අරුමැසි ආදරයේ පශ්චිම යාමය
අතීතය සිහිනයෙකි මනරම්
අවදි වූ ඇස තෙමන කඳුළින්
ඔබෙන් එදවස ලැබූ කවිකම්
රිදී මිය යන පවත පවසම්
සොඳුරු සුවඳකි ස්නේහය නම් ‘
ඔබට මඟ වැරදී ද නොදනිම්
ආදරෙන් සිප වැළඳි මලෙකින්
ඇනෙන කටු විසවේද කොතරම්
මුදු බසින් කුරුටු ගෑ අකුරින්
පිරිමැදුණු සිත මිදී ළසොවින්
ලියූ කවියට එසඳ බැඳි පෙම්
තවත් උසුලනු කුමට ඔබ දැන් ?
ඇවිළ වූ මුතු අකුරු ගින්නෙන්
ඔබේ පෙම් සිත් දවාලූයෙම්
එපව දිවි ඉම් තෙක්ම නැත නිම්
අනාදරයයි ජීවිතය නම්……!
රළු වදන්හී දහස් සරකින්
බිඳුණු සිත මම ඔබට නොලියම්
“කොහිද මා නිවූ ඔබේ කවිකම් ”
ඉදින් මතු කිසිදාක නොසොයන්…..!
ජානකී වසන්තා ලේකම්ගේ
අපේ හාමුදුරුවෝ
දම්රස ගොඩකි ගෝනල
සෙනෙහෙ සිප් දියර
සුවහසක් දරු කැලට
පෙව්වා තක්සලාවේ
අපේ හාමුදුරුවෝ….
ප්‍රඥාලෝක දල්වා
දෙසූ මෙත් ගඟුලෙ බණ පද
පාට කළා සිත්මානෙ
සිසිල් සඳකිරණක් වගේ
අපේ හාමුදුරුවෝ….
අටලෝ දහමට අවනත නොවී බැහැ
එයයි දිය දිහම
පඤ්ඤා ජෝති නාහිමියනේ
අහිමි වුණත් දැයට
සවිඳුමය අපෙ හාමුදුරුවෝ!
කේ. ජී. සංඝදාස
ඒ පසන් නිවෙස
පොල් අතු රටා මැකී වැලි ගෙමිදුල
කොස් රඹුටන් දුඹුරු පත් පාවඩ
සුසුදු වැලි කැට මැදින් එක දෙක
වල් පැලෑටි හීන් හිනා ඉහිරෙන …
නෙක පැහැ බිගෝනියා බෝගන්විලා
පෝච්චි පෙළ ගල්ගැසී හිටිතැනම
වැළඳ පොද වැහි ගිරිතිල්ලා වැල්
පිපි මල් පොකුරු කැකුළු දලු රිදවන…
ඉගිළෙන දිනෙක යතුරු පැදියෙන්
කුමක් වීදැයි යොමා විපරම් ඇස
පසුකර යනෙන දනන් නෙත්
පහන් කළ ඒ පසන් නිවෙසට…
ගෙවත්තේ තැනක තනිවුණ
සුදු රැල් පාලමකි තෙත
පුවරුවකි සේපාලිකා ගසෙහි
ඇයට මොක්සුව පතා සැනසෙන…. .
රුවන්මලී දීපිකා කොඩිකාර
සරදම්
කන්ද , ඔබ මා
හැරගියායින් පසුවය
නිම්න මා නෙත
ඉරක මුහුණත දුටුවේ..
දිව්‍යමය කඳු හිසක් විලසින්
එපමණක හැඩ වැඩක් නොපෙනෙන
නිම්න මා වෙත පෙම් කිරීමම
මහත් වූ කැපකිරීමක් බව
ඔබයි නිතරම කිවුවේ..
කන්ද ඔබ මා,
හැර ගියායින් පසුවමැයි මම
ඉරක මුහුණත දුටුවේ..
නිම්න මා කොයිතරම් සොඳුරුද,
ඇත්තමයි ඉන් පසුවමයි මම දුටුවේ..
ඔබ මවාලූ අඳුරකුයි මම,
මෙතෙක් කල් කර තබා ගෙන ගොස් තිබුණේ..
නුඹ දුටුව දෑසිනුයි මේ මම,
මෙතෙක් කල් මා දෙස බලා හිඳ තිබුණේ..
නිම්න මා අද,
කන්ද ඔබ ළඟ,
ඊඩ්න් උයන වෙමි..
නිම්නයක පා ඇඟිලි තරමට,
කන්ද ඔබ, ඇයි පොඩි.. ??
