Home » නොබෙල්ගේ අන්තිම කැමැත්තෙන් බිහි වූ නොබෙල් ත්‍යාගය

නොබෙල්ගේ අන්තිම කැමැත්තෙන් බිහි වූ නොබෙල් ත්‍යාගය

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment
රසායන විද්‍යාව වෙනුවෙන් ත්‍යාගය දිනූ විද්‍යාඥයන් තිදෙනා

සෑම වසරකම අවසන් භාගයේදී ලෝක ප්‍රජාව අතර ඇල්ෆ්‍රඩ් නොබෙල් ගැන වැඩිපුරම කතාබහට ලක් වන්නේ ඔහුගේ නමින් ආරම්භ කළ නොබෙල් ත්‍යාගය පිරිනැමෙන කාල වකවානුව එය බැවිනි. මානව සංහතියේ අනාගතය වෙනුවෙන් උදාර කර්ත්‍යවයක් සිදු කළ ලොව විශිෂ්ටතම පුද්ගලයන් අතර 1901 සිට වාර්ෂිකව නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැති පත්‍රයට අනුවය. ඇල්ෆ්‍රඩ් නොබෙල් උපන් ඔක්තෝබරයේදී නොබෙල් ත්‍යාග සඳහා නම් කළ ලෝකවාසීන්ට වඩාත්ම වැදගත් ක්ෂේත්‍ර 6කින් තෝරා ගත් පුද්ගලයන් නිවේදනය කෙරෙන අතර, ඔහු මෙලොව හැර ගිය දෙසැම්බරයේ 10 වැනිදාට යෙදෙන අනුස්මරණ දිනයේදී ත්‍යාග පිරිනැමීම සිදු කෙරේ. ආරම්භයේදී එවැනි ක්ෂේත්‍ර 5කට පමණක් සීමාවූ නොබෙල් ත්‍යාග පිරිනැමීම සඳහා 6 වැනි ක්ෂේත්‍රය ලෙස ආර්ථික විද්‍යාව ඇතුළත් කර ඇත්තේ 1969 වසරේ සිටය.

ස්වීඩනයේ රාජකීය විද්‍යායතනය විසින් නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගය නිවේදනය කිරීමත් සමඟ මේ වසරේ නොබෙල් ත්‍යාග සඳහා තෝරාගත් පුද්ගලයන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීම අවසන් වන අතර, ත්‍යාග ප්‍රදානය ලබන දෙසැම්බරයේ 10 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර ප්‍රසංග ශාලාවේදීය.  

ස්වීඩනයේ රාජකීය විද්‍යායතනය මෙවර නොබෙල් ත්‍යාග පිරිනැමීමට තෝරා ගත් පුද්ගලයන් හා සංවිධාන නම් පසුගියදා නිවේදනය කළ අතර, කායික හා වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු විද්‍යාඥයන් වන වික්ටර් ඇම්බ්‍රොස්ට සහ ගැරී රුව්කුන්ට පිරිනැමීමට තීරණය කර ඇත්තේ ක්ෂුද්‍රජීව විද්‍යාව වෙනුවෙන් පර්යේෂණ සිදු කරමින් පෘථිවියේ ජීවය ආරම්භ වූ ආකාරය සහ විවිධ පටකවලින් මිනිස් සිරුර නිර්මාණය වී ඇති ආකාරය ගැන ඉතා විස්මිත තොරතුරු රැසක් අනාවරණය කිරීම හේතුවෙනි. එය මිනිස් සිරුරේ පිහිටා ඇති සෑම සෛලයකම අඩංගු ක්ෂුද්‍ර පටක හා ජානමය විපර්යාස හඳුනා ගැනීමට අතිශය වැදගත් බව ද සඳහන් කර තිබේ. පැහැදිලි උපදෙස් නොමැතිව කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් යාන්ත්‍රික අධ්‍යයනයක් සිදු කළ හැකි ආකාරය සොයා ගැනීමට සහ ඒ ඇසුරෙන් නව නිපැයුම් සිදු කිරීමට සමත්වීම හේතුවෙන් අමෙරිකානු හා බ්‍රිතාන්‍යයේ භෞතික විද්‍යාඥයන් දෙදෙනකු වන ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට නම් කර ඇති අතර, මිනිස් සිරුරේ සියලු සෛලවල ඇති ප්‍රෝටීන පිළිබඳ විස්මිත පර්යේෂණයක් සිදු කළ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, ජෝන් ජම්පර් සහ එංගලන්ත ජාතික ඩෙමිස් හසාබිස් විද්‍යාඥයන් මෙවර රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට හිමිකම් කී බව ස්වීඩනයේ රාජකීය විද්‍යායතනය නිවේදනය කළේය.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ප්‍රබන්ධ කතා රචිකාවක වූ හැන් කාංග් තෝරාගෙන ඇත්තේ ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව විදහා දක්වන ඇගේ කාව්‍යමය ගද්‍ය රචනා සඳහාය. මීට පෙර‍‘වෙජිටේරියන්‘ නමින් කෘතියක් ලියා පළ කළ 54 හැවිරිදි මේ ලේඛිකාව ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ 2007 දී කොරියානු බසින් රචිත එම කෘතිය 2015දී ඉංග්‍රීසි බසට පරිවර්තනය වීමෙන් පසු ඇයට මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගය හිමිවීමත් සමඟය. වසර 1901 දී ආරම්භ කළ නොබෙල් ත්‍යාග පිරිනැමීමේ ඉතිහාසයේ කාන්තාවක් සාහිත්‍ය ත්‍යාගය දිනූ 18 වැනි අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක්විය. න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් බිහි කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන ජපානයේ නිහොන් හිඩන්ක්යෝ සංවිධානයට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ න්‍යෂ්ටික අවිආයුවලින් තොර ලෝකයක් බිහි කිරීම සඳහා ගන්නා උත්සාහය වෙනුවෙනි. වසර 1945 දී අමෙරිකාව විසින් ජපානයට හෙළූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවි බේරාගත් දහස් සංඛ්‍යාත පිරිසක් නියෝජනය කරන එම ජාතික තලයේ සංවිධානයට හිමිවීම ජපානයේ නව අගමැති ෂිගේරු ඉෂිබාගේ ද පැසසුමට ලක්වී ඇති අතර, එය අතිශයින්ම අර්ථාන්විත තෝරා ගැනීමක් බව අගමැතිවරයා සඳහන් කළේය.

