සරුංගලය යන වදන අපේ වාග්කෝෂයට එකතු වන්නේ කුඩාකාලයේ සිටය. සාමාන්‍ය ඉරටු යොදා ගනිමින් නොයෙක් හැඩතලවලින් සහ විවිධ පැහැයෙන් යුතු සව්කොළවලින් නිර්මාණය කෙරෙන සරුංගලයේ සමබරතාව රැකෙන්නේ එහි කෙළවරවලට යොදන දිගැති රැලි මඟිනි. මෙය සරුංගලයේ සරලම ආකෘතියයි. මේ සරුංගලය නූලක් යොදා ගනිමින් ඉහළ අහසට මුදා හරියි. අප පසුකරමින් කරණම් ගසමින් උඩුගුවණේ රැලි නඟමින් ලෙළදෙන සරුංගල් අපේ මතකයේ තවමත් රැදී ඇත. එ් සරල සරුංගලය වෙනුවට පුංචි සැණකෙළියක් මෙන්, රෑ අහස වර්ණවත් කරන නොයෙක් හැඩයෙන් නොයෙක් වර්ණයෙන් යුතු ඩිජිටල් සරුංගල් ගැන මින් පෙර අසා නැති කතාවක් අපිට අසන්නට ලැබුණේ වත්තල ශාන්ත ජෝසෆ් විද්‍යාලයෙනි.
සාම්ප්‍රදායික ක්‍රමවේදය අතික්‍රමණය කරමින් අනෙක් සියල්ල මෙන්ම සරුංගලය ද නවීකරණය වී ඇති බව අපිට එහිදී දැක ගත හැකි විය. අපේ සාම්ප්‍රදායික සරුංගලය ද ඩිජිටල්කරණයට ලක් වී ඇත .
ලංකාවේ සරුංගලය ඩිජිටල්කරණයට ලක්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන අතරම ලංකා ඉතිහාසයේ පාසල් පද්ධතිය තුළ මෙවන් සුවිශේෂ දෙයක් සිදුවූ පළමු අවස්ථාව ද වෙයි. මෙම ඩිජිටල් සරුංගලය නිර්මාණය කර ඇත්තේ වත්තල ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ තාක්ෂණික විෂය භාර ගුරුතුමිය වන ශෙනිකා ජයවර්ධනගේ අදහසකට අනුවයි.
නවීන තාක්ෂණය හා නිරතුරුව ගැටෙන පිරිමි දරුවන් සිටින පාසලක තම සිතැඟියාව සිතුවාටත් වඩා ඉහළින් ඉටුකර ගැනීමට හැකිවීම ගැන ඇගේ මහත් වූ ප්‍රීතියට හේතුවිය.
“නිශ්චිත නිවාඩු කාලයක් නැතිව දැන් පාසල් දරුවන් විභාගවලින්ම හෙම්බත් වෙලා ඉන්නේ. තාක්ෂණික විෂය භාර ගුරුවරිය විදිහට මං ඉගෙන ගත්ත දෙයින් මොකක් හරි දෙයක් කරන්න ඕන කියන අදහස මට තිබුණා. ඒ ගැන හිතමින් ඉන්න වෙලාවක දවසක් ඈත අහසේ පාවෙන සරුංගලයක් දිහාවට මගේ ඇස් යොමු වුණේ අහම්බෙන් වගේ. මට හිතුණා තවමත් සාම්ප්‍රදායික විදිහටම උඩ යන මේ සරුංගලයට වෙනසක් කරන්න බැරි ඇයි කියලා. මං චීනයේ ඉන්න මගේ නංගිට කතා කරලා ඇහුවා මට මේ වගේ අදහසක් ආවා. ඒ වගේ දෙයක් ඔය රටේ තියෙනවා ද කියලා. ඇය කිව්වේ ඒ රටේ විශ්වවිද්‍යාලවල නම් ඒ දේවල් සිදුකරන බවයි. ඉක්මනින්ම මං ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බැලුවා ලංකාවේ කවුරුහරි මේ වගේ දෙයක් කරලා තියෙනව ද කියලා. එහෙම දෙයක් කොහේවත් සටහන් වෙලා තිබුණෙ නෑ. පහුවෙනිදම මං අපේ පාසලේ ෆාදර්ට මගේ අදහස කිව්වා. ෆාදර් මට නිදහස දුන්නා කැමති විදිහට ඒක කරන්න කියලා.
