Home » පණ බේරා දුන් නිලධාරින් සොයාගෙන පොලිසියට ආ ගව රංචුව

පණ බේරා දුන් නිලධාරින් සොයාගෙන පොලිසියට ආ ගව රංචුව

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

– චිකාගෝ ගේමක් ගසා ගවයින් 13කගේ පණ බේරූ හක්මන ඕ.අයි.සී.ට හැමදෙනාගෙන්ම පැසසුම්
– අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන හොර හරක් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා තම තමන්ගේ පොලිස් ස්ථාන සිය බලප්‍රදේශවල විශේෂ සෝදිසි කිරීම් සිදුකරනා ලෙසට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ දී තිබූ උපදෙස් මත හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර විශේෂ අවධානයකින් කටයුතු කළේ හක්මන මීඇල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් හොර හරක් ජාවාරම ජයටම ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට ඔහුට තොරතුරු ලැබී තිබූ බැවිනි.

ඒ අනුව තොරතුරුකරුවෙකු විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර වෙත පසුගිය දිනක හදිසියේ ලබා දෙන ලද තොරතුරකින් කියවුණේ මීඇල්ල ප්‍රදේශයේ විශේෂ ස්ථානයකට එළගවයන් රැසක් රැගෙනවිත් ගාල්කර එදින මධ්‍යම රාත්‍රියේ ගාල්ල ප්‍රදේශයට රහසිගත ලෙස රැගෙන යාමට සැලසුමක් තිබෙන බවයි.  

තමා බලාපොරොත්තුව සිටි එම තොරතුරත් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර තම නිලධාරීන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදියකින් එම ප්‍රදේශයට යවා ආවේක්ෂණ රාජකාරියේ නිරත කරනු ලැබුවේය. ඔවුන්ගේ ආවේක්ෂණ තොරතුරු සනත් කුමාර විසින් විටින් විට ලබා ගනිමින් සිටියේ, ලද විගස මෙහෙයුමක් දියත් කර හොර හරක් ජාවාරම්කරුවන් කණ්ඩායම නීති රැහැනට කොටු කර ගැනීම සඳහාය.

තොරතුරුකරුගෙන් ලද තොරතුර වඩාත් තහවුරු කරමින් මීඇල්ල ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එදින රාත්‍රී 11ට පමණ වඩාත් තහවුරු කර ගත් තොරතුරක් ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරට ලබා දුන් අතර, ඉන් කියවුණේ තව මොහොතකින් යතුරුපැදියක් සහ මෝටර් රථයක් පෙරටු කොට ගනිමින් සොරකම් කරන ලද එළගවයින් පැටවූ ලොරි රථයක් ගාල්ල ප්‍රදේශය බලා පිටත් වීමට නියමිත බවයි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර, සැරයන් 75363 සම්පත්, කොස්තාපල්වරුන් වන 97648 ප්‍රනාන්දු, 96510 දර්ශන, 99837 ලහිරු, 99147 සූරියආරච්චි, 99148 චමිල සහ 97878 කවිදීපන් යන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමත් සමඟ ජීප් රථයෙන් මීඇල්ල දෙසට ගමන් කරමින් සිටි අතර, ආවේක්ෂණ රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් යළිත් වරක් කියැවුණේ හරක් හොරුන් කණ්ඩායම පෙර කී ලෙස වාහන තුනකින් ඉදිරියට පැමිණෙමින් සිටින බවයි.

පොලිස් නිලධාරීන් කණ්ඩායම සමඟ සිවිල් ඇඳුමින් සිටි එක් නිලධාරියෙකු මාර්ගයට යවා හරක් හොරු කල්ලිය පැමිණෙනවාද යන්න විමසීම් කර බැලූ අතර, එම නිලධාරියා දන්වා සිටියේ යතුරුපැදිය, මෝටර් රථය සහ ලොරිය වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින බවයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර තම ජීප් රථය පණ ගන්වා ගෙන සූදානමින් සිටියේ පොලිස් අණ නොතකා ලොරිය ධාවනය වුවහොත් ඒ පිටුපස පන්නා යාමටයි. සනත් කුමාරගේ සැකය නිවැරදි කරමින් යතුරුපැදිය, මෝටර් රථය සහ ගවයින් පටවන ලද ලොරිය පොලිස් අණ නොතකා වේගය වැඩි කරමින් ධාවනය කරන්නට වූ අතර, තම ජීප් රථයට පොලිස් නිලධාරින් නංවාගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර පවනට බඳු වේගයෙන් ලොරිය පසුපස පන්නා යද්දී ලොරි රථය පැයට කිලෝමීටර 120 තරම් වේගයෙන් ධාවනය කරන්නට විය.

මෙලෙස වේගයෙන් යාමට හේතුව හොර හරක්ට අමතරව මත්ද්‍රව්‍ය ද ලොරි රථයේ ඇත ය යන සැකය මත ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ජීප් රථයේ ඉදිරිපස සිටි නිලධාරියාට උපදෙස් ලබා දුන්නේ තම අත ඇති පිස්තෝල ගිනි අවියෙන් ලොරි රථයේ ටයර්වලට වෙඩි තබන ලෙසයි.

