Home » ‘ලලයි ලිලයි ලයි’ නිසා හිතුවෙවත් නැති ජනප්‍රියතාවක් මට ලැබිලා තියෙනවා

‘ලලයි ලිලයි ලයි’ නිසා හිතුවෙවත් නැති ජනප්‍රියතාවක් මට ලැබිලා තියෙනවා

දීපානි සිල්වා

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

– මම ජීවිතේ ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ
– මගේ රංගන ජීවිතයට අවුරුදු පනහයි

දීපානි සිල්වා කියන්නේ අපේ රටේ ඉන්න ජේ‍යෂ්ඨ රූපණවේදිනියක්. දශක 5ක කාලයක් තිස්සේ කලාවේ රැඳෙන ඇය කලාවට අවතීර්ණ වන්නේ ගාමිණි හත්තොටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායමෙන්. ඉන් පසුව ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූ දීපානි පරාක්‍රම නිරිඇල්ලගේ ඇබැද්දිය තුළින් පුංචි තිරයට එක්විය. පුංචි තිරයේ තාරාදේවී, දඩබිම ,කුමාරිහාමි, දඬුබස්නාමානය, දූ දරුවෝ, ඉටි පහන් , නෑදෑයෝ ඇතුළු ටෙළි නාට්‍ය රැසක නොමැකෙන මතක තබන්නට විය. මීහරකා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය තුන්වෙනි ඇහැ චිත්‍රපටයේ විමලාවතී ලෙස ප්‍රධාන චරිතය රඟපෑවාය. අයෝමා, දැහැන, සීතල ගිණි කඳු , වැනි සිනමාපට වලද රඟපෑවාය. මේ දිනවල කාගේත් කතා බහට ලක් වන්නේ ලලයි ලිලයි ලයි හි ආදරණීය ආච්චි අම්මාගේ චරිතය තුළින්. ඒ ගැන වගේම මේ දිනවල ජිවිතේ ගැන රසදුන අපි ඇය සමඟ කතා කළා…

“ලලයි ලිලයි ලයි” අතිශය ජනප්‍රිය නාට්‍යයක්, කොහොමද ලැබෙන ප්‍රතිචාර?

අතිශය ජනප්‍රියයි. මට හිතාගන්නත් බැරි තරමේ ජනප්‍රියතාවක් ලබලා තියෙනවා. පසුගිය කාලේ දේශපාලනික වශයෙන් සමාජය එක්ක ගැටෙද්දිත් මට ඒ ලැබෙන ජනප්‍රියත්වය ලොකුවට ඉවහල් වුණා. ඒ තුළින් මාව අගය කරන්න ඇවිත්, ඒ අගය කිරීම තුළින් මම ඉන්න දේශපාලනික තත්ත්වය දැක්කම ඒ කෙරෙහි විශ්වාසය තබපු අවස්ථා තියෙනවා. මම මේ ක්ෂේත්‍රය තුළ අවුරුදු 50ක් තිස්සේ ඉන්නවා. ඒ නිසා විශාල පිරිසකගෙන් හිතුවේවත් නැති ජනප්‍රියතාවක් මට ලැබිලා තියෙනවා.

වේදිකාවෙන් ගම් නගර පුරා යන්නේ අබුද්දස්ස කෝලම එක්ක ?

ඔව්, අබුද්දස්ස කෝලම කියන්නේ පරණම වේදිකා නාට්‍යයක්. එහි දර්ශන වාර කිහිපයක්ම මේ දවස්වල වේදිකාගත වෙනවා.

පසුගිය කාලේ දේශපලනික වශයෙන් කාර්යබහුල වුණ නිසාද කලා නිර්මාණ භාර නොගත්තේ?

මෙහෙමයි. දේශපලනික වශයෙන් කාර්යබහුල නොවුණත් පසුගිය කාලේ මට බොහොමයක් කලා කටයුතු අහිමි වුණා. ඇත්තම කියනවා නම් අහිමි කළා මට. ඒ මම දරපු දේශපාලන මතය එක්ක යම් යම් නාළිකා තුළ තිබ්බ අකමැත්ත නිසා මාව ප්‍රතික්ෂේප වුණා. මාව නාට්‍යයකට අරගෙන මම ඉන්න නිසා ඒ නිර්මාණයට යම් නාළිකාවකින් විකාශන කාලයක් ලැබුණේ නැති වුණාම අධ්‍යක්ෂවරු මාව ගන්නේ නැහැනේ. හේතුව මාව ගත්තොත් නාට්‍යය ප්‍රතික්ෂේප වෙනවා කියලා. ඉස්සරහට මම දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. මම ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. මගේ කැමැත්ත පරමාර්ථය හැම දෙයක්ම මම කැප කරලා මම බලාපොරොත්තු වුණු දේ අද ඉෂ්ට වෙලා තියෙනවා. ඒක තව දුරටත් මුළු රටක් වෙනුවෙන් ඉටු කරන්න සහ මේක කර්තව්‍යයක් වෙනුවෙන් කරන්න කැප කරනවා.

