Home » අනාගතයේදී සුරක්ෂිත නිර්මාණශීලි දරු පරපුරක් බිහි කළ යුතුයි

අනාගතයේදී සුරක්ෂිත නිර්මාණශීලි දරු පරපුරක් බිහි කළ යුතුයි

නීතිඥ හර්ෂණ නානායක්කාර

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

යුනිසෙෆ් සංවිධානය 2023 වසරේදී ප්‍රකාශයට පත් කළ ආකාරයට වයස අවුරුදු 18 වඩා අඩු පිරිස ළමුන් ලෙස හැඳින්වෙයි. එය අපේ රටේ ද පිළිගන්නා ළමුන් ලෙස හඳුන්වන වයස් සීමාව වන අතර අපේ රටේ ජනගහනයෙන් 30.14%ක ප්‍රතිශතයක් ළමුන් සිටියි. රටක අනාගතය වන මේ ළමුන් වැඩිහිටියන් වීමේදී කුමන ප්‍රතිරූපයක් අනුව කුමනාකාරයෙන් සමාජගත වන්නේ ද සමාජයට වැඩදායි පුද්ගලයකු කරගන්නේ කෙසේද යන කාරණාව අපි සාකච්ඡා කළ යුතුයි. ළමා රක්ෂණය සහ ළමා සුබසාධනය පිළිබඳව වඩා අවධානයක් යොමු කළ යුතු වන්නේ ඒ හෙයිනි.

එහෙත් අවාසනාවකට මෙන් ළමයා යන මාතෘකාව කිසිදු දේශපාලන සාකච්ඡාවක, මැතිවරණ රැලියක කතාබහට ලක්වන්නේ අල්ප වශයෙනි. කෙසේ වෙතත් පසුගිය කාලය පුරා වඩා කතාබහට ලක්වූ මාතෘකාවක් වන ළමුන් සියදිවි හානිකර ගැනීම් එලෙසම ළමයින් සම්බන්ධයෙන් සිදුවන වැරදි කිහිපයක් සමාජ කතිකාව බවට අපි මෙහිදී පත් කර ගත යුතුයි. එනම් අපයෝජනය සහ අපචාරය වඩා පුළුල් ලෙස සාකච්ඡා විය යුතුයි. මෙහිදී අපයෝජනය යනු වැඩිහිටියන් විසින් ළමුන් වැරදි ලෙස යෙදවීමයි. දූෂණය කිරීම, ළමුන් යොදවා වැරදි ක්‍රියාවන් කරවීම වැනි ක්‍රියා අපයෝජන ගණයට අයත් වෙයි. අපචාරය යනු ළමුන් විසින් කරන වැරදි වෙයි.

ළමයින් සම්බන්ධ නීතිය

මේ අනුව ළමුන් හා නීතිය සම්බන්ධ වන ක්‍රම කිහිපයක් වෙයි. ළමුන් හා නීතිය සම්බන්ධ වන අවස්ථා අතර ළමුන් වින්දිතයෙක් හෝ ළමුන් සාක්ෂිකරුවෙක් ලෙස නීතිය හා සම්බන්ධ වෙයි. අපේ රටේ ළමුන් සහ යෞවනයන් පිළිබඳව ආඥා පනතේ භාරය හා ආරක්ෂාව පිළිබඳව සඳහන් වෙයි. ඒ අනුව එවැනි ආරක්ෂාවක් භාරයක් අවශ්‍ය ළමයි කොටසක් සමාජයේ ජීවත් වෙති; උදාහරණයක් ලෙස ගත් විට මවුපියන් නැතිකම නිසා හෝ මවුපියන් වෙනත් හේතුන් මත අහිමිවීම වැනි අවස්ථාවලදී ළමුන්ට ආරක්ෂාව සහ භාරය අවශ්‍ය වෙයි. ඔවුන් භාරය සහ ආරක්ෂාව අවශ්‍ය දරුවන් ලෙස හැඳින්විය හැකියි.

මෙහිදී අපි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ භාරය සහ ආරක්ෂාව අවශ්‍ය ළමුන් සම්බන්ධයෙන්ය. ළමා සුබසාධනය ඉතා පුළුල් මාතෘකාවක් වන අතර මෙවැනි ළමුන්ට සුබ සාධනය අවශ්‍ය වෙයි. ආහාර, අධ්‍යාපනය සහ ආරක්ෂාව වැනි අංශ කෙරෙහි අවධානය යොමුවිය යුතුයි.

දරුවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දරුවන් සියදිවි හානිකර ගැනීම පිළිබඳ පසුගිය දිනවල විශේෂ කතාබහකට ලක්විය. සිදුවීමක් සිදු වූ අවස්ථාවේදී පමණක් නොව මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවන් නිරන්තරයෙන් සමාජයේ ගොඩනැඟිය යුතුයි. අපේ රටේ ආර්ථික ප්‍රශ්න ප්‍රධාන වීමත් සමාජය සංකීර්ණ වීමත් මිනිසුන්ගේ අවශ්‍යතා පුළුල් වීමත් සිදුවීම යම් ආකාරයකට මෙවැනි සිදුවීම් සුලභ වීමට එක් හේතුවක් වෙයි. අතීතයේ දී මිනිසුන්ට දරුවන් සමඟ කල්ගත කිරීමට කාල අවකාශය තිබිණි. නමුත් වර්තමානයේදී එබදු කල්ගත කිරීමක් සිදුවන්නේ නැත. එයට හේතුව රැකියාවට අමතරව වෙනත් ආදායම් උපයන මාර්ගවල මවුපියන් යෙදීමයි. අතීතයේ මවක් බොහෝවිට නිවෙසේ රැඳී සිටි අතර සමාජය සංකීර්ණ වීමත් සමඟ මවත් රැකියාවකට යොමු වී ඇත. එය නරක ප්‍රවණතාවක් යැයි මෙහිදි අදහස් නොකරන අතර නමුත් අතීතයේ දරුවන් සමඟ කාලය ගත කිරීමට මවට හැකි විය.

භාරකරුගේ වගකීම

ඒ සමාජ පසුබිම අද තරම් අවශ්‍යතා සංකීර්ණ වූ සංකීර්ණ සමාජයක් නොවුණි. කුඩා කළ දරුවන් බොහෝවිට විචාරශීලි වෙයි. ළමුන් කුඩා කාලයේ දී මෙලොව එළිය දුටු විට මුල්වරට හඳුනා ගන්නා මේ සමීපතමයන් දෙදෙනා වන මවුපියන් සමඟ සන්නිවේදනය කරනු ලබයි. ඒ අය සමඟ දරුවා සන්නිවේදනය සිදු කරන නොයෙක් මාධ්‍ය තෝරාගනු ලබයි. ඒ හරහා මූලික භාරය සපයන්නා සතුටින් තැබීමට දරුවා උත්සාහ දරයි. මේ හුරුවීම ඉන් අනතුරුව භාරකරු වෙනස් වීම තුළ ඒ අය සමඟ සම්බන්ධ වීමත්, මූලික භාරය සපයන්නා වෙනස් වීමත් සමඟ දරුවන් ඒ අය හඳුනා ගැනීමට අසීරුවීමත් නිසා යම් අපහසුතාවයකට පත් වෙයි. එය දරුවන්ට අහිතකර ලෙස බලපානු ලබයි. ළමුන්ගෙන් දුරස්ථ වීම සහ සන්නිවේදනය කිරීමේදී අවස්ථානුකූලව වැඩිහිටියන් හුරුපුරුදු කළ දේ හැර දරුවන්ට වෙනත් දේවල් වෙනස් කිරීම තුළ එය පැහැදිලිව සන්නිවේදනය කර ගැනීමට නොහැකිය. මෙයට හේතුව කුඩා කාලයේදී මූලික භාරකාරීත්වය වෙනස් වීම අහිතකර ලෙස බලපානු ලබයි. ඒ අනුව කල්ගත වෙද්දී මෙවැනි හේතුවක් දරුවන් මවුපියන් හෝ සමීපතයන් සමඟ සන්නිවේදනය කිරීම නතර කිරීම හුදෙකලා වීමට ආරම්භ කරයි. එක් එක් අවස්ථාවලදී වැඩිහිටියන් අවස්ථානුකූලව දරුවන් සිදු කරන එකම ක්‍රියාවට දක්වන ප්‍රතික්‍රියා වෙනස්වීම තුළ ළමුන් අතරමං වීමක් සිදු වෙයි. එසේම නිරන්තරයෙන්ම සන්නිවේදනය කිරීමට කතා කිරීමට කෙනෙක් සොයන වයස 11ක හෝ 13ක වයස් සීමාවන්වලදී මවුපියන් හෝ භාරකරු සමඟ සන්නිවේදනය බිඳ වැටී ඇති නම් ළමුන්ගේ සිතට එන දේ ළමුන් ප්‍රකාශ නොකරයි. එය වැඩිහිටියන් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ළමුන් සියදිවි නසා ගැනීම දක්වා මේ සමාජ ගැටලු වර්ධනය වීමට නිසයි. පළමුවෙන්ම ළමුන් සන්නිවේදනය විම නතර කිරීම සිදු වෙයි. Attachment theory අනුව එය පැහැදිලිව හඳුනා ගත යුතුයි.

