යකඩ රාත්තල ද බර වැඩි පුළුන් රාත්තල ද බරින් වැඩි? “මේ රාත්තල් අවුන්ස තිබූ යුගයේ ප්‍රකට කියමනකි. ඒත් දැන් ඇසීමට සිදුව ඇත්තේ කිරි බෝතලය ද මිලෙන් වැඩි වතුර බෝතලය ද මිලෙන් වැඩි කියාය. කිරි බෝතලයට වඩා දැන් වතුර බෝතලය මිලෙන් වැඩිය. බෝතලයක් යනු මිලිලීටර් 750කි.
කිරි බෝතලයක් දොවා ගන්නට එළදෙනක නඩත්තු කළ යුතුය. කෑම, ආහාරපානාදිය ලබා දිය යුතුය. බෙහෙත් ප්‍රතිකාර, එන්නත් ලබා දිය යුතුය. එහෙයින් කිරි බෝතලයක් නිපදවීමට යන නිෂ්පාදන වියදම බොහෝය. ඒත් පානීය ජල බෝතල් නිෂ්පාදනයට ජලය උපයෝගි කර ගන්නේ භූගත ජල ළිං මඟිනි. එය පිරිපහදු කිරීම දැවැන්ත ක්‍රියාවලියක් වුවත් එය කිරි නිෂ්පාදනය තරම් බරපැන දැරිය යුතු නැත. ලංකාවේ මේ ජල බෝතල් නිෂ්පාදකයන්ට ලොකුම අභියෝගය වී ඇත්තේ අස්‍රැත ජලය (R/O Water) නිෂ්පාදකයන්ගෙන්ය. ඕනෑම ඇළකට, දොළකට ළිඳකට තම ෆිල්ටරයේ බටය යොමු කොට ජලයේ අඩංගු විය යුතු සියලු සංඝටක ඉවත්කොට ‘මල වතුරක්’ ලීටරය රුපියල් 2ට විකිණීම නිසා මෙරට ලියාපදිංචිගත පානීය ජල බෝතල් නිෂ්පාදකයන් දැඩි අසාධාරණයකට ලක්වී සිටී.
මෙරට පොදු ජනතාවට තිබහට පිරිසිදු වතුර බිඳක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. 2018දී මිලිලීටර් 500ක වතුර බෝතලයක් පැවතියේ රුපියල් 50 – 60 අතරය. එවකට මා වතුර බෝතලේ අසාධාරණ මිල ගැන පානීය ජල බෝතල් නිෂ්පාදනාගාර හිමියන් සමඟ සාකච්ඡා කොට ලිපියක් ලියූ පසු එවක අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අවධානය ඊට යොමු විය. ඉන්පසු බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. අන්තිමේදී පාරිභෝගික අධිකාරිය මිලිලීටර් 500 වතුර බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 35ක් ලෙස ගැසට් කරන ලදී.
උපරිම සිල්ලර මිල ඉවත් කළ ගැසට්ටුව
ඉන්පසු එළැඹෙන්නේ රටේ විදේශ විනිමය හිඟයකට මුහුණ පෑ ගෝඨාභය යුගයයි. වතුර බෝතල් ඇසුරුම් කරන හිස් ප්ලාස්ටික් බෝතලයක නිෂ්පාදන පිරිවැය රුපියල් 25 ඉක්මවා ගිය මොහොතේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වතුර බෝතලයේ උපරිම සිල්ලර මිල ඉවත් කරන බවට ගැසට්ටුවක් ප්‍රකාශයට පත් කළේය. එය සැලකෙන්නේ ගෝඨාභය ජනපතිගේ අවසන් ගැසට්ටුව ලෙසය. අන්තිමේදී සිදු වූයේ මිලිලීටර් 500 කුඩාම වතුර බෝතලයේ මිල රුපියල් 35 සිට රුපියල් 100 දක්වා ඉහළ ගොස් සමහර තැන්වල රුපියල් 200දක්වා ද ඉහළ යෑමය.
