මේ දිනවල ඇදහැලෙන වර්ෂාව මගේ සිත තරමක් දුර අතීතයකට පියමං කරවන ප්‍රපංචයක් බඳුය. නොකඩවා ඇදහැලෙන වර්ෂාව ද අඳුර ද එකිනෙකා පරදවා තම ආධිපත්‍යය තහවුරු කරගන්නට තරගයක් මෙනි.
අපේ ගමනාන්තය දකුණු පළාතේ නියම් ගමකටය. ඒ ඇසුරු කරන මිත්‍රයකුගේ මවට අවසන් බුහුමන් දැක්වීම වෙනුවෙනි. හය දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසට සුවපහසුව යන්නට වෑන් රථයක් ගමන වෙනුවෙන්ය.
මේ හය දෙනාගෙන් තිදෙනෙක් පමණ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරින්ය. අනෙක් අය අතර සිටින්නේ ද ජනතා විමුක්ති පෙරමුණට පසමිතුරු බවක් ප්‍රකට නොකරන වුන්ය. එහි නායකයන් සමඟ සමීප සබඳතා ඇත්තවුන් ය.
එදා යන ගමනේ කතාබහ මේ සියලුදෙනාට සංවේදි මෙන්ම සමීපතම කාරණාවක් මුල් කරගෙනය.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ ජනප්‍රියතම නායකයා බවට පත්වෙමින් සිටි විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත් කිරීමය. ඔහු අනුගමනය කරමින් තවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ ප්‍රවෘත්තිය අපට ගමනේ දුර පිළිබඳ සිතීමේ අවකාශය ද මුළුමනින්ම අත්පත් කරගෙන තිබිණි.
විමල් පසුපස යන අනෙක් ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු අප සමඟ යන ජනතා විමුක්ති පෙරමුණේ කලක් ඉදිරිපෙළ භූමිකාවක් නියෝජනය කළ මිත්‍රයාගේ දුරකතනයට විටින් විට ලැබෙයි. අහවලා හෙට, අහවලා අනිද්දා ආදි වශයෙන් නම් වැලකි. පියසිරි විජේනායකගේ සිට අංජාන් උම්මා දක්වාය. උම්මා ඒ වන විටද පනස් විය ඉක්මවූ කාන්තාවකි. ඒ ලැයිස්තුවේ පැරණිතමයා පියසිරි විජේනායකය.
රටේ ජනතාව 2004 පැවති මහමැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි පැවති සැඟවුණ ප්‍රේමය කතිරයෙන් සටහන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මන්ත්‍රීවරුන් 39 දෙනෙක් තේරී පත්ව තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණ තමන්ට පිටුපසින් සිට වෙඩි තැබුවා යැයි විමල් වීරවංශ හැඟුම්බරව කළ ප්‍රකාශයකට මාධ්‍යයේ ඉඩකඩ යහමින් වෙන්ව තිබිණි.
අප අතර කතා බහ ද උණුසුම්ය. මගේ අදහස වූයේ විමල් සිය දේශපාලන ගමන විනාශ කරගත් බවය. තවකෙක්ට වූයේ විමල් ගැන වෙනම අදහසකි. මේ තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක බලපෑමක් සනිටුහන් කරනු ඇත. කාගෙත් අදහස එයයි.
විමල් වීරවංශ මට හමුවන්නෙ විභූතිව සිටි කාලයේය. බොරලැස්ගමුව වැව පාරේ කුඩා ගොඩනැඟිල්ලක ලක්මිණ නමින් විකල්ප පුවත්පතක් සැකසිණි. එහි කර්තෘ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකය. ඒ යුගයේ වඩාත් රැඩිකල් සහ ජනප්‍රියතම කර්තෘවරයා වූ ඔහු කාටත් සුනිල් අයියා විය. දිවයින පුවත්පතේ සංස්කාරකවරයෙක් ලෙස තමන්ගේ දේශපාලන මතවාදයට සමපාත පත්තර භූමිකාවක නිරතව සිටි සුනිල් මාධව ජනතා විමුක්ති පෙරමුණේ නිල නොවන මාධ්‍ය ප්‍රකාශකයා ලෙස ද හැඳින්වූ කාලයක් තිබිණි. ඒ ජවිපෙ, යටි බිම්ගෙය හැදෙන වැඩෙන කාලය යි.
බ්ලුමැන්ඩල් පත්තර කන්තෝරුවේ පඩිපෙළ බැස යන්නට සුනිල් මාධවට සිදුව තිබිණි. ඔහුගේ ඊළඟ නවාතැන වන්නෙ ලක්මිණයි. වෘත්තීය සමිති සහ ජවිපෙ දේශපාලනය මත බ්ලුමැන්ඩල් පාරේ පත්තර විජිතය මට ද තහනම් කලාපයක් වීමෙන් පසුව මගේ නවාතැන ද බොරලැස්ගමුව වැව පාරේ ලක්මිණ විය. එහි සෝදුපත් බැලීම සුනිල් මාධව විසින් මට පැවරූ කාර්යයයි.
මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයයි.
