Home » පාඨක හඬ

පාඨක හඬ

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

මගී අවශ්‍යතාව සලකා බණ්ඩාරගම කොළඹ බස් රථ වැඩි කරදෙන්න

කාලාන්තරයක් තිස්සේ බණ්ඩාරගමට ගැටලුවක් වී ඇත්තේ බණ්ඩාරගම සිට කොළඹට ධාවනය වන බස් රථ අවම මට්ටමේ පැවතීමයි. මේ නිසා උදෑසන රැකියාවට යන මගී ජනතාව මෙන්ම පාසල් දරුවන්ද ඉතා දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.

කලක පටන් බස් රථ වැඩි කිරීමට ජනතාව ඉල්ලා සිටියද බස් රථ වැඩි කිරීමට පැවති දේශපාලන අධිකාරිය ඉඩ නොදුන්නේ ඔවුන්ගේ හා ඔවුන්ගේ හිතවතුන්ගේ සුඛෝපභෝගී බස් යැයි කියා ගන්නා අබලන් වූ බස් රථවලට සෙනඟ පොදි ගසා ගැනීමට නොහැකි වන බැවිනි.

කිසිදු සුඛෝපභෝගී තත්ත්වයක් නැතිව, මුදල් වැඩියෙන් දී, ජනතාව මෙම සේවාව ලබා ගන්නේ වෙනත් විකල්පයක් නොමැති බැවිනි.

පිළියන්දලට හෝ කැස්බෑවට පැමිණ කොළඹ බස් රථයක් ලබා ගැනීමේ හැකියාව මගී ජනතාවට තිබුණද ඒ සඳහා ගතවන කාලය හා වියදම ඔවුන්ට මේ ආර්ථික තත්ත්වය මත දරාගත නොහැකිය.

බණ්ඩාරගමට ඉතා හොඳ බස් නැවතුම්පොළක් හා බස් රථ ධාවනය ආරම්භ කිරීමටද ස්ථානයක් තිබියදී ජනතාව මෙවන් දුෂ්කරතාවයට පත්විය යුතුදැයි ඔවුහු ප්‍රශ්න කරති. ඊට හේතුව වී ඇත්තේ මෙවන් පහසුකම් තිබියදී වුව කොළඹ බස් වැඩි කිරීමට මෙම දේශපාලන මාෆියාව ඉඩ නොදීමයි.

පසුගිය කාලයේ විවිධ සංවර්ධන කටයුතු සඳහා කොළඹ හා නාගරික ප්‍රදේශවල වෙසෙන ජනයා ඉවත් කිරීමෙන් පසු ඔවුන් වැඩි වශයෙන් පදිංචි වූයේ බණ්ඩාරගම, හොරණ ප්‍රදේශවලය. නමුත් වැඩිවන ජනගහනයට සාපේක්ෂව හොරණ බස් ධාවනය යාවත්කාලීන වුවද බණ්ඩාරගම තත්ත්වය එසේමය.

මේ වන විට බණ්ඩාරගම සිට පිළියන්දලට ධාවනය වන බස් රථ ඕනෑතරම් තිබේ. ඇත්තෙන්ම එවැනි බස්‍ රථ සේවාවක් අවශ්‍ය නැත. මේ සියලූම බස් බණ්ඩාරගම සිට කොළඹට ධාවනය සඳහා යෙදවිය හැකිය. මක්නිසාද යත් පිළියන්දල නගරය මඟ හැර කොළඹ බස් ධාවනය නොවන බැවිනි. එනිසා බණ්ඩාරගම සිට පිළියන්දල බලා යාමට එන ඕනෑම මඟියකුට සිය අවශ්‍යතාවය සපුරාගත හැකිය.

එනිසා බණ්ඩාරගම මගීන්ගේ ඒකමතික ඉල්ලීම වන්නේ සියලුම බස් රථ හොරණ කොළඹ බස් රථ ධාවනය මෙන් බණ්ඩාරගම කොළඹ දක්වා ධාවනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

එමඟින් කලට වේලාවට පාසලට හා තම රැකියා ස්ථනයට පහසුවෙන් යාමට මඟීන්ට අවස්ථාව උදාවන බව ඔවුන්ගේ මතය වී තිබේ.

එසේම ලංගම බස් නිසි අයුරින් දිනපතා ධාවනය නොවන අතර දිනපතා අදාළ වේලාවට ධාවනයට කරන බස් රථය කැඩී ගියහොත් ඊට ආදේශකයක්ද නොමැතිය. මේ නිසා එම වේලාවට රැකියා ස්ථානයට හෝ පාසලට යාමට බලාපොරොත්තුවන මගීන් විශාල අපහසුතාවයකට පත්වේ.