එදා මෙදාතුර මෙරට ජනතාවට වතුර බිඳක් බීමට තිබූ අයිතිය මෙන්ම හැකියාව ද මේ මිල පාලනය ඉවත් කිරීමත් සමඟ දියේ ගිල්වා දැමිණ. සියලුම නීතිමය බලය රජය සතු වුවත් තවමත් හිතුහිතූ ගාණට වෙළෙඳපොළේ වතුර බෝතල් අලෙවි වේ. පානීය වතුර බෝතල් පාලන මිල ගැන මුලින්ම අප විමසා සිටියේ පාරිභෝගික අධිකාරියේ නම හෙළි කිරීමට අකමැති වූ උසස් නිලධාරියකුගෙනි.
“පාලන මිල අඩු කළේ නිෂ්පාදකයෝම කියලා. විදේශිකයන්ට පොඩි වතුර බෝතලයක් ඩොලර් එකකට දෙන්න පුළුවන් කිව්වා. දැන් පාලන මිලක් නැති නිසා මුද්‍රිත මිල තමයි උපරිම සිල්ලර මිල වෙන්නේ. අනිත් අයගේ වතුර බෝතල් විකුණන්න බැහැ කියලා කොන්දේසි දාන්න බැහැ. ඒක කොන්දේසි මත වෙළෙඳාම. මේ ගැන වෙළෙන්දන් පැමිණිල්ලක් කළොත් උපාය දූතයෙක් මඟින් පරීක්ෂණයක් කරලා නීතිමය පියවර ගන්න පුළුවන්. ”
මේ අසීමිත මිල ඉහළ යාම ගැන අප විමසා සිටියේ පානීය ජල බෝතල් නිෂ්පාදක කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයෙනි.
“වතුර බෝතලේ පාලන මිල ඉවත් කළාම ආයතන කියනවා ඒගොල්ලන්ගේ ආයතනයේ නමින් වතුර බෝතල් බ්‍රෑන්ඩ් කරල දෙන්න කියලා. එතකොට ආයතනය ඉල්ලන මිල මුද්‍රණය කරල දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒක සමහර අවස්ථාවල රුපියල් 200ක් වෙන්නත් පුළුවන්.”
මිල ඉහළ ගිය හැටි
ඩොලර් හිඟවීමත් සමඟ අමුද්‍රව්‍ය නොමැතිකමින් හිස් වතුර බෝතලයක මිල ඉහළට ගියේ අධික වේගයකිනි. මිලිලීටර් 500ක හිස් බෝතලය රුපියල් 8 සිට රුපියල් 30 දක්වාත්, ලීටරයේ හිස් වතුර බෝතලය රුපියල් 13 සිට රුපියල් 48 දක්වාත්, ලීටර් 1.5 හිස් වතුර බෝතලය රුපියල් 18 සිට රුපියල් 60 දක්වාත්, ලීටර 5 හිස් වතුර බෝතලය රුපියල් 65 සිට රුපියල් 200 දක්වාත් වැඩිවීමෙන් රටේ ජල බෝතල් කර්මාන්තය අර්බුදයෙන් අර්බුදයට පත්විය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ මැදිහත්වීම
අපි වතුර බෝතල් සම්බන්ධ චෝදනාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඍජුවම ඉදිරිපත් කළෙමු.
“මේ පානීය ජල බෝතලයේ මිල වැඩිවීම පිළිගන්න බැහැ. රුපියල් 35ට තිබ්බ බෝතලය රුපියල් 120 වෙන්නේ කොහොමද? අසුරන පානීය ජල බෝතලයක ජලයේ අගයට වඩා ප්ලාස්ටික් බෝතලයේ වටිනාකම වැඩියි. මේ ජල බෝතල් නිසා මිනිස්සු පිරිසිදු පානීය ජලයට හුරුවුණා. දුරබැහැර ගමනක් ගියාම මලකඩ, අසූචි මිශ්‍ර ජලය වෙනුවට ජනතාව පානීය ජලය බෝතලයක් ගන්න පුරුදු වුණා. මේ වතුර බෝතලයක මිල තීරණය කරන්න රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. නැත්නම් පාසල් ළමයකුටවත් පිරිසිදු වතුර ටිකක් බොන්න බැරි වෙනවා.”