ළමුන් වැඩිවියට පත්වූ පසු ඔවුන් සමඟ සන්නිවේදනය පවත්වා ගත යුතුයි. ළමුන් හිතනපතන දේ නොකියා සිටීම අතිශයින්ම භයානකය. එහිදී ළමයා මෙතැනට පත්වීමට බලපාන හේතු රැසක් වෙයි. දෙමවුපියන්ට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතුයි. හොඳ ආහාර, ඇඳුම් පැළඳුම්, ජනප්‍රිය පාසලකට දැමීම පමණක් නොව දරුවන්ට අවධානය සහ ආදරය අත්‍යවශ්‍ය වෙයි. නව යොවුන් වියට පත්වන දරුදැරියන් සමඟ සමීපතම ලෙස අදහස් හුවමාරු කරගැනීම අත්‍යවශ්‍ය වෙයි. අපේ ඇතැම් සංස්කෘතිකමය ගැටලු නිසාත් සම්බන්ධතාවලට යම් බාධාවන තත්ත්වයක් ඇති වෙයි. ගැටලුව හැඟීම් එළියට දැමීමට අවශ්‍ය තත්ත්වයක් නැති අවස්ථාවලදී සියදිවි නාසා ගැනීම් දක්වා යා හැකියි. ඕනෑම මවුපියෙක් ළමයි සමඟ පැය දෙකක් හෝ ඊිට වඩා වැඩි කාලය ගත කරන්නේ නම් ළමුන්ගේ වෙනස්කම් හඳුනාගත හැකියි.

දරුවන් වෙනුවෙන් කාලය

අද පවතින සංකීර්ණ සමාජයත් සමඟ කාලය සොයා ගැනීම අසීරු වුවත් දරුවන් වෙනුවෙන් කාලය වෙන් කළ යුතුය. අද පවතින ආර්ථික වටපිටාවත් සමඟ මවුපියන්ට ආර්ථික ගැටලු නිසා යහපත් මානසික වටපිටාවක් ද නැති අවස්ථා වෙයි. මූලිකව ආර්ථිකය සවිමත් කළ යුතුයි. දරුවන්ට මානසික උපදේශන සේවා පාසලක් තුළ තිබිය යුතුයි. ළමයෙක්ට ප්‍රශ්නයක් වූ විට එය විසඳා ගැනීමට සුදුසු වාතාවරණයක්, සුදුසු වටපිටාවක් නි‍ෙවස තුළ තිබිය යුතුයි. ළමුන්ගේ මනෝ සාමාජීය සහ මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමට සුදුසු පරිසරයක් ඇති සමාජයක් නිර්මාණය වීම අත්‍යවශ්‍ය වෙයි. එය මෙතෙක් පැවැති කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

ජාතික ජන බලවේගයේ ළමා රක්ෂණය සහ සුබසාධනය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වඩා වැඩි සාකච්ඡා දිග හැරී ඇත්තේ ඒ අනුවයි. එහිදී මූලික ලෙස සුරක්ෂිත නිර්මාණශිලී ඉදිරි පරපුරක් යන තේමාව යටතේ ඒ පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කර තිබෙයි. විශේෂයෙන් අපේ පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට පොලිස් සේවයේ මේ සඳහා පුහුණු පිරිස් වෙයි. නමුත් ඒ ආයතනවලදී භෞතික සහ මානව සම්පත් ප්‍රමාණවත් නැත. මෙය හරි දිශානතියට ගෙන යෑමට එම යාන්ත්‍රණයේ හිරවී ඇති තැන් බලා ඒවා නිවැරදි කළ යුතුයි. ඒ නිලධාරින්ගේ හැකියාවන් ධාරිතාවන් වර්ධනය කළ යුතුයි.

