Home » ආසියානු ශූරියන්ගේ වැරදුණු කුරුමානම

ආසියානු ශූරියන්ගේ වැරදුණු කුරුමානම

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අඩකට වඩා නිමාවට පත්වී තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ආපසු හැරීමට සිදුවී ඇත්තේ හිස් අතිනි. වත්මන් ආසියානු විස්සයි20 ශූරයන්ගේ අභිමානය කරපින්නාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ශ්‍රී ලංකා පිලට ඊළඟ වටයට සුදුසුකම් අහිමි වූයේ මූලික වටයේ තරග 3ක්ම පරාජයට පත්වීම නිසාය. මේ ලිපිය ලියන මොහොතේ ශ්‍රී ලංකා පිල සූදානම් වෙමින් සිටියේ මූලික වටයේ ඉතිරිව ඇති අවසන් තරගයට ය. එය නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයකි. දැනටමත් තරගාවලියෙන් ඉවතට විසිවී සිටීම නිසා ශ්‍රී ලංකාවට මේ තරගයේ ප්‍රතිඵලය තීරණාත්මක නැත. ශ්‍රී ලංකා පිල මෙවර කාන්තා විස්සයි20 තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම් දෙක අතරට ඇද වැටුණේ පසුගියදා ඉන්දියාවට එරෙහිව පැවැති මූලික වටයේ තුන්වැනි තරගයෙන් ලකුණු 82ක පරාජයක් අත්කර ගැනීමත් සමඟය. ස්කොට්ලන්තය ද ශ්‍රී ලංකාව සමඟම තරගාවලියෙන් ඉවතට විසිවූයේ දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 80ක පරාජයක් අත්විඳ ගනිමිනි. පසුගිය ජූනි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදිම අබුඩාබි නුවර පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා පිලත්, අනුශූරියන් බවට පත්වූ ස්කොට්ලන්ත පිලත් ලෝක කුසලානයෙන් ඉවතට විසිවූයේ එකම දිනයකදීය.

චමරිලා අරාබි වැලි කතරට

අවසන් පූර්ව වටයට පෙර ඉතිරිව ඇත්තේ තවත් තරග කිහිපයක් පමණි. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන ඔස්ට්‍රේලියාවත්, මෙතෙක් කුසලානය දිනා නැති ඉන්දියාවත් ‘ඒ‘ කාණ්ඩයෙන් ඉදිරියට පැමිණීමට සමත් වෙද්දී ‘බී‘ කාණ්ඩයේ මුල් ස්ථාන අතරට එක්වීමට 2016 ලෝක ශූරියන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිලත් මෙතෙක් කුසලානයක් දිනා නැති දකුණු අප්‍රිකානු පිලත් සමත්ව සිටිති.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට පැමිණීමට දහසක් බලාපොරොත්තු තුරුලු කරගනිමින් චමරිලා අරාබි වැලි කතරට ගියේ මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ මාස 20ක ස්වර්ණමය කාලයක් ගත කිරීමෙන් පසුවය. පසුගිය 2023 ලෝක කුසලානයෙන් පසු ගත වූ කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල එංගලන්තයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගමාලා ජයග්‍රහණ වාර්තා කළ අතර, අබුඩාබි නුවරදී විස්සයි20 සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කුසලානය ජයගත්තේ වැඩි කරදරයකින් තොරවය. අනතුරුව ඔවුන් පාකිස්ථානය සහ ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමුවතාවට ආසියානු කුසලානයත් ජයගත්තේය. එහෙත් මෙවර ලෝක කුසලානයේදී පළමු තරගයෙන් පාකිස්තානයටත් තුන්වැනි තරගයෙන් ඉන්දියාවටත් පරාජය විය.

ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායකට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුබෑමකට ලක්වූයේ තරගාවලියේ ආරම්භයේ සිටමය. ‘එන්න එන්නම අසාර්ථක වුණා. ඉතා දුර්වල විදිහට සෙල්ලම් කළේ. ඒක පිළිගත නොහැකි තත්ත්වයක්. අපි එතැනින් එළියට එන්න ලොකු උත්සාහ කළා. එක එක විදිහේ උපක්‍රම පාවිච්චි කළා. ඒත් ක්‍රීඩිකාවන්ට දස්කම් අතරට පිවිසෙන්න නොහැකි වුණා.‘

පළමුව පන්දුවට පහරදීමෙන් හෝ දෙවැනුව පන්දුවට පහර දීමෙන් හෝ ශ්‍රී ලංකා පිලට මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනේදීම ලකුණු 100 ඉක්මවා යෑමට නොහැකි විය. වෙනදාට ඉලක්කම් තුනකින් තනි ඉනිම සරසන සුපිරි පිතිකාරිනිය චමරි මෙවර ඉනිම් තුනේදීම රැස් කළ ලකුණු සංඛ්‍යාවේ එකතුව 10ක් බැවින් එය චමරිගේ වඩාත්ම දුර්වල ලෝක කුසලාන තරගාවලිය බවට ද පත් විය. වෙනදාට විස්මයජනක ලෙස පිතිහරඹයේ නිරත වන ආරම්භක පිතිකාරිනිය විශ්මි ගුණරත්න පාකිස්තානයට එරෙහිව පැවැති පළමු තරගයේදී ලකුණු 20ක් රැස් කළ අතර, ඉතිරි තරග 2දීම දැවී ගියේ බිංදුවටය. ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී දැක්වූ පිතිහරඹයෙන් ජාත්‍යන්තර අවධානය දිනාගත් හර්ෂිතා සමරවික්‍රමගේ ඉනිම් තුනේ ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 7, 23 හා 3 ලෙසිනි. හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි සහ නිලක්ෂිකා ද සිල්වා වැනි මැදපෙළින් පන්දුවට පහර දෙන පිතිකාරිනියෝ ද ලකුණු අතරට පිවිසීමට අසමත් වූහ.

