– නොකළ වරදකට පොලිසියට කොටුකළැයි තරහට පියසේන ඝාතනය කළ සැකකරු රටින් ගිහින්
– හැත්තෑහතර හැවිරිදි පියසේන මුණසිංහගේ අබිරහස් ඝාතනය සිදුවන්නේ 2021 වසරේ අප්‍රේල් 09දා
අපරාධයක් සිදුකර සදාකල් වසන් වී සිටිය නොහැකි බව පොලිස් විමර්ශන හෙළිකරන පරම සත්‍යයයි. විශේෂයෙන්ම ඒ සඳහා ප්‍රධානකොට බලපාන කරුණක් වනුයේ දක්ෂ පොලිස් නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශනයි. ඇතැම් පොලිස් නිලධාරින් නිසි ලෙස තම රාජකාරිය ඉටු නොකරන නිසා අපරාධකාරයන් නිදැල්ලේ පසුවෙද්දී දිවා-රෑ නොතකා සිය රාජකාරියටම කැපවූ දක්ෂ පොලිස් නිලධාරින් සිදුකරන සූක්ෂ්ම විමර්ශන නිසා අපරාධකාරයන්ට කිසි විටෙක පලා යාමට ඉඩ නොලැබේ. දින, සති, මාස නොව වසර ගණනාවක් ගෙවී ගොස් හෝ අපරාධකාරයා නීතියේ රැහැනට කොටුකර ගැනීමට දක්ෂ පොලිස් නිලධාරින් සමත් වේ.
මීට වසර තුනහමාරකට පමණ පෙරදී එනම් 2021 අප්‍රේල් 09 වැනිදා රාත්‍රියේ සිදු වූ මිනිස් ඝාතනයක සැකකරු හරියටම වසර තුනහමාරකට පසු එනම් ඉකුත් ඔක්තෝබර් 09 වැනිදා දහවලේ අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි වූයේ එහි දක්ෂ පොලිස් නිලධාරියකු සිදුකළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.
එවකට රුවන්වැල්ල පොලිස් වසමට අයත් වර්තමානයේ ගලපිටමඩ පොලිස් වසමේ බෝගහහේන, දුනුමාල පාරේ, අංක සී47 ලිපිනයේ පදිංචිව සිටි 74 හැවිරිදි මුණසිංහලාගේ පියසේන 2021 අප්‍රේල් 09 වැනිදා රාත්‍රියේ ගලපිටමඩ, අක්කර 50, රබර් වත්ත ඔස්සේ ගමන් කරමින් සිටියදී කිසිවකු විසින් ඝාතනය කර තිබිණි. ඔහුගේ මළසිරුර පසුදා ප්‍රදේශයේ පදිංචිකරුවන්ට හමුවීමෙන් පසු විමර්ශන සිදු කෙරුණේ එවකට අදාළ පොලිස් වසම වන රුවන්වැල්ල පොලිස් ස්ථානයේ නිලධරයන් විසිනි. පොලිස් විමර්ශන සිදු වුවද නිදැල්ලේ පසුවූ ඝාතකයා මාස හයකට පමණ පසු රටින් ද පලා ගොස් සිටියේය.
එම ඝාතනය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට භාර කිරීමත් සමඟ එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනියගේ උපදෙස් මත එම ඒකකයේ කොස්තාපල් 70701 සම්පත් අරුණශාන්ත මාස කීපයක් තිස්සේ විවිධ පැති ඔස්සේ සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් සැකකරු අත්අඩංගුවට ගැනුණේ පසුගිය ඔක්තෝබර් 9 වැනිදාය. ඒ සැකකරු විදෙස් රටක සිට මෙරටට පැමිණ වසරකට අධික කාලයක් ගාල්ල දිස්ත්‍රික්කයේ බටපොළ පොලිස් වසමේ ගෝනපීනුවල, අලුත්වල, රත්මැහැර ජනපදයේ බෝඩිමක සැඟවී සිටියදීය.