අනෙක් අතට මගී අවශ්‍යතාව අනුව මෙම බස් සේවාව යාවත්කාලීන කළහොත් කොළඹින් රාත්‍රී 7:00න් පසුව වුව බස් ධාවනය සක්‍රිය වේ. එවිට රාත්‍රී වැඩ නිමවී වුව එකම බස් රථයෙන් තම ප්‍රවාහන පහසුකම සලසා ගැනීමට මගීන්ට හැකිවේ.

මේ පිළිබඳ අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වී කටයුතු කරනු ඇතැයි බණ්ඩාරගම ජනතාව විස්වාසය පළ කරති.


මීගහතැන්න වෙල පහළ මාර්ගය අවදානම්

වලල්ලාවිට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි මීගහතැන්න වෙළ පහළ මාර්ගයේ කොටසක ගමනාගමනය මාරක අනතුරුදායක තත්වයකට පත්ව ඇතැයි, ප්‍රදේශයේ ජනතාව පවසති.

රුපියල් ලක්ෂ ගණනක් වැයකර සංවර්ධනය කළ මෙම මාර්ගයේ කොටසක් මේ වන විට මීගහතැන්න ඇළට කඩා වැටිී මාර්ගයේ ගමනාගමනය බරපතපළ අනතුරුදායක තත්ත්වයට පත්ව තිබේ.

මීගහතැන්න නගරයේ සිට පොල්ගම්පල, මල්වච්චිගොඩ, සමගි පුර ඇතුළු ප්‍රදේශ රැසකට ගමනාගමනයට ඇති මෙම මාර්ගයේ ස්ථාන රැසක් කැඩී බිඳී මාරක අනතුරුදායක තත්වයකට පත්ව ඇත.

වලල්ලාවිට ප්‍රදේශීය සභාවට පෙනෙන දුරින් පිහිටා ඇති මෙම මාර්ගයේ දැඩි අවදානම් තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර එය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි වලල්ලාවිට ප්‍රාදේශීය සභාවෙන් ජනතාව ඉල්ලති.

– මීගහතැන්න ජනතාව


“නැණසල” නැවත ලබාදෙන්න

බේරුවල නගර සභාව විසින් මහජන පුස්තකාල ගොඩනැඟිල්ලේ පවත්වාගෙන ගිය ‘නැණසල’ මෙයට වසර කීපයකට පෙර පුස්තකාල ගොඩනැඟිල්ලෙන් ඉවත්කර ‘නැණසල’ වෙනුවට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය ‘නැණසල’ කාමරයට රැගෙන එන ලදී. මේ වන විට ආයුර්වේදය පෙර තිබූ ස්ථානයට රැගෙන ගොස් ඇතත් ‘නැණසල’ පෙර පරිදි පවත්වාගෙන යාමට නගර සභා බලධාරීන්ට කිසිදු උවමනාවක් ඇති බවක් නොපෙනේ. මෙයට හේතුව කුමක්ද? අදාළ බලධාරින් පවසන්නේ ‘නැණසලේ’ තිබූ පරිගණක කල් ඉකුත්වූ ඒවා බවත් දැන් පරිහරණයට ගත නොහැකි බවත්ය.

එසේ නම් නව පරිගණක ගෙන ‘නැණසල’ පවත්වාගෙන යාමට නොහැකි ඇයි?

“නැණසල” සම්බන්ධයෙන් බලධාරීන් පවසන කරුණු කොතෙක් සත්‍යද?

“නැණසලේ” පරිගණක නගර සභාව විසින් ලබාගෙන ඇති බවත්, ඒවා යළි ලබාදෙන බව ප්‍රකාශ කළද ඒවා වචනයට සීමා වී ඇත. මේ සම්බන්ධයෙන් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

– බී. දොන් කලපුගේ


මිරිස්ස සුන්දර නගරයක් කරන්න

වැලිගම සංචාරක කලාපයට අයත් මිරිස්ස නගරය වැලිගම ප්‍රදේශීය සභාවෙන් පාලනය වන්නකි. එසේ වුවත් එහි සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවීමෙන් මහජනයාට විවිධ දුෂ්කරතා විඳීමට සිදුව ඇත. මිරිස්ස නගරය තුළ සෑම පාරිභෝගික භාණ්ඩයන්ගෙන්ම සමන්විත සුපිරි වෙළෙඳසල් පිරී ඇතත් නගරය දෙපස පදික වේදිකාවක් නොමැති නිසා විදේශීය සංචාරකයින් මෙන්ම පොදු මහජනතාවට මහත් අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇත. පොදු ජල කරාමයක් හෝ පොදු වැසිකිළි කැසිකිළි පහසුකමක් නොමැති බැවින් විදේශීය සංචාරකයන් මහත් අපහසුතාවන්ට මුහුණ පා සිටිති.