අද ඊයේ දරපු මතවාදයක් නෙවෙයි ඔබට තියෙන්නේ?

ඔව්. ඇත්තටම මම ඒ වෙනුවෙන් සටන් කළා. මගේ පවුල තුළින් යම් කිසි දේශපාලනික අවබෝධයක් සහ වාමාංශික පැත්තට නැඹුරුවක් මට ආවා. ඒ එක්කම මම නාට්‍යය කලාවට යොමු වුණාට පස්සේ මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා විදී නාට්‍යය කණ්ඩායම එක්ක. මම හිතන්නේ විදී නාට්‍යය කණ්ඩායම තුළින් තමයි ගොඩක්ම දේශපාලනික වශයෙන් ජනතාව අතරට යම් දෙයක් අරගෙන ගියේ. වීදි නාට්‍යය කියන්නෙම ජනතාව ළඟට යම් දෙයක් අරගෙන ගිහින් පැහැදිලි කරලා ජනතාව දැනුවත් කරමින් යන නාට්‍යය ක්‍රමවේදයක්. ඒ තුළින් විශාල ලොකු වැඩ කොටසක් කරන ගමන් මම ලොකු පන්නරයක් ලැබුවා. සමාජයේ ඕනෙම තැනක අයුක්තියක් ආසාධාරණයක් වෙනවා නම් ඒ හැම තැනකටම විදී නාට්‍යය එකතු වුණා.

ඔබ කිව්ව විදියට නිර්මාණවලට සම්බන්ධ කර ගන්න බය කාලයක තමයි සුපුන් රත්නායක ලලයි ලිලයි ලයි හි ආදරණීය ආත්තම්මාගේ චරිතය දෙන්නේ, ඒ අධ්‍යක්ෂවරයා ගැන කියන්න දෙයක් ඇති?

ඇත්තෙන්ම සුපුන් කියන්නේ ඉතාම හොඳ අධ්‍යක්ෂවරයෙක්. කිසිම දෙයකට බය නැහැ. ගන්න ඕනේ වුණොත් එයා ඒ චරිතයට සුදුසුම කෙනාව ගන්නවා. මාව ගන්න ගිය වෙලාවෙත් මම කිව්වාම එයා කිව්වේ, අක්කා කිසි ප්‍රශ්නයක් ඇති කර ගන්න එපා. මමයි අක්කව ගන්නේ කියලා ගත්තා. ඒක අධ්‍යක්ෂවරයෙක් ගත්තු හොඳ තීරණයක්. එහෙම හැම අධ්‍යක්ෂවරයෙක්ම තීරණ ගන්නේ නැහැ. එහෙම අවස්ථා අඩුයි. මට ලොකු අවස්ථාවක් ලබා දුන්නා සුපුන් රත්නායක. අධ්‍යක්ෂවරයෙක් හැටියටත් ඉතාම හොඳින් නළු නිළියන් එක්ක හොඳ අවබෝධයක් ඇතිව ඉතාම සුහදශීලිව සැහැල්ලුවෙන් කටයුතු කරනවා.

අපි කතා කරන්නම ඕනේ ලලයි ලිලයි ලයි හි ධනුෂ්කට රඟපාන රන්දික ගුණතිලක ගැනත්, ඔහු ගැන කියන්න දෙයක් ඇති

ඉතාම දක්ෂ නළුවෙක්. ලලයි ලිලයි ලයි මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව රන්දික ගුණතිලක නම් නළුවා. ඔහු රංගනය කියන දේ හරි සංයමයකින් කරන නළුවෙක්. තාක්ෂණික දැනුම අවබෝධය ඇතුව චරිතය තුළ ජීවත් වෙන කෙනෙක්. දෙබස් කියන රටාව සහ රංගනය ඉදිරිපත් කරන රටාව තුළ මට පවා ඔහු දිහා බලාගෙන ඉඳලා ගන්න දේවල් තියෙනවා. ඉතාම දක්ෂ නළුවෙක්. ඒ වගේම තමයි ධනුෂ්කගේ අක්කාට ජිවය දෙන උමා අසේනි. රංගනය තුළින් සම්මාන පවා දිනපු අය. ඒ දෙන්න එකතු වුණාම ඒ තියෙන සහයෝගය එක්ක ශක්තිය මත අනිත් අයටත් පහසු වෙනවා තමන්ගේ රංගනයන් ඉදිරිපත් කරන්න.