සුසන්ත ප්‍රදීප් කුමාර නමැති එම සැකකරු සිදුකළ අහස – පොළොව නුහුළන අපරාධය මෙන්ම සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ විමර්ශන පෙළ ගැසෙන්නේ මෙලෙසය.
2021 වසරේ අප්‍රේල් මස 10 වැනිදා පෙරවරුවේ එවකට රුවන්වැල්ල පොලිස් වසමට අයත් ගලපිටමඩ, අක්කර 50, රබර් වත්තේ නාඳුනන මළසිරුරක් තිබෙන බවට ගම්මුන් අතර පුවතක් පැතිර යද්දී ඒ බව රුවන්වැල්ල පොලිසියට ද වාර්තා වී තිබිණි. මඳ වේලාවක් ගත විය. රුවන්වැල්ල පොලිසියට පැමිණියේ ගලපිටමඩ, දුනුමාල පාරේ, බෝගහහේනේ පදිංචිකරුවකු වන තුෂාර මුණසිංහ නමැත්තාය. ඔහු පොලිසියට පැමිණිල්ලක් කෙළේය.
“සර්… මගේ තාත්තා පියසේන මුණසිංහ… තාත්තා ඌරුවල… අක්කර 50… රබර් වත්තේදී ඊයේ රෑ මරලා දාලා… මිනිය වත්තේ තියෙනවා… උදේ වත්තේ ඒ හරියෙන් ගිය මිනිස්සු තමයි මුලින්ම දැකලා තියෙන්නේ…“ යැයි තුෂාර හැඬූ කඳුළින් යුතුව පොලිස් නිලධාරින් ඉදිරියේ පැවැසුවේ තම පියා කුරා කුහුඹුවකුටවත් වරදක් නොකළ අහිංසක පුද්ගලයකු බව කියමිනි. එවැනි පුද්ගලයකු වූ තම පියා ඝාතනය කෙළේ කවුද සහ ඒ කුමක් අරබයාද යන්න ඔහුට සිතා ගැනීමටවත් නොහැකි බව තුෂාරගේ පාපෝච්චාරණයෙන් හෙළි විය.
ඒ අනුව පොලිසියට ඒත්තු ගියේ ඊට පෙර නාඳුනන මළසිරුරක් ගැන පවසමින් කිසිවකු පොලිසිය දැනුවත් කළේ පියසේනගේ මළසිරුර ගැන බවය. එලෙස ඝාතනය කර තිබුණේ 74 හැවිරිදි පියසේන මුණසිංහය. ඔහුට පුතුන් දෙදෙනෙකි. එක් පුතෙක් ඇහැලියගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමකි. අනෙක් පුත්‍රයා තුෂාරය. ඔහු රජයේ රැකියාවක නියුතු අයෙකි. බිරිය ද කලකට පෙර මියගොස් සිටි පියසේන ජීවත් වූයේ පුතු තුෂාර සමඟිනි.
පියසේනගේ ඝාතනය පිළිබඳව රුවන්වැල්ල පොලිස් නිලධාරින් විසින් මූලික විමර්ශන ආරම්භ කළේ සීතාවක පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත්කොට අපරාධ ස්ථාන පරීක්ෂණාගාර (SOCO) නිලධාරින්, ඇඟිලි සලකුණු නිලධාරින් මෙන්ම නිල සුනඛයන් ද විමර්ශන සඳහා කැඳවමිනි. ඊට අමතරව අවට සිටි අය කීප දෙනෙකුගෙන්ම පොලිසිය ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු මළසිරුර අසල තිබූ නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත් දෑ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයේ නියෝග මත එම භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යොමු කෙරිණි.
එලෙස රුවන්වැල්ල පොලිසිය විමර්ශන සිදු කරමින් පවතිද්දී පියසේනගේ ඝාතනය පිළිබඳව සැකය ඔහුගේ පුතු තුෂාර වෙත ද එල්ල විය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත තුෂාරගේ ඩීඑන්ඒ පරීක්ෂාවක් ද සිදුකර තිබිණි. එම පරීක්ෂාවේදී ඝාතනය වූ ස්ථානයේ සාම්පල හා තුෂාරගෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල අතර කිසිම සැසඳීමක් සිදුවී නැත.
