මැණියනේ ඔබෙ කරුණා බර දෑසේ
සැඟවී ඉන්නට ආසයි පෙර උන් සේ
සඳගල පැන් පොකුණේ
පිපී සුවඳ දුන් සියපත නුඹ නොවෙදෝ
සිසිල අරන් පෑයූ පුන්සඳ නුඹ විය
සෙනෙහෙ දියෙන් සේදූ
තුරුලට ගෙන උණුසුම කැටි කොට
හිස අත ගා සිඹ සැනසූ
දෙවෙනි බුදුන් විය සිප්හල තුළ බුදු වූ…
දෑඟිලි අතරේ එල්ලි ගිය කාලේ
සිතුවිලි මැවුණා පෙර දා අප බාලේ
හිරු පිබිදී පිනි කැට විසිරුණු වේලේ
මතකයි ආවා ඔබ පසුපස බාලේ…
කොස් ගස් සෙවණේ කවි ගී කී කාලේ
බිතු සිතුවම් මෙන් ඇඳී සැලේ මනසේ
මැණියනේ ඔබෙ කරුණා බර දෑසේ
සැඟවී ඉන්නට ආසයි පෙර උන් සේ…
ගායනය – දීමාංගී තිමීෂා ඇල්ලේවෙල
ගී පද – අතුල සේනානායක
සංගීතය – කරුණාරත්න විජේවර්ධන
මවක් තරමටම හිතට ළඟ මවගේ සෙනෙහසට නොඅඩුව සෙනෙහස බෙදන කෙනකු සිටී නම් ඒ අපේ ගුරුවරියයි. මව් ඇකයෙන් මිදී පාසල් වෙත පියනැඟූ දින සිට පාසලේදී ඉතා ආදරයෙන් අකුරු කරවන්නේ ලෝකය ගැන කියා දෙන්නේ ඇයයි. අද වන විට ඇතැම් අවස්ථාවල පාසලට පමණක් ගුරු භුමිකාව සීමා වුවද අතීතයේදී මේ තත්ත්වය හාත්පසින් වෙනස් විය. ගමේ පාසලේ ඉගෙන ගත් දරුවාට ගුරුවරයාගේ ආදරය, රැකවරණය නිතැතින් හිමිවිය. අද වන විට සමාජීය, සංස්කෘතික ආර්ථිකමය වටපිටාව මත වෙනස්ව ඇති සමාජයේ ගුරුවරයාගේ භූමිකාව ද හාත්පසින් වෙනස් වී ඇත. ඒ කෙසේ වුවත් තම දෙමාපියන් තරමටම දරුවන්ව බොහෝ ආදරයෙන්, කරුණාවෙන් බලාගන්නා, පොත පත දැනුම ලබාදී ලෝකයේ නව මං විවිර කරදීමට සමත්කම් දක්වන ගුරුවරුන් තවමත් අපට මේ සමාජය තුළින් හමුවේ.
ඔබත් මාත් අපි කවුරුත් අද මේ සමාජයට යම් මෙහෙවරක් කරන්නේ නම් එහි එක් පංගුකාරයකු වන්නේ අපේ ගුරුවරුන්ය. එදවස ඔවුන් පෙන්වූ මඟෙහි ගිය නිසා අද අපි මෙසේ ජීවිත දරා ඉන්නට හැකියාව ලබා ඇත. ජීවිතය මුදල්ම කියා නොසිතන ගුරුවරුන් මනුස්සකමට, මානව දයාවට, මුල්තැන දෙමින් කාරුණිකව සිය වගකීම ඉටුකළ නිසා අද දහස් සමාජ පුරවැසියෝ සිය දිවිය යහපත් මඟට ගෙන ඇත.
නගරයේ හෝ ගම්බද හෝ වේවා ගුරුවරයාගේ වගකීම වෙනස් වන්නේ නැත. ඔහුගේ වගකීම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමය. හොඳ හැදියාවන් කියාදී දරුවන් යහමඟ යැවීමය. එවන් උත්තම ගුරුමැණිවරුන්, පියවරුන් සිහි කිරීම සඳහා ලියවුණ ගී බොහෝය. මේ එවන් ගීතයකි. ගීතය ගයන්නේ මඩුකන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දීමාංගි තිමාෂා ඇල්ලේවෙල නම් වූ යොවුන් ගායිකාවයි. ගීතය සංගීතවත් කරන්නේ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධනයන් විසිනි. ගීතය රචනා කරන්නේ කැබිතිගොල්ලෑව, කිවුලේගම වසන පාසල් ගුරුවරයකු වන අතුල සේනානායකය.