කවුද මේ ඇල්ෆ්‍රඩ් නොබෙල්?

වසර 1833 ඔක්තෝබරයේ 21 වැනිදා ස්ටොක්හෝම් නුවර උපන් ඇල්ෆ්‍රඩ් බර්න්හාඩ් නොබෙල් පිළිබඳ කවුරුත් දන්නේ ඩයිනමයිට් සොයා ගත් විද්‍යාඥයා හැටියටය. ඔහු එය සොයා ගත්තේ සිය පියාගේ උපදේශයට අනුව පුපුරන ද්‍රව්‍ය ගැන හැදෑරීම නිසාය. යොවුන් වියේ සිටම එසේ පුපුරන ද්‍රව්‍ය සමඟ ඔට්ටු වූ ඇල්ෆ්‍රඩ් පළමුව සොයා ගත්තේ ඩයිනමට් නොව පිපිරීමට අවශ්‍ය ඩෙටනේටර් වර්ගයකි. 1863දී ඔහු එය සොයාගන්නා විට 30 හැවිරිදි වියෙහි පසුවූ අතර, ඊට වසර දෙකකට පසු පුපුරන ද්‍රව්‍ය බහාලුම් කොපුව ලොවට දායාද කළේය. එහෙත් ඔහු විද්‍යාත්මක නව සොයාගැනීම් 355ක පේටන්ට් බලපත්‍ර හිමිකරුවකු බව වැඩි දෙනකු නොදනී. ඇල්ෆ්‍රඩ් පමණක් නොව විද්‍යාත්මක නව සොයාගැනීම් සම්බන්ධව නොබෙල් පවුලම ස්වීඩනයේ නම ගිය පවුලකි. ඔහුගේ පියා වන ඉමානුවෙල් නොබෙල් එවකට ස්වීඩනයේ ප්‍රකටව සිටියේ නිමැවුම්කරුවකු, ඉංජිනේරුවකු හා ව්‍යාපාරිකයකු ලෙසිනි.

