ආදරය, දුක, සතුට, භීතිය, ත්‍රාසය මුසුව පුංචි තිරයේ දිග හැරෙන ටෙලි නිර්මාණයට ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය වීම නිතැතින්ම සිදුවන්නකි. ඒ ඔස්සේ අප දෑස මානයට එන්නේ රංගන ශිල්පීන් පමණක් වුවද එය ආකර්ෂණීය ලෙස තිරය මතට ගෙන එන්නට වෙහෙසෙන පිරිස බොහෝය. එසේ තිරය පිටුපස සිදුවන දෑ ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය උදෙසා රසඳුන පිටු අතරට ගෙන එන්නට අද අපි උත්සාහ කළෙමු.
මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ තිරය පිටුපස අත්දැකීම් සොයා යෑමට සිතූ අප ජල්තර රූගත කෙරෙන ඔවුන්ගේ පසුතලය සොයා ගියෙමු. එදින වෙන්ව තිබුණේ මංජිතගේ නිවසේ දර්ශන සඳහාය.
මාලබේ, අතුරුගිරිය, 293 බස් පාර ඔස්සේ ජල්තර මංජිතගේ නිවස වෙත අප යනවිට පෙ.ව. 11ට ආසන්නව තිබූ හෙයින් දර්ශන කිහිපයක් අවසන් වී තිබුණ ද සහාය අධ්‍යක්ෂ තරංග අප හා පැවසුවේ දවසේ හොඳම දර්ශනය රූගත කිරීමට සූදානම් බවයි. ඒ සඳහා පුහුණුවන මංජිත (කුසල්) ගඟුලී (දෙව්මි) මංජිතගේ මව (රූපා) ලොකු බ්‍රදර් (දේවින්ද) විවිධ කෝණයෙන් ඡායාරූප ශිල්පී දුෂ්මන්තගේ කැමරා කාචයේ සටහන් වන අයුරු දුටු මා ද නොඉවසිල්ලෙන් බලා සිටියේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක සජීවී අත්දැකීම විඳගැනීමේ අරමුණෙනි. මෙය පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ සුවිශේෂී අවස්ථාවකි. මංජිත පළමු වතාවට ගඟුලිට කම්මුල් පහරක් ගසන එම දර්ශනය කිහිප වරක් පුහුණුවන අයුරු අප බලා සිටියේ රූපවාහිනී තිරය මතට එන තත්පර ගණනක සිදුවීම රූගත කිරීමට ඔවුන් ගන්නා වෙහෙස ගැන ද අවබෝධයක් ලබමිනි.
දැන් සියල්ල සූදානමිනි. අධ්‍යක්ෂවරයාගේ ‘ඇක්ෂන්‘ විධානයත් සමඟ සියල්ල ඇරැඹිණි.
කාර්යාලයේ තරුණිය මංජිතට එවන ලද කෙටි පණිවුඩය කියවන ගඟුලී මංජිතගෙන් ඒ ගැන විමසයි. ඔහු ඒ ගැන නිදහසට කරුණු කියයි. එය පිළිනොගන්නා ගඟුලී මංජිත හා වාද කරයි. ඒ අතරතුර තවත් කෙටි පණිවුඩයක් එයි. එය කියවන ගඟුලී යක්ෂාවේෂ වී මංජිතට බැණවදී. මංජිත කොතරම් පැහැදිලි කළත් ගඟුලී එය පිළිනොගෙන දිගටම මංජිතට කඩා පනියි. ඒ අතරතුර මංජිතගේ මව “මිනිසුන් හිනස්සන්නේ නැතුව කරන දෙයක් ගේඇතුළට ඇවිත් කරගනිල්ලා“යි කියා කෑ ගසයි. ඒත් එක්කම ගඟුලී මංජිතවත් ඇදගෙන ගෙතුළට යෑමට සැරසෙයි. මංජිත ඇගේ අත ගසා දමමින් අතහරින ලෙස කෑගසයි. “නෑ මං අත හරින්නෙ නෑ“ කියමින් ගඟුලී ඔහු ඇදගෙනම යයි. කෝපයට පත් මංජිත අතගසා දමා ගඟුලීට වැරෙන් කම්මුල් පහරක් ගසයි. තදට වැදුණු කම්මුල් පහර නිසා ගඟුලීගේ තරහ පරදා දෙනෙතින් කඳුළු කඩා හැලෙයි. “උඹට පිස්සු ද පොඩි එකෝ“යි කියමින් මව මැද්දට පැන මංජිත ඉවතට තල්ලු කර ගඟුලිගේ අතින් අල්ලා ඈ සනසන්නට උත්සාහ කරයි. ගඟුලී දිගටම හඬා වැටෙයි. ලොකු බ්‍රදර් මේ සියල්ල පසෙකට වී බලා සිටියි. මේ සියල්ල අපේ ඡායාරූප ශිල්පී දුෂ්මන්ත සිය කැමරා කාචයේ සටහන් කර ගනී.
