මැතිවරණ පැවති මුල් සමයේ එංගලන්ත අපේක්ෂකයන්ගේ ජය පැරදුම සඳහා තීරණාත්මක සාධකය වූයේ ප්‍රභුවාදයේ කැමැත්තය. ඡන්ද පවත්වන්නේ ජනතා කැමැත්ත අනුව නියෝජිතයන් පත් කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. මහජන මතය නිරූපනය වෙනුවට ප්‍රභූ තන්ත්‍රයේ අපේක්ෂාව ඉටු කර ගැනීම සඳහා වූ ඡන්ද ක්‍රමයක් ඇති වන්නේ, ව්‍යාපාරික ප්‍රජාව මුදල් වියදම් කරමින් සිය අපේක්ෂකයා වෙත ඡන්ද මිලට ගැනීම හේතුවෙනි. කඩෙන් සබන් කැටයක් මිලට ගන්නවා මෙන් ඡන්ද ද මිලට ගත් කාලයක් ලෝකයේ තිබුණි. ඡන්ද දායකයා වෙත මුදල් ලබා දී, අදාළ අපේක්ෂකයා වෙත ඡන්දය ප්‍රකාශ කරන ලෙස දැනුම් දෙයි. ඒ කාලයේ පැවති ඡන්ද ක්‍රමය අනුව මේ සඳහා යම් සලකුණක් ලබා ගැනීමෙන් පසු අදාළ මුදල ලබාදෙයි.
ඡන්දය මුදලට ගැනීමේ ක්‍රියාවලිය මේ රටේ ද බොහෝ කාලයක සිට ක්‍රියාත්මක විය. උදෑසනම ඡන්ද පොළට යන අයෙක් සිය ඡන්ද පත්‍රිකාව, ඡන්දය ලකුණු කරන කොටුව තුළට ගොස් සාක්කුවේ දමා ගන්නේය. හෙතෙම අවට පිරිසට පෙනෙන පරිදි ඡන්ද පෙට්ටියට දමන්නේ, ගෙදර සිට ගෙන ආ හිස් කොළයකි.
ඔහු ඡන්ද පොළෙන් එළියට එන්නේ නිල ඡන්ද පත්‍රිකාවක් සාක්කුවේ දමාගෙනය. මෙතැන් සිට ඡන්දය සඳහා මිලක් නියම වන්නේය. එය සිදු කෙරෙන්නේ දාම ආකාරයටය. කලින් පුද්ගලයා ගෙන ආ ඡන්ද පත්‍රිකාව තමන්ගේ අපේක්ෂකයා වෙත අවශ්‍ය ආකාරයට සලකුණු කර, ඡන්ද පොළට යන අයෙක් අතට ලබා දෙන්නේය. ඔහු කළ යුත්තේ එසේ ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දමා, තමන්ට ලබාදුන් ඡන්ද පත්‍රිකාව සාක්කුවේ දමාගෙන පැමිණීමය. ලකුණු නොකළ ඡන්ද පත්‍රිකාව ලබාදුන් විට, පොරොන්දු වූ ගාන ඡන්ද දායකයා වෙත ලැබෙන්නේය. ඊළඟට තව කෙනෙක් ආකාරයට ඔය වැඩේ සිදු කෙරෙන්නේය. මේ මාදිලිය සඳහා කියනුයේ, කෙළින්ම ඡන්දය සල්ලිවලට ගැනීම කියාය.
ඊළඟට ඇත්තේ වක්‍ර ආකාරයට ඡන්දය මුදලට ගැනීමය.
1947 මහමැතිවරණයේදී ගාල්ල ආසනය සඳහා දහනායක සහ අමරසූරිය අතර ඇතිවූ තරගය මේ සඳහා වන ජනප්‍රිය උදාහරණයකි. ගුරු සේවයේ නිරතවූ දහනායක බිබිලේ ආසනය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව, යළි සිය ගම බලා පැමිණ තිබුණේ ඡන්දයට තරග කිරීම සඳහාය. හෙතෙම යමක් කමක් පවුලෙන් තිබුණ ද අතේ සල්ලි ඇති චරිතයක් නොවීය. ඉදිරිපත් වූයේ ද සමසමාජ පක්ෂයෙනි.
ප්‍රතිවාදී එච්. ඩබ්ලිව්. අමරසූරිය රටේ අංක එකේ සල්ලිකාරයෙකි. එදා අමරසූරියගේ ආධාරකරුවන්ට තුන් වේල සහ රත් වෙන්න යමක් ලබාදී අතට ද ගාණක් ලැබුණේය. රැස්වීමක් සංවිධානය කළහොත් ඒ සඳහා ද ගතමනාවක් ද හිමිය. මේ වාසි සලකා බලන ලද සමහරක් දෙනා කුලීමලී වැඩ අත්හැර එම කාලයේ අමරසූරියගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූහ. සමහරු මාසයක් රැකියාවෙන් නිවාඩු දමා අමරසූරියගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ මාසයේ පඩියට වඩා ආදායමක් ඉන් ලැබෙන්නේ බැවිනි. දහනායක සමඟ සිටි සමසමාජ පාක්ෂිකයෝ එහෙම සල්ලිකාරයෝ නොවූහ. ඔවුහු ප්ලේන්ටියෙන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අතරේ, ජනතාව අමතමින් දහනායක කියා සිටියේ අමරසූරිය වැනි ධනවතෙක් ගාල්ලට ඉදිරිපත් කරන ලද්දේ තමන් සමඟ තරග වැදීම පහසු නොවන බව එජාපය දන්නා හෙයින් බවය. අමරසූරියගේ දේශපාලන ආගමනය දහනායක විසින් හඳුන්වා දෙන ලද්දේ “මම සල්ලි ගහ හොලවනවා… උඹලා වැටෙන සල්ලි අහුලාගෙන මට ඡන්දය දීපල්ලා” කියාය.