ඒ ක්‍රමවේද දෙකකට සිදු කළ හැකියි. එක් පැත්තකින් මානව සම්පත් පුහුණු ධාරිතාව වැඩි කිරීම සහ ආකල්ප සහ ගුණධර්ම වැඩි දියුණු කළ යුතුයි. එසේම යල්පැන ගිය නීතිරීති යාවත්කාලීන කිරීම වැදගත් වෙයි.

යම් හිරිහැරයක් ළමුන්ට වීමට පෙර ඒවා නිවාරණය කිරීමට අනිවාර්යෙන් සිදුවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් නීති පද්ධතියක් මෙරට නැත. එවැනි නීති සැකසිය යුතුයි. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සිටින අතර ළමුන් දැනුම්වත් කිරීම නිවාරණය කිරීම වැනි කොටස් ඒ අයගේ රාජකාරිය තුළ වෙයි. එහිදී ළමුන්ට වරදක් වූ විට කටයුතු කරන පිරිසක් සිටියි. ඉන් පෙර මේ සිදුවීම් වීමට පෙර නිවාරණය කරගත යුතුයි.

නඩු පමාවීම වළක්වා ගැනීම

මේ දරුවන් සම්බන්ධයෙන් වන නීතිරීති 13 වැනි සංශෝධනයේදී ජාතික වැදගත්කමින් යුතු කරුණු මධ්‍යම රජය විසින් ද අනෙක් කරුණු පළාත් සභාවලටත් ලබාදී ඇත. විද්‍යාත්මකව අවබෝධයක් එකල සමාජ වටපිටාව තුළ ළමා රක්ෂණය පිළිබඳව මෙතරම් සංකීර්ණ තත්ත්වයක් නොතිබිණි. අපි නැවත කල්පනා කළ යුත්තේ මෙය ජාතික විෂයයක් බවට පත් කිරීම පිළිබඳ කරුණයි. ළමා හා පරිවාසය පළාත් සභාව යටතේ වෙයි. යුක්තිය පසිඳලීම මධ්‍යම රජයේ රාජකාරියක් වෙයි. මේ අවිධිමත් ක්‍රමවේදය විධිමත් විය යුතුයි. මේ ක්ෂේත්‍ර තුළ සම්බන්ධීකරණය සිදුවීම අත්‍යවශ්‍ය වෙයි. නඩු පමාවීම වළක්වා ගත යුතුයි. ළමා රක්ෂණයට ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය පළාත් සභාව හරහා වෙයි. මධ්‍යම රජයේ විෂයයක් නොවෙයි. මේ වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස වියදම් වී ඇති ද යන්න පිළිබඳව ඒ ව්‍යාපෘති සඳහා පසුවිපරමක් කළ යුතුයි. එහි ව්‍යුහාත්මක ගැටලු කිහිපයක් වන අතර ඒවා විසඳා ගැනීමට හැකි මට්ටමක පවතියි. ළමා උසාවි පිහිටුවීම නීතියේ පමාව අඩු කර ගැනීම පොලිසිය, අධිකරණය, ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය සේවා මේ අතර හොඳ සම්බන්ධීකරණයක් සැකසීම කඩිනම්ව විය යුතු කරුණකි. නීතිමය කරුණුවලදී නීතියේ පමාව අඩු කරගත යුතුයි. එයට අවශ්‍ය යන්ත්‍රණ කිහිපයක් නිසි ලෙස ක්‍රියාවේ යෙදිය යුතුයි.

