Home » BUDRY Flagship Store කියන්නේ 65 වසරක කිරුම් මිණුම් ඉතිහාසයක්

BUDRY Flagship Store කියන්නේ 65 වසරක කිරුම් මිණුම් ඉතිහාසයක්

- සභාපති, ෆසිල් ඩීන් අසීස්

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

බට ඕනේ ගෙදර සීනි, පිටි ටිකක් කිරා ගන්නද… එහෙමත් නැතිනම් රන් බඩු ටිකක්; ගුවන් යානයක් වුණත් කමක් නැහැ.

කියන්න!

මේ කොයික වුණත් කිරන්න පුළුවන් අති නවීන තරාදි, බඩ්රි ළඟ තිබෙනවා.

අවුන්සයක් අරික්කාලක් නෙවෙයි, ටොන් සියයක හමාරක බරක් වුණත් දශමයක එහා මෙහාවක් නැතිව ගාණට තිතට කිරා දෙන්න බඩ්රි තාක්ෂණයට පුළුවන්. ඒ සඳහා ම වෙන් වූ අති නවීන තාක්ෂණය සහිත තරාදි, ලංකාවට ම හදන ලොකුම එකලස් කිරීමේ කර්මාන්තශාලාව තිබෙන්නේ බඩ්රි සමාගමට.

පොඩි කාලයක් නෙවෙයි, අවුරුදු 65ක් ම ඔවුන් කළේ ලංකාවට තරාදි හදපු එක. කාලෙත් එක්ක වෙනස් වෙමින්, තාක්ෂණයෙන් යාවත්කාලීන වෙමින් ආ ඒ ගමනේ සන්ධිස්ථානය තමයි, පසුගිය දා ගල්කිස්ස ගාලු පාරේ විවෘත කළ අති විශාල BUDRY Flagship Store ප්‍රදර්ශනාගාරය. කොහේවත් නැති තරාදී එකතුවක් දැක බලා ගත හැකි සහ මිල දී ගත හැකි ලංකාවේ ලොකුම තරාදි ප්‍රදර්ශනාගාරය තමයි ඒ.

Barcode Label Printing Scale හෙවත් ලේබල් මුද්‍රණය කිරීමේ තරාදි, Cash Register Scale හෙවත් මිල ගණනය කිරීමේ තරාදි, Receipt Printing Scale හෙවත් බිල් මුද්‍රණය කිරීමේ තරාදි, Trade Counter Scale හෙවත් ව්‍යාපාර සහ කර්මාන්තශාලා සඳහා වූ තරාදි, Jewellery Weighing Scale හෙවත් බැංකු සහ රන් ණය මූල්‍ය ආයතන රන් භාණ්ඩ කිරන තරාදි, ආහාර ද්‍රව්‍ය කිරා ගත හැකි Kitchen Scale, තමන්ගේ බර කිරා ගත හැකි Personal Scale සහ ගුවන් ගමන්වල දී රස්තියාදු නොවී නිවසේ සිටම ගමන් මලුවල නියමිත බර කිරා ගත හැකි Luggage Scale…ඇතුළු වර්ග 100කට ආසන්න පරාසයක විහිදුණු තරාදි වර්ග මෙහිදී ඔබට දැකබලා ගත හැකියි.

කොටින්ම අවුරුදු 65ක් තිස්සේ, වෙනස් වෙමින් අලුත් වෙමින් ඉදිරියට ආ තරාදි කතාවේ ඉතිහාසය එක්තැන් වූ තැනක්. ඒ ඉතිහාසයට ගුවන් යානා බර කිරීම වැනි සංකීර්ණ තරාදි එක්කිරීම සිදුවන්නේ මීට දශකයකට එපිට පටන්.

හැමදේම පිට රටින් ගේන කාලෙක අහස් යාත්‍රා කිරන්න පුළුවන් තරාදි ඇතුළු විශාල අයිතම පරාසයක් සතු 100%ක් දේශීය කර්මාන්ත ශාලාවකුත් ලංකාවට තියෙනවා කියන එක ම මොන තරම් ආඩම්බරයක් ද…

ඒ විතරක් නෙවෙයි, ‘ලංකාවටම එකයි…’ කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් බවට බඩ්රි පත් වන්නේ තවත් විශේෂතා ගණනාවක් හින්දා.

