– තුර්කි තුවක්කුවක් තබාගෙන සිටි පුද්ගලයකුත් අත්අඩංගුවට
– ඩුබායි සිට ගෝලබාලයන් හසුරවන හංවැල්ලේ ලලිත් මිනීමැරුම් කීපයකුත් මෙහෙයවලා
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු ආරක්ෂක අංශ දිගින් දිගටම සිදුකරන මෙහෙයුම් නිසා රට අතහැර ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන්, කුලී ඝාතකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සංඛ්‍යාව සුළුපටු නැත.

අත්අඩංගුවට ගත් තියුණු ආයුධ හා මත්ද්‍රව්‍ය අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානම් කර තිබූ අයුරු
මේ ජාවාරම්කරුවන් මෙසේ මෙරටින් පැන ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා කුලී ඝාතන, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නේ ඒවායින් තමන්ට ලැබෙන මිල මුදල් කන්දරාව නිසාමය.
මෙලෙස ඩුබායි ඇතුළු විදේශ රටවලට පලා ගොස් එහි සිට මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරවන පාතාල කල්ලි සාමාජිකයන් 136 දෙනෙකු අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු වරෙන්තු නිකුත් කර තිබේ. එහෙත් මේ පාතාලයන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ දිගින් දිගටම සිදුකරගෙන යන්නේ මෙරට සිටින සිය ගෝලබාලයන් ලවාය.
හංවැල්ල, පූගොඩ සහ ඒ අවට ප්‍රදේශ හොල්ලාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවන් අතරින් ප්‍රමුඛස්ථානය ගෙන සිටියේ ලලිත් කන්නංගරයි. ලලිත් හිටපු බස් කොන්දොස්තරවරයෙකි. ඔහු මේ වන විට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සේම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ගොන්නට එකතුවී හමාරය. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි අංශ ඔහු සොයන විට මෙරටින් පලා යන ලලිත් නවතින්නේ ඩුබායි රාජ්‍යයේය. එහි ගොස් ඔහු නිකම් සිටියේ ද නැත. පරණ පුරුදු ජාවාරමට ඔහු අත ගසන්නේ හංවැල්ල, පූගොඩ ප්‍රදේශ හොල්ලාගෙන සිටි ඔහුගේ ගෝලබාලයන් රොත්ත ද සමඟිනි.
ලලිත් ඩුබායි රාජ්‍යයේ සිට මෙරට සිටින ගෝලබාලයන් ලවා සිදුකරවන කුලී ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා විමර්ශන ආරම්භ කරන පොලිස් විශේෂ කාර්ය බළකාය ලලිත්ගේ ගෝලබාලයන් අල්ලා ගැනීම සඳහා සැලැසුමක් සකස් කරන්නේ ඔය අතරය.
එසේ මෙහෙයුම් සිදු කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකක් ලලිත්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නේ පසුගියදාය. ඒ ගිනි අවි, තියුණු ආයුධ, මත්ද්‍රව්‍ය, මුදල් සමඟය.
මෙරට ජාවාරම්වලට සම්බන්ධ ලලිත්ගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් දෙකේ නිලධරයන්ට හැකි වූයේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනෙක් හංවැල්ල පහත්ගම, වග, වැලිවත්ත සහ කැස්බෑව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙහි මුල් මෙහෙයුම සිදු කරන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අංශ 02 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ ඇතුළු කණ්ඩායමක් විසිනි.
පිළියන්දල, කැස්බෑව, ආවාස පාරේ නිවසක් එම නිලධාරින් විසින් වටලන්නේ ලැබුණු තොරතුරුවලට අනුවය. එහි තිබී එස් ටී එෆ් නිලධාරීන්ට හමුවන්නේ තුර්කියේ නිෂ්පාදිත නවීන පන්නයේ රිපීටර් තුවක්කුවකි. එම තුවක්කුව සන්තකයේ තබාගෙන සිටි 51 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ ඔහු පාසල් සිසුන්ට දිවා ආහාරය සපයන අයකු බවය.
ගෝනහේන එස් ටී එෆ් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊළඟ මෙහෙයුම දියත් කරන්නේ හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදීය. එහිදි ඔවුන් අත්අඩංගුවට ගන්නේ ‘ඉරේෂ්’ නමැති අයෙකි. ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක්, කඩුවක් සහ ජංගම දුරකතනයක් සොයා ගැනිණි. ඉරේෂ්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන එස් ටී එෆ් කණ්ඩායමට හෙළි කරගන්නේ ‘වඩුගොඩ ඉන්දික’ නමැති පුද්ගලයකු පිළිබඳවය. ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ වග වැලිකන්න ප්‍රදේශයේදීය.
ඉන්දිකගේ නිවෙස පරික්ෂා කරන එස් ටී එෆ් නිලධාරින් බෝර 12 තුවක්කුවක් ඊට යොදන පතරොම් 06, හෙරොයින් ග්‍රෑම් 13.6, කසිප්පු ලීටර් 10ක්, ගෝඩා ලීටර් 1174, දැවි ගෝඩා ලීටර් 106ක්, ගෑස් සිලින්ඩරයක්, තඹ දඟර 02ක් සහ ජාවාරම්වලින් උපයා ගත් බවට සැක කරන රුපියල් විසිදහසක් සොයා ගන්නා ලදි.
මේ දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන එස් ටී එෆ් නිලධාරින් සොයා ගන්නේ මේ අය දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නංගරගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනෙකු බවය.
ඩුබායි රාජ්‍යයේ වෙසෙන ලලිත් මෙරට සිටින සිය ගෝලබාලයන් යොදවා පසුගිය දිනවල සිදුකරන ලද මිනිස් ඝාතන දෙකකට ද මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනා සම්බන්ධ දැයි සෙවීම සඳහා එස් ටී එෆ් නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබිණි.
පාතාල සාමාජිකයකු වන මන්නා රොෂාන් 2023 වසරේ දෙසැම්බර් 25 දින ඝාතනය කිරීමට සහ මේ වසරේ මාර්තු 04 දා මන්නා රොෂාන්ගේ සොයුරා වන මධුරංග නමැත්තා ඝාතනය මෙන්ම ඉකුත් සැප්තැම්බර් 30 දින හංවැල්ලේ බස්රථ හිමිකරුවකු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු වන බස් වජිර හෙවත් වජිර නිශාන්ත ඝාතනයට ලලිත් කෙළින්ම සම්බන්ධ බවට ලැබී ඇති තොරතුරු මත ඔහුගේ මේ ගෝලබාලයන් දෙදෙනාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කැර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙක් වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිසියට ද සෙසු සැකකරු පිළියන්දල පොලිසියට ද භාර දී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන අංශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර සහ සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන යන නිලධරයන්ගේ මෙහෙයවීමෙන් මෙහෙයුම් ඒකක 02 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එල්. ඒ. කොළඹගේ සහ ගෝනහේන කඳවුරේ නිලධරයන් කණ්ඩායමක් මෙම මෙහෙයුම් සිදුකරන ලදි.
ඡායාරූ – කොට්ටාව ශාන්ත ප්‍රදීප්