වත්මන් ගෝලීය දේශපාලනමය විෂයය පථය තුළ ජාත්‍යන්තර ගැටුම් මෙන්ම අභ්‍යන්තරික සන්නද්ධ ගැටුම් ද අන් කවරදාකටත් වඩා වැඩි වේගයෙන් හා නව ස්වරූපයකින් සක්‍රියව ඇත. මේ කිසිදු ගැටුමක් නිමාවන සේයාවක් හෝ දිස් නොවේ. කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ද මෙම ප්‍රවණතාව දිස්වේ. උතුරු අමෙරිකානු මහාද්වීපයට අයත් කැරිබියන් සමුද්‍රීය කලාපයේ පිහිටි “හයිටි” (Haiti) රාජ්‍යය ද මාරාන්තික සන්නද්ධ කල්ලි ප්රචණ්ඩත්වයකින් (Armed Gang Violence) කැලඹී ඇත.
හයිටි වැසියන් දහස් ගණනින් අසල්වැසි ඩොමිනිකන් රාජ්‍යයට පලා යමින් සිටී. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව හයිටි වැසියන් 700,000ක් පමණ අභ්‍යන්තරිකව අවතැන් වී ඇත. සන්නද්ධ කල්ලි 200ක් පමණ මේ වන විට සක්‍රියව ඇති හයිටි රාජ්‍යයේ G9 (ජිමී බාබෙකියු නායකත්වය) හා GPep (ගාබ්‍රියල් ජීන්) සන්නද්ධ කල්ලි දෙක හයිටි රාජ්‍යයේ අගනුවර වූ Port-au-Prince හි උත්සන්න කරනු ලැබූ ප්රචණ්ඩත්වය මර්දනය කරනු ලබන්නේ කෙසේද යන්න ලෝක නායකයන්ට පවා මේ වන විට ගැටලුවක් වී ඇත. නොබෝදා අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇන්ටනි බ්ලින්කන් නිව්යෝක්හි එක්සත් ජනපද මහා මණ්ඩලයේදී හයිටි ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ද කැඳවා එහි මුලසුන හොඹවනු ලැබීය.
හයිටි සන්නද්ධ කල්ලිවල ආරම්භය
හයිටි සන්නද්ධ කල්ලිවල ප්රභවය එය 1950 හා 60 ගණන්වලට දිව යන්නකි. එවකට පාලන බලයේ සිටි ආඥාදායක පාලක Francois Duvalier ප්‍රසිද්ධව සිටියේ (Papa Doc) නමිනි. මෙම ආඥාදායක පාලන තන්ත්රය තුළ හයිටි හමුදාව හා ආරක්ෂක බළකායන් දුරස්ව තැබූ අතර, ආඥාදායක පාලක තමන්ට අභිමත පරිදි Militia (මිලිෂියා) කණ්ඩායම් නිර්මාණය කරගනු ලැබීය. ඇත්ත වශයෙන්ම දේශපාලනඥයන්, ඉහළ ප්‍රභූ පාන්තිකයන් හා ව්‍යාපාරික ප්‍රජාවට ස්වකීය අභිමතාර්ථයෙන් ක්‍රියාවට නංවා ගැනීම උදෙසා බිහි කළ මෙම Militia කණ්ඩායම් ස්වකීය පෞද්ගලික අවශ්‍යතා උදෙසා ද යොදවා ගනු ලැබීය. වත්මන් පාලක රජය පෙරළා දමා හයිටිය තුළ අද වන විට සන්නද්ධ කල්ලිවල නොනවතින ප්රචණ්ඩත්වයේ පසුබිම නිර්මාණය වූයේ ඉහත තත්ත්වය තුළ බව හොඳින්ම පැහැදිලි වේ. හයිටි රාජ්‍යයේ හිටපු අගමැති Ariel Hanry ඉල්ලා අස් වූයේ ද මෙවැනි ප්රචණ්ඩ, අස්ථාවර දේශපාලනික වපසරිය තුළය.
