Home » අගමැතිනියට සන්දේශයක් අරන් කාත්තන්කුඩියේ සිට පාපැදියෙන් කොළඹ ආ ෆාතිමා දියණිය

අගමැතිනියට සන්දේශයක් අරන් කාත්තන්කුඩියේ සිට පාපැදියෙන් කොළඹ ආ ෆාතිමා දියණිය

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment
ෆාතිමා විසින් අග­මැ­ති­නිය වෙත සංදේ­ශය භාර දුන් අව­ස්ථාව

හොඳම දේ ළමයින්ට යැයි කොතෙක් කීවත් තමන්ට අවැසි දේ ගැන කියන්නට පවා ළමයින්ට ලැබෙන අවස්ථාව බොහෝ විරලය. එහෙත් ඒ අභියෝගයට මුහුණ දෙමින් තමාට කියන්නට අවැසි දේ රටේ අගමැතිවරිය මුහුණට මුහුණ හමුවී කියන්නට තරම් දිරිය ඇති දැරියක ගැන ඉකුත් සතියේ අසන්නට ලැබිණි.

ඒ දැරිය, 14 හැවිරිදි ෆාතිමා නඩා ය. කාත්තන්කුඩියේ බත්‍රියා පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකි. ෆාතිමා නඩා සිය මවුපියන් සමඟ වාසය කරන්නේ කාත්තන්කුඩියේය. එම ප්‍රදේශයේ දැකිය හැකි ප්‍රධාන සමාජ ප්‍රශ්න දෙකක් වන්නේ මත්ද්‍රව්‍ය උවදුර සහ ළමා අපයෝජන සිදුවීම්ය. මේ පිළිබඳ වාර්තා වන අවාසනාවන්ත සිදුවීම් නව යොවුන් වියට පා තබා සිටින ෆාතිමා දැරියගේ සිත ද අපහසුතාවට පත් කළා විය හැකිය. නව රජය බලයට පත්වීමත් සමඟ මේ පිළිබඳව සන්දේශයක් මඟින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට දැනුම් දෙන්නට ෆාතිමාගේ සිතේ අදහසක් ඇති වන්නේ ඒ අනුව විය හැකිය.

ඒ වෙනුවෙන් කාත්තන්කුඩියේ සිට කොළඹ බලා පැමිණීමට ෆාතිමා තෝරා ගන්නේ පා පැදියකි. ඇයගේ අදහස ක්‍රියාත්මක කිරීමට මවුපියන් ඇතුළු වැඩිහිටියන් මෙන්ම කාන්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු තවත් බොහෝදෙනකු ද සිය සහයෝගය ලබා දීමට නොපැකිළිව ඉදිරිපත් වූහ. ඉකුත් 07 වැනිදා ෆාතිමා ජාතික ධජය ද ප්‍රදර්ශනය කරමින් පා පැදියේ නැඟී කාත්තන්කුඩියෙන් ගමන ආරම්භ කරද්දී ෆාතිමාගේ ආරක්ෂාව සඳහා ඇයගේ මවුපියන් සහ සහෝදරයා ත්‍රිරෝද රථයකින් පාපැදිය පිටුපසින් ගමන් කළහ.

අග­මැතිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය ෆාතිමා දැරිය සමඟ සුහද කතා­බ­හක යෙදුණු අයුරු

අග­මැතිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය ෆාතිමා දැරිය සමඟ සුහද කතා­බ­හක යෙදුණු අයුරු

කාත්්තන්තුඩිය සහ කොළඹ අතර වන කිලෝමීටර් තුන්සිය ගණනක දුර ප්‍රමාණය ආවරණය කිරීම සඳහා දිනකට කිලෝ මීටර් 50ක පමණ දුරක් පා පැදියෙන් යෑමට ෆාතිමා දැරිය සැලසුම් කර තිබිණි. ඒ අනුව කාන්තන්කුඩියේ සිට පොළොන්නරුව සහ කුරුණෑගල හරහා තිහාරියටත් පැමිණි පැමිණි ෆාතිමා 11 වැනිදා කොළඹට ළඟා වූවාය. එදිනම කොළඹ අගමැති කාර්යාලයට පැමිණ එහි සිටි නිලධාරියකුට සිය සන්දේශය භාර දුන්නත් එතරම් දුරු කතරක් ගෙවාගෙන පා පැදියෙන් දුෂ්කර ගමනක් ආ ෆාතිමාගේ අපේක්ෂාව පරිදි එය අගමැතිනියගේ අතටම භාර දෙන්නට අගමැති කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.

