‘2022 වසරේ අගෝස්තු මස මෙරට සංචාරයක නිරත යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියාතික කලාපයේ අධ්‍යක්ෂ ජෝජර් ලැරී මහතා විසින් දන්වා සිටියේ ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයෙන් ගෝලීය වශයෙන් 6 වන ස්ථානයේ පසුවන බවත් දකුණු ආසියාතික මන්දපෝෂණ තත්ත්වයන්ට ගොදුරුව ඇති රටවල් අතර 6 වන ස්ථානයේ පසුවන බවත්ය.‘
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේ ද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනා ගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවක් පසුගිය සැප්තැම්බර් 04 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
2022 වසරේදී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මඟින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණි. එමෙන්ම 2023 ජූනි පෝෂණ මස තක්සේරුවෙන් හඳුනා ගෙන ඇත්තේ 2022 වසරට සාපේක්ෂව ළදරුවන් සහ අවුරුදු 2 දක්වා වන දරුවන් අතර අඩු බර සහ මිටිභාවය වැඩි වී ඇති බවයි. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු බර අනුපාතය වූ 24.6% ලෙස කැපී පෙනෙන සේ වාර්තා වී තිබුණි. එම වාර්තාවට අනුව සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනා ගෙන තිබුණි.
2023 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10%ක් ලෙස එම වාර්තාවේ දැක්වුණු අතර අවුරුදු 5ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2%ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව දරුවන් 16,000කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳින බවත් එහි දැක්වුණි.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වාර්තාවන්ට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3%ක් ලෙස 2023 වසරේ පෙන්නුම් කර ඇත. එය පෙර වසරේ එනම් 2022 වසරේ දක්වා ඇත්තේ 9.2%ක් ලෙසිනි.
නිවෙසින් නිසි පෝෂ්‍යදායි ආහාර සුරක්ෂිතතාවක් නොපැවතීම ද මේ මන්දපෝෂණ තත්ත්වය ඇතිවීමට බලපා ඇති බව වාර්තාව මඟින් පෙන්වා දී ඇත.
2022 වර්ෂයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් 98%ක් ආහාර මිල ඉහළ යාම නිසා පීඩාවට පත් වී ඇති අතර ඒ හේතුවෙන් එම වර්ෂයේ අවසාන මාස හය තුළදී අධ්‍යයනය කරන ලද පවුල්වලින් 74%ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකියාව නොතිබූ බව එම වාර්තාව ඔස්සේ පෙන්වා දී තිබුණි. එමෙන්ම ආහාර අනාරක්ෂිත තත්ත්ව නැතහොත් නිසි පරිදි ආහාර ලබා ගත නොහැකි පවුල් ප්‍රතිශතය 2023 වසරේ මාර්තු මාසයේ පැවතියේ 17%ක් ලෙසිනි. එම ප්‍රතිශතය එම වසරේ අවසන් කාර්තුවේදී 24%ක් දක්වා ඉහළ ගොස් තිබුණි. සමස්ත පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩු කර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති අතර හතරෙන් එකක් අසල්වැසියන්ගෙන් ලැබෙන ආහාර මත ජීවත් වෙන බව ද එහි දක්වා තිබුණි.
ගැබිනි මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට බාධාවකින් තොරව පෝෂණ අතිරේක සැපයීම, සෞඛ්‍ය සම්පන්න හා අඩු වියදම් ආහාර වේලක් සඳහා දැරිය හැකි මිලකට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා එම ද්‍රව්‍යවල මිල පාලනය කිරීම, ගුණාත්මක ආහාර සැපයීම සඳහා පෙර පාසල් ආහාර වැඩසටහන, පාසල් ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම හා ඒවා අධීක්ෂණය කිරීම ඇතුළු කෙටි, මධ්‍ය හා දිගුකාලීන නිර්දේශ රැසක් එම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබුණි.
මෙරට මන්දපෝෂණය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන රැසක් 70 දශකයේ සිට අවධානය යොමු කර තිබුණි.
ඒ තත්ත්වයේ ප්‍රතිඵල අපට දක්නට ඇත. 1975 වසරේ සිට 1995 දක්වා කාලපරිච්ඡේදය තුළ දරුවන් අතර මන්දපෝෂණය කැපී පෙනෙන ලෙස පහළ වැටිණි. ඒ අනුව, වයස අවුරුදු පහට අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැති දරුවන් ප්‍රතිශතය 1975 වසරේ දී වාර්තා වූ සියයට 49.9 ක සිට 1995 වසර වන විට සියයට 26.1 ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගියේය. අඩු බර ළමා ජනගහනය ප්‍රතිශතය 1975 වසරේ 57.3%ක් ලෙස දැක්වුණු අතර එම ප්‍රතිශතය 1995 වසර වන විට 29.3% ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩුව තිබුණි.