“සඳගල පැන් පොකුණේ
පිපී සුවඳ දුන් සියපත නුඹ නොවෙදෝ
සිසිල අරන් පෑයූ පුන්සඳ නුඹ විය
සෙනෙහෙ දියෙන් සේදූ
තුරුලට ගෙන උණුසුම කැටි කොට
හිස අත ගා සිඹ සැනසූ
දෙවෙනි බුදුන් විය සිප්හල තුළ බුදු වූ…“
සිය පද රචනය ගැන අතුල දැක්වූ අදහසයි මේ.
“මම මේ වනවිට කැබි්තිගොල්ලෑව, ගෝන්නුහත්දෙනාව විද්‍යාලයේ සේවය කරන්නේ. මම කුඩා කාලයේ පහේ පන්තියට යනතුරු ඉගෙන ගත්තේ ගෝන්නුහත්දෙනාව විද්‍යාලයේ. ඉන්පසුව මම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. (පසුව රජරට විශ්වවිද්‍යාලයේ පළවෙනි බැජ් එකේ තමයි මම ඉගෙන ගත්තේ.) වත්තේ වැවේ ධම්මානන්ද හාමුදුරුවන්ට වඩා පන්ති දෙකක් පහළින් මම හිටියේ. ධම්මානන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීමකට තමයි මම මේ ගීතය ලියන්නේ. අපේ පාසලේ අපට කුඩා කල 1, 2, 3 පන්තිවලදී ඉගැන්වූ ‘ලොකු මිස්‘ කියලා අප කවුරුත් ආදරයෙන් හැඳින්වූ අයිරාංගනී ගුරුතුමිය ගැනයි මේ ගීතය ලියැෙවන්නේ. වත්තේ වැවේ ධම්මානන්ද හාමුදුරුවොත් හරි අපූරුවට ගීත ලියනවා. ඒ වුණත් උන්වහන්සේ මේ ගීතය ලියන්න මට භාර දුන්නා. ඇගේ 90 වැනි ජන්ම දිනයට ලිව්වේ.
ඇය බොහෝම කාරුණික ගුරුවරියක්. නමුත් මේ ගීතය සමස්ත ගුරු පරපුරම වෙනුවෙන් තමයි ලියැවුණේ. මේ දුෂ්කර පළාත වගේම අපේ රටේ අනෙකුත් දුෂ්කර පළාත්වල බොහෝම ඕනෑකමින් දරුවන් ගැන හිතලා, තමන්ගේ දරුවන්ට වගේම අනෙක් දරුවන්ගේ දෑස් පාදන්නට වෙහෙසන, මෙන්ම වෙහෙසුණු ගුරුවරුන්ගේ නාමයෙන් තමයි මේ ගීතය ලියැවුණේ. අද වන විට මේ පළාත් යම් සංවර්ධන මට්ටමක තිබුණත් අතීතයේ මේ ප්‍රදේශ හරිම දුෂ්කරයි. අපි කලක් යුද්ධයෙන් පීඩාවට පත් වුණා. ඒත් එකල හිටිය ගුරුවරු ඒ බාධක තකන්නේ නැතිව දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නා. විවිධ දුක්පීඩාවන් මධ්‍යයේ දිගු ගමනක් පැමිණි අපට අකුරු කියාදුන් ගුරුවරුන්ව කිසිදා අමතක කරන්න බැහැ. අපේ ලොකු මිස්ගේ ආදරේ හැමදාමත් අෙප් ජීවිතවලට ශක්තියක් වුණා. ඒ නිසාමයි මේ වගේ පද පෙළක් මට ලියැවුණේ. ප්‍රවීණ සංගීතවේදි කරුණාරත්න විජේවර්ධනයන්ගේ තනු නිර්මාණයත්, දීමාංගි තිමාෂා දියණියගේ හඬ මුසුවත් මගේ වචනවලට ආලෝකයක් සැපයුවා.
ඉනෝකා සමරවික්‍රම