ඒ ගැන කියන්න හොඳම කෙනා, බඩ්රි සමාගමේ සභාපති, ෆසිල් ඩීන් අසීස්. ඔහු, 1960 දශකයේ බඩ්රි තරාදි සමාගම ලංකාවට බිහි කළ ඩබ්. පී. අබ්දුල් අසීස් ගේ වැඩිමහල් පුතු.

“අපේ නවතම BUDRY Flagship Store එක අපි සලකන්නේ Milestone එකක් විදියට. මොකද ව්‍යාපාරයක් විදියට යන්න පුළුවන් උපරිම තැනට අපි ඇවිත් තිබෙනවා. මගේ තාත්තා මං ඉපදෙන්නටත් කලින් හදපු ව්‍යාපාරය, මාත් තුන්වැනි පරම්පරාව විදියට මගේ දරුවෝත් මේ උපරිමයට ගෙනැවිත් තිබෙනවා.

මේ අති නවීන තරාදි අතර, ජීවිත කාලයටම එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්, අපි නැවත නැවත නිෂ්පාදනය කරන මගේ තාත්තා හැදූ සාම්ප්‍රදායික ‘Dial Scale’ තරාදිත් තිබෙනවා. ඩයල් තරාදි නිෂ්පාදනයෙන් පටන් අරන් අහස් යාත්‍රා කිරන තරාදි දක්වා පරාසයක් මේ රට තුළ නිෂ්පාදනය කරන්න, එකලස් කරන්න අපට හැකි වීම සතුටක්.

රට ඇතුළත ගුවන් ගමන්වල යෙදෙන ටොන් දෙක තුන දක්වා බරක් සහිත, සැහැල්ලු ගුවන් යානාවල බර කිරීමේ කටයුතු අප සිදු කරන්නේ අවුරුදු දහයක පටන්. රට ඇතුළේ ගුවන් ගත කරන සෑම සැහැල්ලු ගුවන් යානයක් ම වසර පහකට වරක් බර කිරිය යුතුයි. විශේෂයෙන් අලුත් වැඩියා කටයුතු සිදුකොට මුදා හරින අවස්ථාවේදී බර කිරිය යුතුමයි.

මොකද, අහස් යාත්‍රාවක බර අනුව ගුවන්ගත වන වේගය වෙනස්වන හෙයින් යානයේ බර හඳුනා ගැනීම ඉතා වැදගත්. ඊට අවශ්‍ය නිසි බර කිරීම කර දෙන්නේ අප විසින්. එක් රෝදයක්, එක් තැටි තරාදියක තබා එම රෝදයේ හුළං යවා තමයි බර කිරන්නේ. ඒ වගේම මඟීන් 300ක් දක්වා ගමන් කරන, ටොන් 160ක බරක් කිරීමට හැකි තරාදිත් අප සතුයි.

වැදගත්ම දේ බඩ්රි නිෂ්පාදනය කරන සෑම තරාදියක් ම ක්‍රමාංකනය කර තිබීම. හැබැයි පිටරටින් ගේන බහුතරයක් ගෘහස්ථ තරාදී ක්‍රමාංකනය කරන්නේ නැහැ. අපේ රටේ ගුරුත්වාකර්ෂණයට අනුවයි සෑම බඩ්රි තරාදියක් ම ක්‍රමාංකනය වන්නේ.

බඩ්රි තුන්වැනි පරපුර උමර් ෆසිල් , සමීර් ෆසිල් සහ ෂිමර් ෆසිල්

බඩ්රි තුන්වැනි පරපුර උමර් ෆසිල් , සමීර් ෆසිල් සහ ෂිමර් ෆසිල්

අනික, වෙන කිසිම තැනක ගෘහස්ථ තරාදි සඳහා වගකීමක් නැහැ. නමුත් අප වෙළෙඳපොළට මුදාහරින සෑම තරාදියකටම වසරක වගකීමේ කාලයක් ලබා දෙනවා. ඒ වගේම, ඉතා සුවිශේෂී වූ Calibrating Machine හෙවත් ඊට අදාළ ක්‍රමාංකන උපකරණ අප සතුයි.