ඒ අනුව ෆාතිමා 14 වැනි සඳුදා පෙරවරුවේ කොළඹ අගමැති කාර්යාලයේදී අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය හමුවන්නට ෆාතිමාට අවස්ථාව ලැබිණි. අගමැති කාර්යාලයේ දොරටුව ෆාතිමා දැරිය සහ ඇයගේ පිරිස වෙනුවෙන් විවර වද්දී ඇය කිසිදු චකිතයකින් තොරව අගමැතිනිය හමුවේ පෙනී සිටියාය. ආචාර්ය හරිනි අමරසූරිය සහ ෆාතිමා දැරිය අතර පැවැති සුහද කතාබහේදී ඇය තමා රැගෙන ආ සන්දේශය අගමැතිවරියට භාර දුන්නාය. එහිදී ෆාතිමා දැරිය සිය ප්‍රදේශයේ තරුණ පරපුරට සහ දරුවන්ට බලපාන ප්‍රධාන උවදුරු දෙකක් වන මත්ද්‍රව්‍ය සහ ළමා අපයෝජන වැළැක්වීමට පියවර ගන්නා ලෙස අගමැතිවරියගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය. අගමැතිනිය හමුවී සිය සිතැඟි සිත් සේ පවසා සැහැල්ලු පත් සිතින් ඊට පසු දින යළි කාත්තන්කුඩියට ගිය ෆාතිමාට ප්‍රදේශවාසීන්ගෙන් හිමි වූයේ ඇය කිසිසේත් නොසිතූ විරූ උණුසුම් පිළිගැනීමකි.

කොළඹ ගොස් පැමිණෙන ෆාතිමා දැරිය පිළිගැනීමට ප්‍රදේශවාසීහු කාත්තන්කුඩිය නගරයට රැස්වී සිටියහ. දැරියන්, යුවතියන් සහ කාන්තාවන් මල්දම් සහ මල් පොකුරු පිළිගන්වමින් ෆාතිමාට සුබ පතද්දී වැඩිහිටි කාන්තාවෝ ෆාතිමා වැලඳගෙන සිප ගනිමින් තුටු කඳුළු සලමින් ඇයට සුබ පැතූහ. ෆාතිමා විසින් අගමැතිවරිය දැනුම්වත් කළ මූලික කරුණු දෙක හේතුවෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වන ජනතාව කොතරම් පීඩා විඳිනවා දැයි ඔවුන්ගේ ඒ සංවේදී හැසිරීමෙන් ප්‍රකට වේ.

තමාට මෙන්ම කාත්තන්කුඩියේම ජනතාවට අලුත් බලාපොරොත්තුවක් එක් කළ ඒ සිදුවීම පිළිබඳ ෆාතිමා දියණිය හඬ අවදි කළේ සතුටිනි.

“මත්ද්‍රව්‍ය උවදුර සහ ළමා අපයෝජනය කියන්නේ අපේ ප්‍රදේශයට තදින්ම බලපාන ප්‍රශ්න දෙකක්. විශේෂයෙන් මේ ප්‍රශ්න දෙක නිසා අපේ ප්‍රදේශයේ ගොඩක් දරුවන්ගේ අධ්‍යාපනය අතරමඟ කඩා වැටෙනවා. මේ ගැන මගේ හිතේ කාලයක ඉඳන් ලොකු කනගාටුවක් තිබුණා. මීට ටික කාලෙකට කලින් මම කාත්තන්කුඩියේ ඉඳන් මඩකලපුවට පාගමනින් ගිහින් මේ ගැන සමාජයේ අවධානය යොමු කළා. ඒ නිසා මට හිතුණා පාපැදියකින් කොළඹ ගිහින් අගමැතිතුමිය හමුවෙලා සන්දේශයක් භාර දෙන්න ඕනේ කියලා.

7 වැනිදා කාත්තන්කුඩියෙන් පිටත් වෙලා ගලේවෙල, දඹුල්ල, කුරුණෑගල හරහා අපි කොළඹ ආවා. 11 වැනිදා හවස් වෙද්දි අපි තිහාරියට ආවා. එදාම අගමැති කාර්යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරි මහත්මයකුට සන්දේශය භාර දුන්නත් 14 වැනිදා අගමැතිතුමියටම සන්දේශය භාර දෙන්න අවස්ථාවක් ලබා දෙන්න ඔවුන් එකඟ වුණා. ඒ විදිහට 14 වැනිදා අගමැතිතුමිය හමුවෙලා සන්දේශය භාර දෙන්න ලැබුණු අවස්ථාව ගැන මට ගොඩක් සතුටුයි. එතුමිය ගොඩක් සුහදව මා එක්ක කතාබහ කළා. මම එතුමියට කිව්වා අපේ ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න ගැන. ඒවායින් ළමයින්ගේ අධ්‍යාපනයට වෙන හානි ගැන. ඒ ගැන අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් පියවර ගන්නවා කියලා අගමැතිතුමිය කිව්වා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ”