අප කළ ගවේෂණයේදී පෙනී ගියේ වතුර බෝතල් තොග මිල ශීඝ්‍රයෙන් අඩුවී ඇති බවයි. මෙහිදී සිදුවී ඇත්තේ සිල්ලර වෙළෙන්දා තම කොමිස් කුට්ටිය ගැන සිතමින් වතුර බෝතලයේ මිල අඩු කිරීමට ඉඩ නොදීමයි.
පාරිභෝගික අධිකාරිය විසින් අප දැනුම්වත් කළේ පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගේ සමිතිය පාලන මිලක් ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කොට තිබුණද ඔවුනට සාකච්ඡාව සඳහා පැමිණෙන්නට තවම දිනයක් ලබා දී නොමැති බවය. අප මේ ජල බෝතල් මිල ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකා ප්‍රමිතිගත පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් නැවතත් කරුණු විමසා සිටියෙමු.
“දැන් අපි ඔය පොඩි වතුර බෝතලේ වෙළෙඳපොළට නිකුත් කරන්නේ රුපියල් 40 – 45 අතර මිලකට. කඩහිමියාට පුළුවන් රුපියල් 15ක ලාභයක් තියලා ඔය පොඩි වතුර බෝතලේ රුපියල් 60කට විකුණන්න. ඒත් දැන් රුපියල් 120 – 200 අතර මිලකට විකුණනවා. ඒ මිල ගහල ඉල්ලන්නේ කඩහිමියා විසින්මයි. ඊට පස්සේ වතුර බෝතලේ මිල දී ගන්න ආපු පාරිභෝගිකයාට කියනවා ඔය මිල ගහන්නේ කොම්පැනියෙන්මයි අපිට අඩු කරන්න බෑ. අසාධාරණ නම් බෝතලේ තියෙන හොට් ලයින් එකට කෝල් එකක් දීල බණින්න කියලා.”
මේ ජල බෝතල් මිල පාලනය ගැන නව රජය දැනුම්වත් කිරීමේ අරමුණෙන් ප්‍රමිතිගත ජල බෝතල් නිෂ්පාදකයන් විසින් පුවත්පත් සාකච්ඡාවක් මෙහෙයවා මේ ගැන දැනුම්වත් කරන්නට පසුව සිදු විය.
පානීය ජල බෝතල් ප්‍රමිතිය
දැන් අලුත්ම තත්ත්වය වතුර බෝතලයේ සීල් කළ මූඩිය ආවරණය වන ‘ආරක්ෂිත වැසුම’ තහනම් කොට තිබීමය. මෙම නීතිය ගැන නොදැනුවත් ආයතනීය ජල බෝතල්වලට පරිසර අධිකාරිය මඟින් නඩු පැවරීම සිදු කෙරේ. මෙම ආරක්ෂිත වැසුම ලෝකයේ කවර නම් රටකවත් භාවිත නොවන ආවරණයකි. මේ පානීය ජල බෝතල් වෙළෙඳපොළ පිරික්සීමේදී දැනගත හැකි වූයේ මෙම බෝතල් වෙළෙඳසල් වෙත නිකුත් කෙරෙන්නේ මුළුමනින්ම ණය පදනම මත බවය. කෙසේ වෙතත් දැන් මෙම පානීය ජල බෝතල්වල ප්‍රමිතිය ගැන ද ඇතිවී ඇත්තේ දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකි. පානීය ජල බෝතල් සඳහා අනිවාර්යයෙන්ම SLS සහතිකය තිබිය යුතුමය. එහෙත් වෙළෙඳපොළට නිකුත් වී ඇති ව්‍යාජ වතුර බෝතල් නිසා පාරිභෝගිකයා අනතුරකට වැටී ඇත.
