– පාණදුරෙන්, නාවලින් සහ මහනුවරිනුත් 180ක් කොටු
– හංවැල්ල සහ ගම්පහ තැන් දෙකකින් චීන සහ තායි ජාතිකයන් 40ක් අල්ලයි
– ලෝකේ වටේ මිනිස්සු අන්දා අන්තර්ජාලයෙන් ගහන ගේමක්
යුක්‍රේන, ඉන්දීය සහ බල්ගේරියන් සයිබර් අපරාධකරුවන් මෙරටට ඇතුළු වී අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මූල්‍ය වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතියට සහ ජාතික ආර්ථිකයට බරපතළ හානියක් සිදුවිය හැකි බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේ පසුගියදාය.
යුක්‍රේන, ඉන්දීය සහ බල්ගේරියන් ජාතික වංචනික පුද්ගලයන් මෙරටට ඇතුළු වී අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මූල්‍ය වංචා ගැන දීර්ඝ විමර්ශනයක් සිදුකළ රහස් පොලිසිය ඒ ගැන එලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණි.
රහස් පොලිසිය මෙලෙස සඳහන් කළේ සයිබර් අපරාධ සිදු කරන ලද යුක්‍රේන ජාතික තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරමිනි. ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබා දෙන බවට සහ ඔන්ලයින් ඔස්සේ හොඳ ආදායම් මාර්ග ලබා දෙන බවට ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් ඔස්සේ ව්‍යාජ ලෙස දැන්වීම් පළකර පුද්ගලයන් රවටා රුපියල් තිස්හය ලක්ෂයක් වංචා කළැයි මේ යුක්‍රේන ජාතික තරුණයන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගියදාය.
යුක්ක්‍රේන, බල්ගේරියා, ඉන්දීය, චීන, පාකිස්තාන සහ නයිජීරියානු ජාතිකයන් මෙරටට සංචාරක වීසා මඟින් ඇතුළු වී විවිධ ස්ථානවල රැඳී සිටිමින් මෙරට මෙන්ම විදේශීය රටවල පුද්ගලයන් රවටා අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළ රහස් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණේ මීට මාස කිහිපයකට පෙරදීය.
ඉන්දීය සහ චීන ජාතිකයන් ඇතුළු ඇතැම් විදේශීකයන් සංවිධානාත්මකව සිදු කරන සයිබර් මූල්‍ය වංචාවල තොරතුරු එසේ හෙළිකර ගත් රහස් පොලිසිය මීගමුව, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල පවත්වාගෙන ගිය සයිබර් අපරාධ මධ්‍යස්ථාන ගණනාවක් වටලා විශේෂයෙන් ඉන්දීය සහ චීන ජාතිකයන් 300කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ සයිබර් අපරාධකරුවන් නිසා මෙරට බැංකු ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයට ඉතා විශාල බලපෑමක් ඇති විය හැකි බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන්නේ එවැනි පසුබිමක් යටතේය.
මේ සයිබර් අපරාධකරුවකු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු ඉතා සූක්ෂ්මව රවටා රුපියල් කෝටි 57ක් වංචනිකව ලබා ගත්තේ ද පසුගියදාය. ඒ පිළිබඳව මේ වන විට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. සංචාරක වීසා මඟින් මෙරටට ඇතුළු වී නිවාඩු නිකේතන, නිවාස සහ නවාතැන් පොළවල් කුලියට ලබාගෙන සයිබර් අපරාධවල නිරත වන ඇතැම් විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය දිගින් දිගටම සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතිය තහවුරු කරන තවත් වැටලීමක් සිදු කිරීමට රහස් පොලිස් කණ්ඩායමකට පසුගියදා හැකි විය.