අවිවේකී කාලසටහනකට අනුව දිවෙන ඔවුන්ගේ දවස විවේකයක් ලද සැණින් ලද අත්දැකීම අප හා බෙදා ගන්නට ඔවුන්ට ඇරයුම් කළෙමු. පළමුව ගඟුලී (දෙව්මි තත්සරණී) අප හා එක්වූවාය.
“අද මට විශේෂ දවසක්. මගේ රංගන ජීවිතේ පළමු වතාවට මේ වගේ කම්මුල් පාරක් කෑවේ අද. ඒක නම් රිදෙන්නම වැදුණා. එක අතකට ඒකත් හොඳයි කියලා හිතුණා. මොකද මගේ රිඇක්ෂන් එක ඒ විදිහටම ගන්න පුළුවන් වුණා. ඊට පස්සෙ අඬන්න තිබුණට නිකම්ම ඇඬුණා. මීට කලිනුත් මංජිත මාව උස්සල පොළවෙ ගහන දර්ශනයක් තියෙනවා. ඇඳ උඩට වැටෙන්නෙ. එදා ඇඳත් කඩාගෙන වැටුණා. අපි ගොඩක් රණ්ඩු කරගන්නේ මේ ගෙදර. පාට කුරුල්ලෝ මුළු ඩ්‍රාමා එකම මට අමතක නොවන අත්දැකීමක්. අධ්‍යක්ෂවරයා ඇතුළු මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සහායක් ලැබෙනවා. අපි හැමෝම හරියට එක පවුලක් වගේ. මුලදි ගඟුලිට ගොඩක් අය බැණලා කමෙන්ට් කළා. ඒ නිසා මට බය හිතුණා ඇත්තටම දකිද්දිත් මිනිස්සු මට ආදරේ නැතිවේවි කියලා. ඒත් දැන්නම් එහෙම නෑ. “ඔයා හොඳට රඟපාන නිසා තමයි අපිටත් තරහ යන්නෙ“ කියලා ප්‍රේක්ෂකයෝ කියනවා. ඒ විදිහට මිනිස්සු මාව තේරුම් අරන් කතා කරද්දි ගොඩක් සතුටුයි. සමහරු නම් “ඔයා ඔච්චර නපුරුද?“ කියලත් අහනවා. අපේ අම්මලත් සමහර වෙලාවට කියනවා ගඟුලිම වේවිද දන්නෙත් නෑ කියලා. මුලදි නම් නපුරුකම ගන්න ගොඩක් අමාරු වුණා. අධ්‍යක්ෂවරයා තමයි මාව හැදුවේ.
ගඟුලි එහෙම කියද්දි මංජිතත් (කුසල් මධුරංග) අපේ කතාවට එකතු වුණා.
“අද නම් පොඩ්ඩක් මට අවුල්. පළවෙනි වතාවට ගඟුලිට කම්මුල් පාරක් ගහන්න වුණා. එයාට රිදුණා වගේම මගේ අතත් රිදුනා. ඇත්තටම ගැහුව නිසා පොඩි දුකකුත් දැනුණා. ඒත් දර්ශනය තාත්විකව කරන්න ඕන නිසා එහෙම කරන්නම වුණා. මීට කලිනුත් ගඟුලිව උස්සල පොළවෙ ගහන දර්ශනයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. පොදුවේ මේ නිර්මාණයම ඒ වගේ අලුත් අලුත් අත්දැකීම් ප්‍රේක්ෂකයන්ට දෙනවා. ඔවුන්ට හිනාවෙලා සැහැල්ලුවෙන් නින්දට යන්න පුළුවන් විදිහේ තිර පිටපතක් තමයි බුද්ධික ලියලා තියෙන්නේ. කෙවින් මංජිත සම්බන්ධයට වගේම ගඟුලි මංජිත සම්බන්ධයටත් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙයි. සමහර රාජකාරි එක්ක, රිලේෂන්ෂිප් එක්ක, පවුල් ජීවිත එක්ක මේ වගේ පීඩනයෙන් ඉන්න කී දෙනෙක් ඇද්ද? ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවම අනෙක් නිර්මාණවලට වඩා මංජිතට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා කියල හිතෙනවා.“
ඒ අතරේ ලොකු බ්‍රදර් අපේ කතාවට එක්වුණේ ඔහුගේ භාෂා ශෛලිය නිසා ඔහුටම සිදු වූ අකරතැබ්බයක් ගැන පවසමින්.
“ලොකු බ්‍රදර්ට පුදුමාකාර ආදරයක් ලැබෙනවා. පාර තොටේ යද්දි මේ භාෂා ශෛලිය ගොඩක් අය පාවිච්චි කරනව ඇහෙනවා. සමහරු ඉගෙන ගන්නත් උත්සාහ කරනවා. මාත් ලොකු බ්‍රදර්ට කොතරම් බැඳිල ද කියනවා නම් රාජකාරි ආයතනයේදිත් මට ලොකු බ්‍රදර්ගෙ දෙබසක් කියවුණා. මමත් ඒ චරිතය විඳිමින් තමයි රඟපාන්නේ. ඒ වින්දනය තමයි ප්‍රේක්ෂකයා විඳින්නේ. ඉදිරියට තවත් රසවත් වෙනවා කියලා වගකීමෙන් කියනවා.“
මංජිතගේ අම්මා ලෙසින් මේ දිනවල ඉතාම ජනප්‍රිය රූපා පතිරණ අප හා කියා සිටියේ වසර 42ක් වූ තම රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය පාට කුරුල්ලෝ නාට්‍යය බවයි.