ඒ අනුව ක්‍රියාත්මක පොලිස් නිලධාරියා පිස්තෝලයෙන් ලොරියේ ටයර්වලට වෙඩි තැබීමක් සිදු කළ ද වාහන දෙකෙහිම වේගවත් ගමන හේතුවෙන් ඉලක්කය වැරදී යද්දී ලොරියේ වේගය තව තවත් වැඩි වූ අතර, ලොරියේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ මෝටර් රථය වේගය අඩාළ කොට ලොරියට ඉදිරියට යාමට ඉඩ දී ජීප් රථයේ ගමනට බාධා කරන්නට විය.

ඒ සමඟින් ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර අවට පොලිස් ස්ථාන සහ පොලිස් මාර්ග බාධක ස්ථාපිත ඇති ස්ථාන වෙත මෙන්ම අධිවේගී මාර්ගවල පිවිසුම් දොරටුවල රාජකාරියේ නිරත පොලිස් කණ්ඩායම් වෙතද කඩිනමින් දැනුම් දෙනු ලැබුවේ පොලිස් අණ නොතකා ගවයින් පටවාගත් ලොරියක් හා මෝටර් රථයක් වේගයෙන් පැමිණෙන බැවින් වහා එය නවතා එහි සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙසයි.

ඒ අනුව සනත් කුමාර යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට වහා දැනුම් දුන්නේ ලොරිය පිටුපස පන්නා යන ලෙසයි.

යටියන මාර්ගයේ කැකණදුර දෙසට වේගයෙන් පැමිණි ලොරිය එකවර කොළඹ දෙසට ඇති අධිවේගී පිවිසුමට හරවද්දී එහි පොලිස් නිලධාරීන් සිටිනු දැක වහා හරවා යළි යටියන මාතර මාර්ගයට පිවිස ධාවනය කර හම්බන්තොට දෙසට යාමට ඇති අධිවේගී පිවිසුමට ගමන් කළ අතර, එහිද පොලිස් නිලධාරීන් රැකවල්ලා සිටිනු දැක හරවා කැකණදුර දෙසට වේගයෙන් ධාවනය කළ අතර එම දෙස සිට පොලිස් නිලධාරින් පැමිණෙනු දැක යළිත් හරවා යටියන නගරය දෙසට ගමන් කිරීමට පටන් ගත්තේ ක්ෂණිකවය. ඒ අතර යටියන නගරයේ සිට කැකණදුර දෙසට ජීප් රථයෙන් පැමිණෙමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරට ලොරිය පිටුපසින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරින් දැනුම් දුන්නේ ලොරිය යටියන දෙසට යළි ගමන් කරමින් සිටින බවයි. ඉන් ප්‍රයෝජනයක් ගැනීමට ක්‍රියා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර යටියන මාර්ගයේ ඇති කුඩා ඉඩක් සහිත යකඩ පාලම අසල මාර්ග බාධකයක් යොදා සන්නද්ධ පොලිස් නිලධාරින් සමඟ රැඳී සිටි අතර වේගයෙන් පැමිණි ලොරිය මාර්ග බාධකය පසුකර යා නොහැකිව එක තැන නතර කර එහි සිටි පුද්ගලයින් දෙදෙනකු පැන දුවද්දී වහා එම ස්ථානයට කඩා වැදුණු පොලිස් නිලධාරින් කණ්ඩායම එහි සිටි රියදුරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේය.

ලොරි රථය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා අමානුෂික ලෙස ගැට ගසා හිරකර සිටි එළගවයින් අට දෙනෙකු සහ මී ගවයින් පස්දෙනකු පොලිස් භාරයට ගනු ලැබීය. ලොරියට ආරක්ෂාව සැපයූ යතුරුපැදිය හා මෝටර් රථය සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කළද ඒ වන විටත් ඔවුන් ප්‍රදේශය මඟහැර පලා ගොස් සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ගව රංචුව රැගත් ලොරිය හක්මන පොලිස් ස්ථානයට රැගෙන වැඩිදුර තොරතුරු සටහන් කර ගැනීමෙන් පසු සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරිණි.

දින කිහිපයක් පොලිස් නිලධාරින්ගේ ආදරය ලබමින් සිටි ගව රංචුව උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත ප්‍රදේශයේ කිරි ගොවීන් වෙත ලබාදීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර විසින් කටයුතු කළ අතර, එලෙස ලබා දෙන ලද ගවයින් දින කීපයකට පසු නැවත පොලිස් ස්ථානයට ආරක්ෂාව පතා පැමිණීම දුටු දුටුවන්ගේ නෙතට කඳුළක් එක් කළ අවස්ථාවක් විය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත සහකර පොලිස් අධිකාරී මාතර දිස්ත්‍රික් 01 ජයසුන්දරගේ අධීක්ෂණයෙන් හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු පොලිස් කණ්ඩායමක් සෙසු සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇත.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division