මේ දිනවල දිවයින පුරා පොල් මිල ඉතා ඉහළය . පොල් සඳහා ප්‍රසිද්ධ පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයේ පවා වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ත් 130 ත් අතර මිලක පවතී. ඉන් බැහැර ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 150ක් වැනි ඉතා ඉහළ මිලක පවතින බව වාර්තා වේ. ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 50ත් 75ත් අතර මිලකට විකුණමින් තිබෙන බව වාර්තා වේ.
මෙසේ පොල් මිල ඉහළ යාමට හේතුව අද ඊයේ බලපෑ කරුණු කාරණා නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ පොල් කර්මාන්තය කෙරෙහි, පැවති රජයන් නිසි සැලකිල්ලක් නොදැක්වීම මෙයට හේතු වේ.
පොහොර සහනාධාරය දෙන්න
මේ ආකාරයට ඉහළ යමින් තිබෙන පොල් මිල පාලනය කිරීමට නම් පොල් ඵලදාව ඉහළ නැංවීම සඳහා වී ගොවියන්ට ලබා දෙන පොහොර සහනාධාරය පොල් වගාකරුවන්ටත් ලබාදිය යුතු බව පොල් වගාකරුවන්ගේ ඉල්ලීමයි.
වර්තමානයේ පොල් පොහොර මිල ඉහළ මට්ටමක පවතින බැවින් වගාකරුවන් පොල් වගාවට නිසි පරිදි පොහොර යෙදීමෙන් වැළැකී සිටින බවද මේ හේතුවෙන් පොල් වගාවෙන් අපේක්ෂිත ඵලදාවක් නොලැබීමෙන් වෙළඳපොළේ පොල් මිල ඉහළ මට්ටමක පවතින බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකට පොල් වගාකරුවෙකු වන ගාමිණී පෙරේරා පැවසීය. එසේම පසුගිය කාලයේදී එල්ල වූ සුදු මැස්සාගේ තර්ජනයද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් ඵලදාව පහත වැටීමට හේතුවක් වූ බවද ඔහු පැවසීය.
පොල්තෙල් මිලත් ඉහළට
රුපියල් 1000ක මිලකට පැවති කිලෝ 50ක පොල් පොහොර මිටියක මිල ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී රුපියල් 1500 දක්වා ඉහළට දමා ඉන්පසුව රනිල් වික්‍රමසිංහ පාලනයේදී රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම මෙරට පොල් වගාවට වැදුණු බරපතළ පහරක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පොහොර මිලට අමතරව දෛනික කුලී ගාස්තු, පොල් කැඩීමේ ගාස්තු, මුර ගාස්තු, ප්‍රවාහන ගාස්තු ආදියද ඉහළ යාම මේ ආකාරයට වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාමට බලපා ඇතැයිද මෙම මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. පොල් මිල ඉහළ යාම පොල්තෙල් මිල ඉහළ යාමටද ඍජුවම බලපා ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
මේ නිසා වී ගොවියන්ට, තේ වගාකරුවන්ට මෙන්ම රටේ ජීවනාලියක් බඳු පොල් වගාකරුවන්ටද පොහොර සහනාධාරයක් ලබාදීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවද ගාමිණි පෙරේරා ප්‍රකාශ කළේය.
“මේ රටට විශාල විදේශ විනිමයක් උපයලා දෙන පොල් කර්මාන්තය වගේම වෙනත් දේශීය කර්මාන්ත රැකගෙන ඒවා නඟා සිටුවීමට පහසු විසඳුම් තිබුණත් මෙතෙක් සිටි දේශපාලනඥයින් වගේම නිලධාරිනුත් ඒවා නොසලකමින් හැම දෙයක්ම පිටරටින් ගේන්න දඟලනවා. එහෙම කරන්නේ ඔවුන්ට ලැබෙන කොමිස් මුදල දිහා බලාගෙනයි. මෙච්චර පොල් තියෙන රටට පොල්තෙල් ටිකත් දැන් ගේන්නේ පිටරටින්.
අපේ රටේ අංක එකට තිබුණු පොල් වගාව විනාශයට පත් වෙද්දී අපිට අසල්වැසි ඉන්දියාව පොල් වගාව නඟාසිටුවීමට ගන්න උත්සාහය ගැන අපි ලජ්ජාවට පත්වීය යුතුයි.
පොල් පොහොර සහනාධාරයක් ලබා දුන්නොත්, එහෙම නැත්නම් පොහොර මිල පහළ දැම්මොත් අපේ රටේ පොල් කර්මාන්තය නඟාසිටුවන්නත් පොල් මිල අඩු කරන්නත් පුළුවන්. එහෙම වුණොත් පොල්තෙල් පිටරටින් ගෙන්වන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ” යැයිද පෙරේරා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
තැඹිලි ගෙඩියත් අහස උසට
පොල් වගාකරුවන් පවසන ආකාරයට මේ හේතුන්වලට අමතරව පසුගිය කාලයේදී මෙරට පොල් වගාවට එල්ල වූ සුදු මැස්සාගේ හානියද අස්වනු අඩු වීමට දැඩිව බලපෑවේය.
සුදු මැස්සාගේ හානිය පොල් ත්‍රිකෝණය පෙරටු කරගත් දිවයිනේ ප්‍රදේශ ගණනාවකම පොල් වගාවට විශාල බලපෑමක් එල්ල කර තිබූ අතර, මැස්සාගේ හානියට ගොදුරු වූ පොල්ගස් සම්පූර්ණයෙන්ම විනාශයට ලක් විය.
