එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHCR) සැසියේදී, ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියේ’ (Sri Lanka Accountability Project) මෙරට සිවිල් යුද්ධයේ අවසාන අදියරට අදාළ බාහිර සාක්ෂි එක්රැස් කිරීමේ යන්ත්රණයේ වරම දීර්ඝ කරන යෝජනාව ශ්‍රී ලංකා රජය 2024 ඔක්තෝබර් 9 වන බදාදා ප්‍රතික්ෂේප කළේය.
මෙය මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවේ සහ 46/1 දරන පූර්ව යෝජනාවේ අඩංගු වී තිබුණි. මේ යෝජනාවට අදාළ රට වූ ශ්‍රී ලංකාව ප්‍රකාශ කළ විරෝධය නොතකා ම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. එහිදී ශ්‍රී ලංකාව මිත්‍ර රටක් මඟින් ඡන්දයක් ඉල්ලා සිටීමටවත් කිසිදු උත්සාහයක් නොගත්තේය.
ජිනීවාහි දේශපාලන නාඩගම සහ ජාතිකවාදයේ ආවේගශීලී සටන් පාඨ
මේ ප්‍රතිඵලය හෝ ශ්‍රී ලංකාවට මේ වන විට ජිනීවාහි වාර්ෂිකව අත්විඳින්නට සිදුවන දේශපාලන නාඩගම අලුත් දෙයක් නොවේ. යහපාලන ආණ්ඩු සමයේදී (2015-2019) කාටවත් නොතේරෙන අද්භූත හේතු මත ලංකා රජය තමන්ට එරෙහි යෝජනාවට සම-අනුග්‍රහය දැක්වීමට තීරණය කළ කාලය හැරුණු විට, බලයට පත් වූ සියලුම ශ්‍රී ලංකා රජයන් විසින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
යුද්ධය අවසන් වූ දා සිටම ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීමට, නැතහොත්, ‘නම් කොට ලජ්ජාවට පත් කිරීම’ සඳහා වසර 12ක කාලයක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගෙන ගොස් ඇත. ඒ, රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ පාලනයට කිසිසේත් නතු නොවූ තත්ත්වයක් සම්බන්ධයෙනි. වඩාත් පැහැදිලිව කිවහොත්, ජිනීවාහි විමර්ශනයට ලක්ව ඇති මානව හිමිකම් උල්ලංඝණ සිදු කරනු ලැබුවේ ජනතාව කෙරෙහි සැබෑ වගකීමක් නොමැති අත්තනෝමතික නායකත්වයක් විසින් බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.
එහෙත් යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව වසර ගණනාවක් පුරාවටම දේශීය වශයෙන් ආරක්ෂා වීමට ජාතිකවාදයේ ආවේගශීලී සටන් පාඨ භාවිත කිරීමේ දේශපාලන වාසිය මේ නායකයෝ මැනැවින් තේරුම් ගත්හ. ඒ, 2022 දී ශ්‍රී ලංකාව අති විශාල ආර්ථික හා මූල්‍ය අර්බුදයකට ඇද දමා සමස්ත රටම අගාදයකට වැටෙන තුරු රටේ සම්පත් මංකොල්ලකෑම දිගටම කරගෙන යන අතරතුරය. මේ තත්ත්වය වර්තමානය වන තුරුම පවතින්නක් බව අප සැම දන්නා කරුණකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ගෝලීය වේදිකාවක් මත අප රට ප්‍රසිද්ධියේ ‘නම් කිරීම සහ ලැජ්ජාවට පත් කිරීම’ ඇරඹුණේ පසුගිය රජයන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ දූෂණය යන කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩව ගෝලීය වශයෙන් මුහුණ පෑ අතිශය නිෂේධාත්මක දේශපාලන තත්ත්ව සහ විශ්වාස භංගත්වය හේතුවෙනි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව වසර 12 ක් මුළුල්ලේ මෙලෙස අඛණ්ඩව ජාත්‍යන්තර අවමානයට ලක් වී තිබෙන අතර, එය නිම වන බවක් පෙනෙන්නට නැත. 2024 ඔක්තෝබර් 9 වැනි දින ජිනීවාහිදී සම්මත වූ යෝජනාව රටක් වශයෙන් අපගේ දීර්ඝකාලීන ජාත්‍යන්තර අනාගතය කෙබඳු විය හැකිද යන්න පෙන්නුම් කරන පැහැදිලි සලකුණකි.