කලක් ගෙවිණි.
2023 වසරේ මාර්තු 14 දා පියසේනගේ ඝාතනය පිළිබඳව රුවන්වැල්ල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු නොවූ බව සඳහන් කරමින් නිර්නාමික ලිපියක් ලැබෙන්නේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රොහාන් ප්‍රේමරත්නටය. අනතුරුව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත එහි විමර්ශන භාර කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනිය වෙතය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනියගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි විමර්ශන භාර කෙරුණේ කොස්තාපල් 70701 සම්පත් අරුණශාන්ත වෙතය.
ගිය වසරේ අප්‍රේල් මාසයේ ලද එම විමර්ශනයට ක්‍රියාත්මක වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත කොස්තාපල් සම්පත් රුවන්වැල්ල ප්‍රදේශයට ගොස් බුද්ධි තොරතුරු රැස් කරමින් ආවේක්ෂණ රාජකාරියේ නිරත වූයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ තවත් පොලිස් නිලධාරින්ගේ ද සහාය ලබා ගනිමිනි.
එහිදී කොස්තාපල් සම්පත් රුවන්වැල්ල පොලිසිය සිදුකර තිබූ විමර්ශනයට සාපේක්ෂව වෙනත් පැතිකඩ ඔස්සේ විමර්ශනය සිදු කරමින් ඝාතනය වූ පියසේන සහ පැමිණිලිකරු ඔහුගේ පුත් තුෂාරගේ ඉතිහාස තොරතුරු හාරා අවුස්සද්දී මීට වසර 13කට පමණ පෙර තුෂාරගේ නිවසේ සිදුවූ සොරකමක් ගැන අනාවරණය කරගත්තේය.
2010 වසරේදී සිදුවූ එම සොරකම ගැන ගම්මුන් අතර සැකයක් ඇතිවූයේ ගමේ සිටින නිතරම නීති විරෝධි මත්පැන් පානය කරමින් ඒ හැටි රැකියාවක් නොකරමින් ‘නොසණ්ඩාල‘ දිවියක් ගතකරන සුසන්ත ප්‍රදීප් ගැනය. ගමේ වැදගත් පුද්ගලයෙක් වූ කා අතරත් ‘තුෂාර මහතා‘ නමින් ප්‍රකට තුෂාරගේ නිවසේ සිදුවූ සොරකමට සුසන්ත පිළිබඳ සැකය තීව්ර වූයේ ඒ දිනවලම සුසන්ත හිටිහැටියේම ත්‍රිරෝද රථයක්ද මිලට ගෙන තිබීම නිසාය. ඒ අනුව ගමේ පදිංචිකරුවෝ එම සොරකම පිළිබඳව විමර්ශන සිදුකළ රුවන්වැල්ල පොලිසියේ නිලධරයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ ‘සුසන්ත‘ගෙන් ද ඒ ගැන ප්‍රශ්න කරන ලෙසය.
එම නිසා පොලිස් නිලධාරින් සුසන්ත අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් එම සොරකම ගැන විමර්ශන සිදුකර තිබිණි. එහෙත් පසුකාලීනව එම සොරකම සම්බන්ධයෙන් වෙනත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟ සුසන්ත වෛර කෙළේ තමා ගැන පොලිසියට කියා ඇත්තේ තුෂාර සහ ඔහුගේ පියා පියසේන යැයි සිතේ නැඟුණු කෝපය ද සමඟිනි.
එහෙත් එම සොරකම සම්බන්ධයෙන් සුසන්ත ගැන පොලිසියට තොරතුරු ලබා දී තිබුණේ ගමේ ජනයා යැයි ඔහු දැන සිට නැත. කෙසේ හෝ තුෂාර සහ පියසේන සමඟ බැඳුණු එම වෛරයත් සමඟ සුසන්ත වසර ගණනාවක්ම ගතකර තිබිණි.