ඇත්තටම මේක විද්‍යාවත් එක්ක යන කර්මාන්තයක්. ඒ නිසා මගේ පුතාලා තුන්දෙනා ම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගෙන උසස් අධ්‍යාපනයට තෝරා ගත්තේ, අපේ කර්මාන්තයේ අනාගතයට අවශ්‍ය නවීන තාක්ෂණික සහ පරිගණක විෂයන්. ඒ අනුව දැන් තුන්වැනි පරම්පරාවත් වැඩ පටන් අරන්.

මගේ ලොකු පුතා, ෂිමර් ෆසීල් නිව්යෝර්ක්වල Stony Brooke University එකේ Electrical and Electronic ඉංජිනේරු උපාධිධාරියෙක්. දෙවැනි පුතා උමර් ෆසීල්. එයා නිව්යෝර්ක්වල Binghamton University එකේ පරිගණක ඉංජිනේරුවෙක්. මේ දෙන්නම දැන් ආයතනයේ අධ්‍යක්ෂවරු ලෙස වැඩ කරනවා. ඇත්තටම ඇමෙරිකාවේ ඉගෙන ගෙන එහි නවතින්නට අවස්ථාව තිබිය දී, මගේ ඉල්ලීමට ලොකු පුතාලා දෙන්නම ලංකාවට ඇවිත් මේ කර්මාන්තයේ ඉදිරියට ඔවුන්ගේ දැනුම යොදවනවා. ඒ ගැන තාත්තෙක් හැටියට මට තිබෙන්නේ අභිමානයක්.

මගේ තුන්වැනි පුතා මොහොමඩ් සමීර්. එයාත් ඇමෙරිකාවේ, Binghamton University එකේ, Business Management and Administration උපාධිය සඳහා ඉගෙන ගන්නවා. එයත් ඉගෙන ගෙන දවසක මේ ආයතනයට වැඩ කරාවි කියා මං බලාපොරොත්තු වනවා. මගේ තාත්තා එයාගේ දරුවෝ 10 දෙනා ගැනම සතුටු වුණා වගේ මටත් මගේ දරුවෝ තුන් දෙනා ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ තුන්දෙනා තමයි මේ ව්‍යාපාරය දරාගෙන සිටින ශක්තිමත් කුලුනු තුන.

2019 මගේ ලොකු පුතා ව්‍යාපාරයට සම්බන්ධ වූ දා පටන් අද වන තුරු අලුත් තරාදි වර්ග 12කට පමණ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ, ඔවුන්ගේ දැනුම, ව්‍යාපාරික ඥානය ඉතාමත් සාර්ථක වූ අවස්ථාවක්.

අපේ BUDRY Flagship Store එක විවෘත කරන්න ආවේ මගේ අම්මා. මොකද, මං පුංචි කාලේ තාත්තා ගෙදරදී ත් තරාදි හදන හැටි මම දැක්කා. අම්මා තමයි ඒවාට අවශ්‍ය ඉස්කුරුප්පු නියන් පවා ළඟට ගෙනැවිත් දුන්නේ. එදා මගේ තාත්තා අමාරුවෙන් හදපු තරාදී වර්ගවල පටන් අති නවීන තරාදි දක්වා විශාල එකතුවක් මගේ අම්මා එදා දැක්කා. අම්මාට බොහොම සතුටක් දැනුණා.

අපි ඉලෙක්ට්‍රොනික් තරාදී ලංකාවට ගේන්න පටන් ගත්තේ 1999 දී. දැන් තොග ඇතුළත් කළා ම දෛනික අලෙවිය, සතිපතා අලෙවිය, මාසික හෝ වාර්ෂික අලෙවිය පිළිබඳ වාර්තා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් තරාදි අප සතුයි. පරිගණකයක් නැතත් තරාදියෙන් සෑම භාණ්ඩයකට ම අදාළව භාෂා තුනෙන් ම මේ වාර්තා ලබා ගත හැකි ආකාරයට යි අප ප්‍රෝග්‍රෑම් කර තිබෙන්නේ. ඒවා, ව්‍යාපාරයක තොග පවත්වා ගෙන යෑම සහ අලෙවිය පිළිබඳ සියලු තොරතුරු ලබා දෙන තාක්ෂණයෙන් ඉහළ තරාදි.