දැන් රටේ නව ජනාධිපතිවරයෙක් පත්ව සිටින නිසා සහ ලබන මස මැද වන විට පැහැදිලි ජනවරමක් සහිත නව රජයක් පත්වේ යැයි බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් තුළ, රටක් ලෙස අපගේ අනාගතය ජාත්‍යන්තරව සලකුණු කරනුයේ කෙසේද යන්න අප අපගෙන්ම ඇසිය යුතු ප්රශ්නයකි.
සන්දර්ශනාත්මක නඩු විභාගය සහ ‘කෝපයේ’ සහ ‘යුක්තියේ’ නාටකය
මේ කිසිවකින් යුද සමය තුළ ශ්‍රී ලංකා රජයේ සහ එහි කේන්ද්‍රීය ආයතනවල නායකත්වය දැරූවන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගනොකිව යුතුය යන්න අදහස් නොවේ. එහෙත් එම ගැටලුවලට පැහැදිලිවම වගකිව යුත්තන් නීතියේ රැහැනට හසු කර නොගත් පමණින්, ජාත්‍යන්තරව පැවැත්වෙන කිසිදු මධ්‍යස්ථ බවක් පෙන්නුම් නොකරන, ඊනියා‘කැන්ගරූ’ අධිකරණයක, වසර ගණනාවක් මුළුලේ ගෝලීයව දිගහැරෙන සන්දර්ශනාත්මක නඩු විභාගයකට සමස්ත රටත් එහි ජනතාවත් යටත් නොකළ යුතු වේ. මෙය ගෝලීය වේදිකාවක් මත අප සැමදෙනාටම වාර්ෂිකව හා අසාධාරණ ලෙස ලබාදෙන සාමූහික දඩුවමකි. වඩාත් වැදගත් දෙය නම්, තමන් විසින්ම පත් කරගෙන ඇති එක්සත් ජාතීන්ගේ සංගමයේ ඊනියා විනිශ්චයකරු වන එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලය (UNHCR) කිසි ලෙසකින් හෝ අපක්ෂපාතී ආයතනයක් නොවීමය. අපි සරල කරුණු කිහිපයක් පමණක් සලකා බලමු.
මේ වන විට, ගාසා තීරයේ සහ ලෙබනනයේ ඊශ්‍රායලය විසින් මුදාහැර ඇති මහා පරිමාණ ප්රචණ්ඩත්වය කිසි ලෙසකින් හෝ නොතකා, ශ්‍රී ලංකාව, කියුබාව, අප්‍රිකානු රාජ්‍ය කිහිපයක් සහ අනෙකුත් අඩු බලගතු රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලය වෙත ඇදගෙන ගොස් ඇති ආකාරයට ඊශ්‍රායලය ද ගෙන යනු ඇතැයි කිසි ලෙසකින්වත් සිතිය නොහැකිය. ඒ බව මේ වන විටත් මනාව ඔප්පු කර තිබේ.
එමෙන්ම, P5 වශයෙන් හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස් දෙනා ද ඇතුළුව ආරක්ෂක මණ්ඩලයේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ සදාචාරාත්මක පොලිසිය ලෙස නරි බණ කියමින් හැසිරෙන බොහෝ රටවල මානව හිමිකම් වාර්තා ඓතිහාසිකව මෙන්ම යටත් විජිත කාල වකවානු ද සමඟ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ වාර්තාවට වඩා බෙහෙවින් ගැටලුකාරීය.