මෙකී සිදුවීම කොස්තාපල් සම්පත් සිය විමර්ශනයේදී අකුරක් නෑර සියල්ල අනාවරණය කරගත්තේය. ඒ සමඟම ඔහු මෙකී ඝාතනයට සුසන්ත අනිවාර්යයෙන්ම සබඳතාවක් ඇතැයි සිතා කොස්තාපල් සම්පත් ඔහු පසුපස පන්නන්නට විය. එහෙත් ඒ වන විට සුසන්ත ප්‍රදීප් කුමාර ගමේ නොවීය. ඔහු සුසන්ත සොයා ගොස් ඔහුගේ ගෙදර අයගෙන් සුසන්ත ගැන විමසීය. ඔවුන්ගෙන් සම්පත්ට දැනගන්නට ලැබුණේ සුසන්ත විදෙස්ගත වී සිටින බවය.
එහෙත් සුසන්තගේ විදෙස්ගත වීම පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූයේ සුසන්ත ඝාතනයෙන් මාස හයකට පමණ පසු එනම් 2021 වසරේ ඔක්තෝබර් 17 වැනිදා ඔහු විදෙස්ගතවී 2022 වසරේ සැප්තැම්බර් 19 දා නැවත මෙරටට පැමිණ ඇති බවයි.
කොස්තාපල් සම්පත් විමර්ශනයට අදාළව සුසන්තගේ ගෙදර අයගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන්ද පැවැසුවේ සුසන්ත ඒ වන විටත් විදෙස්ගතව සිටින බවය. දුරකතන විශ්ලේෂණ වාර්තා ඇතුළු නොයෙක් බුද්ධි තොරතුරු ඔස්සේ සිදුකළ සූක්ෂ්ම විමර්ශනයෙන් කොස්තාපල් සම්පත් අනාවරණය කරගත්තේ සුසන්ත මෙරට කොහේ හෝ පළාතක සිටින බවය. ඒ අනුව අනියම් බිරියක මාර්ගයෙන් ඔහු ලබාගත් දුරකතන සිම්පතක් ද භාවිත කරන බවද හෙළිදරව් කර ගැනිණි.
එම සිම්පත අයත් කාන්තාව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ගෝනාපිනුවල සිටින බව අනාවරණය කරගැනීමත් සමඟ කොස්තාපල් සම්පත් ඇය හමුවීමට ඉකුත් දිනෙක ගොස් තිබුණේ උපපොලිස් පරීක්ෂක පියල් දුනුසිංහ සමඟය. රහස් පොලිස් නිලධරයෝ සුසන්ත ගැන විමසා ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළහ.
“ඔබතුමිය මේ සුසන්ත ප්‍රදීප් කියන පුද්ගලයා දන්න කෙනෙක් ද? ඒ වගේම එයා කොහේද ඉන්නෙ…?“ යැයි පොලිස් නිලධරයෝ ඇගෙන් ප්‍රශ්න කළහ.
“සර්… මම එයා ගැන ලොකු විස්තරයක්නම් දන්නේ නැහැ… ළඟදි තමයි මම එයා හඳුනගත්තේ… ඔය කියන සුසන්ත දැන්නම් ඉන්නේ අහවල් තැන බෝඩිම් කාමරයක…“ යැයි කී ඇය සුසන්ත සිටින ස්ථානයේ සියලු තතු පොලිස් නිලධාරින් දෙදෙනාට පැවැසුවාය.
අනතුරුව එම කාන්තාවගේ පුත්‍රයාගේ සහාය ඇතිව අදාළ බෝඩිම් කාමරය සොයා ගිය පොලිස් නිලධාරින් බටපොළ පොලිස් වසමේ අලුත්වල, රත්මැහැර ජනපදයේ, අංක 37/28බී දරන නිවසේ කුඩා බෝඩිම් කාමරයක සැඟව සිටියදී සුසන්ත අත්අඩංගුවට ගත්තේ ඉකුත් ඔක්තෝබර් 09 දා දහවල් කාලයේය.