මං ඒ අදහස පාසලේ දරුවන්ට කිව්ව විතරයි. ඔවුන් ඒකට කැමති වුණා. ඒ අනුව අපි ඒ කටයුත්ත ආරම්භ කළා. වාර පරික්ෂණය ඉවර වෙලා ඊළඟ සති දෙක යොදාගෙන 6 – 13 වසර දක්වා හැම පන්තියකින්ම එක ඩිජිටල් සරුංගලයක් හැදෙන, හැම පන්තියක්ම නියෝජනය කෙරෙන විදිහට තරගයක් ආකාරයෙන් මේ නිර්මාණශීලි සරුංගල් තරගයක් පවත්වන්න මං තීරණය කළා.
හරිම ඉක්මනින් හරිම උනන්දුවෙන් ළමයි ඔක්කොම එකා වගේ මේ වැඩේට සහය දුන්නා. එතනදි මං බලාපොරොත්තු වුණෙත් ළමයින්ගේ මේ සාමූහිකත්වය, එකිනෙකාට ඇහුම්කන් දීම, අනෙකාගේ අදහසට ගරු කිරීම, අදහස්, හැකියාවන් බෙදා ගැනීම වගේ දේවල්. ඒ වගේම මේක තාක්ෂණික උපාංග යොදාගෙන නිර්මාණශීලි විදිහට කරන්නත් ඕන කියන එක මං කිව්වා. එයින් මම අදහස් කළේ ඔවුන්ගේ කර්තව්‍යයට සෘජුවම බලපාන සුළඟේ වේගය, තෙතමනය, උෂ්ණත්වය වගේ පරිසර තත්ත්වයන් ගැනත් දරුවන්ගේ සැලකිල්ල යොමු කරවන්න. ඕනෑම තාක්ෂණික උපාංගයක් යොදාගෙන තමන්ගේ නිර්මාණ කරන්න මං නිදහස දුන්නා. හරිම ලස්සනට ඒ දේවල් සිද්ධ වුණා. ළමයි අවශ්‍ය බඩු කරගහගෙන ඇවිත් ඉස්කෝලෙ පිට්ටනියේ ඉඳන් රෑ නවය දහය වෙනකල් හැදුවා. පොඩි ළමයි වැඩේ කරන අයට උදවු කළා. මේ හැම වියදමක්ම දැරුවේ ඒ ළමයිමයි. කොතරම් නිර්මාණශීලි වුණත් සරුංගලය උඩ යන්න නම් සැහැල්ලු බව තිබිය යුතුමයි. ඒ සඳහා ඔවුන් කිතුල් පතුරු, බට පතුරු වගේම ලැප්ටොප්වල බැටරි යොදාගෙන තිබුණෙත් ඔවුනොවුන්ගේ අදහස්වලටම ක්‍රියාත්මක වෙමින්. අද දරුවන්ගේ බුද්ධිමත් බව හොඳින්ම තහවුරු වුණු තැන් කිහිපයක්ම මං දැක්කා. ඔවුන් ඒක ඉදිරිපත් කිරීමේදී හරි ලස්සනට පැහැදිලි කළා. නිකන්ම සරුංගලයකට LED බල්බ් ටිකක් හයිකරලා උඩ යවනවට වඩා එහා ගිය සූක්ෂම බුද්ධියක් ඔවුන්ට තිබුණා.
පළවෙනි ස්ථානය ලබාගත් 8E ඉංග්‍රීසි මාධ්‍ය පන්තියේ ඩිජිටල් සරුංගලය ලස්සන වර්ණවත් මොනරෙක් විදිහට හදල තිබුණා. ඒක ජයග්‍රහණය කරන්න; විශේෂ හේතුවක් තිබුණා. සරුංගලය දැන් තියෙන්නෙ කොතරම් උඩක ද කියන එක මෙෂර් වෙලා; ඒ දත්තයන් එවෙලෙම ෆෝන් එකකට සම්බන්ධ වෙන විදිහේ සංවේදක ඒකට සවි කරලා ඒ නිර්මාණය කරලා තිබුණා. ඒ වගේම තව එකක් තිබුණා; ඒ සරුංගලය පවතින මට්ටමේ සුළඟේ වේගය සටහන් වන විදිහටත් හදලා. මොනරු, බස්සෝ, නයි, යක්කු වගේ එක එක හැඩයේ ආකර්ෂණීය නිර්මාණ එකතු කරලා තිබුණා.