විශේෂයෙන්ම තැඹිලි ගසට සුදු මැස්සාගේ හානිය දැඩිව එල්ල වීමෙන් අපේ රටට පැමිණෙන විදේශිකයන් දැඩිව ඇලුම් කළ තැඹිලි ගෙඩියටද ඉන් මරු පහරක් එල්ල විය. මේ නිසා වෙළෙඳපොළේ රුපියල් 100ක ආසන්න මිලකට තිබූ තැඹිලි ගෙඩියක මිල රුපියල් 150ද ඉක්මවා ගියේය.
මේ ආක්‍රමණික සුදු මැස්සා පාලනයට පොල් වගා මණ්ඩලයට හෝ පිළිගත් කිසිදු ක්‍රමවේදයක් නොතිබීමෙන් පොල් වගාකරුවන් පත්ව සිටියේ අසරණ තත්ත්වයකටය. ඔවුන් පෙන්වා දුන් මර්දන ක්‍රමවේද මැස්සාගේ හානිය මැඬලීමට තරම් ප්‍රායෝගිකව ප්‍රමාණවත් නොවීය. මේ නිසා විකල්පයක් නොවූ තැන වගාකරුවන් තම වගාව අතහැර දමන තත්ත්වයට පොල් වගාව පසුගිය කාලයේදී පත්ව තිබුණි.
නමුත් කෙසේ හෝ මේ වන විට එම හානිය යම් තරමකට ස්වාභාවිකව හෝ පාලනයකට ලක්ව තිබීම වගාකරුවන්ට සැනසිල්ලක් ගෙන දෙන කාරණයක් වී තිබේ.
පොල් අපනයනය කිරීමෙන් දේශීය මිල ඉහළ ගියා. අපනයන ආදායම අ. ඩො. 100 කින් ඉහළ යාවි
– ශාන්ත රණතුංග – සභාපති, පොල් සංවර්ධන අධිකාරිය
පොල් නිෂ්පාදනය අඩු වීම පොල් මිල ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වුණා. එසේ පොල් නිෂ්පාදනය අඩු වීමට බලපෑ හේතු අතර, වසර කිහිපයක් පොල් වගාව සඳහා කාබනික පොහොර භාවිත නොකිරීම බලපෑවා. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී පොල් ගෙඩි මිලියන 250ක පමණ අඩු වීමක් තිබෙනවා. පොල් මිල ඉහළ යෑමට බලපෑ තවත් මූලික හේතුවක් වන්නේ මෙරට පොල් අපනයනකරුවන්ට ලැබුණු විශාල ඉල්ලුම බව කිව යුතුයි. ලෝක වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යෑම සහ ඇතැම් රටවල නිෂ්පාදනය අඩු වීම නිසා අපේ පොල්වලට විදේශීය ඉල්ලුම වැඩි වුණා. මේ ඉල්ලුම සැපයුම මත වෙළෙඳපොළේ පොල් මිල වැඩි වීමක් සිදුවුණා. ඒ අනුව මෙවර පොල් අපනයන ආදායම අමෙරිකන් ඩොලර් 100කින් පමණ ඉහළ යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
මේ අවස්ථාවේදී අපට පොල් මිල පාලනය කිරීමට කෙටිකාලීන විසඳුම් ගැනීමේ අසීරුතාවක් තිබෙනවා . ඊට හේතුව පොල් අපයනයනය සීමා කළොත් අපනයන ආදායම අඩු වෙනවා. මේ අවස්ථාවේදී අපේ රටේ ආර්ථිකයට අපනයන ආදායම ඉතා වැදගත් වනවා. පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය සහ පොල් වගාකිරීමේ මණ්ඩලය යන රාජ්‍ය ආයතන ත්‍රිත්වය ඒකාබද්ධ වී පොල් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දිගුකාලීන විසඳුම් ගැනීමට අප කටයුතු කරමින් සිටිනවා.
පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා පොල් වගා කිරීම තවත් වැඩි කිරීමට කර්මාන්ත හිමියන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. පොල් පැළ සිටුවීම වැඩි කර තිබෙනවා. පොල් අස්වැන්න අඩු වීමට බලපෑ ප්‍රධාන හේතුව වන කාබනික පොහොර භාවිත නොකිරීම නිසා කාබනික පොහොර සහනාධාරය කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා. පසුගිය දිනවල පොල් වගාවට සිදුවූ සුදු මැස්සාගේ හානියත් පොල් නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමට බලපෑවා. පොල් පර්යේෂණ ආයතනය එවැනි හානි කඩිනමින් මර්දනය කළ හැකි නව ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා.
අපේ පොල් නිෂ්පාදනයෙන් සියයට 70ක් පමණ වැය වන්නේ දේශීය පරිභෝජනය වෙනුවෙන්. ඒ අතරින් ගෘහස්ථ පරිභෝජනයට වැඩි ප්‍රමාණයක් වැය වෙනවා. ගෘහස්ථව පොල් පරිභෝජනයේදී පොල් ගෙඩිය බිඳීමේදී පොල් වතුර ටිකේ සිට පොල් ගෑම, මිරිකීම දක්වා විශාල නාස්තියක් සිදු වනවා. පොල් ක්‍රීම් සහ පොල් කිරි ලෙස පොල් භාවිතය ව්‍යාප්ත කිරීමෙන් මේ අනවශ්‍ය නාස්තිය වළක්වා දේශීය පාරිභෝජනය අඩුකර අපනයනය වැඩි කිරීමෙන් අපනයන ආදායම තවත් ඉහළ නංවාගත හැකියි. එම නිසා ඉදිරියේදී එවැනි නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමට සහ එම නිෂ්පාදන පිළිබඳ පාරිභෝගික විශ්වාසය වැඩි කිරීමට අප කටයුතු කරනවා.
කුරුණෑගල අතිරේක, පුෂ්පකුමාර ජයරත්න