අප මෙවන් රටවල යටත්විජිත සමයෙහි සිදු කළ අපරාධ මොහොතකට අමතක කර දමා, වඩාත් මෑතකාලීන ඉතිහාසය පමණක් සලකා බලමු. ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ රුසියාව වැනි රටවලට ඔවුන් සිරියානු සහ ඉරාක යුද්ධ සන්දර්භය තුළ මෙන්ම ඇෆ්ගනිස්ථානයේ ඇති කළ අතිශයින් විනාශකාරී සහ අවුල් සහගත තත්ත්ව සම්බන්ධයෙන් කවදා හෝ දඬුවම් කර තිබේද? කවදා හෝ දඬුවම් කරණ බවක් පෙනෙන්නට හෝ තිබේද? කෙසේ වෙතත්, හමුදා සහ දේශපාලන බලය මෙන්ම මුදලේ ආධිපත්‍යය ද කතා කරන්නේ ඒවාටම ආවේණික වූ උද්දච්ච බසකිනි. එමඟින් ජාතන්තර ශිෂ්ටසම්පන්න බව, ව්‍යවහාරික බුද්ධිය, විනිවිඳ භාවය, යුක්තිය සහ සාධාරණත්වය මුළුමනින්ම නිෂේධනය කර තිබේ. එබැවින්, මෙම රටවල් සෑම විටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් නිරතුරවම ලියා රඟ දක්වන ඊනියා ‘කෝපයේ’ සහ ‘යුක්තියේ’ නාටකවල කාර්ය සාධනයෙන් ගැලවී ඇත.
නව භාරකාර රජයේ විවෘත බව
ශ්‍රී ලංකාවේ නව භාරකාර රජය, එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ යෝජනාව ප්‍රතික්ෂේප කළ අතරම, එම යෝජනාවල සඳහන් කර ඇති ප්‍රධාන මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට, පෙර රජයන් මෙන්ම දේශීය ක්‍රියා පටිපාටි හරහා ප්රතිසන්ධානය ඇති කිරීමේ ඇති වැදගත්කම තමන් දැඩි ලෙස විශ්වාස කරන බව පෙන්වා දී තිබේ. මෙයින් අදහස් කරන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමඟ අර්ථාන්විත ක්‍රියාමාර්ගවල නිරත වීමට විවෘත බව මෙන්ම රට තුළ ක්‍රියාත්මක වන නිත්‍ය මානව හිමිකම් සහ නීතිමය යාන්ත්‍රණ ඔස්සේ මානව හිම්කම් කවුන්සිලය මතු කර ඇති කරුණු විසඳීමට උත්සාහ කරන බවයි.
කෙසේ වෙතත්, වචනයයේ පරිසමාප්ත අර්ථයෙන් ගත් කල, වර්තමාන ප්‍රතික්ෂේප කිරීම පසුගිය රජයන් අඛණ්ඩව කළ දේට වඩා වෙනස් නොවේ. ඉතින්, මෙවර වෙනස් වන්නේ කුමක්ද? වෙනස් විය යුත්තේ කුමක්ද? විකල්ප සැලැස්මක සේයාවක්වත් ඉදිරිපත් නොකර, යෝජනාව ප්‍රතික්ෂේප කිරීම කොතරම් ඵලදායීද? සැබැවින්ම, මෙරට විදේශ අමාත්‍යාංශයෙන් නව රජයට දුන් උපදෙස මෙයද? රටේ විදේශ සේවයේ සිටින දක්ෂ හා පළපුරුදු නිලධාරීන්ගෙන් සහ ඉන් පරිභාහිරව සිටින විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක්, පාලකයින්ට හා නායකයින්ට නිර්දේශ සහ උපදෙස් ලබා දීම උදෙසා පිහිටුවා තිබේද? වඩාත් පැහැදිලි කරුණ නම්, ජිනීවාහි වාර්ෂිකව පැවැත්වෙන නාඩගම පිළිබඳ ගැටලුව දිගුකාලීනව ආමන්ත්‍රණය කිරීමට නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගත නොගතහොත්, එය ඉදිරියටත් මෙසේම පවතිනු ඇත.
බලය අයුතු ලෙස භාවිත කිරීමේ ප්‍රතිවිපාක
දැනට පවතින තත්ත්ව තුළ, පෙරට වඩා වෙනස් දෙයක් වර්තමානයේ තිබේද? නැතහොත් එවන් වෙනස් දෙයක් තිබිය හැකිද? මේවන විට, අපට නව ජනාධිපතිවරයකු සිටින අතර, 2024 නොවැම්බර් 14න් පසු නව රජයක් ද ඇති වනු ඇත. ඒ රජය දූෂණය හා මානව හිමිකම් උල්ලංඝන තමන්ගේ කරමත පටවා ගත් රජයක් නොවනු ඇත යන්න මගේ අපේක්ෂාවයි. පෙර පැවති පාලන තන්ත්ර මෙවන් ගැටලු තමන් මතත් එහි ජාත්‍යන්තර ආදීනව අවාසනාවන්ත රටවැසියන් මතත් දීර්ඝකාලීනව පැටවූ බව අප දන්නා කරුණකි. යුද්ධයේ කුරිරු යථාර්ථය මැනැවින් තේරුම් ගත්ත ද මේ තත්ත්ව පිළිබඳ වගකීම බලය ඉක්මවා ගිය සහ දැනුවත්වම වැරදි නියෝග ක්‍රියාත්මක කළ වැරදිකරුවන් විසින් දැරිය යුතු වගකීමක් මිස, ඊට රටවැසියන්ට හෝ නව රජයට වග විය නොහැකිය.