එසේ නම් පසුගිය දශක කිහිපය තුළ මෙරට මන්දපෝෂණය තුරන් කිරීමේ ක්‍රමවේද මන්දගාමී වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද අවස්ථා කිහිපයකදී පෙන්වා දී තිබුණි. විශේෂයෙන්ම 2016 වසරේදී මෙරට සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබුණේ උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය, 15.1% ක මට්ටමේ පවතින බවයි. එය වසර 2010න් පසුව හඳුන්වා දුන් දරුවන් අතර උසට සරිලන බර නොමැති ප්‍රතිශතයට අදාළව ජාත්‍යන්තර ලෙස පිළිගත් ඉහළ අවදානම් සීමාවක් වෙත ළඟා වීමකි.
ලෝක බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව අවුරුදු 5ට අඩු දරුවන් අතර උසට සරිලන බර නොමැති දරුවන් ප්‍රතිශතය සැලකීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපෑමට ලක්වූ රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇත. තව ද, මෙම කාණ්ඩය තුළ අඩු බර දරුවන් ප්‍රතිශතය 2000 වසරේ සිට 20.0%ට ආසන්න ප්‍රතිශතයක පැවතිණි.
2016 වසරේ කළ සමීක්ෂණයකට අනුව, නාගරික අංශයේ 14.7%ක්ද ග්‍රාමීය අංශයේ සියයට 17% ක්ද වයස අවුරුදු පහට අඩු දරුවන් වයසට සරිලන උසක් නොමැති බව පෙන්නුම් කර තිබුණි. මෙහි වඩාත් අවදානම් තත්ත්වය වූයේ වතු අංශයෙහි 31.7%ක් ලෙස එම ප්‍රතිශතය පෙන්නුම් කර තිබුණි. එසේම වතු අංශයේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 29.7%ක් අඩු බර සහිත දරුවන් බව තහවුරු විය. දිස්ත්‍රික්ක අතර සැලකූවිට, වයස අවුරුදු 5 අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැතිවීමේ සහ අඩු බරට අදාළ ඉහළ ම ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.
පළාත් නවයම ආවරණය වන පරිදි සිදුකළ සමීක්ෂණ 2,137කින් සමන්විත, ලෝක ආහාර සංවිධානයේ දුරස්ථ ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයට අනුව, 2022 වසර අවසානය වනවිට රටේ ආහාර සුරක්ෂිතතාව අවදානම්සහගත මට්ටමක පැවති අතර, ජනගහනයෙන් 68%ක් පමණ ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීම, ආහාර වේල් ගණන අඩු කිරීම සහ අඩු රුචිකත්වයක් දක්වන ආහාර මත යැපීම වැනි විකල්ප ආහාර උපායමාර්ග වෙත යොමු වී තිබුණි.
එසේම පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් “පෝෂණ මාසය” සංකල්පය යටතේ 2022 ඔක්තෝබර් මාසයේ දී අවුරුද 5ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම පිළිබඳව සිදු කරන ලද නිල සමීක්ෂණය මගින් ආර්ථිකයේ අර්බුදකාරී කාලපරිච්ඡේදය තුළ පවුල්වල ආහාර හා පෝෂණ පරිහානිය වාර්තා කර තිබුණි. ඒ අනුව 2022 වසර තුළදී පෝෂණ මට්ටම් පිරිහීමකට ලක්ව ඇති බව අනාවරණය විය.
එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව දරුවන් සඳහා අදාළ වන සියලුම ප්‍රධාන පෝෂණ තත්ත්ව දර්ශකයන්, විශේෂයෙන් ම අවුරුදු 5ට අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැතිවීම, උසට සරිලන බර නොමැතිවීම සහ අඩු බර යන දර්ශකවල අයහපත් හෝ අවදානම් තත්ත්වයක් පෙන්නුම් කර තිබුණි.
අවුරුදු 5ට අඩු දරුවන් අතර අඩු බර දරුවන්ගේ ප්‍රතිශතය 2021 වසරේ වාර්තා වූ සියයට 12.2 ක සිට 2022 වසර වන විට සියයට 15.3ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 2023 වසරේ 17.1ක් දක්වා ඉහළ නැඟ තිබුණි. එමෙන්ම අවුරුදු පහට අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැති බව 2021 වසරේ වාර්තා වූයේ 7.4%ක් ලෙසිනි. එය 2022 වසරේ 9.2%ක්ද 2023 වසරේ 10.3%ක් ලෙස ඉහළ ගොසිනි.
එසේම උසට සරිලන බරද කැපී පෙනෙන ලෙස වෙනස්ව ගොසිනි. එය 2021 වසරේ 8.2%ක් ලෙස දැක්වුණු අතර 2022 වසරේ 10.1%ක් ලෙස හා 2023 වසරේ 10% ලෙස දැක්වුණි.