“තමුන් අපි අත්අඩංගුවට ගන්නවා… ඒ 2021 වසරේ අප්‍රේල් 09 දා රුවන්වැල්ල පොලිස් වසමේදී බෙල්ල මිරිකලා මිනිහෙක් මරපු චෝදනාවට…“ යැයි පොලිස් නිලධාරින් පැවැසීමත් සමඟ එකී සුසන්ත තිගැස්සී ගියේය.
ඒ අනුව සුසන්ත අත්අඩංගුවට ගැනුණේ හරියටම වසර තුනහමාරකට පෙරදී ගෙල සිරකොට පියසේන මුණසිංහ ඝාතනයකොට රටින් පලා යාමේ චෝදනාව මතය.
එලෙස අත්අඩංගුවට ගැනුණු දුරයින්ගේ සුසන්ත ප්‍රදීප් කුමාර 38 හැවිරිදිය. නිශ්චිත රැකියාවක් නොකළ ඔහු කලක් යුද හමුදාවේ කමාන්ඩෝ බළකායේ සේවයකොට පලා ආ අයෙකි. විවාහක පුද්ගලයකු වන ඔහු යුද හමුදා සේවයට එක්වීමට පෙර පැවිදි දිවියට ද ඇතුළුව සිටි අයෙකි. ඔහුගේ බාල සහෝදරයා ද මීට කලෙකට පෙර අනියම් සබඳතාවක් නිසා නියඟලා අල කෑම නිසා මිය ගොසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් එලෙස අත්අඩංගුවට ගත් සුසන්තගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේ අහිංසක පුද්ගලයකු ලෙස කා අතරත් හොඳහිත දිනා සිටි පියසේන ඝාතනය කළේ කුමක් නිසා ද යන්න සොයා ගැනීම සඳහාය.
එහිදී සුසන්ත සිදුවූ සියල්ල අකුරක් නෑර හෙළි කළේ තවදුරටත් රහස් පොලිසියට බොරු කිරීමට හැකියාවක් නොමැති බව ඔහුට වැටහුණු හෙයිනි. ඒ අනුව සුසන්ත විසින් මේ ඝාතනය සිදුකර තිබුණු ආකාරය පියවරෙන් පියවර හෙළිකර ගැනීමට රහස් පොලිස් නිලධරයන්ට හැකි විය.
දිනය 2021 වසරේ අප්‍රේල් මස 09 වැනිදාය. එදින දහවලේ සිටම සුසන්ත ප්‍රදීප් කුමාර කසිප්පු පානය කරමින් ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ කල් ගෙවීය. රාත්‍රිය වනතුරුම මත්පැන් පානය කළ සුසන්ත නිවසට යාම සඳහා මිතුරන්ගෙන් වෙන්විය. ඔහු නිවසට ගියේ පියසේනගේ නිවස දෙසින් තිබූ මාර්ගයෙනි. වේලාව රාත්‍රී 7.30 පසුවී තිබිණි. සුසන්ත නිවසට යන අතර අක්කර 50, රබර් වත්තේදී පියසේන මුහුණට මුහුණ හමුවිය.
ඒ වන විට ඔහු පරණ කෝන්තරයට පියසේන සහ තුෂාර සමඟ දැඩි වෛරයකින් පසු විය. සුසන්තගේ සිතේ වසර ගණනාවක් පුරාවට පැළපදියම්ව තිබූ එම වෛරය ඔහු පිට කෙළේ ඒ මොහොතේය. බමන මතින් පසුවූ සුසන්ත තමන්ගේ පාඩුවේ ගිය පියසේනගේ ඇඟට ගොඩ වෙමින් අඬදබරයක් ඇතිකර ගත්තේය.
“සර්… ඒ වෙලාවේ මට ආපු කේන්තියට පියසේන මාමට ගැහුවා… පස්සේ අපි දෙන්නම පොර බැදුවා… ඒ වෙලාවේ මං පියසේන මාමාගේ බෙල්ල මිරිකලා දැම්මා…“ යැයි සුසන්ත පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කළේය.