පවුලේ පැටිකිරිය

ඉමානුවෙල්ගේ තෙවැනි පුත්‍රරත්නය ලෙස උපන් ඇල්ෆ්‍රඩ්ගේ සොයා ගැනීම් සහ ක්‍රියාකාරකම් ගැන පමණක් නොව ඔහුගේ පියාගේ පැටිකිරිය ගැන දැනගත යුතු රසවත් කතාවක් ඇත. තුනී ලෑලි නිෂ්පාදනය සඳහා රොටරි ලියවන පට්ටලය සොයා ගනු ලැබුවේ නොබෙල්ගේ පියා විසිනි. ඇල්ෆ්‍රඩ්ගේ ඩයිනමයිට් සොයා ගැනීමට මුල් වූයේ ද ඔහුගේ පියා සිය පුතුන් සමඟ නිතර නිතර පුපුරන ද්‍රව්‍ය සම්බන්ධව විවිධ අත්හදා බැලිම් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට හේතු වූයේ ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරයක් ලෙස ස්ටොක්හෝම් නුවර පිහිටා තිබූ කර්මාන්ත ශාලාවේ සිදුවූ පිපිරීමකින් ඇල්ෆ්‍රඩ්ගේ බාල සොහොයුරා ඇතුළු පස්දෙනකුට දිවි අහිමි වීමය. වසර 1884 දී ස්වීඩනයේ රාජකීය විද්‍යායතනයේ සාමාජිකත්වය ලද ඇල්ෆ්‍රඩ් නොබෙල් සිය අන්තිම කැමැති පත්‍රයට නොබෙල් නමින් ත්‍යාග පිරිනැමීමේ මූලාරම්භය ගැනත් අපූරු කතාවක් තිබේ.

වැරදුණු මරණ දැන්වීම

1888 දී ඇල්ෆ්‍රඩ්ගේ සොහොයුරකු වන ලුඩ්විග් නොබෙල්ගේ ජීවිතක්ෂයට පත්වූ අතර, එය මරණ දැන්වීමක් ලෙස පුවත්පත් කිහිපයක පළ වී ඇත්තේ සොහොයුරාගේ නමින් නොව වැරදීමකින් ඇල්ෆ්‍රඩ්ගේ නමිනි. ජීවත්ව සිටින කාලය තුළදීම සිය මරණ දැන්වීම පුවත්පතකින් කියැවීමට හා දැකබලා ගැනීමට ලැබීමෙන් ඔහු දැඩි විමතියට හා ව්‍යාකූලත්වයට පත්ව සිටි අතර, ඔහුගේ මරණය ගැන ප්‍රංශයේ පුවත්පතක් පළ කළ ලිපියකින් ඔහු දැඩි වේදනාවට පත්වී තිබිණි. ‘මරණයේ වෙළෙන්දා මිය ගොස් තිබේ‘ නමින් එම පුවත පළ කර තිබුණේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමෙන් ලෝක ප්‍රජාවගේ ජීවිතවලට අවදානමක් ඇති කිරීම නිසා ඔහු හෙළා දකිමිනි. එහි සඳහන් වී ඇත්තේ ඩයිනමයිට් සොයා ගැනීම අතිශය භයානක සිදුවීමක් බවය. ආචාර්ය ඇල්ෆ්‍රඩ් නොබෙල් අන් කවරදාටවත් වේගයෙන් මිනිසුන් මරා දැමීමට නව ක්‍රමයක් සොයා ගැනීමෙන් ධනවතකු බවට පත්වී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වී තිබේ. සිය මරණයෙන් පසු තමා පිළිබඳ ලොව පුරා පැතිරී යන අපකීර්තිය පිළිබඳ ඇල්ෆ්‍රඩ් තැති ගැන්මට ලක්වූ බව ද කියැවේ. එබැවින් තමා මෙලොව හැර යෑමෙන් පසු ලෝකවාසීන් අතර ඇල්ෆ්‍රඩ් නොබෙල් නාමය අමරණීය විය යුතු බවට ඔහු තීන්දු කර ඇත්තේ ඒ මොහොතේදීම බව කියැවේ. නමුත් ඉතිහාසඥයන්ට මේ කතාව පිළිබඳ නිශ්චිත තහවුරු කිරීමක් සිදු කිරීමට නොහැකි බැවින් ඇතැමුන් එය මිථ්‍යාවක් ලෙසත් හඳුන්වති.

නොබෙල් ත්‍යාගයේ ආරම්භය

කෙසේ වෙතත් නොබෙල් ත්‍යාග පිරිනැමීමේ ආරම්භයට එය හේතුවක් වී ඇති අතර, සිය අවසන් කැමැත්ත පරිදි ගිවිසුම් අත්සන් කර කිසිදු ජාති භේදයකින් තොරව වාර්ෂිකව නොබෙල් ත්‍යාග පිරිනැමීම සඳහා ඔහු සතු ධනයෙන් හා දේපළවලින් වැඩි කොටසක් වෙන් කර තිබේ. මේ සඳහා ඔහුගේ වත්කම්වලින් 94%ක්ම ස්වීඩනයේ රාජකීය විද්‍යායතනයට පවරා දුන් බව ද සඳහන් වේ. ඒ අනුව 1896 දෙසැම්බරයේ 10 වැනිදා ඇල්ෆ්‍රඩ් නොබෙල් මෙලොව හැර යෑමෙන් වසර 5කට පසු ආරම්භ වූ නොබෙල් ත්‍යාග පිරිනැමීම මෙවර සිදු වන්නේ 123 වතාවටය. මේ දීර්ඝ කාලපරිච්ඡේදය අතර පදක්කම් සොරා ගැනීමට ලක් වීම, රාජසන්තක කිරීම, මතභේදයට තුඩු දීමෙන් වෙන්දේසි කිරීම, ත්‍යාග ප්‍රතික්ෂේප කිරීම ආදී වශයෙන් විවිධ හැලහැප්පීම් කන්දරාවකට ලක්වී ඇත.

