එකිනෙකා හා වෙළෙමින් සුවිසල් ව අහසට නැඟුණු තුරුලතාවෝ හිරු රැස්හි තෙද බව මකාලන්නට වෙහෙසෙති. අවැසි පමණට පමණක් මහපොළොව මතට හිරු රැස් පෙරා දෙමින් පොළෝතලය පුරා අපූරු සෙවණැලි වියමනක් තනන්නට මේ තුරුලතාවෝ සමත් වෙති. හලාවත නගරය දැඩි හිරු රැසින් ගිනියම් වෙද්දී එහි සිට වැඩි ඈතක නොසිටි අපි සිහිලැල් වාතයෙන් ළය පුරවා ගනිමින් සුවදායී ව සිටියෙමු. හිරු රත් වූ යවටක් සේ ගිනිගෙන දැවෙන හලාවත නගර මධ්‍ය ගැන හාංකවිසියක් හෝ අපට මතක් වූයේ නැත. හාත්පස පිහිටි සුවිසල් වැව් පිස හමා එන මඳනලත් ඒ හා මුසුවෙමින් පරිසරය ම ගීතවත් කරනා කුරුලු කූජනයත් හද සුවපත් කරද්දී හිරුගේ චණ්ඩ බව ගැන මතකයට නොනැඟීම පුදුමයක් නොවනා බැව් මේ පරිසරයට පා තබන ඕනෑම කෙනකුට නොඅනුමානව වැටහෙනු නිසැක ය.
නේක වර්ණිත සමනලුනුත්, පරිසරයේ පැහැයට සමපාත වෙමින් අප මවිතයෙන් තිගස්සවන කටුස්සනුත් ඈ නොයෙක සොබාදම් නිමැවුම් රැසක් අපට පරිසරයේ ශෝභාව හා මවිත කරවනසුලු ක්ෂණික වෙනස් වීම් එකින් එක පෙන්වා දෙයි. කොළඹ නගරයෙන් වැඩි ඈතක නොවූ මේ අපූර්ව පරිසරය අපට හමු වෙන්නේ හලාවත හා පුත්තලම ප්‍රදේශ අතරිනි. ආනවිලුන්දාව නම් ඒ සුන්දර බිම්කඩ තවමත් දෙස් විදෙස් සංචාරකයන්ගේ අතිශය ජනප්‍රිය ගමනාන්තයක් නොවේ. එබැවින් එය තවමත් හුදෙකලාවේ ශ්‍රී විභූතිය රැක ගනිමින් සිටියි.
ආනවිලුන්දාව, තෙත් බිම් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් 1997 ජුනි 11 වැනිදා සිට අභයභූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. රැම්සා අන්තර්ජාතික සම්මුතිය මඟින් ද ආනවිලුන්දාව තෙත් බිම්කඩක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මේ සම්මුතිය ක්‍රියාත්මක වූයේ 2011 අගෝස්තු මස 03 වැනිදා සිටය. අන්තර්ජාතික වශයෙන් පිළිගනු ලබන තවත් රැම්සා බිම්කඩ දෙකක් මෙරට දක්නට ලැබේ. ඒ මාදු ගඟ ආශ්‍රිත බිම්කඩ හා බූන්දල ය. මාදු ගඟ හා බූන්දල දෙස් විදෙස් සංචාරකයන්ගේ නිරන්තර අවධානයට ලක්වෙන සංචාරක ප්‍රදේශ වුව ද ආනවිලුන්දාව තවමත් හුදෙකලා ය. ඒ හුදෙකලා බව නිසා නිහඬව නිසලව එනිසාම සුන්දර ව තිබෙන මේ බිම්කඩ ඔබේ අවධානයෙන් ගිලිහී තිබීම එක්තරා අන්දමක ආශීර්වාදයක් යැයි ද වරෙක සිතෙයි.