විභූති, ප්‍රසන්න පෙනුමක්ද කැපවීමක් ද ප්‍රකට කළ තරුණයෙකි. ඔහු ලක්මිණට කාටුන් ශිල්පියා විය. කලෙකින් ලිවීමට පමණක් නොව ගැයුමෙහි ද බුහුටි බවක් සුහුරු බවක් පෙන්වූ මේ තරුණයා කාගෙත් ආදරයට පාත්‍ර විය. ඔහු පත්තර මඩුවේ ගත කළේ කුඩා කාලයකි. යටි බිම්ගත දේශපාලනය වෙනුවෙන් මුළු කාලයම යෙදවිණ. තම දේශපාලනය වෙනුවෙන් වෙෙහස නොබලා වැඩ කිරීමේ කලාව පසුකලෙක හිරු, ලක්දිව, විකල්ප පුවත්පත්වල දී මගේ නිරීක්ෂණයට ලක්වූවකි.
වීරසංගිලිගේ විමල් වීරවංශ කොළඹ නගර සභාව, බස්නාහිර පළාත් සභාව හරහා ජාතික දේශපාලනයේ පා සටහන් තබන කාලය අපේ මතකයේ අඳින සිත්තම් අද ද නොමැකිව ඇත. විමල් වීරවංශ ජ.වි.පෙ. දක්ෂතම කථිකයා වෙද්දි ඔහු ආකර්ෂණීය නායකයා (ක්‍රෂ්) බවට ද පත්වෙමින් තිබිණි. එපමණක් නොව අනෙකුත් දේශපාලන පක්ෂවලටද අත්පත් කරගත් නොහැකි ආකර්ෂණීය කථිකයා විණි. විශේෂයෙන් ඔහුගේ වචන පෙළහර දුනු හී මෙන් තම මතය හා නොගැළපෙන දේශපාලන නායකයන්ගේ අනාගතය ද මතවාදයන් ද පසාරු කරවන තරම් තියුණු විය.
එහෙත් පසුකලෙක සිය දේශපාලන ගමන් මඟ අංශක තුන්සිය හැටකින් ආපසු කරකවා ගන්නා වීරසංගිලිගේ වීරවංශ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ එකම ප්‍රතිවාදියා බවට පත්කරගත් බවක් පෙනෙයි. ඔහු සෝපාහාසාත්මකව ද, අපහාසාත්මකව ද තමන්ගේ දේශපාලන තිඹිරි ගෙය මතට වචන නමැති මිසයිල පතිත කරවීම පසුගිය ජනාධිපතිවරණය දක්වාම කරගෙන ආවේය. තමන්ගේ රඟහල ඇතුළතින් නායයමින් තිබෙන බව ඔහුට නොවැටහුණ ද දේශපාලන ප්‍රේක්ෂකයා එය දුටුවේ කලෙක සිටය. ප්‍රේක්ෂකාගාරය හිස් වෙමින් යන බවක් වීරවංශ නමැති නළුවාගේ පියවි සිහියට දැනගැනීමට මෑතක් වනතුරුම නොහැකි වීමේ ඛේදවාචකය පසුපස ඇත්තේ ඊනියා දේශප්‍රේමිත්වය ද, හීනමානය ද, ව්‍යාජ සමාජවාදය ද යන්න තෝරා බේරාගත යුත්තකි.
වීරවංශ සිය දේශපාලන චාරිකාවට මුළුමණින්ම නැවතීමේ තිත තබා නැති බව ඔහු මැතිවරණයට ඉදිරිපත් නොවන බව රටට කියන්නට නිකුත් කළ නිවේදනය හැඟවුම්කාරකයක් බව මගේ හැඟීමයි.
විටෙක ඔහුම උත්කර්ෂයට නැංවූ ලී ක්වාන් ලා, මහතීර් මොහොමඩ් ලා ගේ වේදිකාවෙන් ද අන්තිමේ දී ඔහු බැස ගියේ ය. මිත්‍යාවන් ද ජාතිවාදය ද කැමති, කැමති, අනුපානවලින් ද මාත්‍රාවලින් යොදා දේශපාලන බලය ලබා ගැනීමේ සහ බලය පවත්වා ගැනීමේ ශූරත්වයද අත්හදා බැලීමට වීරවංශ පසුබට නොවිය.
දේවල් වෙනස්වීම හා වෙනස්වීමේ වේගයත් වෙනස් වීම නඩත්තු කිරීමේ වෙෙහස සහ බැරෑරුම් බවත් කියා දෙන පාඩම් අපට මේ දේශපාලන බිමේ ඕනෑවටත් වැඩිය.
අනුර කුමාර දිසානායක සිය අනාගත දියවන්නා මිත්‍ර සමාගම ඉදිරියේ කළ කතාවෙන් පැහැදිලි වන්නෙත් 2004 මැතිවරණ ප්‍රතිඵල සහ 2008 සිදුවීමෙනුත් ඔහු පාඩම් ඉගෙන ගෙන ඇති බවය. සංඛ්‍යාත්මක ජයග්‍රහණයන් අබිබවා ගුණාත්මක ජයග්‍රහණය අත්පත් කරගන්නා තැන පිළිබඳව අවධාරණය කරමින් නායකයෙක් ලෙස කළ කතාව පැසසුමට ලක්වෙයි.