එසේම මන්දපෝෂණ තත්ත්ව ප්‍රතිශතය වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ 2021 වසරේ 7.1% ලෙසද 2022 වසරේ 8.8%ක් ලෙසද 2023 වසරේ 8.9%ක් ලෙසද ඉහළ නැඟ තිබුණි.
මේ දත්තයන්ට අනුව, දිවයිනේ පවතින ළමා පෝෂණ විෂමතා තවදුරටත් තීව්‍ර කරමින් බොහෝ දිස්ත්‍රික්කවල ළමා මන්දපෝෂණ තත්ත්වය අහිතකාරී ලෙස වැඩි වී ඇත. වයසට සරිලන උස නොමැති දරුවන් ගේ වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ නුවරඑළියෙනි. ඒ 22.8%ක ප්‍රතිශතයකි. ආහාර හා පෝෂණය එයට හොඳම සාධකය බව පෙන්වන්නේ එම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයේ 5.1%ක් ලෙස දැක්වෙන නිසාය. එය වාර්තා වූ අඩුම ප්‍රතිශතය වේ. එමෙන්ම වයස අවුරුදු 5ට අඩු, බර අඩු දරුවන් වැඩිම ප්‍රතිශතය ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එම ප්‍රතිශතය 23.9කි. එහිද අඩුම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ඒ 9.8%ක ප්‍රතිශතයක් පෙන්නුම් කරමිනි.
වයස අවුරුදු 5ට අඩු දරුවන් 10,323 දෙනකු උග්‍ර පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය විසින් මේ වසරේ නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.
උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 994කි. එහි දෙවෙනි තැන හිමිව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය. එම දරුවන්ගේ සංඛ්‍යාව 930කි. අනුරාධපුර දිස්ත්‍රික්කය 3 වෙනි තැනට පත්ව ඇති අතර මන්දපෝෂණයට ගොදුරු වී ඇති දරුවන් සංඛ්‍යාව 629කි. එමෙන්ම දරුවන් 622ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද 619ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇත.
එසේම මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන් 25,269 දෙනකු මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව ද එම වාර්තාවේ සඳහන් වේ.
මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2,550 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ එම මන්දපෝෂණයේද පළවැනි ස්ථානය ලබා ගනිමිනි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති දරුවන් සංඛ්‍යාව 2,245කි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් දරුවන් 1,578 දෙනකු ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දරුවන් 1,340 දෙනකු වාර්තා වී ඇත.
එමෙන්ම මෙරට අවුරුදු 5ට අඩු දරුවන් අතර වයසට සරිලන ලෙස බර නොමැති දරුවන් 215,386 දෙනකු වාර්තා වී ඇති අතර මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම දරුවන් සංඛ්‍යාව 17,701කි.
වයසට සරිලන බර අඩු දරුවන් අතර 15,994ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද 15,376ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇත.
මේ ලෙසින්ම වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර වයසට සමානුපාතික ලෙසින් උස අඩු දරුවන් 133,538 දෙනකු දිවයිනෙන්ම වාර්තා වී ඇත. එයින්ද වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 11,677කි. වයසට සමානුපාතික ලෙස උස අඩු දරුවන් 10,177 දෙනකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති දරුවන් සංඛ්‍යාව 10,093 කි. එමෙන්ම අවුරුදු 5ට අඩු අධි බර දරුවන් 6,223 දෙනකු වාර්තා වී ඇත.
මේ ලෙසින් විවිධ පෝෂණ ඌනතා යටතේ මන්දපෝෂණික තත්ත්වයන්ට ගොදුරුව ඇති දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස දිවයිනේම වැඩි වී ඇත.
දිවයිනේ සමස්ත සේවා නියුක්තියෙන් 58.4%ක ප්‍රතිශතයක් අවිධිමත් අංශයේ සේවා නියුක්තිවීම සහ ජනගහනයෙන් 14.3%ක් දරිද්‍රතා රේඛා මට්ටමට පහළින් සිටින බව ද වාර්තා වේ.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ මට්ටම් කෙරෙහි ආර්ථික අර්බුදය මඟින් ඇති කළ හැකි බලපෑම සැලකිය යුතු මට්ටමක පවතින බව මෙයින් පැහැදිලිය.
මේ තත්ත්වයට විසඳුම් ලබා දෙන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම යුනිසෙෆ් ආයතනය හරහා හෝ විසඳුම් ලබා දීමට පියවර ගත යුතුය. එසේ නොකළහොත් අප නොදැනුවත්වම ග්‍රාමීය ජනතාව හා නාගරිකව වුවත් පෝෂණ ඌනතා ඇති සියලු පවුල් නඟාසිටුවන්නට වෙනම විශේෂ ව්‍යාපෘතීන් ආරම්භ කරන්නට සිදුවිය හැකිය.
තාරක වික්‍රමසේකර