බෝතල් කළ පානීය ජලය ප්‍රමිතියෙන් තොර බව මුලින්ම අනාවරණය වූයේ 2013දීය. අපිරිසිදු ජලය පානය කිරීම වනාහි අපිරිසිදු ආහාර ගැනීමටත් වඩා බරපතළ තත්ත්වයකි. මේ අපිරිසිදු තත්ත්වයේ බාල වතුර පරිභෝජනයෙන් මරණීය ප්‍රතිඵල ඇති කළ හැකි බව මේ කූට වෙළෙන්දන් පවා දැන සිටියා දැයි සැක සහිතය. වරක් වෛද්‍ය ආනන්ද ජයලාල් පවසා ඇත්තේ ජලයේ රෝග කාරක බැක්ටීරියා පිළිබඳ සොයා බැලීමේදී ජලයේ ඊකෝලි (Ecoli) බැක්ටීරියාව නොතිබිය යුතු බවය.
පානීය ප්ලාස්ටික් ජල බෝතල් හඳුන්වන්නේ Pet බෝතලය යනුවෙනි. මෙම බෝතල් වරක් පාවිච්චි කොට ඉවත දැමිය යුතුය. ඒවා නිපදවා ඇත්තේ පොලිඑතිලින් ටෙරේ කැලේට් නම් ප්ලාස්ටික් වර්ගයකිනි. වරක් භාවිත කොට ඉවතලිය යුතු Pet බෝතලය නැවත නැවත භාවිතයෙන් සිදු වන්නේ බෝතලය ඇතුළතින් සීරී ඔයිඑතිල් හයිඩොක්සිල් නම් රසායන ද්‍රව්‍ය ඉවතට පැමිණීමය. එය මුළුමනින්ම පිළිකා කාරකයකි. වතුර Pet බෝතල් අධික අව්වේ දින ගණන් තබා පානය කිරීම හා වාහනයේ දින ගණනක් රස්නයට තැම්බෙමින් පසු පානයෙන් ද මෙම පිළිකා අවදානමට ලක්විය හැකිය.
මේ ජලය මිනිස් හා සත්ත්ව මලවලින් දූෂිතය. මේ අනාරක්ෂිත ජලය ජනගහනයෙන් සියයට 36ක් පරිභෝජනය කරනු ලබන බවට වාර්තා වී ඇති බැව් සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය කර ඇති සමීක්ෂණයකිනි. එය සඳහන් වන්නේ Nutrition and food security survey වාර්තාවේය.
වතුර බෝතලයෙන් ජනතාව සූරා කන හැටි
දැන් වෙළෙඳපොළේ ඇති කිසිදු මුදලක් ආයෝජනයක් නොකොට සියයට 200- 300කට වඩා ලාභයක් ලැබිය හැකි ව්‍යාපාරයක් තිබේ නම් ඒ අනිවාර්යයෙන්ම පානීය ජල බෝතල් අලෙවි කිරීමය. අඩු ලාභයක් තබා වැඩි බිස්නස් එකක් කිරීමට අප කියන්නේ ‘සිගරට් බිස්නස්’ වගේ කියාය. රුපියල් 150කට විකුණන තනි සිගරැට්ටුවක් අලෙවියෙන් අලෙවි හලකට රුපියල් 5කවත් ලාභයක් හිමි නොවේ. ඊටත් වඩා සිගරට් සැපයෙන්නේ මුළු මුදලම එක්වර ගෙවීම කළහොත් පමණි. එහෙත් සිගරට්වලටත් වඩා අලෙවියක් ඇති වතුර බෝතලයක් සුළු ලාභයක් තබා අලෙවි කිරීමට වෙළෙඳසල් හිමියන් ක්‍රියා නොකිරීම කනගාටුවට කරුණකි.