දෙවැනි ස්ථානය හිමි වුණේ 12 ගණිත අංශයට. ඔවුන්ගේ සරුංගලය හරිම ලස්සන බස්සෙක්. ඒ නිර්මාණය කරලා තිබුණේ උඩ යද්දි සද්දයක් නිකුත් වෙන විදිහට. තෙවැනි ස්ථානය හිමි වුණේ රුවල් නැවක් නිර්මාණය කරපු 8S3 පන්තියට. සාමාන්‍යයෙන් ඒ වගේ හැඩයක් සරුංගලයකට යොදාගන්නෙ නැති තරම්නේ. ඒකත් වෙනස් ලස්සන නිර්මාණක් වුණා.
ඒ වගේ එක එක ශබ්ද නිකුත් කරන එක ආකර්ෂණීය හැඩයේ නිර්මාණ අතරේ නූල දිගට LED බල්බ් සීරීස් එකක් සවිකරල ආලෝක ධාරාවක් නිකුත් කරන ආකාරයට හදපු එකකුත් තිබුණා. ඇත්තටම මේ අලංකාර නිර්මාණ වඩා සුවිශේෂ වන්නෙ ඒවා සකස් කළේ පාසල් දරුවන් විම නිසයි. ඒ විදිහට නොයෙක් හැඩයෙන් විවිධ තාක්ෂණික උපාංග භාවිත කරමින් හිතුවාටත් වඩා ඉහළ මට්ටමකින් ඩිජිටල්කරණයට ලක්වුණු සාම්ප්‍රදායික සරුංගලය 9 වසරේ තොරතුරු තාක්ෂණය පෙළ පොතේ microcontroller පාඩමට අදාළව ප්‍රායෝගික අත්හදා බැලීමක් විදිහටයි කළේ. ඒකට පුංචි සැණකෙළියක ස්වරූපයක් ගේන්නත් අපි උත්සාහ කළා. එදා සවස පහේ ඉඳන් රෑ දහය විතර වෙනකල් අහස වර්ණවත් වුණේ අපේ දරුවන්ගේ ඩිජිටල් සරුංගල්වලින්. ඒක හරිම ලස්සන අත්දැකීමක් වුණා. ළමුන් හරහා කළ විවෘත ආරාධනය සැලකිල්ලට අරන් විශාල පිරිසක් එය නැරඹීමට පැමිණ තිබීමත් දරුවන් දිරිගන්වන සුලු කරුණක් වුණා.
පාසල් දරුවන්ගේ දක්ෂතාව අගය කරමින් පිළිගැනීමට ලක්කරමින් දසතින් පැසසුම් ගලා ඒමත් ඒ දරුවන්ට වගේම අපේ මේ උත්සාහයේ ඉදිරි අනාගතයටත් විශ්වාසදායී ආයෝජනයක් කියලයි මට හිතෙන්නේ. මෙය පාසල් මට්ටමින් පවත්වන්න කියලත් යෝජනා රැසක් ඉදිරිපත් වෙලා තියෙනවා. වගකිවයුතු කවුරුන් හෝ ඒ සඳහා අනුග්‍රහය දක්වනවා නම් මෙය තවත් දියුණු කළ හැකියි.
පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු කළ ඇය ඩිජිටල් සරුංගල් සැණකෙළිය නැරඹීම සඳහා පැමිණ දරුවන් දිරිමත් කළ සැමටම ස්තුති පූර්වක ප්‍රණාමය පුද කළ අතරම දරුවන්ගේ දක්ෂතා ඉස්මතු කිරීමට අවශ්‍ය වන්නේ ගුරුවරුන්ගේ නිවැරදි මඟපෙන්වීම සහ ඔවුන් කරන දේ නිරීක්ෂණය කිරීම පමණක් බව ද සඳහන් කළාය.
නාමලී ගමගේ