මගේ තාත්තා නිතර කිව්වේ, අපි මොනවා හරි විකිණුවොත් ඒකෙන් පාරිභෝගිකයා අමාරුවේ වැටෙන්න බැහැ කියලයි. තාත්තා කියූ විදියට ම එහෙම නොවෙන්න යි, අපි ව්‍යාපාරයේ වැඩි අවධානයක් අලෙවියෙන් පසු සේවාව සඳහා ලබා දෙන්නේ. ඇත්තටම එය අපගේ ව්‍යාපාරික ප්‍රතිපත්තිවල කොටසක්. අපි විකුණන තරාදියක මොන යම් හෝ හේතුවකින් අමතර කොටසක් නැති වූ විරල අවස්ථාවක අපි පාරිභෝගිකයාට අවස්ථාවක් දෙනවා විශේෂ වට්ටමක් සහිතව ඒ තරාදිය වෙනුවට අලුත් තරාදියක් ගන්නට.

පිටරටින් බාල තරාදී එන එක එක්තරා අභියෝගයක් තමයි. හැබැයි අපි ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවා. අනික් අතට තරගකාරීත්වය තිබෙන විටයි පාරිභෝගිකයාට හොඳම දේ අඩු මිලකට ගන්න පුළුවන් වෙන්නේ. ඉහළම තත්ත්වයෙන් යුතුව ඉලෙක්ට්‍රොනික් තරාදී සියල්ල ම නිෂ්පාදනය වන්නේ එකලස් කිරීමේ කටයුතු ලෙසින්. නමුත් ඩයල් තරාදී තවමත් සාම්ප්‍රදායික ලෙස අපේ කර්මාන්ත ශාලාවේ ම ඉතා උසස් අන්දමින් නිෂ්පාදනය වනවා. අපේ තරාදි වලට යොදන ඉලෙක්ට්‍රොනික් තරාදිවල හෘදය වස්තුව ලෙස සැලකෙන Load Cell නම් උපාංගය අප ගෙන්වන්නේ, OIML අනුමැතිය සහිත ලෝ ප්‍රකට සන්නාමවලින්.

අපේ තරාදි සඳහා අවශ්‍ය ඕනෑම අමතර කොටසක් ඕනෑ තරමක් මිලදී ගන්නට තරම් තොග අප සතුයි. ඒ නිසා තරාදියක මොන ප්‍රශ්නය ආවත් අමතර කොටස් හිඟ වන්නේ නැහැ.

අපි රජයෙන් ඉල්ලන්නේ ව්‍යාපාර කිරීමට සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය කර දෙන ලෙසයි. අලුත් ආණ්ඩුවේ කර්මාන්ත ප්‍රතිපත්ති රටට හිතකර වෙයි කියා අප දැඩි බලාපොරොත්තු සහගතව සිටිනවා.

රජයේ ආයතනවලට අවශ්‍ය තරාදි ඔවුන්ට අප වැනි දේශීය කර්මාන්තකරුවන්ගෙන් ගන්නට පුළුවන්. එවිටයි අපටත් යම් උත්තේජනයක් ඇති වන්නේ. අපේ දරුවෝ පිටරට ඉගෙන ගත්තට එහෙ නැවතුණේ නැහැ. එයාලා ඉගෙන ගත්තු දැනුම යොදවන්නේ මේ රටේ දේශීය ව්‍යාපාරයකට. ඒ කර්මාන්තය තුළ රැකියා උත්පාදනය කරන්නට. එයාලට තිබුණා මීට වඩා වැටුප් ලබන එහෙ රස්සා හොයා ගන්න. නමුත් ඒ අය එහෙම කළේ නැහැ. එවැනි දරුවන්ටත් සතුටක් ලැබෙන්නේ මේ ව්‍යාපාර ඉදිරියට පවත්වා ගෙන යන්න පුළුවන් වටපිටාවක් රටේ තිබෙනවා නම් පමණයි.

අංග සම්පූර්ණ අති නවීන තරාදි කර්මාන්තශාලාවක් අප සතුයි. දක්ෂ සේවකයන් අප සතුයි. තාත්තා එක්ක වැඩ කළ, අවුරුදු 40ක් තිස්සේ අප සමඟ වැඩ කරන අයත් සිටිනවා. තාත්තා එක්ක වැඩ කරලා, මා එක්කත් වැඩ කරලා, දැන් මගේ දරුවෝ එකත් වැඩ කරනවා. ඒ අය අපේ ගමනට ආශිර්වාදයක්.

