නිල් අහසත් පොළවේ ඇති උණුසුමත් විකිණීමට හෝ මිලදී ගැනීමට හැකිද..? සුළගේ ඇති පවිත්‍ර බව නැවුම් බව ජලයේ ඇති ප්රභාවත් බව අප සන්තක නොවේ. ළා හිරු එළියෙන් බබළන දේව දාර ගස්වල සෑම සිහින් පත්‍රයක්ම වැලි තලාවන්ගෙන් වැසුණු සෑම වෙරළ තීරයක්ම, සෑම එළිමහන් බිමක්ම, අඳුරින් බර වූ වනපෙත් වසා පැතිරුණු සෑම මිහිදුම් සළුවක්ම, බිඟු නද පතුරවන සෑම කුඩා ජීවියකුම ජනතාවගේ සිත තුළත් ඔවුන් ලද අත්දැකීම්වලත් ශුද්ධ වස්තූන් වේ. අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවඳැති මල් අපගේ සොයුරියෝ වෙති. මුව පොව්වෝ, රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණ බිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එකම පවුලක සාමාජිකයන්ය.”
සොබාදහමත් මිනිසාත් අතර ඇති අපූර්වතම සබඳතාව හැඟවෙන ඒ අනගි වදන් පෙළ උපුටා ගත්තේ ස්වදේශීය ජනතාව වෙනුවෙන් පෙනී සිටි රතු ඉන්දියානු නායක සියැටෙල් විසින් ක්‍රි. ව. 1854දී අමෙරිකානු ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියෙනි. එම ලිපිය දැන් ලෝක ප්‍රකට පරිසර ප්රකාශනයකි. එසේ වුවද සොබාදහමේ වටිනාකම් වටහා ගත් මිනිසුන් මේ මිහි මත අල්පය. එහෙත් ඇතැම් විට ඒ අල්ප මිනිසුන් සොබාදහම වෙනුවෙන් මහත් දේ සිදු කරති. මෙය ද එවැනි කතාවකි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි වාණිජමය හා කාර්මික වශයෙන් දියුණු වෙමින් පවතින ගණේමුල්ල නගරයේ බොල්ලත නමැති සුන්දර ගම්මානයේ ‘කඩදාසි’ නමින් ආයතනයක් වේ. එය ඉවතලන කඩදාසි, ලිපි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරමින් අලුත් කඩදාසි සහ ඒ ආශ්රිත නිෂ්පාදන බිහි කරන ආයතනයකි. අක්කර 6ක පමණ භූමියක පිහිටි එම කර්මාන්ත ශාලාව සමීපයේම අක්කර දෙක හමාරක තුනක පමණ භූමියක පැතිරුණු වනාන්තරයක් ද වේ. ජෛව විවිධත්වයේ අපූර්වත්වයට සාක්ෂි දරන එම වනාන්තරය විවිධාකාර ශාක සහ භෝගවලින් සශ්‍රීකය. විවිධ අවශ්‍යතා සඳහා භාවිතයට ගැනෙන කඩදාසි නිෂ්පාදනය කරන සම්ප්‍රදායික ක්‍රමයේදී ඒ සඳහා ගස් කපන්නට සිදු වුවද අප මේ කියන අපූරු කම්හලේ කඩදාසි නිෂ්පාදනය කරන්නේ අපද්‍රව්‍ය කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරමිනි. එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ එකදු ගසක්වත් කැපීමට සිදු නොවන අතර, කිසිදු රසායනික ද්‍රව්‍යයක් පරිසරයට එකතු නොවේ. එබැවින් මෙහිදී නිපදවන කඩදාසි සහ ඒ ආශ්රිත නිර්මාණ සියයට සියයක්ම පරිසර හිතකාමීය.
මේ අපූරු කඩදාසි කම්හලේ නිර්මාතෘ වන්නේ අයිරාංගනී බස්නායක ය. සොබාදහමට ආදරය කරන කාන්තාවක වූ ඇය ගෘහිණියක ලෙස ගත කරන කාලය ඵලදායී කාර්යයන් වෙනුවෙන් යෙදවීමේ ආශාවෙන් යුතු කාන්තාවක වූවාය. එම නිසාම මීට වසර විස්සකට පමණ පෙර ඉන්දියාවේ රාජා ස්ථාන් වෙත ගොස් කඩදාසි ප්‍රතිචක්‍රීකරණය සහ ඒ ආශ්රිත නිෂ්පාදන පිළිබඳ ඉගෙන ගත් ඇය එයින් ලත් දැනුමින් තමා ජීවත් වන ග්‍රාමයේ වෙසෙන අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ ආර්ථිකයට අත්වැලක් වන ආකාරයේ කර්මාන්තයක් ඇරඹීමට අදහස් කළාය. ඒ අදහස මල්ඵල ගැනෙන්නේ ඇයගේ සැමියාගේ පූර්ණ ආශීර්වාදය සහ සහයෝගය ඇතිවය. සැමියාට අයත් අක්කර 7ක පමණ භූමියක පැතිර ඇති ඉඩමේ කෙළවරක කඩදාසි කම්හලක් ආරම්භ කිරීමට ඇය කටයුතු කළාය. සශ්‍රික වනාන්තරයක් සහිත මේ අපූරු නිෂ්පාදන ආයතනය ගැන අයිරාංගනී බස්නායකගේ පුත් නිසයුරු බස්නායක මෙසේ කීවේය.
