Home » කාන්තා ලෝක කුසලානය වර්ණවත් කරන මර්වාරි කෙල්ල

කාන්තා ලෝක කුසලානය වර්ණවත් කරන මර්වාරි කෙල්ල

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

ය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක් දිනා ගැනීමේ සිහිනය හඹා යමින් සිටින ඉන්දීය පිලේ වැඩිම අවධානයට පාත්‍ර වූ ක්‍රිඩිකාව ය. ඊයේ පෙරේදා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට විසිවූ තරගයේදී විශිෂ්ට අර්ධ ශතකයක් වාර්තා කරමින් ප්‍රතිවාදී පන්දු යවන්නියන්ට දැඩි හිසරදයක් බවටත්, ඉන්දියාවට ප්‍රබලතම තුරුම්පුව බවටත් පත්වූ ඇය ස්ම්‍රිති මන්දනා ය. 28 හැවිරිදි මේ වමත් පිතිකාරිනිය දශකයක් පුරා ඉන්දීය පිලේ ආරම්භක පිතිකාරිනිය ලෙස සිය වගකීම් සම්භාරය අකුරටම ඉටු කරමින් සිටින අතර, ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ නොම්මර එකේ ප්‍රහාරාත්මක පිතිකාරිනියක බවටත් පත්ව සිටින්නීය.

ඇය වසර 2013දී බංග්ලාදේශයට එරෙහිව පළමු වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වී සිය ක්‍රිකට් ජීවිතයේ පළමු සිහිනය සැබෑ කරගත්තේ හැලහැප්පීම් කන්දරාවකටම මුහුණ දීමෙන් පසුවය. ගුජරාටියේ මර්වාරි පරපුරකින් පැවත එන යුවතියක බැවින් ඇය ක්‍රිකට් පිත්ත අතට ගැනීම එවකට ගුජරාටියේ වැඩිහිටි කාන්තාවන්ගේ උදහසට ලක්වීමට පවා සිදුවූ කාරණාවක් විය. මර්වාරි පරපුරේ තරුණියක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම එවකට ඉතා දුර්ලභ සිදුවීමක් වූ අතර, ඇගේ මේ හිතුවක්කාර තීරණය නිසා දොස් අසන්නට වූයේ මවුපියන්ට ය. කුඩා වියේ සිටම ඇය හැම අතින්ම සෙසු මර්වාරි දැරියන්ට වඩා වෙනස් වූවාය. වැඩිවියට පත්වීමෙන් පසු වැඩි කාලයක් නිවෙසේ කොටුවීමට හා කාලයාගේ අවෑමෙන් මවුපියන් විසින් සොයා දෙන මනාලයකුගේ අතගැනීම, ඔහුගේ සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරමින් ඉක්මනින්ම මවක වීම වැනි සම්ප්‍රදායික මර්වාරි යුවතියන් දකින සිහින ඇයට නොතිබිණි. ඇගේ සිහිනය ඉන් ඔබ්බට විහිදී ගොස් තිබිණි. එය ගුජරාටි ප්‍රාන්තයෙන් ඔබ්බට පමණක් නොව ඉන්දියාවෙන් ද ඔබ්බට ගිය එකකි. ඒවා එවකට බොහෝ යුවතියන්ට සිහින පමණක්ම විය.

ගෙදරින් ලැබුණු සහාය

කුඩා වියේදී ක්‍රිකට් පිත්ත අතට ගැනීමෙන් පසු ඇයට බාධා ගෙන දුන්නේ ගමේ වැඩිහිටි ගැහැනුන් ය. ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ නම් මන්දනාට මනාලයකු සොයා ගැනීමත් අසීරු වනු ඇතැයි කියන්නට වූයේ වැඩිහිටි මර්වාරි ගැහැනුන්ය. එහෙත් මන්දනා ඒවා කනකට ගත්තේ නැත. ඇගේ මාපියන් ඒවා කනකට ගත්තේ ද නැත. සැබැවින්ම මන්දනාගේ ක්‍රිකට් දිවිය ඔපමට්ටම් වූයේ ඇගේ මවුපියන්ගේ දිරියෙනි. ඇයට නිරතුරුවම දිරිය දුන්නේ ඇගේ මවය. මන්දනාගේ ක්‍රීඩා දිවිය ඉන් ශක්තිමත් වී තිබිණි.

‘ජීවිතය ගැන ලොකු ඉලක්ක මට තිබුණේ නෑ. සාමාන්‍ය විදිහට ගත්තොත් මම ඉලක්ක තියාගෙන ඒ අනුව වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉලක්කවලට වැඩ කරන්න ගියොත් ඒවා ගොඩාක් වෙලාවට ඉෂ්ට වෙන්නේ නෑ. අනික ඉලක්ක කියන්නේ ලෙහෙසියෙන් ජයගන්න පුළුවන් ඒවාත් නෙවෙයි. එහෙම වෙනවානම් මිනිස්සු නිතරම ඉලක්ක කරා යන්න එපෑය. ඒත් මම ක්‍රීඩා කරන කාලයේදීම ඉන්දියාව කාන්තා ලෝක කුසලානයක් දිනාගැනීම මගේ ලොකුම ඉලක්කය වුණා.‘ මන්දනා එසේ කියන්නේ සිය ක්‍රිකට් ජීවිතයේ මුල් කාලයේ මුහුණු දුන් අභියෝග සිහිපත් කරමිනි. ඒවා දැන් ඇයට මතක සටහන් පමණි. ඇගේ පවුලේ ඥාතීන් ද පසුකාලීනව ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලැබූ ජයග්‍රහණ නිසා උදම් වන්නට පටන් ගත් අතර, ඇය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කිරීමට තරම් කාරුණික වීම ඇයට මෙන්ම පවුලේ අයගෙත් සතුටට හේතු වී තිබිණි.