මේ විදේශික සයිබර් අපරාධකරුවන් පිරිස රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ ගම්පහ සහ හංවැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකකදීය. චීන ජාතිකයෝ 34 දෙනෙකු සහ තායිලන්ත ජාතිකයන් සිවුදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි විය. හංවැල්ලේ පිහිටි නිවාඩු නිකේතනයක සහ පෞද්ගලික ආයතනයක රැඳී සිටිමින් මේ විදේශිකයන් පිරිස අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකර තිබිණි.
රහස් පොලිසියට ලද තොරතුර අනුව අදාළ ස්ථාන දෙක වටලා සිදු කරන ලද පරීක්ෂාවේදී චීන ජාතික පිරිමින් 29ක් සහ කතුන් 11ක් ඉන්දීය ජාතික පිරිමියකු සහ කතුන් 13ක් තායිලන්ත ජාතික පිරිමි 02ක් සහ කතුන් 04ක් මෙලෙස අත්අඩංගුවට ගැනිණි.
මේ අය සන්තකයේ තිබී ජංගම දුරකතන 499ක්, ලැප්ටොප් පරිගණක 34ක්, ඩෙක්ස්ටොප් 29ක් රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඒවා සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සඳහා උපයෝගී කරගන්නට ඇති බවට සැක කැරේ.
මෙම සංවිධානාත්මක පිරිස මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා රැසක් පරිශීලනය කරමින් ඒවා භාවිත කරන පුද්ගලයන් දුරකතන ඇමතුම් ඔස්සේ හඳුනාගෙන විවිධ ව්‍යාපාරික අවස්ථා සහ ව්‍යාපෘතිවලට මුදල් ආයෝජනය කිරීමට ඔවුන් ඉතා සූක්ෂ්මව පොලඹවාගෙන ඔවුන් රවටා මුදල් ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.
මේ සඳහා ඔවුන් කලින් සූදානම් කරගත් භාෂා සහිත ඇමතුම් සංවාද සහ කෙටි පණිවුඩ යොමු කිරීම ඉතාම සැලසුම්සහගතව සිදුකර ඇති බව හෙළි වී තිබේ.
මේ ජාවාරමේ නිරත කතුන් තමන් සමඟ මුහුණුපොත ඇතුළු මාධ්‍ය ජාලාවලින් සම්බන්ධවී සිටින පිරිමි අය සමඟ බොරුවට ආදර සම්බන්ධතා පවත්වා ඔවුන්ට විවිධ ව්‍යාපෘතිවලට මුදල් ආයෝජනය කිරීමට සලස්වා එම මුදල් වංචා කර ඇති බව අනාවරණය වී ඇත. එමෙන්ම මෙහි සුවිශේෂිත්වය වී ඇත්තේ අදාළ නවාතැන් පොළවල සිටි මේ වංචනික පුද්ගලයන් චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල පුද්ගලයන් ද රවටා මෙලෙස ඔවුන්ගෙන් මුදල් තැන්පතු ලබාගෙන ඒවා වංචා කිරීමයි.
මේ වසරේ මුල සිටම මේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන මෙරටට පැමිණි ඇතැම් විදේශිකයන් විසින් ඉතා සංවිධානාත්මකව පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත. සැකකාර විදේශිකයන් සතුව තිබූ ජංගම දුරකතන සහ පරිගණක රහස් පොලිසියේ වෝහාරික විද්‍යාගාරයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා තිබේ. මේ සයිබර් අපරාධකරුවන් පිළිබඳව රහස් පොලිසිය ජාත්‍යන්තර පොලිසියට ද දැනුම් දී ඇත. මේ අතර අන්තර්ජාලයෙන් මූල්‍ය වංචා සිදු කළ චීනුන් 130ක් මහනුවර කුණ්ඩසාලේදී පොලිසියට කොටුවන්නේ පසුගියදාය. ඊට අමතරව තවත් චීන ජාතිකයන් 18ක් ද මහනුවර අනිවත්තේදී අත්අඩංගුවට ගැනිණි.

මහනුවරින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සහ ඔවුන් සතුව තිබු ජංගම දුරකතන