතුව වුණත් තව ටික කලක් යාවි” මනූෂ පැවසීය.
ශක්‍රයා ගැන රනිල් කතා කරයි
” ඡන්දෙදි මොන පොරොන්දු දුන්නත් බජට් එකේ ප්‍රශ්නයක් තියෙනවා , කියන එකනේ ඒ වගේ දේකින් පේන්නේ. අපිට මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් පිට යන්න විදියක් නෑ.ඒ කියන්නේ ඕන ඕන විදියට රාජ්‍ය වියදම් වැඩි කර ගන්න බෑ. මම ඒ මහපොළොවේ ඇත්ත ජනතාවට කිව්වා.මිනිස්සු ඒ ඇත්ත කතාවට වඩා සුරංගනා කතාවලට රැවටුණා. ශක්‍රයාගෙන් මුදල් හොයාගෙන ඇවිල්ලා හරි මිනිස්සුන්ට හොඳක් වෙනවා නම් මට ඕන එච්චරයි” රනිල් කීවේ හැඟුම්බරවය
නලින්දට ලැබුණු සහතිකය
අනුර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා රාමඤ්ඤ නිකායේ මහ නායක පුජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැ දුටුවේය.
නායක හිමියන්ට වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව කෙටි කතාබහක්ද සිදුවූ අතර මෙම අවස්ථාවට ජනපති සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගි විය.
අපි ගැන හුඟක්ම හොයලා බලන කෙනෙක් තමයි මේ නලින්ද ජයතිස්ස මහත්තය. මහා සංඝරත්නය ගැන වගේම බුද්ධ ශාසනය ගැනත් හරිම උනන්දුවකින් සොයා බලනවා. ඒක නිසා බුද්ධ ශාසන ඇමැතිකම මේ නලින්ද මහත්තයට හුඟක් සුදුසුයි.“ යනුවෙන් රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් ජනාධිපති අනුරට පැවසූහ.
නිල නිෙවසේ බඩු මුට්ටු යළි අමාත්‍යාංශයට
පරිසර අමාත්‍යාංශයේ ඇමැති කාර්යාලයේ තිබුණු පුටු සෙට් ඇතුළු ගෘහ භාණ්ඩ කිහිපයක් පසුගිය රජය සමයේදී හිටපු පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ඇමැති නිල නිවසට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ආණ්ඩු පෙරළියෙන් පසු එම ගෘහ භාණ්ඩ යළිත් පරිසර අමාත්‍යාංශයේ ඇමැති කාර්යාලය වෙත ගෙනවිත් ඇති බවද එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
රන්ජන් – දමිතා
නව දේශපාලන පක්ෂයකට නායකත්වය ලබාදීම සඳහා ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක සමගි ජන බලවේගයෙන් පසුගියදා ඉවත් වුයේය.
වංචාව, දූෂණය, භීෂණයට එරෙහි එන ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා නව දේශපාලන සන්ධානයක් ආරම්භ කරන බව රන්ජන් ප්‍රකාශ කළේය.
මේ අතර රන්ජන් එසේ සමගි ජනබලවේගයෙන් ඉවත් වන විට සමගි ජනබලවේගයේ සිටින ජනප්‍රිය නිළියක වන දමිතා අබේරත්නද පසුගියදා පිම්මක් පැන්නේය.
කොළඹින් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කිරීමට සුදානමින් සිටි දමිතා එක්වරම රත්නපුරයට පැමිණියේ එම දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලීම සඳහාය.
දමිතාගේ ආගමනය සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේට නම් එච්චර ඇල්ලුවේ නැත. නමුත් අවසානයේ නාම යෝජනා භාර දෙන දවසේ දමිතාගේ නම ලැයිස්තුවෙන් හැලි තිබුණි. දමිතා ඊට ප්‍රති ප්‍රහාර එල්ල කළේ හේෂාටය.
වජිරගෙන් තරුණ තරුණියන්ට උපහාරයක්
එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් සහයෝගය ලබාදුන් තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ හමුවක් සංවිධානය කර තිබුණි.
රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම වෙනුවෙන් වජිර විසින් මෙහිදී එම තරුණ තරුණියන්ට තම ස්තුතිය පළ කර සිටි අතර රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද දීර්ඝ ලෙස ඔවුන් සමඟ සාකච්ඡාවක්ද සිදු කෙරිණි.
එසේම වත්මන් දේශපාලන තත්ත්වය සහ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන්ද තරුණ තරුණියන්ගේ මතය සහ ඔවුන්ට මේ සම්බන්ධයෙන් ඇති ආකල්ප, යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකවරුන්ද මේ සඳහා සහභාගි වී තිබූ අතර ඔවුන්ද මෙම තරුණ තරුණියන් සමඟ අදහස් යෝජනා හා චෝදනා පිළිබඳව කතිකා කර ගත්හ.