දරුවන් සම්බන්ධයෙන් වන කුලවැද්දීමේ නීතියේ යම් ගැටලු තිබෙයි. කුලවද්දා ගැනීමේදී වයස 14 වඩා වැඩි දරුවකු කුලවද්දා ගැනීමට නොහැකියි. එවැනි දරුවන්ට වන අසාධාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අනිවාර්ය වෙයි. ජාතික ජන බලවේගය යටතේ මේ පවතින නීතිරීති යාවත්කාලීන හෝ පවතින නීතිරීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අපේක්ෂාවයි. දරුවන් වෙනුවෙන් අවශ්‍ය සම්පත් වෙන්විය යුතුයි. විශේෂයෙන්ම මානව හා තාක්ෂණ ධාරිතාව වැඩි කළ යුතුයි. යල්පැන ගිය නීති රීති සංශෝධනය විය යුතුයි. මේවා සිදුවිය යුත්තේ ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ ද සෑම ක්ෂේත්‍රයක්ම ඒකාබද්ධ වී සාමූහික ප්‍රයත්නයක් ලෙසිනි.

සුරක්ෂිත ළමා පරපුරක්

විශේෂයෙන්ම පොලිසිය, නීතිපති අධිකරණ පරිවාස හා ළමාරක්ෂක නිලධාරීන් සංකලනයේ මේ දේ කළ යුතුයි. අප මෙහිදී සුරක්ෂිත නිර්මාණශීලියන් දරු පරපුරක් බිහි කිරීම ලෙස හඳුන්වන්නේ සංතෝෂයෙන් ජීවත් වන නිර්මාණශීලි දරුවෙකු සම්බන්ධවයි. එසේ නම් සංතෝෂයෙන් සිටින ළමුන් වැඩිහිටියන් වූ විට නිර්මාණශීලි පරපුරක් නිරායාසයෙන් බිහි වෙයි. මානසික පීඩාවන්ගෙන් කුසට අහරක් නැති අසහනයෙන් සිටින දරුවන්ගෙන් නිර්මාණශීලි පරපුරක් බිහි නොවෙයි. එහිදී සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ළමා කාලය නැවත ඒ අයට ලබාදීම අවශ්‍යයි. ළමයින්ට ළමා කාලය ලබාදිය යුතුයි. පාසල සහ නිවෙස සුවපහසු තැනක් බවට හැකි පමණින් හෝ පත් කළ යුතුයි. එසේම ශාරීරික අභ්‍යාස, ක්‍රීඩාව වැනි දේට යොමු කළ යුතුයි. විධිමත් අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්ය වෙයි.

අද වන විට බොහෝ විට අධ්‍යාපනය පාසලින් විතැන්වීමක් දක්නට ලැබෙයි. අධ්‍යාපනයට මුල්තැන දීම මෙන්ම විෂය නිර්දේශ වෙනස් කිරීම සිදු කිරීම අනිවාර්ය අංගයකි. අනවශ්‍ය පීඩාවන් දෙන කුඩා කාලවලදීම පවත්වන කඩඉම් විභාග සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස්කම් විය යුතුයි. ස්විඩන්, ඩෙන්මාර්ක් නෝර්වේ වැනි රටවල ළමයින්ට අක්ෂර මාලාව උගැන්වීම ආරම්භ කරනුයේ වසය අවුරුදු 7වන විටයි. කුඩා කාලයේ සිට දරුවන් නිර්මාණශීලිත්වයට හුරු කිරීම නිර්මාණශීලි වැඩිහිටියකු බිහි කිරීමට හේතු වෙයි.

සුරක්ෂිත ළමා පරපුරක් යනු සතුටින් සිටින අධ්‍යාපනය විධිමත්ව ලැබෙන ක්‍රීඩාවන්ට යොමුවන යහපත් මානසික වටපිටාවක ගොඩනැඟෙන දරුවන් පිරිසක් නිර්මාණය කිරීමයි. ළමා කාලයේදී ම ළමුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් කරමින් යහමඟ පෙන්විය හැකි වුව ද වැඩිහිටි වූ දිනක එය කළ නොහැකියි.

ළමුන්ට සම්බන්ධයෙන් ඇති නීති රීති පද්ධතිය ප්‍රමාණවත් වෙයි. ළමුන්ට එරෙහිව වන වැරදි සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 1995 සංශෝධනයත් ඉන් අනතුරුව 2006 දක්වා සංශෝධන පැමිණ ඇත. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී ඇතිවන අපහසුතා රැසකි. විමර්ශන පොලිස් නිලධාරින්ට සම්පත් හිඟවීම, නඩු කල් යාම, ළමා මිත්‍රශීලි නොවන ආකාරයට ක්‍රියාත්මක වීම වැනි හේතු වෙයි. ඒවා වැළැක්විය යුතුයි.