සාමාන්‍යයෙන් කඩදාසි නිෂ්පාදනය කරද්දි ගස් කැපීමට සිදු වෙනවා. නමුත් මම දන්න විදිහට කඩදාසි හදන තැනක කැලයක් තියෙන ලෝකයේ එකම තැන මේ ආයතනය විය හැකියි. මේ කැලය මගේ පියාගේ අදහසක්. ඔහු තමයි කැලය වැව්වේ. කඩදාසි නිෂ්පාදනයේදී අපේ ප්‍රධාන නිෂ්පාදන අමුද්‍රව්‍ය වන්නේ අපද්‍රව්‍ය කඩදාසි. ඊට අමතරව කෙසෙල් කොළ, රම්පෙ කොළ වැනි ස්වාභාවික කොළ වර්ගවල තන්තු ලබාගෙන එයින් කඩදාසි නිෂ්පාදනය කරනවා. ඒ වගේම ඉවතලන කාඩ්බෝඩ්, පොත් ඇතුළු අපද්‍රව්‍ය කඩදාසිවලින් සහ පලුදු වූ මුදල් නෝට්ටු ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ද අපි කඩදාසි නිෂ්පාදනය කරනවා.”
මේ ආකාරයෙන් ලබාගන්නා අපද්‍රව්‍ය කඩදාසි පැය 24ක් කාලයක් ජලයේ හොඳින් පෙඟෙන්නට තබා පසුව ඒවා ඇඹරුම් යන්ත්‍රයක් ආධාරයෙන් හොඳින් අඹරා පල්පයක් ආකාරයට සකසා ගැනේ. ඉන්පසුව එම කඩදාසිවලින් විවිධ නිෂ්පාදන සැකසේ. එම නිෂ්පාදනවලට ගැළපෙන ආකාරයට එම කඩදාසිවලට මතුපිට තත්ත්වය සකස් කිරීම සහ වර්ණ ගැන්වීම සිදු වේ. මෙම ආයතනයෙන් නිපදවනු ලබන කඩදාසිවල විශේෂත්වය වන්නේ එක් එක් කඩදාසිවලට ආවේණික මතුපිට පෙනුමක් තිබීම සහ වර්ණ රාශියකින් යුතු නිෂ්පාදන 500කට අධික ප්‍රමාණයක් තිබීමය. ඒ අතර ලිපි ද්‍රව්‍ය, සටහන් පොත්, ඇසුරුම් පෙට්ටි, ඇසුරුම් කඩදාසි, විසිතුරු තෑගි කවර සහ සැරසිලි ආදිය වේ.
මෙම ආයතනයේ නිෂ්පාදන සංකල්පය පරිසර හිතකාමීය. නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වන්නේ අතින් ක්‍රියාත්මක කරන යන්ත්‍ර මඟින් බැවින් විදුලි පරිභෝජනය අවම මට්ටමක පවතී. කාබන් පියවීම ද ඉතා අවම මට්ටමක පවතින බැවින් පරිසරයට හානියක් සිදු නොවේ. සේවා ස්ථානය සැලසුම් කර ඇත්තේ ද ස්වාභාවික වාත්රාශය සහ ආලෝකය ලැබෙන ආකාරයටය. මෙම කඩදාසි සෑදීමේ ක්‍රියාවලියේදී භාවිත කරන අමුද්‍රව්‍ය ස්වාභාවික හා විෂ නොවනවා මෙන්ම එම ක්‍රියාවලියේදී බැහැර කෙරෙන අපද්‍රව්‍ය ජලය ද නැවත නැවත භාවිත වන්නේ එය කර්මාන්ත ශාලාවට නුදුරේම ඇති කැලයේ වගාවන් සඳහා භාවිත කරන නිසාය.
මෙම කඩදාසි කම්හලේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ මෙහි සේවය කරන සියලු දෙනා කාන්තාවන් වීමය. ආයතනයේ නිර්මාතෘ අයිරාංගනී බස්නායකගේ පුතු නිසයුරු බස්නායක සිය නිර්මාණ කුසලතාවෙන් සහ දැනුමින් එම කණ්ඩායමට මෙහෙයුම් නායකත්වය සහ මඟපෙන්වීම ලබා දෙයි.