හයිටි ජනපති lovenel moise 2022 ජූලිවලදී ඝාතනයට ලක්වීමෙන් පසු හයිටි සන්නද්ධ කණ්ඩායම්වල ප්රචණ්ඩත්වය උත්සන්න වූ බව පැවසුවහොත් එය නිවැරදිය. මෙය හුදෙක් දේශපාලනික විරෝධයක් පමණක් නොව විවිධ ඝාතන, සාපරාධි ක්‍රියා, අපචාර ක්‍රියා ආදියෙන් ගහන වූ ඒ ඒ කණ්ඩායම් රිසි රිසි අයුරින් රාජ්‍ය ආයතන වෙත ප්‍රහාර එල්ල කරමින් සිවිල් සමාජය තුළ ත්‍රාසය හා භීතිය පතුරවමින් පතුරවන්නා වූ අමුතුම ආකාරයේ ප්රචණ්ඩත්වයකි.
මෙම සන්නද්ධ කල්ලි මේ වන විටත් හයිටි අගනුවර, ප්‍රධාන පොලිස් ස්ථාන, ජාත්‍යන්තර ගුවන් තොටුපළ ස්වකීය අණසකට යටත් කොට ගෙන අවසානය. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රධානි voiker truck ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ හැඟීමකින් තොරව සිදු වන මේ සාපරාධී ක්‍රියා හමුවේ හයිටිය තුළ තවදුරටත් නැතිවීමට දෙයක් නොමැති බවය.
හයිටිය තුළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම
හයිටි රාජ්‍යය ආරම්භයේ පටන්ම ජාත්‍යන්තර සබඳතා විෂයය පථය තුළ ඉතා සංකීර්ණ සබඳතාවක් ගෙන ගිය රාජ්‍යයක් වන අතර, මුල පටන්ම හයිටි වැසියන්ගේ පිළිගැනීම වූයේ මේ තත්ත්වයන් විදේශ මැදිහත්වීම නිසා උද්ගත වූවක් බවය. හයිටි සිවිල් සමාජය තුළ හයිටින් කැරිබියන් නායකයන් සමඟ සංක්‍රාන්තික කවුන්සිලයක් පිළිබඳ (transitional council) සාකච්ඡා ගෙන ගිය නමුත් ඒවා බොහෝමයක් අසාර්ථක වූයේ, හයිටි දේශීය නායකයන්ට යම් ආකාර සැලැස්මකට එකඟ වීමට ඇති නොහැකියාව නිසයි. අමෙරිකා එක්සත් ජනපදය මෙම තත්ත්වය තුළ හයිටියේ හිටපු අගමැති Ariel Hanry නැවත බලයට පැමිණවීම පිළිබඳ යෝජනාවක් ගෙනවිත් ඇත. කෙන්යාව පවසන්නේ ජාත්‍යන්තර පොලිසිය ප්රමුඛ කොටගත් සභාගයක් මඟින් නැවත හයිටියේ සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කළ යුතු බවය.
ඇත්ත වශයෙන්ම හයිටි රාජ්‍යය, අමෙරිකා එක්සත් ජනපදයට උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත්ය. එසේම අමෙරිකා එක්සත් ජනපදයේ සමීපතම වෙළෙඳ සගයෙක් ද වේ. ඓතිහාසිකව ගත් විට අමෙරිකා එක්සත් ජනපදය “කොමියුනිස්ට් කියුබාව” සමඟ සබඳතා ප්රතිතුලනව තබා ගැනීමට හයිටි රාජ්‍යය උපායමාර්ගිකව භාවිත කළ බව විදෙස් සබඳතා විශ්ලේෂකයන්ගේ අදහසය.
හයිටි ආර්ථිකයට කුමක් සිදු වීද?
හයිටි ආර්ථිකය මේ වන විට පවතින්නේ ඉතාම නරක තත්ත්වයක බව පැවසුවහොත් එය නිවැරැදිය. ලතින් අමෙරිකානු හා කැරිබියන් කලාපයේ දුප්පත්ම රට බවට හයිටි රාජ්‍යය පත්ව ඇත. අනෙක් අතින් ලෝකයේ දරිද්‍රතාවෙන් ඉහළම රටවල් කාණ්ඩය තුළ ද පවතී. 2023 වර්ෂයේ දෙවැනි කාර්තුව වන විට හයිටියේ වාර්ෂික උද්ධමන අනුපාතය 44.2%ක ඉහළ අනුපාතිකයකි. ආර්ථික වර්ධනය කොතරම් නිශේධනීයද යත් 2024 වන විට එය 1.8 අනුපාතිකව පවතී.