අධ්‍යක්ෂවරයා මට චරිතය භාර දෙද්දිම කිව්වා මේක හැමවෙලේම “පීඩනයෙන් ඉන්න අම්මා කෙනෙකුගේ චරිතයක් කියලා. ඒ අනුව තමයි මම චරිතය සකස් කරගත්තේ. ගොඩක්ම ප්‍රතිචාර ලැබෙනවා. මංජිතගෙ අම්මා කියල තමයි හැමෝම දැන් මට කතා කරන්නේ. මං මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 42ක්. සම්මාන ලබපු අවස්ථා තියෙනවා. ඒත් මේ චරිතය තමයි ගොඩක්ම මිනිසුන් අතරට ගියේ. ගොඩක් අය කතා කරලා කියනවා මේ චරිතය අද සමාජයේ ගොඩක් අම්මලගේ චරිතය කියලා. අධ්‍යක්ෂවරයා අපිව හිරකරන්නෙ නැතුව නිදහසේ රඟපාන්න ඉඩ දෙන නිසා වෙන්න ඇති මේ චරිතය සාර්ථක වුණේ.“
රංගන ශිල්පීන් එසේ තම අත්දැකීම් බෙදාගනිද්දී නිර්මාණයේ සම්පූර්ණ වගකීම දරන සහාය අධ්‍යක්ෂවරයා වෙත අපේ අවධානය යොමුවුණා. ඔහු තරංග සම්පත් නිරිඇල්ල.
“මේ වෙද්දි රංගන ශිල්පීන් මේ වැඩේට එක්වෙලා ඒ ඒ චරිත ඔවුන්ගේ ඇඟට දාගෙන තියෙන්නේ. දැන් එච්චර ලොකු මහන්සියක් වෙන්න ඕන නෑ. උදේ ඇවිත් සීන් එක කතා කරල දුන්නට පස්සේ එයාල දන්නවා යන්න ඕන විදිහ. කතාබහ කරලා ඔවුන්ගේ දේවලුත් එකතු කරගෙන හරි ලස්සනට වැඩේ කරගෙන යනවා. ෂූටින් සෙඩියුල් එක සම්පූර්ණයෙන්ම සැලසුම් කෙරෙන්නේ මගේ අතින්. ඊට පස්සේ එඩිට් එකට යන්නේ කොහොමද? එඩිටින් ලයිනප් එක, දවසේ සැලසුම මේ හැමදේම කරන්නේ මං. පාට කුරුල්ලෝ අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්, නිෂ්පාදනය චාමර සමරවික්‍රම, තිර පිටපත් බුද්ධික සේමසිංහ, සහාය අධ්‍යක්ෂණය මම, කැමරා අධ්‍යක්ෂණය නිරංග සංජීව, කලා අධ්‍යක්ෂණය වජිර ප්‍රියශාන්ත, අංග රචනය වාසනා බණ්ඩාර, නිෂ්පාදන කළමනාකරණය චින්තක ශ්‍රීමාල්, සංස්කරණය අසුන් මල්වත්ත, දෙවැනි සහාය අධ්‍යක්ෂ ෂෙහාන් පැහැසර.“
පාට කුරුල්ලෝ නිෂ්පාදකවරයා චාමර සමරවික්‍රම. දෛනිකව ලක්ෂ 8/9ක් නරඹන මෙවන් නිර්මාණයක් සඳහා ප්‍රභවය වූවේ කුමක්දැයි ඔහුගෙන් විමසීමටත් අපි අමතක කළේ නැහැ.
“හිරු නාළිකාවෙන් මට නිර්මාණයක් කරන්න කියලා අවස්ථාවක් දුන්නා. එතැනදි පාර දිගේ මූඩ් එකම ගන්න මට ඕන වුණා. ඒ නිසයි මං බුද්ධිකව මේකට සම්බන්ධ කරගත්තේ. මේක අපි කතා කරලා, ප්ලෑන් කරලා කරපු වැඩක්. අපිට ඕන වුණේ දවසේ වෙහෙසිලා වෙහෙසිලා ගෙදර එන මිනිස්සුන්ට පොඩ්ඩක් හිනාවෙලා ලේ පිරිසුදු කරගෙන නින්දට යන්න අවස්ථාව සලසල දෙන්න. පාට කුරුල්ලෝ නාට්‍යය කොමඩිම නෙවෙයි, බ්ලැක් කොමඩි කියන ගණයට අයත් එකක්. හරිම සැහැල්ලුවෙන් බලලා, හිනා වෙලා, විනෝදවෙන්න පුළුවන් වැඩක්. මේ වෙද්දි ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙන නිසා සාර්ථකයි කියලා හිතනවා.
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න