1989 පටන් අපේ තරාදි අලෙවිය සිංගර් සමාගමත් එක්ක සිදු කෙරෙනවා. අවුරුදු 35ක් තිස්සේ බඩ්රි ප්‍රධාන බෙදා හැරීමේ නියෝජිතයා ඔවුන්. ඔවුන්ගේ ප්‍රදර්ශනාගාර 430ක් තිබෙනවා. දැනටමත් ඔවුන්ගේ පහසු ගෙවීමේ ක්‍රමය යටතේ බඩ්රි මිල දී ගත හැකියි. එවැනි පහසුකම් ලබා දෙමින් තව ඉදිරියට යන්නට අප සැලසුම් කරනවා. අපගේ රට පුරා අලෙවි නියෝජිතයන් සිටිනවා. මොරටුව, ගල්කිස්ස සහ කොළඹ 12 අපේම ප්‍රදර්ශනාගාර තුනක් තිබෙනවා.

ෆසිල් මහතාගේ මව ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්

ෆසිල් මහතාගේ මව ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්

ඇත්තටම මේ Flagship Store එකේ තිබෙන්නේ පරම්පරා තුනක දැනුම. මට විශ්වවිද්‍යාලය වුණේ මගේ තාත්තා. ඒ දේවල් මගේ පුතාලටත් පුළුවන් උපරිමයෙන් දුන්නා. ඉතිරි ටික ඒ අය අධ්‍යාපනයෙන් සම්පූර්ණ කරගත්තා. සම්ප්‍රදාය සහ නවීනත්වය සමඟ යන දේශීය සමාගමක් බව කීවේ ඒ නිසා.

මේ වෙනකොට ගෘහණියකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික කිරා ගන්න, ගොවියාගේ අස්වනු හෝ තේ දළු ටික කිරා ගන්න විතරක් නෙවෙයි රත්තරන් බඩු ටික, අහස් යාත්‍රා…ආදී මේ හැම දේකටම අපේ තරාදි භාවිත වනවා. ලංකාවේ සුප්‍රසිද්ධ බැංකු සහ මූල්‍ය ආයතන රාශියක් අපේ රත්‍රන් කිරන තරාදි උකස් කටයුතු සඳහා භාවිත කරනවා. ඒ වගේම සුප්‍රසිද්ධ සුපර් මාර්කට් ජාල ලේබල් ප්‍රින්ටින් තරාදි පාවිච්චි කරනවා.

අපේ අලෙවියෙන් පසු සේවාව විශිෂ්ට නිසා ඒ අයට හරි පහසුයි. සෑම මාදිලියකම තරාදිවල අමතර කොටස් ඕනෑම අවස්ථාවක පහසුවෙන් ලබා ගත හැකි වීම තවත් හේතුවක්. වැදගත්ම දේ අපි පාරිභෝගිකයකුට දෙන පුංචි තරාදියේ පටන්, දැවැන්ත තරාදි දක්වා සෑම එකක්ම මිනුම් ඒකක සහ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත වීම.

හුඟ දෙනෙක් නොදන්නා කාරණය තමයි ඕනෑම වෙළෙඳ කටයුත්තක් සඳහා පාවිච්චි කරන තරාදියක් මෙම දෙපාර්තමේන්තුවේ මාදිලි අනුමැතිය ලබා තිබිය යුතු බව.

ඒ වගේම ඒ තරාදි නිෂ්පාදනය හෝ ගෙන්වා බෙදා හරින සමාගමට ඒ සඳහා බලපත්‍ර තිබිය යුතුයි. එම සමාගමේ තරාදි මූලික සත්‍යායන සහතිකය ලබා ගත් පසු අලෙවි කළ හැකියි. ඉන්පසු සෑම මාස 12කින්ම නැවත වරක් ක්‍රමාංකනය කර, දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබිය යුතුයි. මෙය තරාදි අයිතිකරු විසින් කරගත යුතු කාර්යයක්. එසේ නොකළ හොත් එය දඬුවම් ලැබිය හැකි වරදක්…”

BUDRY Flagship Store ප්‍රදර්ශනාගාරය

BUDRY Flagship Store ප්‍රදර්ශනාගාරය

තරාදි එකලස් කිරීමේ කාර්යයේ යෙදෙමින්

තරාදි එකලස් කිරීමේ කාර්යයේ යෙදෙමින්

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division