එමෙන්ම, යුද්ධය යනු හුදු මානව හිමිකම් උල්ලංඝණය කිරීම සහ පුළුල්ව පැතිර ගිය සමාජ දුක පිළිබඳ ප්‍රශ්නයක් පමණක් ම නොවේ. එය එකල ඉහළ නායකත්ව තනතුරු දැරූ බොහෝ දෙනෙකුට අශිෂ්ට හා ආචාරධර්ම විරෝධී ජාවාරම් කරගෙන යාමට අවකාශ විවර කළ සහ සුපැහැදිලිවම බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ කාරණයක් ද වේ. මේ මොහොතේ පැහැදිලිවම වෙනස් විය යුත්තේ මෙයයි.
යමක් වැරදි නම්, එය ඉතාමත්ම සරලව වැරදියි. ඒ සඳහා වෙනත් විකල්පයක් තිබිය නොහැකිය. යම් පුද්ගලයකු ඕනෑම මට්ටමක හෝ තත්ත්වයක සිට ඊට අදාළ අධිකාරිය ඉක්මවා කටයුතු කර ඇත්නම්, ඔහුගේ තනතුර හෝ සමාජ තත්ත්වය නොසලකා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවට එවැනි කරුණු තනිවම විමර්ශනය කර යුක්තිය ඉටු කළ නොහැකි බව කිසිවකුටවත් කිව නොහැකිය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංගමයේ හෝ අන් බාහිර හා විදේශීය පාර්ශ්වවල සහාය අවශ්‍ය නැත. එහෙත් ඒ සඳහා ඊට අවශ්‍ය දේශපාලන අභිලාෂය දේශීය වශයෙන් තිබිය යුතුය. එමෙන්ම ඒ සඳහා මහජනතාවගේ, එනම් පාර්ලිමේන්තුවේ අනුකම්පාසහගත සහයෝගය ද පැහැදිලිවම අවශ්‍ය වේ.
තවද, එසේ කිරීමට නම්, මෙවන් විශේෂිත ගැටලු විමර්ශනය කිරීම උදෙසාම ඉදිරියේදී ස්ථාපනය කළ හැකි විශේෂ ආයතන ද ඇතුළුව දේශීය අධිකරණ සහ විමර්ශන යාන්ත්‍රණ ශක්තිමත් කර, ඒවා අනවශ්‍ය දේශපාලනික මැදිහත්වීම්වලින් ආරක්ෂා කළ යුතුය. මෙවන් තත්ත්වයක් අත්‍යවශ්‍යයෙන්ම පැමිණිය හැක්කේ පුනර්ජීවනය වූ, බුද්ධිමත් සහ ආචාරධාර්මික නායකත්වයකින් පමණි. එසේම, එවැන්නක් පැමිණිය හැක්කේ අතීතයේ දූෂණයෙන් හා අනේකවිධ අපයෝජනයන්ගෙන් කිලිටි නොවූ නව රජයකට පමණක් ගෙන ආ හැකි නීත්යානුකූලත්වයෙන් හා සුජාතභාවයෙන් පමණි.
නමුත්, අප නැවත වරක් මේ තත්ත්වය තේරුම් ගෙන, ඊට නිසි ලෙස මුහුණ දෙන්නට අසමත් වුවහොත්, අපට සිදු වන්නේ සදාකාලිකවම අනාගතයේදී වාර්ෂිකව ජිනීවාහි දී රඟදැක්වෙන, අපව සැමදාම ලජ්ජාවට පත් කරන නාඩගම් දිගින් දිගටම බලා සිටින්නටය.
මහාචාර්ය සසංක පෙරේරා