“මේ ව්‍යාපාරය ආරම්භ කරද්දි මගෙ අම්මට ඕන වුණේ ගමේ ජීවත් වන අඩු ආදායම්ලාභී සහ පවුලේ ආර්ථිකයට උර දෙන කාන්තාවන්ට සවියක් වීමටයි. අම්මා ගමේ ජීවත් වූ කාන්තාවන් පිරිසක් එකතු කරගෙන ඔවුන්ට ඇය ඉන්දියාවෙදි ඉගෙන ගත් අපද්‍රව්‍ය කඩදාසි ප්‍රතිචක්‍රීකරණ කිරීමෙන් කඩදාසි සහ ඒ ආශ්රිත නිෂ්පාදන සෑදීමේ කලාව උගන්වා මෙම කර්මාන්තය ආරම්භ කළා. කාලයක් යද්දි එය ප්‍රදේශයේ කාන්තාවන්ට හොඳ ජීවනෝපාය මාර්ගයක් බවට පත්වුණා. මේ කර්මාන්තය ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් එළිදැක්වීමටත් හොඳ අවස්ථාවක් බවට පත්වී තිබෙනවා. මේ වන විට කාන්තාවන් 15 දෙනකු පමණ අප ආයතනයේ සේවය කරනවා. ඔවුන්ගෙන් බහුතරය පවුලේ ආර්ථිකය වෙනුවෙන් වැඩි වගකීම් දරන මවුවරුන්. ඔවුන්ගේ පවුල්වලට සවියක් වීමට ලැබීම ගැන අපටත් සතුටක්. ”
මෙම ආයතනයේ නිෂ්පාදනය කරනු ලබන කඩදාසි සහ ඒ ආශ්රිත නිෂ්පාදන වැඩි වශයෙන් යවනු ලබන්නේ දේශීය වෙළෙඳපොළටය. විදෙස් වෙළෙඳපොළ සඳහා ද ඇතැම් නිෂ්පාදන අපනයන කෙරේ. ඕනෑම කර්මාන්තයක් පවත්වාගෙන යෑමේදී විවිධ අභියෝගවලට මුහුණ පෑමට වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම කඩදාසි නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින අභිගෝග ගැන ද අප නිසයුරු බස්නායකගෙන් විමසුවෙමු.
“අපට තිබෙන ලොකුම අභියෝගය මෙවැනි කර්මාන්ත සඳහා රජයෙන් ලැබෙන අනුග්‍රහය අඩු වීම. දේශීය වෙළෙඳපොළේ වගේම විදේශීය වෙළෙඳ පොළෙත් මෙවැනි නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. නමුත් විදෙස් වෙළෙඳපොළට පිවිසීම සඳහා රජයෙන් විශාල සහයෝගයක් ලැබිය යුතුයි. බැංකු ණයක් ලබාගන්න ගියත් අපි අපහසුතාවට පත් වෙනවා. ඒ නිසා මෙවැනි කර්මාන්ත දියුණු කරගන්න රජයෙන් මීට වඩා සහායක් ලැබෙනවා නම් හොඳයි. ”
පරිසරය සුරකිමින් පවත්වාගෙන යන මේ ව්‍යාපාරය සඳහා ඔබට ද දායක විය හැකිය. ඒ කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අපද්‍රව්‍ය කඩදාසි ලබා දෙමිනි.
“භාවිතයෙන් පසු ඉවතලන කඩදාසිවලට මොනවද කරන්නේ කියන එක ගොඩක් ආයතන, සමාගම්වලට තියෙන විශාල ප්‍රශ්නයක්. එවැනි ආයතනවලට පුළුවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය කඩදාසි ප්‍රතිචක්‍රීකරණය සඳහා අපේ ආයතනයට භාර දෙන්න. අපි ඒ අපද්‍රව්‍ය කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කර ඒවායින් කඩදාසි නිෂ්පාදනය කර එම කඩදාසි හෝ එම කඩදාසිවලින් ඔවුන්ට අවශ්‍ය වෙනත් නිෂ්පාදන නිපදවා දෙනවා. මේ වන විටත් අපි ඒ ආකාරයට මෙරට ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයකින් අපද්‍රව්‍ය කඩදාසි ලබාගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණය කර ඔවුන්ට අවශ්‍ය නිෂ්පාදන හදලා දෙනවා. ඒ ආකාරයට ඕනෑම ආයතනයකට, සමාගමකට හෝ මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය කඩදාසි සැපයිය හැකි පුද්ගලයන්ට අපේ ආයතනය සමඟ එකතු විය හැකියි. ”
එසේ ලබා දෙන අපද්‍රව්‍ය කඩදාසි පිරිසිදුව, පිළිවෙළට සහ විධිමත් ආකාරයට ලබාදීමට කාරුණික වන්නේ නම් එය ඔවුන්ට ද පහසුවකි. නැතහොත් අපද්‍රව්‍ය කඩදාසි භාර ගන්නා කී පමණින් ඇතැම් පුද්ගලයන් ඕනෑම අපද්‍රව්‍ය කඩදාසි වර්ගයක් භාර දීමට කටයුතු කරති. එය ඔවුන්ට අමතර හිරිහැරයක් වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ වැඩි විස්තර කඩදාසි ආයතනයෙන් විමසා පැහැදිලි කරගැනීමට කාරුණික වන ලෙස ද ඔබට සිහිපත් කරමු.
lසුරේකා නිල්මිණි ඉලංකෝන්