අලුත් ආණ්ඩුව වැඩ අරඹා මාසයකට ආසන්නය. එහෙයින් ශේෂ පත්‍රයක් පරික්ෂා කර බලන්නට කල් වැඩි නොවේ දැයි කෙනෙකුට සිතෙන්නට ද බැරි නැත. ඒහෙත් මේ ආණ්ඩුව බලයට පත්වීම එක රැයකින් සිදුවූ අහඹු සිදුවීමක් නොවනා බව තේරුම් ගන්නට මහ ලොකු දේශපාලන කියැවීමක් අවශ්‍ය නොවේ. සැබැවින්ම ජාතික ජන බලවේගය රාජ්‍ය බලය අත්පත් කර ගන්නට සැලසුම් ක්‍රියාත්මක කරන්නේ ගාලු මුවදොර අරගලය සමයේ සිටය. පාර්ලිමේන්තුව තුළ හිමිව තිබූ සුළුතර නියෝජනයට වඩා වැඩි යමක් එළියේ සිට ඉටු කළ බොහෝ දෙනකු ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ගෙන දෙන්නට කටයුතු කළ ආකාරය රහසක් නොවේ. සැබැවින්ම විකල්ප ආණ්ඩුවක් ලෙස හැසිරෙමින් දේශපාලනයේ යෙදුණ ඔවුන් පැවති රජය ගත් සෑම ක්‍රියාමාර්ගයක්ම නිර්දය ලෙස විවේචනය කරන්නට විය. ආර්ථික අර්බුදයට ක්ෂණික සහන සමඟ දීර්ඝ කාලීන විසඳුම් ද තමන් සතු බව සැප්තැම්බර් 18 වනදා ජාතික ජනබලවේගය පැවසූ බව අමුතුවෙන් මතක් කළ යුතු නොවේ.
එහෙත් බලයට පැමිණ ගතව ඇති කෙටි කාලය තුළ තමන් සතුව ඇතැයි කී එකී විසඳුම් ක්‍රියාවට නැංවීමට නොව ඊට ඇවැසි මූලික කටයුතු කිරීමටවත් ඔවුන් සමත්ව නැති බව මේ වන විට සමස්ත සමාජයම පසක් කර ගනිමින් සිටී. අද වන විට රටේ ජනතාවට ඇති මූලික ප්‍රශ්නය ජීවන වියදමය. එය ඉකුත් සැප්තැම්බරයේ මුල් සතියේ පැවති මට්ටමට වඩා බොහෝ සේ ඉහළ ගොස් ඇතිබව රහසක් නොවේ. ලබාදෙනවා යයි කියූ ක්ෂණික සහන වෙනුවට දෛනික පැවැත්ම වෙනුවෙන් අසීමිත ලෙස ණය ගැනීමට ආණ්ඩුවට සිදුව ඇත. එදා ණය ගැනීම හාස්‍යයට ලක්කරමින් දේශපාලන වේදිකා සහ සමාජ මාධ්‍ය දෙවනත් කළ ජාතික ජන බලවේගයේ කථිකයන් අද ණය ගැනීම සාධාරණීකරණය කරන්නට අනුකම්පාව උපදවන උත්සාහයක් ගනිමින් සිටී.
මේ වන විට ආණ්ඩුවට ණය ලබා ගැනීමට හැකිව ඇත්තේ දේශීය මුදල් වෙළඳපොළෙනි. ඒ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් අෙලවියෙනි. මේ ගෙවීයන ඔක්තෝබරයේ මුල් දෙසතියේ පමණක් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 419,000ක් හෙවත් රුපියල් කෝටි 41,900කි. ඒ අනුව දෛනිකව රුපියල් කෝටි 130 කට ආසන්න අගයකින් ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ යමින් තිබේ. මෙය සැබැවින්ම දැවැන්ත ණය ලබා ගැනීමකි. ණය ලබා ගැනීමට වඩා ප්‍රශ්නය ලබාගත් ණය යොදවන්නේ කුමනාකාරයේ කටයුතුවලට ද යන්නය.
දෛනික පරිභෝජනයට ණය යෙදවීම එකී මුදල් වියදම කිරීමක් විනා ආයෝජනයක් නොවේ. ඒ අනුව මේ ණය ගෙවීමට නැවත ණය වීම හැර වෙන උපක්‍රමයක් මේ ආණ්ඩුවට නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වන විට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් ගැනුම්කරුවෝ සිටිනා බව ආණ්ඩුව පවසයි. එහෙත් මේ තත්ත්වය වැඩිකල් පවතින්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන්ට අනුව ආණ්ඩුවට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ද නැත. මොන ආකාරයේ දේශපාලනික ප්‍රචාර කළ ද විදෙස් ආයෝජකයන් රටට පැමිණෙන ආකාරයක් තවමත් පෙනෙන්නට නැත. ඒ අනුව එදිනෙදා වියදම් කළමනාකරණය සඳහා දේශීය ණය යොදාගැනීම තවත් වැඩි කාලයක් කළ හැකි දෙයක් නොවේ. අර්බුදය මතුවෙන්නේ මහමැතිවරණයෙන් පසුවය.
මෙහි ප්‍රතිඵලය අනෙකක් නොව ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ කර මුලටම සිරවූ ණය උගුලේ ඊට වඩා තදින් සිරවීමය. එබැවින් ඉදිරි මහමැතිවරණය පසු ජනතවට දැනෙනා පීඩනය තවත් ඉහළ යාම අනිවාර්යය. ඒ බව දන්නා ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටිනුයේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණය තෙක් පවතින තත්ත්වය ඇදගෙන යාමටය. ආර්ථික අර්බුදයේ කේක් ගෙඩිය දේශීය ණය නැමැති අයිසින්වලින් අලංකාර කරමින් සිටිනුයේ ඒ සඳහාය. එහෙත් එමඟින් කළ හැක්කේ ගිනිමැලයේ රස්නය දැනෙනා මානයෙන් ජනතාව ඈත් කිරීම විනා ගිනිමැළය නිවා දැමීම නොවේ.
මේ මොහොත වන විට බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට ගැනුම්කාර පාර්ශ්ව තුළ උනන්දුවක් ඇති බව සැබෑය. ජාතික ජන බලවේගයට හිතවත් පාර්ශ්වයන්ගේ අර්ථ දැක්වීමට අනුව ඊට හේතුව ආණ්ඩුව කෙරෙහි ඇති හේතුව එය දැයි සළකා බැලිය යුතු වේ.