කිසිදෙයක් ඉබේ ලැබෙන්නෙ නෑ

මන්දනා ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන පිතිකාරිනියක බවට පත්වූයේ ජාතික කණ්ඩායමට සේන්දු වී වසර 4ක් ගතවීමටත් පෙරය. ඇගේ දස්කම් හේතුවෙන් 2018 වසරේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම්මාන උලෙළේදී ඇය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. ඒ වසරේදීම දෙසැම්බරයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසරේ ක්‍රීඩිකාව ලෙස ඇය තෝරා ගත්තේය.

හැම දෙයක්ම අපට ඉබේටම ලැබෙන්නේ නෑ. සමහර දේවල් ලබාගන්න සෑහෙන්න සටන් කරන්න සිද්ධ වෙනවා.’

ස්මිත්‍රි මන්දනා එසේ කියන්නේ ක්‍රිකට් ජීවිතයේ බොහෝ දේවල් ලබා ගැනීමට ඇයට දැඩි සටනක නිරත වීමට සිදු වූ බැවිනි. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකාරිනිය ලෙස කාගෙත් ආදරයට පාත්‍රවී සිටින මේ රූමත් යුවතිය මීට වසර කිහිපයකට පෙර එංගලන්තයේ පළමු පෙළ කාන්තා විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකරගත් අතර, එවැනි වාසනාවක් අත්කරගත් පළමු ඉන්දියානු ක්‍රීඩිකාව ද වූවාය.

ඇය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අවුරුදු 15න් පහළ කාන්තා ක්‍රිකට් පිලට එක්වෙද්දී යන්තම් අවුරුදු 9ක් වූවා පමණි. වමතින් පිත්ත හසුරුවන, දකුණතින් මඳවේග පන්දු යවන ඇගේ දස්කම් නිසා 19න් පහළ කාන්තා පිලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවූ‍යේ අවුරුදු 11දීය. ඊට වසර කිහිපයකට පසුව 2013 ඉන්දීය දේශීය කාන්තා එක්දින තරගබිමේ ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතට එක්වූ මේ හුරුබුහුටි ක්‍රීඩිකාව ඉන්දියාවේ ජාතික කාන්තා ක්‍රිකට් පිලේ දොරටුවට තට්ටු කරන්නට පටන් ගත්තේ ඉන්පසුවය.

පවුලේ හදවත

අනිත් අතට ඇය බොහොම සරල කෙල්ලෙකි. පවුලේ බඩපිස්සීය. ඇය කියන්නේ තම පවුලේ හදවත ඇය බවය. කණ්ඩායමේ සිටියදි ඇය තරමක් නිශ්ශබ්දය. නිවෙසේදී නම් ඇය සමඟ වාද කර දිනන්නට කිසිවකුට බැරිය. සරල බව, අවංකකම හා විනයගරුකබව ජීවිතයට ආලෝකයක් උදාකර ගත් මේ දිරිය සම්පන්න ක්‍රීඩිකාව නිතර නිතර කතා කරන්නේ සිය ක්‍රිකට් ජීවිතයේ අසහාය වීරයන් දෙදෙනකු ගැනය.

‘සචින්, සංගා කියන්නේ මගේ ක්‍රිකට් ජීවිතයේ වැඩිපුරම ආදරය කරන වීරයෝ දෙන්නෙක්. මං ‍පොඩි කාලේ ඉඳලම සංගාගේ වීඩියෝ බලල මගේ පහරවල් දියුණු කරගත්තා.’

මන්දනාට ඇත්තේ සාමාන්‍ය යුවතියන්ට වඩා වෙනස් ආකල්පය. ඇයට සිහින තිබුණත් ඒවා ඇත්තේ ඉන්දීය පිලේ අරමුණු හා බලාපොරොත්තුවලට වඩා පහළින්ය. ජීවිතය ගැන විශාල බලාපොරොත්තු, විවාහය, කඩවසම් තරුණයකුගේ උණුසුම් ආදරය ඒවා දෙවැනි තැනටය. ඇගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ක්‍රිකට්ය. ඊළඟට මව, පියා සහ සෙවණැල්ල මෙන් ඇයට සමීපව සිටින වැඩිමල් සොයුරාය.

ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජයගැනීමත් සමඟ ඉන්දියාව ‘ඒ‘ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාවට පසුපසින් දෙවැනි තැන අත්කර ගැනීමට සමත්වූ අතර, අවසන් හතරට සහ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ දොරකඩටම පැමිණ සිටී. එහෙත් සටන තවමත් අවසන් වී නැත. එම කාණ්ඩයේ සිටින පාකිස්තානය සහ නවසීලන්තයත් අවසන් හතරට සේන්දුවීමේ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටී. මන්දනාගේ මෙන්ම සෙසු ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙත් සිහිනය සැබෑවීම ඊළඟ දින තුන ඇතුළත දැකබලා ගත හැකිය. ඒ සිහිනය ගොඩ නැඟී ඇත්තේ මේ මර්වාරි කෙල්ලගේ දස්කම් මත බව විචාරකයෝ කියති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division