අතුරු මාර්ග සඳහා කානු පද්ධතියක් නොමැති නිසා වැසි දිනවලදී මහජනතාවට මහත් අපහසුතාවලට මුහුණ දීමට සිදුව තිබේ. එසේම ගාල්ල දෙසට ඇති මිරිස්ස සහ උඩුපිල හන්දියේ තිබෙන බස් නැවතුම් ස්ථාන සඳහා මගී ආවරණයක් නොමැති වීම බලවත් අඩු පාඩුවකි. විදේශීය සංචාරකයන් රැඳී සිටින මිරිස්ස නගරය සුන්දර නගරයක් කිරීමට වගකිව යුතු බලධාරීන්ගේ වගකීමකි.

වසන්ත ද සිල්වා – වැලිගම


පැල්මඩුල්ල නගරය යථාවත් කර දෙන්න

පැල්මඩුල්ල නගරය අනාගතයේ තිබිය යුතු ස්ථානය පිළිබඳ දැක්ම (Vission ) ගොඩනඟා ගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී, පියකරු නගරයක් බවට සංවර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව හෝ උවමනාව පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට හෝ මෙහි වාසය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රී පිරිසට දශක හතරක පමණ කාලයකට පෙර සිටම තිබී නැත .

උදෑසන සිට කඩ සාප්පුවලින් ඉවතලන කුණු කසළ ඉවත් කිරීම හෝ නගරය පිරිසිදු කිරීම දහවල තෙක් සිදු නොවීම ගැටලුකාරී තත්වයත් බවට පත්ව ඇත

එසේ වුවද “කසළ බැහැරකරණයේ විද්‍යාත්මක ක්‍රමවේදය මෙන්ම කසළ ප්‍රතිචක්‍රීකරණ පිළිබඳ කියාදෙන වැඩමුළු පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව තුළ නිරන්තරයෙන් පැවැත්වෙනු දැකිය හැකිය. මේ තත්වය සමඟ එය විහිළු සහගතය.

බස්නැවතුම්පොළේ තත්ත්වයද එසේමය. කොළඹ බලා දිවෙන බස් රථ, මගීන් නංවා ගැනීමට නතර කළ යුත්තේ, බස් නැවතුමට ඉදිරිපස මහ පාරේය. එයට මගීන් ගොඩවීමේදී එම දිශාවටම ධාවනය කෙරෙන තවත් බස් රථයක් පැමිණියහොත් මගීන් නංවාගනු පිණිස එය නතර කළ යුත්තේ පළමු බසයට පිටුපසිනි. ඒ පාර මාරුවෙන කහ ඉර මතය. ඒ බස් නැවතුමට ප්‍රමාණවත් ඉඩකඩක් වෙන්කරදී නොමැති තත්වයක් තුළය.

එපමණක් නොව වැසි ජලය බැස යන කානු ගොඩකර, ඒ මත ස්ථිරව පෞද්ගලික ගොඩනැඟිලි ඉදිකර තිබීම නිසා වෙළෙඳසල්, සාප්පු, හෝටල් සහ සෙසූ වෙළෙඳ ආයතනවලින් බැහැර කෙරෙන කුණු කසළ හා මළ අපද්‍රව්‍ය ගොඩනැඟිලි පිටුපස බිම්කඩට සහ ඇළ මාර්ගවලින් යා කෙරෙන කුඹුරුවලට මුදා හැරෙයි. විශාල ජනතාවක් ගැවසෙන නගරයට දැනුදු විද්‍යාත්මක නගර සංවර්ධන සැලැස්මක් නොමැත.

පැල්මඩුල්ල කිසිදා සංවර්ධනය නොවන නගරයක් බවට පත්ව තිබේ. මේ නිසා පැල්මඩුල්ල නගරය විධිමත් නගරයක් ලෙස ක්‍රමානුකූලව සංවර්ධනය කර දෙන මෙන් පැල්මඩුල්ල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

– තුසිත් සාගර

සංස්ක­ර­ණය - රසික කොටු­දු­රගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division