කතාවේ හැටියට නම් අත්තම්මා වැඩි ආදරේ නම් මුනුබුරාට?

ඔව් ඔව් කොල්ලට තමයි. මුනුබුරා අත්තම්මාගේ හදවත වෙලා ඉවරයි. ඒ දේවල් මේ සමාජයේ වුණත් තියෙනවානේ.

කතා කරන්නම ඕනේ ඊළඟ පරම්පරාව ගැන?

අනිවාර්යෙන්ම. ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දක්ෂ පරම්පරාවක් අපේ රටේ ඉන්නවා. ඒ පරම්පරාවට සුදුසු වාතාවරණයක් හදන්න අපි සුදානම්. එතකොට ඒ පරම්පරාව තව ඉස්සරහට එයි.

කලින් නාට්‍යයවලට සම්බන්ධ කරගන්න අකමැති වුණු හෝ බය වුණු අය දැන් ඇරයුම් කළොත් මොකද කියන්නේ?

මම කවදාවත් රංගනයෙන් ඈත් වෙලා නැහැ. මට රඟපාන්න අවස්ථාවක් ලැබෙන ඕනෙම වෙලාවක මම රඟපාන්න සුදානම්. ඒ අයගේ හිත්වල බෙදීම් තිබුණට මගේ හිතේ කවදාවත් බෙදීම් නැහැ. මට රඟපාන්න පුළුවන් ඕනෙම චරිතයක් මම භාර ගන්නවා. මම කවදාවත් ටෙලි නාට්‍යය වර්ගීකරණය කරන්න යන්නෙත් නැහැ. මොකද එහෙම වර්ගීකරණය කරලා රඟපාලා මේ ජිවිතේ ගැට ගහගෙන යන්න පුළුවන්කමක් නැහැ. අපිට ආර්ථික ශක්තිය ගොඩ නැඟුණේ වේදිකා නාට්‍යය තුළින් නෙවෙයි. ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න පුළුවන් වුණේ ටෙලි නාට්‍යය තුළින්.

මේ වසර 50ක දීර්ඝ කාලයක් තුළ කලාවෙන් උපයා ගත් ලොකුම දේ ප්‍රේක්ෂක ආදරේනේ, ඒ අයට කියන්න තියෙන්නේ මොකක් ද?

මගේ ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ ඔබලාගේ රසවින්දනය, සෞන්දර්යාත්මක සිතුවිලි විඳින්න පුළුවන් ජනතාවක් බිහි කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනඟන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ලැබුණු මේ අවස්ථාව තව තවත් ඉදිරියට අරගෙන ගියොත් හොඳ නාට්‍යය කලාවක්, නර්තන කලාවක් බිහි කරමින් හොඳ සංස්කෘතික මිනිහෙක් බිහි කරන පුනරුද යුගයක් බලා ගන්න පුළුවන්. මම සන්තෝෂ වෙනවා මගේ හෘද සාක්ෂියට එකඟව මම හිට ගත් නිසා අද කවුරුත් මට ආදරෙයි. ඒක මම විඳිනවා. සමහර වෙලාවට මම රැස්වීම් වලට ගියාම කතා කරද්දී මාව ඇවිත් හමුවෙනවා. ඒ වෙලාවට මම ඉතින් නිකම් කියනවා මගේ ගාව ආවේ මාව ටෙලි නාට්‍යය වලින් දකින නිසානේ කිව්වම, ඒ අය කියන්නේ අපි රංගනය අගය කරනවා වගේම ඔබ ඔය ඉන්න තැන අපිට ලොකු හයියක් ඒකත් අපි අගය කරනවා. ඒ නිසා තව තවත් ආදරෙයි කියලා අහන්න ලැබෙනවා. එතකොට මට දැනෙන සතුට කියා ගන්න බැහැ. මම ජනතාවගේ පැත්තේ ඉන්නවා කියලා මට දැනෙද්දී මගේ හෘද සාක්ෂියට එකඟව මම හරි තැන ඉන්නේ කියලා දැනෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division