පසුගියදා නිමාවට පත්වූ ජනාධිපතිවරණයට සෑම කෙනෙකුගේ දැඩි අවධානයක් යොමුව තිබිණි. එදින රටේ ජනතාව තුළ ජනාධිපතිවරණයට සිත් යොමු වෙද්දී ගම්පොළ ප්‍රදේශයෙන් ශෝචනීය පුවතක් වාර්තා විය. එම හද කම්පා කරවන කතාන්දරය මෙලෙසිනි.
ඉකුත් ජනාධිපතිවරණය දා ඡන්දය ප්‍රකාශ කිරීමට නිවසින් පිටවී ගිය හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකුගේ තුවාල සහිත මළසිරුර ගම්පොළ, සැංකුවාර් අටබාගේ ඔයේ තිබී හමුවිය. ඒ සමඟම ප්රදේශවාසින්ගේ දැඩි අවධානය එම ඛේදනීය පුවත කෙරෙහි යොමු විය. පුස්සැල්ලාව පොලිසියට ඒ බව සැලවීමත් සමඟ පුස්සැල්ලාව පොලිසිය මූලික විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ සැංකුවාර් උඩ කොටස පදිංචි කරුපයියා බාලසුබ්රමනියම් නමැති පුද්ගලයකු බවට තොරතුරු හෙළි වන්නේ පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදීය. මොහුගේ බිරිය වන ශාන්තිනී බාලසුබ්රමනියම් පවසන්නේ මවගේ නිවසේ සිටි සැමියා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවෙසින් උදෑසන හයයි තිහට පිටව ගොස් ඇති බවයි. ඔහු නිවෙසින් පිටව යනු දුටු අයගෙන්ද පොලිසිය තොරතුරු ලබාගෙන ඇත්තේ සිදු කරන විමර්ශන සඳහා උපයෝගී කරගැනීමටය.
කරුපයියාගේ මව වන සින්නවිජයන් විජේකුලමේරි පවසන්නේ දහවල් 1 ට පමණ ඔහු සමඟ සිටි මිතුරන් දෙදෙනෙකු තම නිවසට පැමිණි බවත් ඔවුන්ගෙන් තම පුතා ගැන ඇසූ විට පුතු ගැන නොදන්නා බවත් මොවුන් තමාගෙන් බත් ඉල්ලාගෙන කෑ බවත්ය. එම පුද්ගලයන් දෙදෙනා ගැන පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබිණි.
කරුපයියාගේ හිස් වැසුම මොවුන්ගෙන් එක් අයෙකු හිසේ නමාගෙන සිටි නිසා තමාට සැකයක් මතු වූ බවද මව පොලිසියට පැවසුවාය. මවගේ ප්‍රකාශයක් පොලිසිය විසින් සටහන් කරගන්නේ ඉන් අනතුරුවය.
දණහිස ළඟටවත් ජලය නොමැති ඔයේ කරුපයියාගේ සිරුර දමා තිබුණේ ඔහු හැඳ සිටි කලිසම් සාක්කුවලට ගල් දමා සිරුර ගිල්වමින් බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව කරුපයියාගේ මරණය ඝාතනයක්දැයි පොලිසිය සැක කරයි. කරුපයියා සමඟ සිටි මිතුරන් දෙදෙනා පිළිබඳව සැකයක් ඇති බව පොලිසිය හා ඥාතීහු පවසති.
එසේම පොලිසිය පවසන්නේ කරුපයියාට හිමි ඡන්ද කාඩ් පත්‍රය නිවසට ලැබී නොමැති බවය. පොලිසිය ඒ ගැනද විමර්ශන සිදු කරන්නේ කරුපයියා ඡන්ද පොළට යනවා යැයි කියා නිවසින් පිට වූ නිසාය.
ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් බර්නාඩ් උඩුගම රාත්‍රී හතට පමණ ඒ ස්ථානයට පැමිණ පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සිරුර මහනුවර මහ රෝහල වෙත රැගෙන යන ලෙස නියෝග කළේය.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක, පොලිස් අධිකාරී එච්.එම්. හේරත් නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොළ අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, සැරයන් 21002 බන්දුල රත්නායක, කාන්තා පොලිස් සැරයන් 2972 ඉනෝකා පුස්සැල්ලාව, පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති එම්.එම්.එච්. එස්. යාලේගම, සැරයන් පාලිත යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගම්පොළ -සුරංග දිල්හාන්