දැන් වතුර බෝතලයක් මිල වැඩි කිරීමට තවත් විශේෂණ පදයක් වී ඇත්තේ ‘ආයතනික අලෙවියට’ පමණි. (Institutional sales only) යන වැකියයි. වතුර බෝතලේ මිල අසලින් මේ පාඨය මුද්‍රණය කොට මිලිලීටර් 500 බෝතලය රුපියල් 150 – 180 දක්වා වැඩි මිලට සුපිරි ආපනශාලා, කැෆේ මෙන්ම සුපිරි හෝටල්වල ද ජනතාව වතුරෙන් සූරා කමින් සිටී. සත ගානක ලාභයට රු. 150/=ට සිගරට්ටුවක් විකුණන කඩේම ණයට ගත් රු. 40ක වතුර බෝතලේ රු. 150ට විකුණමින් එක් වතුර බෝතලයකින් 110 ක ලාභයක් ලැබීම කෙතරම් අයුක්ති සහගතද? අන්තිමට සිදුවී ඇත්තේ පානීය වතුර බෝතල් නිෂ්පාදකයින්වත් නොලබන ලාභයක් කඩහිමියා අමානුෂික ලෙස ඩැහැගැනීමය.
බොහෝ දෙනා පවසන්නේ මිලි ලීටර් 500 පොඩිම වතුර බෝතලේ මිල ඩොලරයක්වත් විය යුතු බවය. එයින් රටට විදේශ විනිමය රැගෙන ආ හැකි බව ඔවුනගේ තර්කයයි. එහෙත් සිදුවී ඇත්තේ මේ අධික වතුර මිල නිසා සංචාරකයන් පානීය බෝතල ප්‍රතික්ෂේප කරමින් වෙනත් පානයක් වෙත යොමු වීමය. එහිදී අප සැලකිල්ලට ගත යුත්තේ පානීය ජල බෝතලය රුපියල් 60ක් වැනි අඩු මිලකට දුන්නා නම් විදේශිකයකු වුවත් එයින් දෙක තුනක් මිල දී ගෙන රටට විදේශ විනිමය ගෙනෙන බව නොවේද? ඊටත් වඩා අඩු පාලන මිලකට පානීය ජල බෝතලය අලෙවි කළොත් විදේශිකයන් මුහුණ සේදීම, අත් සේදීම වැනි කටයුතු සඳහා ද මෙම වතුර බෝතල් යොදා ගැනීම නිසා මෙරටට දැවැන්ත විදේශ විනිමයක් රැගෙන ආ හැකිය.
දැන් වත්මන් තත්ත්වය වී ඇත්තේ නිෂ්පාදකයන් පිරිසක් එක්වී තමන්ගේ නිෂ්පාදනයට පාලන මිලක් නියම කොට මිල අඩු කරන ලෙස ඉල්ලීමක් කරන එකම නිෂ්පාදනය, පානීය ජල බෝතල් නිෂ්පාදන ආයතන හිමියන් වීමය.
කලකට ඉහත මෙරට පානීය ජල බෝතල් නිෂ්පාදකයන් සමඟ බොරතෙල් හුවමාරු වැඩසටහනකට එකඟතාවකට ඒමට අරාබිකරයේ රාජ්‍යයක් කැමැත්ත පළ කළද නිසි රාජ්‍ය මැදිහත්වීමක් නැති නිසා එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නැත.
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සිදු කළ යුතුය. එය පොදුජන සුබසෙතට ගන්නා ජනතා සුබවාදී පියවරක් වනු නියතය. ඒ සුබ දිනය එනතුරු මෙරට පොදු ජනතාව බලා සිටින්නේ සාපිපාසාවෙනි.
වජිර ලියනගේ