එසේම පසුගිය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමන්ගේ පරාජයට හේතු වූ කරුණු කාරණාද මෙහිදී සාකච්ඡා විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව වජිර ඔවුන්ට කියා සිටියේ,
“එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානය රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරමින් නාම යෝජනා මණ්ඩලය රැස්වෙමින් තිබෙනවා. මේ සතිය මැද වනවිට එහි සියලු කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.“ යන්නයි
අලියා වන්නියට
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාට සහය දක්වපු පිරිස සිලින්ඩරය ලකුණ යටතේ තරඟ කිරීමටත්, වන්නි දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණ යටතේ තරඟ කරන්නත් සාකච්ඡා විය.
“අද ඇතැම් අය එකමුතුවීමක් ගැන කතා කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකතු වෙමු කියලා කිව්වේ රට බංකොලොත් වුණු අවස්ථාවේමයි. අද එකතු වෙන්න කතා කරන අය එදත් ඒ වගකීම පැහැර හැරියා. සියලු දෙනාවම එකම කාරණයකට එකඟ කරවා ගැනීම ලෙහෙසි කාර්යයක් නෙමෙයි. නමුත් කෙසේ හෝ අපි ඒ සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. “ යනුවෙන්ද වජිර අබේවර්ධන පැවසීය.
1985 කතාවක් හෙළි වෙයි
අමාත්‍යවරුන්ට හිමි නිල නිවාස කිහිපයක් පිහිටා ඇත්තේ කොළඹ 07 පැජට් පාරේය. මෙහි එක් නිල නිවසක් පිහිටා ඇත්තේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ආසන්නයේය.
මෙම විද්‍යාලය ආසන්නයේ පිහිටි එක් නිල නිවසක් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රයෝජනයට ලබාදීමට පසුගිය ආණ්ඩුව සමයේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබේ. නමුත් එම නිල නිවස සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ලබාදීමට තීරණය කර තිබී ඇත්තේ මීට වසර 39කට පෙර එනම් 1985 වර්ෂයේදී එවකට පැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිනි.
එම නිසා මේ ගැන වැඩිදුර තොරතුරු විමර්ෂණයේදී හෙළි වී තිබෙන්නේ 1985 දී මෙම ඇමැති නිල නිවස නිල වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ලබාදීමට තීරණය වී තිබුණද එය වසර 39ක් තිස්සේම ප්‍රායෝගිකව එම විදුහලට ලබා දී නොමැති බවයි.
එම නිසා පසුගිය ආණ්ඩුව මඟින් සිදුකර තිබෙන්නේ මීට වසර 39කට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ලබාදුන් ඇමැති නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් යළිත් වරක් ලබාදුන් බව ප්‍රකාශ කිරීමක් වැනි දෙයකි.
ලාන්සා ගම්පහට, බදුල්ලට චාමර
ඉදිරි මහමැතිවරණය සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් ඇතිකරගත් අලුත් සන්ධානය ගෑස් සිලින්ඩරය යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික්වලට තරග කිරීමට කටයුතු කර තිබේ.
ඊට අදාළ නාමයෝජනා අත්සන් තැබීම පසුගිය දින කිහිපය පුරාම කොලඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී සිදුවිය.
නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා ද පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රීක්කය වෙනුවෙන් සුබ මොහොතින් නාමයෝජනා සදහා අත්සන් කළේය. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බොහෝ දෙනෙකුම එදින නාම යෝජනා සඳහා අත්සන් තැබීය.
මෙවර ගෑස් සිලින්ඩරය යටතේ මහ මැතිවරණයට තරගවැදීම සදහා දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කවල ඇතැම් දේශපාලන නියෝජිතයින් වැඩි උනන්දුවක් දක්වන නිසාම මල් පාරේ කාර්යාලය දැඩි කාර්යබහුල වී තිබේ.
මෙතෙක් වෙනත් දේශපාලන කඳවුරු නියෝජනය කළ බොහෝ දෙනෙක් ගෑස් සිලින්ඩරය යටතේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් පැමිණීමද කාගේත් කතාබහට ලක්විය. ඒ අතර විවිධ වෘත්තිකයින්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයන්ද වූහ.
නාමයෝජනා අත්සන් තැබීමෙන් අනතුරුව නිමල් ලන්සා වටකරගත් හිටපු මැති ඇමැතිවරුන් ආගිය තොරතුරු කතාබහ කළහ.
“ඔබතුමාල දන්නවද අපේ ලන්සා ලොක්කට නම් ඉතින් ගෙදර හිටියත් ඡන්ද ටික ලැබෙනවා.මෙතුමා ගම්පහින් නෙමෙයි කොහෙන් ඉල්ලුවත් දිනනව . ගම්පහ මිනිස්සුන්ට මෙතුමා තරම් උදව් කරපු කෙනෙක් වෙන නෑ ” චාමර සම්පත් සිනාසෙමින් කීවේ පිරිස දෙස බලමිනි.
“ඔබතුමත් බදුල්ලේ මිනිස්සුන්ට එහෙමනෙ” ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු කීවේය
” ඔව් බදුල්ලට ඉතින් නිමල් ඇමැතිතුමායි මායි තමයි. ගම්පහට ප්‍රසන්නයි ලන්සයි වගේ” චාමර කීවේය