අනතුරුව සුසන්ත පැමිණි මාර්ගයෙන් නොගොස් වෙනත් මාර්ගයකින් නිවසට ගියේය. ඒ අතරේ ඔහු සමඟ මත්පැන් පානය කළ මිතුරෙක් සුසන්ත සොයා පැමිණියේය. එම මිතුරා සුසන්තට අමතකව දමා ගිය ඔහුගේ ජංගම දුරකතනය ද රැගෙන එලෙස පැමිණෙමින් සිටියේය. සුසන්තද තවත් මිතුරෙකුගේ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගෙන ඔහු සිටි ස්ථානය පවසා තමාගේ දුරකතනය එම ස්ථානයට ගෙන්වා ගත්තේය.
ඉන් පසුව සුසන්ත නිවසට ගියේය. ඒ යන විට නිවසේ සිටි මව සහ බිරිය නින්දට ගොසිනි. දොර විවරකොට නිවසට ඇතුළු වූ සුසන්ත ඇඳ සිටි ඇඳුම් ගලවා වෙනත් ඇඳුමක් ඇඳ රාත්‍රී ආහාරයද නොගෙන නින්දට ගියේ සිදුවූ සිදුවීම ගැන ද දුක් සෝසුසුම් හෙළමිනි.
අලුයම අවදි වූ සුසන්ත පියසේන ඝාතනය කරන මොහොතේ ඇඳ සිටි ඇඳුම් සෝදා දැමිණි. ඒ අතරේ සුසන්තට පහළ ගෙදර අසල්වාසියෙක් පවසන ආකාරය ඇසුණේ ‘පියසේන අයියා මැරිලා…‘ කියායි.
එතෙක් පියසේන සිහිමුර්ජා වී සිටි බවට සැක කළ සුසන්ත ඒ සමඟම පියසේන තිර ලෙසටම මියගොස් ඇති බව දැනගත්තේය. අනතුරුව ඔහු පියසේනගේ අවමංගල කටයුතුවලට ද සහභාගි නොවී වසන් වී සිටියේය. එලෙස මඳක් සමාජයෙන් වසන්ව කල් ගත කළ සුසන්ත මාස හයකට පමණ පසුව විදෙස්ගත විය. ඒ අතරේ පියසේනගේ ඝාතනයේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කිරීමත් සමඟ ඔහුගේ සැඟවුණු දිවිය අවසන් වූයේ කොස්තාපල් සම්පත් අරුණ ශාන්තගේ සූක්ෂ්ම විමර්ශනය නිසාවෙනි.
ඉකුත් ඔක්තෝබර් 9 වැනිදා අත්අඩංගුවට ගත් සුසන්ත ඉදිරි විමර්ශන සඳහා රුවන්වැල්ල පොලිසියට බාර කිරීමෙන් පසු ඔක්තෝබර් 11 වැනිදා ඔහු රුවන්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අධික ලෙස මත්පැන් පානයට ලොල් වීම නිසා ‘නොසණ්ඩාල‘ දිවියක් ගත කළ පුද්ගලයකු නිසා නිරපරාදේ අහිංසක පුද්ගලයකුට මෙලොව හැර යාමට සිදු වූයේ එලෙසය. නීතියෙන් වසන්ව වසර තුනහමාරක පමණ කාලයක් සැඟව සිටි ඝාතකයාව නීතියේ රැහැනට කොටුවන්නේ එලෙසය.
රහස් පොලිසියේ මනුෂ්‍ය ඝාතනය සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනියගේ උපදෙස් සහ මෙහෙයවීම මත කොස්තාපල් (70701) සම්පත් අරුණශාන්ත මෙහි විමර්ශන සිදුකළ අතර උපපොලිස් පරීක්ෂක පියල්, සැරයන් (10033) මහේෂ්, කොස්තාපල්වරුන් වන (97047) දේශප්‍රිය, (104808) විජේකෝන් සහ කොස්තාපල් රියැදුරු (16471) චාමික යන නිලධරයෝ විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි.
ඡායාරූප – බණ්ඩාරගම
බිමල් ජයසිංහ
අමිල මලවිසූරිය