එක් අතකින් ශ්‍රී ලංකා පිල මේ ඇද වැටී ඇත්තේ ඕනෑම කණ්ඩායමකට අත්විය හැකි ඉරණමකටය. එහෙත් අවාසනාව වන්නේ ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක් හෝ ජයගැනීමට මෙතෙක් නොහැකි වීමය. ශ්‍රී ලංකාව යනු මෙවර තරගාවලිය උඩුයටිකුරු කිරීමේ හැකියාව ඇති කණ්ඩායමක් බවට අනාවැකි පළවූයේ තරගාවලියටත් පෙර සිටය. විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ මීට පෙර මූලික වටයෙන් ඉදිරියට නොගිය ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේදී ඉතිහාසයේ පළමු වතාවට අවසන් පූර්ව වටයට පිවිසීමට හැම අතින්ම සුදුසුකම් ඇති බව විචාරකයන්ගේ ද අදහස විය.

වැඩිම අභියෝගය පිතිකාරිනියන්ට

ශ්‍රී ලංකාවට අවාසිසහගත පසුබිමක් නිර්මාණය වූයේ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත කිරීමේ සිටමය. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය හා පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව ඇතුළත් වූයේ ‘ඒ‘ කාණ්ඩයට ය. ඒ අතුරින් ඔස්ට්‍රේලියාව කුසලාන 6ක් දිනා වැඩිම වාර ගණනක් විස්සයි20 කාන්තා ලෝක ශූරියෝ බවට පත්වූ කණ්ඩායම විය. ඔවුහු විස්සයි20 ලෝක කුසලානයේ වත්මන් ශූරියෝ ද වූහ. සෙසු රටවල් වන නවසීලන්තය සහ ඉන්දියාව කාන්තා ක්‍රිකට් පිටියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙකකි. ඒ අතින් බැලූ විට පාකිස්තානයට එරෙහිව පැවැති පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත යුතුව තිබූ තරගයක් බවට අවිවාදිතය.

තවත් අතකින් බැලූ විට මෙවර කාන්තා විස්සයි20 තරගාවලියේ ආරම්භයේ සිටම වැඩිම අභියෝගය එල්ල වූයේ පිතිකාරිනියන්ටය. සාජා සහ ඩුබායි තණතීරුවල එතරම් ලකුණු සංඛ්‍යාවක් සැඟවී තිබුණේ ද නැත. මෙතෙක් පැවැති තරගවලදී ඕනෑම රටක පිතිකාරිනියන්ගෙන් වාර්තා වූයේ ද අර්ධ ශතක 5ක් පමණි. ශතක නම් කොහෙත්ම නැත.

කාන්තා ක්‍රිකට් හෝ පිරිමි ක්‍රිකට් කියා වෙනසක් නැත. කොයි අතින් බැලූවද ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය එයයි. දස්කම්පෑම කෙසේ වෙතත් අසීරුම දේ වන්නේ එම දස්කම් අඛණ්ඩව ඉදිරියට රැගෙන යෑමය. එය ද සුලුපටු අභියෝගයක් නොවන අතර, ඊට වාසනා ගුණයත් යම් ප්‍රමාණයකින් තිබිය යුතුය. මේ සාධක දෙකම එකට පිහිටා තිබුණු චමරිටත් මෙවර තරගාවලියේදී හිස ඔසවා ගැනීමට නොහැකි වූයේ ක්‍රීඩාවේ ස්වභාවය කදිමට පෙන්නුම් කරමිනි.

පසුගිය වසරේ තරගාවලියේ මූලික වටයේදී ‘බී‘ කාණ්ඩයේ තරග 4ම ජයගෙන අපරාජිතව පෙරමුණට පත්වූ එංගලන්තයට ද මෙවර තරගාවලියේ මූලික වටයේ ‘බී‘ කාණ්ඩයේ තුන්වැනි තැනට ඇද වැටී සිටින අතර, අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ගිලිහී යමින් පවතිද්දී බටහිර ඉන්දීය කොදෙව් පිල ඉදිරියට පැමිණීමට සමත්වී සිටින්නේ තරගාවලියට පෙර බොහෝ විචාරකයන් පළ කළ අනාවැකි පුස්සක් බවට පත් කරමිනි.

මේ වන විට සිදුවෙමින් පවතින්නේ කවදත් ලෝක කුසලාන තරගවල ශූරතාව දිනන ඔස්ට්‍රේලියාව සිය කුසලාන කැබිනෙට්ටුව තවත් කුසලානයකින් පිරවීමට ආසන්නව සිටීම සහ ඉන්දියාව ඉතිහාසයේ පළමු වතාවට විස්සයි20 කාන්තා ලෝක කුසලානයක් වෙත අත පොවමින් සිටීමය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division