මත්පැන් නිෂ්පාදන ආයතනයක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීමක් පැහැර හැරීම හේතුවෙන් එම සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනකුට මාස හයක සිරදඬුවමක් නියම කෙරුණේ ඉකුත් 14 වැනිදාය.
මෙම වැට් බදු මුදල වහාම ගෙවා දමන ලෙසට 2023 වසරේ නොවැම්බර් මස 14 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනාට නියෝග කර තිබුණත්, ඔවුන් එය මඟහරිමින් තිබුණි. කෙසේ වෙතත් අධිකරණ නියෝගයට හිස නොනැමූ මේ මත්පැන් නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට අවසානයේ අත්වූයේ සිරබත් කන්නටය.
වර්ෂ 2016 සහ 2019 අතර කාලයේදී රජයට අයවිය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක මුදල නොගෙවා පැහැර හැර ඇති බවට ආදායම් බදු කොමසාරිස්වරයා විසින් පවරනු ලැබ තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇන්තනී රන්දේව් දිනේන්ද්‍ර ජෝන් සහ කේ.ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන අයට මාස හයක සිරදඬුවමක් නියම කළේය.
මෙම නඩුවේ තුන්වැනි වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන අය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට අධිකරණයෙන් මීට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.
වැට් බදු මුදල එදිනම ගෙවන ලෙස නියෝග
මෙම නඩුවට අදාළව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනාම ඉකුත් නඩුවාරවලදී අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔවුන්ට මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබිණි. මෙහිදී අර්ජුන් ඇලෝසියස් සහ ඇන්තනී රන්දේවී ජෝන් යන අයවලුන් අධිකරණයෙන් ඔවුන්ට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැදවීම සඳහා මෝසමක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ නිතීඥ චානඛ්යා ලියනගේ මඟිනි. මෙහිදී නීතිඥවරිය සඳහන් කළේ ඉකුත් නොවැම්බර් මසදී මෙම අධිකරණයෙන් කළ නියෝගයට එරෙහිව තම සේවාදායකයින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.
මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා සඳහන් කළේ රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 3.5ක මුදල ගෙවන ලෙසට වගඋත්තරකරුවන්ට නියම කර ඇතත්, ඔවුන් මේ දක්වා අදාළ බදු මුදල ගෙවා නැති බවය. නමුත් මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකළ බව අධිකරණයේදී කරුණු ඉදිරිපත් විණි. මේ හේතුවෙන් අදාළ වැට් බදු මුදල එදිනම ගෙවා නිම කරන ලෙසත් එසේ නොකළහොත් මාස 6ක ලිහිල් වැඩසහිත සිරදඬුවම් නියම කරන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන්ට දැනුම් දුන්නේය. එහෙත් වගඋත්තරකරුවන් අදාළ මුදල නොගෙවීම මත මෙම සිරදඬුවම නියම විණි.
අධිකරණ නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලීමක්
මෙම අධිකරණ නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා මෙම වගඋත්තරකරුවන් දෙදෙනා කොළඹ මහාධිකරණයට අභියාචනා පත්‍ර යොමු කර ඇති බවත් එම අභියාචනා පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්වන තෙක් තමන්ට ඇප නියම කරන ලෙසත් මෙහිදී වගඋත්තරකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීය. මෙම අභියාචනා පෙත්සම මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ගේ නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් වුවත්, මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණේ, දේශීය ආදායම් පනත අනුව අභියාචනා කිරීමට වගඋත්තරකරුවන්ට අයිතියක් නැත යන්නය. ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා තමන් නියම කළ දඬුවමට අනුව ඔවුන් බන්ධනාගාරයට රැගෙන යන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. අර්ජුන් ඇලෝසියස් සහ ඇන්තනී රන්දේව් දිනේන්ද්‍ර ජෝන් හිරගෙදර ගියේ එලෙසිනි. පසුව නැවතත් ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයින් දෙදෙනාට ඇප ලබා දෙන ලෙසය.
සිය සේවාදායකයින්ට එරෙහි මෙම නඩුකරයෙන් ඔවුන්ට දඬුවම් නියමවීමෙන් පසු එම නඩුව අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ වගඋත්තරකාර ඇලෝසියස් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ට ඇප ලබා දෙන ලෙසය. එසේම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව තම සේවාදායකයින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද සලකා බලා සුදුසු ඇපයක් මත ඔවුන් මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම නඩුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහතිකයක් මත ඉදිරිපත් කර ඇති නඩුවක් වන හෙයින් සහ වගඋත්තරකරුවන්ට නියම කර ඇත්තේ විකල්ප දඬුවමක් වන බැවින් එය අපරාධමය නඩුකරයක් නොවන බවත්ය. ඒ හේතුවෙන් වගඋත්තරකරුවන් අධිකරණයෙන් ඉල්ලීම් කරන ඇප ප්රදානය ප්‍රතික්ෂේප කරන බවද මහේස්ත්‍රාත්වරයා දෙවැනිවරට අධිකරණයේදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සදහන් කළේ ඉකුත් 16 වැනිදාය.
නැවතත් සිපිරි ගෙදරට
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට හිරගේ අලුත් තැනක් නොවුණේ ඉකුත් 2018 වසරේ පෙබරවාරි මස 04 වැනිදාත් ඔහු හිරගෙදරටම ගිය නිසාය. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළවය. ඒ අනුව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂවරයා වශයෙන් අර්ජුන් ජෝසප් ඇලෝසියස් මාස 11ක් රක්ෂිත භාරයේ සිට ඇප මත එළියට ආවේ 2019 වසරේ ජනවාරි මස 01 වැනිදාය. එහෙත් එම නඩුවට අදාළව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබූ චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට සඳහන් කරමින් අධිකරණය විත්තිකරුවන් 10 දෙනෙක් නිදහස් කිරීමට නියෝග කර තිබුණේ ඉකුත් 2022 වසරේ ඔක්තෝබර් මස 12 වැනිදාය. කෙසේ වෙතත් එම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවමින් ද නියෝගයක් නිකුත් කර තිබුණේ ඉකුත් නොවැම්බර් මස 06 වැනිදාය. එම නඩුව මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතිද්දී දැන් ඔහු ආයෙත් සිපිරි ගෙට යන්නේ රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීමෙනි.
නිමන්ති රණසිංහ