එහෙත් ඒ හුදෙකලා, නිහඬ බව මේ දිනවල නම් පවතින්නේ සංචාරක මිනිස් ප්‍රජාව අරබයා පමණී. දෙස් විදෙස් කුරුලු විශේෂ, සමනල් විශේෂ, කටුසු, උරග, බත්කූරු ආදී සත්ත්ව ප්‍රජාව සම්බන්ධයෙන් නම් ආනවිලුන්දාව තරමක ඝෝෂාකාරී හා කලබල ස්වරූපයක් ගනී. මේ දිනවල දහස් සංඛ්‍යාත ගණනින් කුරුලු ප්‍රජාව සිය ප්‍රජනන භූමිය බවට පත් කරගෙන ඇත්තේ මේ බිම්කඩය. එබැවින් ආනවිලුන්දාවට යන ඔබ ඒ සොබාදහමේ නියම අයිතිකරුවන්ට තම ප්‍රජාව බෝ කිරීමේ අයිතියට බාධා වන අයුරෙන් නොහැසිරීමට වගබලා ගත යුතු ම ය. මිනිස් පහසින් දැඩි ලෙස දූෂණය නොවූ නිසාදෝ මේ නොයෙක කුරුලු විශේෂ මෙන් ම වෙනත් සත්ත්ව විශේෂ ද තවමත් මේ බිම්කඩ මත සිය නිවහල් බවේ ප්‍රීතිය බුක්ති විඳිති.
සංචාරක කුරුලු රජ දහනක්
පක්ෂී විශේෂ සාමාන්‍යයෙන් සංචාරය සඳහා ලංකාවට පැමිණෙන්නේ නොවැම්බර් මස මැද සිට ය. ඒ පක්ෂී ආගමනය එතැන් සිට අප්‍රේල් මාසය දක්වා පමණ පවතී. එහෙත් මේ වන විටත් සංචාරක කුරුල්ලෝ වරින්වර ආනවිලුන්දාව වෙත පැමිණෙමින් සිටින අයුරු දැකිය හැකිය. මේ කාලයේ අපරදිග දේශවල පවතින දැඩි ශීත කාලගුණය නිසා ලංකාව වැනි සෞම්‍ය දේශගුණ කලාප වෙත පක්ෂීන් පැමිණීම සාමාන්‍යයෙන් සෑම වසරකම සිදු වන්නකි. එබැවින් සංචාරක පක්ෂීන් රාශියක් ඉදිරි දිනවලදී ආනවිලුන්දාව හැඩ කිරීමට පැමිණීමට නියමිතය. මේ වනවිටත් බොහෝ පක්ෂීන් මධ්‍යම කඳුකරයෙන් ඔබ්බෙහි වූ පහතරට තෙත් කලාප ආශ්‍රිතව ලැඟුම් ගැනීමට පටන් ගෙන ඇත. මොවුහු බොහෝවිට ප්‍රිය කරන්නේ සමුද්‍රාසන්න තෙත් බිම්හි හා රජරට වැව් ආශ්‍රිතව ගැවසීමට ය.
සංචාරක පක්ෂීන් හා මෙරටට ආවේණික වූ කුරුලු විශේෂ රාශියක් එක්වර නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති ප්‍රදේශ අතරෙන් අගනුවරට සමීපව පිහිටි ආනවිලුන්දාව අභයභූමිය ප්‍රධාන තැනක් ගනී. ශ්‍රී ලංකාවේ මේ වනවිටත් වාර්තා වී ඇති පන්සියයකට ආසන්න කුරුලු විශේෂ අතරෙන් කුරුලු විශේෂ 150කට අධික ප්‍රමාණයක් ආනවිලුන්දාවෙන් වාර්තා වෙයි. ඊට නොදෙවැනිව සමනල් විශේෂ රාශියක් ද මේ භූමියේ නෙක වර්ණ මවමින් පියඹා යෑම සුලබ දසුනකි.