මදාරා පසඳනී ගුණවර්ධන
වැඩිවියට පත් වූ දියණියට කියවෙන කවි
මල්වර වීම අප කාගෙත් සැනසීම
විකසිත වෙලා හැඩකාරයි සැමදාම
සෙනෙහස පතා රාගයෙන් ලොල් වීම
යන්නට එපා දියණිය ඔබේ වැනසීම
මව් පිය සෙනෙහස ඇත ඔබ හට රජවීම
පොත පත දහම පමණක් කාලය පැවරීම
රාගයෙන් තොර ජිවිතයක් රැකදීම
අනාගතය ඇත දියණිය සැනසීම
මහේෂ් තෙබුවන – උලපනේ
මවුපිය තනතුර දරමි
සුන්දර සිහින බොඳ වී ගිය බව දැනුණි
තනිකම පාළුවද හැමතැන රජ කෙරුණී
දරුවන් ගෙත් මගෙත් දියුණුව නතර වුණී
නුඹ යළි නොඑන බව නම් මට පසක් වුණී
තනි මඟ බොහෝ දුර යන්ට ඇති බැවිනී
ලතැවී තවත් යන්නට බැරි බව දැනුණී
අනියත දහම අප කාටත් පොදු බැවිනී
දුකත් සතුට ලෙස ගන්නට මට යෙදුණී
ඇස් දෙක වගේ දරු දෙන්නා රැකගනිමි
ඔබ දුන් දෙයම දෙන්නට බැරි බව දනිමි
තීරණ ගන්න බැරි ලෙස ළතැවෙන තැනදි
සිහිනෙන් ඇවිත් මා අමතන්නට කියමි
කෝකිලා විජේවික්‍රම අබේකෝන්
තනිකම
එගොඩහ සිට හමන සිහිළැල් මඳ පවනේ
නුඹගේ සුවඳ උණුසුමමයි ගත වෙළුණේ
ගෙවනා සැඳෑ කාලය ජීවන ගමනේ
දුක්මුසු මතක පමණද මට ඉතුරු වුණේ
බැඳි ඒ ආදරයෙ හිරිමල් තුරුණු වියේ
ආදර ගඟුළෙ පැදි ඔරුකඳ බිඳී ගියේ
එගොඩහ ගොඩට කවුරුද නුඹ කැන්ද ගියේ
මෙගොඩහ පැලෙහි මම තනිවී සිටිමි ප්‍රියේ
මින්දද දුන්නෙ මල් හී සර පහස වැදී
වෙලෙමින් දුකෙහි හද තත්සර ගොළුව හිඳී
ඉතිරිවු අල්ප කාලය මේ ලෙසම බැඳී
විඳිනෙමි ජීවිතය මරු හා පෙමින් වෙළී ……
ශ්‍රීමන්ත ධර්මවර්ධන
ආවර්ජනා
සියපත් පිපී හදවත තුළ පිරි සුවඳ
අදටත් දැනෙයි සුවඳින් සුවඳට නිබඳ
සිරිමත් අනාගතයක සුබ ලකුණු පොද
සවිමත් වුණ දසඅත පතුරා සුවඳ
දුක සැප දෙකම එක අත්තක දෙකෙළවර
මුසපත් නොවන්නට සිත කර ගනිමි සිර
සැම දුක් සම මෙතින් ඉවසා දුරස් කර
සිහිලක් ලබන්නට හැකි නම් පිනකි පෙර
නැත කිසිවකුත් මට දුක සැප පවසන්න
නැත කිසිවකුත් හව්හරණට කැඳවන්න
සිත පිරි නේක පැහැපත් සිතිවිලි ගොන්න
ඇත තනි නොතනියට ගත සිත සනසන්න
කුසුමා වර්ණසුරිය
“ඉඩෝරය”
ගිනිගත් අහස සහ ගිනිගත් මහ පොළව
සුරත තලෙක මෙන් වැහැරෙන හැටි බලව
වැහැරුණු සොබා සොඳුරිය අද ඔත් පළව
පිපාසෙට දිය බිඳක් යදිනා හැටි බලව
හෙළනා විට එකින් එක ගස්වැල් බිම පතිත කර
සිඳුණා බිඳින් බිඳ දිය බිදු මිහි පොළව යට
නැඟුණා පිපාසය මැද හඬනා හඬ සොබා ළඳ
වියපත් වුණේ ඇයි මිනිසත් බව කුරිරු ලෙස
සෙවණක් නොමැත දැන් මිහිමත ගිනි දැවෙනා
වියළුණු ඟං දියට අත වැනුවා පමා වෙලා
අහස් දියට තැන පණ නල දැන් වියළුණු කතර නිසා
ගිනිගෙන දැවෙයි මේ මිහිකත අප නොවෙමු පමා
එච්. ඩි. චමිල පුෂ්ප කුමාර – නිට්ටඹුව