අධ්‍යාපනයේ අරමුණ

නඩු ඇසීමේදී විශාල කාලයක් ගත වීම, නඩුවක සාක්ෂිදීමට දරුවන්ට දිගටම උසාවියට පැමිණීමට සිදු වෙයි. මේ දේවල් වළක්වා ගත යුතුයි. මේ නඩු පමාව ළමා ආරක්ෂණයට ලොකු බාධාවක් වෙයි. ඒ අනුව මේ ක්‍රියාවලියේ තාක්ෂණය මානව සම්පත් සහ භෞතික සම්පත්වල ධාරිතාව පුහුණුව සහ වැඩි කිරීම කළ යුතුයි. ළමා රක්ෂණය සහ සුබ සාධනය සම්බන්ධයෙන් අවධානය ප්‍රමාණවත් නොවෙයි. ජනතාවගේද මතයක් ගොඩනැඟීම අනිවාර්ය වෙයි. ළමයි යනු නිහඬව දුක්විඳින පිරිසකි. ඒ අයට හැඬවිය යුත්තේ වැඩිහිටියන්ය. අදවන විටත් ළමාරක්ෂණය පිළිබඳව කතා කරන වැඩසටහනක් රූපවාහිනි නාළිකාවල ප්‍රචාරය වන්නේ කලාතුරකිනි. ආණ්ඩුව පවතින්නේ දරුවන් සම්බන්ධයෙන්ද අපරාධ විද්‍යාත්මකව ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමටයි. ආණ්ඩු යනු කල්තියා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරමින් එම යන්ත්‍රණය මෙහෙයවන පිරිසටයි. මෙතෙක් ජනතාවගේ ද හඬ නැඟීම ප්‍රමාණවත් නැත. ජාතික ජන බලවේගය මිනිසුන් ඉල්ලීම් කරන තෙක් නොසිට ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩ ටික ඉදිරිපත් කර ඒවා කඩිනමින් ක්‍රියාවට නංවාලීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇත. ක්‍රමවේදයන් කිහිපයක් මඟින් මේ පිළිබඳ සංවාදයක් ඇති කළ යුතුයි. ළමයි සංවර්ධනය වීම සිදු වන්නේ සමාජානුයෝජනය වීමත් සමඟිනුයි. ඒ අනුව ළමුන් සම්බන්ධයෙන් නීති ප්‍රශ්න සහ සමාජ ප්‍රශ්න විසඳිය යුතුයි.

අධ්‍යාපනය මඟින් කරුණු දෙකක් සැකසිය යුතුයි. අවශ්‍ය ශ්‍රමිකයන් සැකසීම සහ අවශ්‍ය සෞදර්යාත්මක පුරවැසියා සැකසීම වෙයි. ජාතික ජනබලවේගය අපේක්ෂා කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයකි. ජීවිතය ලස්සන වීමට නම් මුදලින් පමණක් නොවෙයි; මානව සංතෝෂය හෙවත් සංස්කෘතික ජීවිතයත් ලස්සන විය යුතුයි.

මානව බැඳීම් ආදරය, කරුණාව දරුවන්ගෙ මේ ලෝකය වඩා ලස්සන වෙයි. ජීවිතයක් ලස්සන වීමට නම් ප්‍රමුඛස්ථානය දරුවන්ට දිය යුතුයි. ලස්සන ජීවිතයක් ඇති කිරීමට නම් ළමයි ආරක්ෂිත සහ සතුටින් සිටින පිරිසක් විය යුතුයි. මේ සියලු ක්ෂේත්‍ර යාවත්කාලින විය යුත්තේ සතුටින් සිටින දරුවන් නිර්මාණය කිරීමටයි. ළමයින්ට සෙත සැලසෙන ළමා රක්ෂණයක් තිබිය යුතුයි. එසේ කායික සහ මානසික සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් ලබන දරුවෙක් වැඩිහිටියන් බවට පත්වූ දිනක මේ සමාජය ලස්සන තැනක් බවට පත්වෙයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division