ෆාතිමා නඩා දැරිය පැවසුවේ සතුටිනි. පාපැදියෙන් කිලෝමීටර් තුන්සිය ගණනක් පැමිණි වෙහෙස, මහන්සිය අගමැතිවරියගේ හමුවීමෙන් පසු සැණින් අතුරුදන් වූ බව ඇය පැවසුවේ සිනා මුවිනි. අගමැතිවරිය හමුවේ ෆාතිමා දැරිය කළ එම ඉල්ලීම දරුවන් වෙනුවෙන් වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට වත්මන් රජය ගන්නා පියවර කඩිනම් කිරීමට ලැබුණු අභිප්‍රේරණයක් බඳුය.

ඉකුත් ඔක්තෝබර් පළමු වැනිදාට යෙදී තිබුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධාන කළ කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේදී පැවති ’මඟ හැරුණු පාඩම’ උත්සවයේදී ද අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බවත් රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවත් පැවසුවාය.

“තරගකාරී ලෝකය තුළ මනුෂ්‍යත්වයට අවශ්‍ය වැදගත්ම දේවල් ගොඩාක් අතහැරලා තනියම ගමනක් යන්න සිදුවෙලා තියෙනවා. විශේෂයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය, වැඩිහිටියන්ගේ ආර්ථිකය වැනි බොහෝ කරුණු මේ සඳහා බලපා තිබෙනවා. එසේ මගහැරුණු පාඩම් අතර අපේ මනුෂ්‍යත්වයට අත්‍යවශ්‍ය දේවල් අතර එකිනෙකා රැකබලා ගැනීම, ආරක්ෂාව දීම, සාමූහිකත්වය, ආදරය කිරීම, ගරු කිරීම, තව කෙනෙක් තේරුම් ගැනීම, දුකේදී සැපේදි මිත්‍රත්වය දැක්වීම, වැඩිහිටියන් සමඟ ගනුදෙනු කරන ආකාරය, වැඩිහිටියන් රැකබලා ගැනීම, අප ජීවත්වෙන පරිසරය හා එහි සිටින සතුන් රැකබලා ගන්නේ කොහොමද යන දේවල් ඇතුළු බොහෝ දේ අපිට මඟහැරුණු පාඩම්. අපි හැමෝම මේ සියල්ල අතහැර ඉතා තරගකාරී ජීවිතයක් ගත කරනවා. කනගාටුවෙන් වුවත් කිව යුත්තේ, මේ දේ වලට වගකිව යුත්තේ දරුවන් වන ඔබ නොව වැඩිහිටියන් වන අපයි. ඊට හේතුව අපේ දරුවන්ට ඉතා දුෂ්කර, තරගකාරී, පීඩාකාරී ජීවිතයක් නිර්මාණය කර දී තිබෙන්නේ වැඩිහිටියන් වන අපි නිසයි.

අපි එය වෙනස් කළ යුතුයි. මේ ලෝකය මීට වඩා ලස්සන තැනක්, මීට වඩා ආරක්ෂාකාරී රටක්, මීට වඩා පොහොසත් රටක්, මීට වඩා සුරක්ෂිත රටක් ගොඩනැඟීමේ වගකීම අපට තිබෙනවා. ඒ ලෝකය ගොඩනඟන බවට මම ප්‍රතිඥා දෙනවා. දරුවන් තුළ තිබෙන මානුෂීය ගුණාංග වර්ධනය වීමට ඇති බාධා ඉවත් කර සතුටින් ජීවත් වීමට ලෝකයක් සෑදීම අපේ වගකීමයි.

මේ රට අපි වෙනස් කරමු. මේ ලෝකය අපි වෙනස් කරමු. ඒ බලාපොරොත්තුව ඔබ තුළ තියාගන්න. “ෆාතිමාට පමණක් නොව රටේ දරු පරපුරටම අවැසි සුපසන් හෙට දවසකි. ඒ දවස උදාවන තුරු ජාති, ආගම් භේදයකින් තොරව මුළු රටේම දරුවෝ දෑස් දල්වා බලා සිටිති.

ෆාතිමා කාත්ත­න්කු­ඩියේ සිට කොළඹ පැමිණි  පාපැ­දිය

ෆාතිමා කාත්ත­න්කු­ඩියේ සිට කොළඹ පැමිණි පාපැ­දිය

ඡායාරූප- අගමැති මාධ්‍ය අංශය

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division