හයිටි සන්නද්ධ කල්ලි ප්රචණ්ඩත්ව විවරණය
හයිටි රාජ්‍යයේ දශක ගණනාවක පටන්ම සිදු වන මහා පරිමාණ ප්රචණ්ඩත්වය, ඝාතන හේතුවෙන් අවසානයේදී නව ආකාරයේ ජනප්‍රිය නැඟීම් හා දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පසුබිම සකසනු ලැබීය. පාලක දේශපාලන පන්තිය විරුද්ධ පාක්ෂික කොටස් හා ප්‍රභූ පන්තිය සමඟ ද සන්නද්ධ කල්ලිවල පවතිනු පැහැදිලිසබඳතාව, වත්මන් පාලනයකින් තොර කැලඹිලි සහගත විෂයය පථය නිර්මාණය කරනු ලැබීය. හයිටි ජනපති Moise ගේ ඝාතනයෙන් පසු මෙම සන්නද්ධ කල්ලි හයිටි රාජ්‍යය තුළ දැක්වූ හැසිරීම විස්තර වූයේ ඔවුන් ස්වයං-ප්රකාශනයක් අනුගමනය කරන ආකාරයකි. මහජන ප්‍රදර්ශනය හමුවේ මෙම සන්නද්ධ කල්ලි ඒත්තු ගැන්වීමට තැත් කරනු ලැබුවේ ඔවුන් ප්‍රජාවගේ නායකත්වයන් ලෙසින් පෙනී සිටීමටය. මෙම ස්වරූපය ඔස්සේ රාජ්‍ය පාලනයට ඉතා පහසුවෙන් සම්බන්ධ වීමට අවශ්‍ය මාවත සකසා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වූ බව දේශපාලන විද්වතුන්ගේ අදහසයි. මේ වසරේ මාර්තු පටන් හයිටි රාජ්‍යයේ ප්රචණ්ඩත්වය හේතුවෙන් සතියකට හයිටි වැසියන් 10,000ක් පමණ ඩොමිනිකන් රාජ්‍යයට පැමිණීම මේ වන විට විශාල ගැටලුවක්ව පවතී. ඇමරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේ (Organisation of American States – OAS) හයිටි වැඩබලන නියෝජිතවරිය ප්‍රකාශ කර ඇත්තේ, ඩොමිනිකන් රාජ්‍යය වෙතින්, ජාතිය හා සමේ වර්ණය මත පදනම්ව හයිටි වැසියන්ට ඩොමිනිකන් රාජ්‍යයෙන් වෙනස්කමක් සිදු වන බවත්, මේ තත්ත්වය OAS හි වහ වහාම සාකච්ඡාවට බඳුන් විය යුත්තක් බවත්ය.
සැප්තැම්බර් 5 හා 6 යන දෙදින තුළ ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇන්ටනි බ්ලින්කන් හයිටි හා ඩොමිනිකන් යන රාජ්‍යයන්වල නිල සංචාරයකට එක් වී ඇත. ඒ, හයිටියේ වත්මන් උග්‍ර ප්රචණ්ඩත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවකට බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. හයිටි අගමැති Garry Conille හා හයිටි සංක්‍රාන්තික කවුන්සිලයේ සම්බන්ධීකාරක Edgard Leblane Files හමුවී, හයිටි රාජ්‍යය ප්රජාතන්ත්රවාදී මාවතකට ගෙන ඒමට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් වේ. ඊට සමගාමීව ඩොමිනිකන් රාජ්‍යයේ ජනපති ද හමු වී ඇති බ්ලින්කන් හයිටි ජනතාව ඩොමිනිකන් රාජ්‍යයට ඇදී ඒමේ ප්‍රවණතාව පිළිබඳව ද විශේෂ සාකච්ඡාවකට යොමු වී ඇත. ඇමරිකා ජනපදය හා හයිටිය අතර සබඳතාව කැරිබියන් කලාපයේ ආරක්ෂාවට ඉතා වැදගත් ලෙස බලපායි.
පී. ආර්. දුෂාන්ති සිල්වා