ආනවිලුන්දාවේ හැම පැත්තකින්ම දිස්වනුයේ ඕලු, නෙළුම්, මානෙල් ඈ මල්වලින් පිරි සුන්දර වැව් ය. මේ අභයභූමියට අයත් අක්කර හාරසිය පනහක පමණ භූමිභාගය ඇතුළත වැව් හතක් පිහිටා තිබේ. සොඳුරු උදෑසන තුරුලතා අතරින් පෙරී එන ළා හිරු රැස් වැව් දිය මත වැටී මවන මනරම් දසුන, නෙක හැඩතල මවමින් වැව් දිය මතින් ඉගිළී යන කුරුලු සමූහයා මේ භූමියේ නිදහස් ව සැරිසරන අයුරු නිහඬව, සන්සුන් ව විඳින්නට එක ළඟ පිහිටි වැව් පද්ධතිය කදිම ආධාරකයකි. ආනවිලුන්දාව හන්දියේ සිට මීටර් අටසියයක් පමණ ඉදිරියට ඇවිද යන ඔබට එහි පිහිටි විශාලතම වැව් තුන දැක බලා ගත හැකිය. ආනවිලුන්දාව වැව, සුරුවිල වැව හා මයියාව වැව එකිනෙකට යාබදව දෙපස පිහිටි රූක්ෂ වෘක්ෂලතාවලට මැදි වූ ගුරු පාරට මායිම්ව නිහඬව, නිසල ව හා සුවදායිව පිහිටා තිබේ.
මේ වැව් තුනට අමතර ව පින්කට්ටිය වැව, මරදන්සෝලි වැව, වෙදාගේ වැව, ඉහළ වැව, එගොඩ වැව යනාදි වශයෙන් වැව් පද්ධතියක් මෙහි පිහිටා තිබේ. උදෑසන සීගතුව දරාගනිමින් දැවැන්ත තුරු යටින් ගුරුපාරවල් දිගේ නිශ්ශබ්ද ව, සන්සුන් ව පානඟන ඔබට මේ වැව් ආශ්‍රිත ව සැරිසරන නොයෙකුත් පක්ෂීන් දැකබලා ගත හැකිය. උන් එකපාර පේන්නට එන්නේ නැත. තුරු අස්සේ නිසොල්මන්ව පරිසරයේ ම කොටසක් ව සිටියි. ඔවුන්ගේ ගොදුරු බිමට ආගන්තුක ඔබේ ඝෝෂාව එකතු නොකළහොත් ඒ මනරම් දසුන් නැරඹීමේ අවස්ථාව ඔබෙන් ගිලිහෙන්නේ නැත. සොබාදහමේ රිද්මයට බාධාවක් නොවී ඒ පරිසරයේ ම කොටස්කරුවකු වීමට ඔබට හැකිවීම මේ වැනි පරිසර පද්ධතිවලදී අත්‍යවශ්‍ය කරුණකි.
විටෙක හාත්පස පරිසරයේ නිහඬතාව බිඳ දමන තියුණු පක්ෂී නාදයක් ඔබ තිගැස්මට පත් කරනු ඇත. තවත් විටෙක සප්ත ස්වරයේ සුන්දර ම සංයෝජනයක් බඳු මධුර ගී නාදයක් ඔබේ දෙසවන පිනවනු ඇත. තවත් විටෙක ගුප්ත මායාකාරී සුළඟේ නාදය ඔබේ ඇඟ හිරිගඩු නංවනු ඇත. මේ සියල්ලම සොබාදහම ඔබට තිළිණ කරන්නේ පෙරළා කිසිවක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එබැවින් ඒ පරිසරයේ අංශු මාත්‍රයකට හානියක් නොකරන්නට ඔබ ප්‍රවේශම් විය යුතුය.
හිරු කිරණ ක්‍රමයෙන් තුරු අගිසි මතට පතිත වෙද්දී ඒ විසල් තුරු අතර සැඟවී සිටි කුරුලු සමූහයා ගොදුරු සොයා පියඹන්නට වෙයි. එය මනස්කාන්ත දර්ශනයකි. ඒ දර්ශනය නරඹන්නට නම් ඔබ හිරු උදාවට ප්‍රථම ආනවිලුන්දාවට ගොස් නිහඬ ව පරිසරයේ කොටසක් ව තියුණු නිරීක්ෂණයෙන් යුක්තව සිටිය යුතු වෙයි. මේ කුරුලු සමූහයාගේ නෙක චර්යා රටා නිරීක්ෂණය කිරීමට නම් එක්කෝ හිරු නැඟ ඒමට ප්‍රථම ව එහි යා යුතුය. නැත්නම් හිරු බැස යන සන්ධ්‍යාවේ එහි යා යුතුය. නැතිනම් හිරු අහස මුදුනට වී ගිනියම් වෙද්දී කුරුල්ලන් සිසිලස සොයා දැවැන්ත තුරුපතර අතර සැඟවී ඔබේ නෙත් මානයෙන් මුවා වෙනු ඇත.