මැතිවරණය දිනයේ අමරසූරියගේ බස් සමාගමේ සියලු බස් රථ යොදවන ලද්දේ ඔහුගේ ඡන්ද දායකයන් නොමිලේ ප්‍රවාහනය සඳහාය. ඒ බව කල් තියා දැනගත් දහනායක ජනතාව වෙත කියා සිටියේ, අමරසූරියගෙන් කා බී, ඔහුගේ බස් රථවල නොමිලේ ඡන්දපොළට ද ගොස් තමන්ට කතිරය ගසන ලෙසය. ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. එච්. ඩබ්ලිව්. අමරසූරිය, වැඩි ඡන්ද 2469කින් පරාජය කරමින් ගාල්ල මහජන මන්ත්‍රී බවට දහනායක පත්ව තිබුණි.
මේ කාලයේ හිසේරදය බවට පත්ව ඇත්තේ පෝස්ටර් යුද්ධය සහ සංගීත සන්දර්ශන ආදිය සහිත මැතිවරණ රැස්වීම්ය. මනාප අංකය ලැබීමට ද පෙර මුහුණත් තහඩුව සහ රුවන් වැකි සහිත පෝස්ටර් යායක් තාප්ප දිගේ අලවාගෙන ගොස් තිබුණි. ඒ ළඟදීම පැමිණෙන බව කීම සඳහාය. අංකය ලැබුණා කියන්නේ විසුමක් නැති වෙන බවය.
සල්ලි විසිකරමින් එක් එක් අපේක්ෂකයා ඒ ආකාරයට වියදම් කරන හෙයින් කෝටි දහයක් පහළොවක් නොමැතිව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වන්නේය. කොතරම් ප්‍රතිපත්තිගරුක වුවද, දක්ෂ වුවද එහෙම වියදම් කළ නොහැක්කේ නම් අපේක්ෂකභාවයේ තේරුමක් නැත. ඒ සඳහා මුදල් ලබාදෙන ප්‍රජාව ද එය සිදු කරන්නේ ආයෝජනයක් ලෙසය. අවසානයේ අපේ ඡන්දය තව කෙනෙක්ගේ ආයෝජනයක් බවට පත් වන්නේය.
මේ ආකාරයට ගිය විට ඡන්දයෙන් නිර්මාණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ආයෝජන ප්‍රවර්ධන කලාපයකි. මේ සඳහා අගුලු දැමීමට 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත සම්මත විය. එමඟින් ප්‍රචාරක කටයුතු සඳහා වූ මූල්‍ය සීමා පනවා ඇත්තේය. රාජ්‍ය ආයතන, විදේශ ආණ්ඩු, ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත හෝ ලියාපදිංචි ආයතන, සියයට පනහක් හෝ ඊට වැඩි විදේශීය කොටස් හිමි සමාගම් සහ අනන්‍යතාව හෙළි නොකළ ඕනෑම පුද්ගලයකුගෙන් මුදල් හෝ කාරුණික පරිත්‍යාග කිරීම වැනි සංස්ථා මඟින් දායක වීම එම පනතෙන් තහනම් කර ඇත්තේය. ඒ හා සබැඳිව, එක් එක් මැතිවරණය සඳහා අපේක්ෂකයකු වෙත සිදු කළ හැකි වියදම් ද මැතිවරණයෙන් මැතිවරණයට නියම කරන්නේය. පසුගිය බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිසම මෙම මැතිවරණය සඳහා වූ වියදම් සීමාව නිවේදනය කළේය.
එසේ වුවද සීමා අතරින් රිංගා යන අපේක්ෂකයන් බහුලය. එතැනදී දහනායක විසින් අමරසූරිය අරභයා ගත් ක්‍රියාමාර්ගය ගැනීම ඡන්ද දායකයා වෙත භාරය. අනෙක් අතට එවැනි සීමා නොතකන අපේක්ෂකයන් වෙත නෛතික ක්‍රියාමාර්ග ගත හැක්කේය.
මැතිවරණය වූ කලී සමබිමක ගලා යා යුත්තකි. එහි අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය මූර්තිමත් කිරීම මිස, මුදලේ හෝ බලයේ හැකියාව උඩට ගැනීම නොවේ. නෛතික සීමා දැන් නිකුත් වී ඇති හෙයින් අපේක්ෂක වගකීම වනුයේ ඒ ඔස්සේ සක්‍රිය වීමය. ඡන්ද දායක යුතුකම වනුයේ එවන් නීති නොතකා හරින අපේක්ෂකයන් සිය මනාපයෙන් බැහැර කිරීමය.