නොබෙල් ත්‍යාග ඉතිහාසයේ විශේෂ අවස්ථා

වසර 1914දී සහ 1926දී භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග දිනූ ජර්මන් ජාතිකයන් වන මැක්ස් වොන් ලොයිට සහ ජේම්ස් ෆ්‍රෑන්ක්ට දෙවැනි ලෝක මහා යුද සමයේදී හිට්ලර්ගෙන් මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් එම රන් පදක්කම් එක්තරා රසායනාගාරයකදී උණුකර දැමූ බවත් එහිදී ඉතිරි වූ රන් කැබැලි සඟවා තබා යුද්ධයෙන් පසු නැවත ස්වීඩනයේ බලධාරීන්ට භාර දී ඔවුන්ගේ පදක්කම් අලුතින් සකස් කර ගත් බවත් සඳහන් වේ. නොබෙල් ත්‍යාග ලැබීම හිට්ලර් විසින් තහනම් කරනු ලැබීම හේතුවෙන් එම ත්‍යාගවලට හිමිකම් කී තවත් ජර්මානු විද්‍යාඥයන් සිවු දෙනකුට සිය ත්‍යාග ප්‍රතික්ෂේප කිරීමට සිදුවී තිබූ අතර, යුද්ධයෙන් පසු නැවත ඉල්ලුම් කිරීමෙන් පදක්කම් ලබා දීමට ස්වීඩනයේ රාජකීය විද්‍යායතනය පියවර ගෙන තිබිණි. එහෙත් පදක්කම සමඟ පිරිනැමෙන මුදල් ත්‍යාගය ලබා නොදුන් බවත් වාර්තා විය. වසර 1991 නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කී මියන්මාරයේ අවුන්සාන් සුකී ඒ වන විට නිවාස අඩස්සියේ පසුවීම හේතුවෙන් එම ත්‍යාග ලබාගැනීමට නොහැකිවූ බවත් ඇගේ පවුලේ සාමාජිකයන්ට පවා ඒ සඳහා සහභාගි වීමට එවකට පැවති මියන්මාර රජය අවසර නොදුන් බවත් වැඩිදුරටත් වාර්තා විය. වසර 1993දී දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලාට සහ හිටපු ජනාධිපති එෆ්.ඩබ්.ඩි ක්ලාක්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවූ අතර, ක්ලාක්ගේ නොබෙල් පදක්කම 2022දී ඔහුගේ නිවෙසේ සිදුවූ කොල්ලකෑමකදී අතුරුදන්වූ බවත් වාර්තා විය. මීට අමතරව අවම වශයෙන් තවත් අටදෙනකුගේ නොබෙල් පදක්කම් සොරකමට ලක්වී තිබූ අතර, 1954දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ විශ්ව කීර්තියට පත් අමෙරිකානු සාහිත්‍යවේදී අර්නස්ට් හෙමිංවේගේ පදක්කම ද ඒ අතර වේ.

ලොව කීර්තිමත් සහ ගෞරවනීය ත්‍යාග ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලෝක ප්‍රකට පුද්ගලයන් අතර මාරි කියුරි, ඇල්බට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයන්ද, මාටින් ලූතර් කිං සහ තෙරේසා මව්තුමිය ඇතුළු මානව හිතවාදීන් ද, රබීන්ද්‍රතාන් තාගෝර් වැනි සාහිත්‍යධරයන්ද සිටින අතර, 2019දී රසායන විද්‍යා ත්‍යාගය ලැබූ 97 හැවිරිදි අමෙරිකානු ජාතික ජෝන් බැනිස්ටර් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ වයස්ගතම පුද්ගලයා ලෙසත් 2014දී නොබෙල් සාම ත්‍යාගය ලැබූ එවකට 17 හැවිරිදි වියෙහි පසුවූ පාකිස්තානයේ මලාලා යූසෆ්සායි එම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම පුද්ගලයා ලෙසත් ඉතිහාසයට එක්වී සිටී.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division