මුතුපන්තියේ සුන්දරත්වය
ආනවිලුන්දාව අභයභූමියේ ගුරුපාර දිගේ ඉදිරියට ඇදෙන ඔබට එහි බටහිර මායිම වෙන ඕලන්ද පවුරු ඇළ හරහා වැටුණු ලෑලි පාලමෙන් එගොඩ වී මුතුපන්තිය දූපතට පිවිසිය හැකිය. මුතුපන්තිය යනු මහමුහුද, කලපුව හා පාරු ඇළ හේතුවෙන් ගොඩබිමෙන් වෙන් වූ දූපතකි. මෙය මුළුමනින් ම ධීවර ගම්මානයකි. එහි ගැමියෝ බොහෝ සුහදශීලි, මිත්‍රශීලි වූවෝ වෙති. වැස්ස වට විට මඩ වී පාගමනින් හෝ යා නොහැකි ගුරු පාරවල් ඔස්සේ බයිසිකලය පාගමින්, වරෙක එය ඔසවා ගනිමින් ඔවුහු සිය අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා ආනවිලුන්දාව හන්දියෙන් හලාවතට යති. මෙහි පවතින ප්‍රධානතම ගැටලුව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කර නැති මහාමාර්ගයයි. වැව් දිය මත කොළ පැහැ පලසක් මෙන් පැතිර ඇති ජපන් ජබර ආදි පිළිල ශාක මේ වැව් පද්ධතියට දැඩිසේ හානි කරන බැව් දක්නට ලැබිණි. සමහර වැව්වල ජපන් ජබර නිසා වැව් දිය දක්නට ලැබුණේ අතරින්පතරය. මේ ජලජ පිළිල වැව් දියතලය ආක්‍රමණය කිරීම නිසා වැව් පද්ධතියට දැඩි හානි සිදු වී තිබේ.
ආනවිලුන්දාව අභය භූමිය කුරුලු නිරීක්ෂකයන්ට ද, ක්ෂේත්‍ර අධ්‍යයනවල නිරතවන්නන්ට ද ක්ෂේම භූමියකි. අප යනවිටත් කුරුල්ලන් පිළිබඳ සටහන් තබමින් දුරදක්නවලින් කුරුල්ලන් නිරීක්ෂණයේ යෙදී සිටි ගවේශකයන් කිහිපදෙනකු ද දක්නට ලැබිණි.
ගමන් මාර්ගය
ආනවිලුන්දාව වෙත ප්‍රවේශ විය හැකි මාර්ග කිහිපයකි. කොළඹ සිට පුත්තලම් පාරේ හලාවත පසුකොට නල්ලදරන්කට්ටුවේ ආනවිලුන්දාව හන්දියේ සිට පාගමනින් වුව අභයභූමියට ප්‍රවේශ විය හැකිය. කොළඹ සිට ආනවිලුන්දාවට දුර කිලෝමීටර් 90 කි. දුම්රියෙන් පැමිණෙන්නේ නම් කොළඹ සිට පුත්තලම දක්වා පැමිණෙන දුම්රියකින් ආනවිලුන්දාව දුම්රියපොළ වෙත පැමිණ එතැන් සිට පාගමනින් අභයභූමියට ඇතුළු විය හැකිය. එවිට දුර කිලෝමීටර් අනූනවයකි. බසයෙන් ආනවිලුන්දාවට පැමිණීමට සාමාන්‍යයෙන් පැය තුනක් පමණ ගත වේ. ආනවිලුන්දාව අවට අවන්හල් හා නවාතැන් පහසුකම් නම් තවමත් සුලබ නැත. ඒ සඳහා ඊට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටි හලාවත නගරයට යා යුතු වේ. ආනවිලුන්දාව නැඟෙනහිරින් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයටත්, උතුරෙන් බත්තුළු ඔය උඩප්පුව මාර්ගයටත්, දකුණෙන් සෙන්ගල් ඔයටත්, බටහිරෙන් ඕලන්ද පාරු ඇළටත් මායිම් වේ.
lසුමුදු චතුරාණී ජයවර්ධන